
- මෙම ක්‍රමවේදය සමස්ත පාසල් දරුවන්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට සකස් කිරීම අත්‍යවශ්‍යයි
- මෙය සුදුසුම ක්‍රමය නොවුණත් පවතින වසංගතය හමුවේ තිබෙන එකම විකල්පය මෙයයි
ලෝකයම සිය අණසකට නතුකරගත් ගෝලීය සතුරා, කොවිඩ් 19 වයිරසය හමුවේ බොහෝ දෙනාගේ ජීවිත තුළ බොහෝ වෙනස්කම් සිදුව ඇත. කොවිඩ් වසංගතයේ බලපෑමට ලක්වූ ක්ෂේත්‍ර අතර අධ්‍යාපන ක්ෂේත්‍රයට සිදුවන බලපෑම වඩාත් බරපතළ වන්නේ ඕනෑම රටක ජීවනාලිය වන්නේ රටේ දරු පරපුර වන නිසාය. පසුගිය වසරේ මාර්තු මාසයේ මුල් සතියේ මෙරටින් පළමු කොවිඩ් ආසාදිතයා හඳුනා ගැනීමත් සමඟ මාර්තු 13වැනිදා මෙරට සියලුම පාසල් වසා දැමීමට අධ්‍යාපන බලධාරීහු කටයුතු කළහ. ඉන් අනතුරුව අවස්ථා කිහිපයකදී පාසල් යළි විවෘත කිරීමට තීරණය කළද ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කොවිඩ් වසංගතය හමුවේ ඊට අවස්ථාව නොලැබිණි. මේ අතර පාසල් යළි විවෘත කිරීම දින නියමයක් නැතිව කල්දැමුණේ ඉකුත් අවුරුදු උත්සව සමයෙන් පසු මෙරට කොවිඩ් වසංගතයේ 3 වැනි රැල්ලක් ද ආරම්භ වීමත් සමඟය.
දරුවන් පාසලට යනවා වෙනුවට පාසල නිවෙසට ගෙන්වන මාර්ගගත හෙවත් ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමය මෙරට සිසු ප්‍රජාවට හඳුන්වා දෙනු ලැබුවේ ඒ අනුවය. රට පුරා සංචරණ සීමා පනවා ඇති මෙවැනි සමයක නිවෙසට වී වංසගත අවදානමෙන් මිදී අධ්‍යාපන කටයුතුවල යෙදීමට මාර්ගගත අධ්‍යාපනය යම් තරමක උපකාරයක් සලසා තිබුණ ද ඒ සම්බන්ධයෙන් අඩුලුහුඬුකම් ද නැතුවා නොවේ. කෙසේ වුවත් මාර්ගගත ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කරන මෙරට ප්‍රධානපෙළේ පාසල් කිහිපයක විදුහල්පතිවරුන් සමඟ ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට අප අදහස් කළෙමු.
කොළඹ විශාඛා විද්‍යාලය කොවිඩ් 19 වසංගත සමය තුළ ඔන්ලයින් ඉගැන්වීම් ආරම්භ කළ පළමු පාසල ලෙස සැලකෙන අතර මේ වන විට සාර්ථකව එම ක්‍රමය ක්‍රියාත්මක කරන පාසලකි. එම විද්‍යාලයේ විදුහල්පතිනි සඳමාලි අවිරුප්පල පැවසුවේ මුල් කාලයේ තාක්ෂණික දෝෂවලට මුහුණ දීමට සිදුවුවද පසුකාලීනව එම දෝෂ මගහරිමින් ගුණාත්මක ඉගැන්වීමක් කිරීමට හැකියාව ලැබුණු බවයි. ඒ සඳහා පාසලේ පරිගණක විද්‍යා ගුරුවරුන්ගෙන් සහ භෞතිකව පන්ති කාමරයේ ඉගැන්වීම් කටයුතු සඳහා අවැසි උපකරණ ගැනීම සඳහා මවුපියන්ගෙන් ලැබුණු සහයෝගය ද විදුහල්පතිනිය කෘතවේදීව සිහිපත් කළාය.
˝ ''කොවිඩ් 19 වසංගතයේ ආරම්භක අවස්ථාවේ සිටම එනම් පසුගිය වසරේ අප්‍රේල් මාසය අවසානයේ සිට අපේ පාසල තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලිය ඉතා සාර්ථක ලෙස ආරම්භ කළා. විෂය නිර්දේශය අාවරණය කිරීම සඳහා මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට ගැළපෙන අයුරින් අලුත් කාලසටහනක් සකස් කොට අංශ ප්‍රධාන, ශ්‍රේණි ප්‍රධානි ගුරු මහත්මීන්ගේ අධීක්ෂණය යටතේ විෂය භාර ගුරුමහත්මීන් විසින් ඉගැන්වීම් කටයුතු සාර්ථකව කරගෙන යනවා. අපේ පාසල තුළ ඉගැන්වීම් සිදුකෙරෙන කාලසටහන තුළම දරුවාට විවේක ගැනීමට අවස්ථා කිහිපයක්ම සලසා දී තිබෙනවා. ඒ නිසා වෙහෙසකින් පීඩනයකින් තොරව දරුවන්ට ඉගෙනීමේ යෙදිය හැකියි. ඒ වගේම ඉගැන්වුම් කාර්යයේදී ගුරුවරයාට දරුවන් සක්‍රීයව සම්බන්ධ කරගැනීම සඳහා පාඩම අතරතුර ප්‍රශ්න ඇසීම, දරුවන්ගෙන් පිළිතුරු ලබාගෙන ඒවා සාකච්ඡා කිරීම, මාර්ගත ක්‍රමයට විභාග සහ ඇගයීම් පැවත්වීමත් සිදුවනවා. මේ කාර්යය සාර්ථක කරගැනීම සඳහා තොරතුරු හා තාක්ෂණික විෂයයන් භාර ගුරු මහත්මීන් ඇතුළු සමස්ත ආචාර්ය මණ්ඩලය ලබාදෙන දැඩි කැපවීමට සහ සහයෝගයට විශේෂයෙන් ස්තුති කරනවා.'' ˝
නිවෙසේ සිට ඉගෙනුම ලබන දරුවාට එම කටයුතුවල නිසි ඵලදායීතාව ලබාගැනීම සඳහා මවුපියන්ගෙන් ලැබිය යුතු සහයෝගය පිළිබඳ විදුහල්පතිනී සඳමාලි අවිරුප්පල දැක්වූයේ මෙවැනි අදහසකි.
˝දැන් පාසල දරුවාගේ නිවෙසට පැමිණ තිබෙන නිසා සුවපහසුව සහ වඩාත් ආරක්ෂාකාරීව මවුපිය අධීක්ෂණය යටතේ අධ්‍යාපන කටයුතුවල යෙදෙන්නට දරුවන්ට අවස්ථාව ලැබී තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ මවුපියන්ගේ වගකීම වන්නේ දරුවන් අධ්‍යාපනයෙන් ගිලිහී යෑමට නොදී ඔවුන්ට අවශ්‍ය නිසි මඟපෙන්වීම ලබාදීමයි. නවීන තාක්ෂණ මෙවලම් අතර ජංගම දුරකතනය දරුවන්ට ලබානොදිය යුතු දෙයක් ලෙස සැලකුවත් වත්මන් වසංගත තත්ත්වය තුළ එය දරුවාගේ අධ්‍යාපන කටයුතු සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවට පත්ව තිබෙනවා. එම නිසා ඒ තාක්ෂණික මෙවලම් පිළිබඳ මවුපියන්ටත් යම් කිසි අවබෝධයක් තිබීම වැදගත්. අනවශ්‍ය ලෙස දරුවාට දවස පුරාම ජංගම දුරකතන, පරිගණක වැනි තාක්ෂණික මෙවලම් සමඟ ගතකිරීමට ඉඩ නොදී අධ්‍යාපපන කාර්යය අවසන් වූ පසු එම උපකරණ ඔහුගෙන් ඉවත් කර තැබීමටත් මවුපියන් කල්පනාකාරී විය යුතුයි.
කොළඹ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති එස්.එම්. කීර්තිරත්න පැවසුවේ ආචාර්ය මණ්ඩලයේ දැඩි කැපවීමත් මවුපියන්ගේ සහ ආදි ශිෂ්‍යයන්ගේ සහයෝගයෙනුත් මාර්ගගත අධ්‍යාපන ක්‍රමය එම විද්‍යාලයේ ද සාර්ථකව ක්‍රියාත්මක වන බවයි. විෂය නිර්දේශය ඉගැන්වීමට පමණක් සීමා නොකර වසංගත සමයේ නිවෙස්වලටම වී සිටින සිසු දරුවන් තුළ ඇතිවිය හැකි ඒකකාරී බව, විඩාව සහ මානසික ආතතිය දුරු කරවීමේ විවිධ වැඩසටහන් ද ඒ මඟින් ක්‍රියාත්මක වන බව ද හෙතෙම සඳහන් කළේය. කොළඹ ප්‍රධානපෙළේ පාසල්වල මාර්ගගත අධ්‍යාපන ක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක වූ පමණින් සමස්ත පාසල් පද්ධතියේ සාර්ථකත්වය මැනිය හැකිද යන්න අප විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු.
''ශ්‍රී ලංකාවේ මෙතෙක් පැවති අධ්‍යාපන ක්‍රමයත් සමඟ මාර්ගගත අධ්‍යාපනය කියන්නේ දරුවන්ට අධ්‍යාපනය ලබාදිය යුතු සුදුසුම ක්‍රමය නොවෙයි. එහෙත් පවතින වසංගත අවදානම තුළ ඒ සඳහා තිබෙන එකම විකල්පය එම ක්‍රමය පමණයි. වෙනත් කිසිම විකල්පයක් නැහැ. මෙම ක්‍රමය තුළ තාක්ෂණික මෙවලම්වල තිබෙන අඩුපාඩු, සන්නිවේදන පද්ධතියේ ගැටලු ආදී ප්‍රශ්න රාශියක් තිබෙනවා. නමුත් රටේ ප්‍රධානපෙළේ පාසල්වල දරුවන්ගෙන් සියයට 70කට ආසන්න ප්‍රමාණයකට කිසිම ගැටලුවක් නැතිව ඉතා ඉක්මනින් මෙම ක්‍රමයට අනුගත වෙන්න හැකි වුණා. දරුවන්ගේ මවුපියන්, ආදි ශිෂ්‍යයන් ඇතුළු විශාල පිරිසක් අපේ පාසල තුළ මෙම ක්‍රමවේදය සාර්ථක කරගන්න උපකාර කළා. නමුත් එසේ උදවු උපකාර නොලැබෙන ඉතා දුෂ්කර පළාත්වල දරුවන්ට මාර්ගත අධ්‍යාපනය ලැබීම සඳහා අවශ්‍ය අවම පහසුකම් පවා නැහැ. සියයට 45ක පමණ ගුරුවරුන්ට පවා ඒ සඳහා භාවිත කළ හැකි තාක්ෂණික මෙවලම් නැහැ. එම නිසා කොළඹ පාසල්වල මෙම ක්‍රමවේදය ඉහළින් සාර්ථක වූ පමණින් ඒ ප්‍රතිඵලය රටේ සමස්ත අධ්‍යාපන පද්ධතියට එකතු වනවාද යන්න ප්‍රශ්නයක් වගේම ඒ තුළින් රටේ සමස්ත පාසල් පද්ධතිය මාර්ගත ක්‍රමවේදයට අනුගත වී තිබෙන බව නිගමනය කරන්න බැහැ. එසේ වුවත් එවැනි අඩුපාඩු මත මෙම ක්‍රමවේදය අතහරින්නත් බැහැ. මේ අවස්ථාවේ ඇති හොඳම විකල්පය මෙයයි. එසේ නම් කළ යුත්තේ මෙම ක්‍රමවේදය දියුණු කරගෙන ඊට අනුගත වීමයි. රටේ සමස්ත සිසු ප්‍රජාවම මෙම ක්‍රමයෙන් ප්‍රයෝජන ලැබීමට නම් මාර්ගගත අධ්‍යාපන ක්‍රමයට සම්බන්ධ වීම සඳහා ඔවුන්ට බදු රහිත හෝ අවම මිලකට ටැබ් එකක්, ස්මාට් දුරකතනයක් වැනි තාක්ෂණික මෙවලමක් ලබාගැනීමේ ක්‍රමවේදයක් සලසා දිය යුතුයි. වසංගත තත්ත්වය තව කෙපමණ කලක් පවතීද කියා කිව නොහැකි නිසා මෙම ක්‍රමවේදය සියලු දරුවන්ට ප්‍රතිඵල ලැබෙන ආකාරයට සකස් කිරීම අත්‍යවශ්‍යයි.˝
පවතින තත්ත්වය තුළ දරුවන්ගේ අධ්‍යාපනය සම්බන්ධයෙන් මවුපියන්ට පැවරෙන වගකීම පිළිබඳව ද අප ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිවරයාගෙන් විමසුවෙමු.
''ගුරුවරයා නිරන්තර අවධානය යොමුකරමින් අනිවාර්යයෙන්ම ඇස්මානයේ සිටිමින්ම මෙහෙය වීම අනිවාර්යෙයන්ම කළ යුතු දරුවන් පිරිසක් හැම පන්තියකම වගේ සිටිනවා. ගුරුවරයා කොපමණ කැපකිරීම් කළත් අධ්‍යාපනය මගහරින දරුවන් කිහිප දෙනෙකුත් ඒ අතර සිටිනවා. අවාසනාවකට වගේ මාර්ගගත ක්‍රමවේදය තුළ ඒ දරුවන් සම්පූර්ණයෙන් මගහැරී තිබෙනවා. පන්තියේ සජීවීව දරුවන් සමඟ ගැටෙමින් ගුරුවරයා කළ කාර්යය ඔන්ලයින් තාක්ෂණය මඟින් සිදු කරන්නට බැහැ. මම හිතන්නේ එය බොහෝ දෙනකුට අමතක වූ යථාර්ථයක්. ඒ නිසා පවතින තත්ත්වය තුළ දරුවාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳ මවුපියන්ට ඇති වගකීම තවත් වැඩි වී තිබෙනවා.''˝
කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ පැවසුවේ දේවි බාලිකාවියන්ට මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දුන්නේ කොවිඩ් වසංගතය මෙරටට පැමිණීමටත් පෙර සිට බවය. ඒ පිළිබඳ ඇය වැඩිදුරටත් මෙසේ පැවසුවාය.
''˝කොවිඩ් 19 වසංගතය නිසා දරුවන්ට පාසලට එන්න බැරි තත්ත්වයක් උදා වුණත් ඒ තත්ත්වයට මුහුණ දෙන්න අපේ දරුවන්ට සිදු වුණේ මේ වසංගතය පැතිර යන්නටත් පෙර සිටමයි. 2019 අප්‍රේල් මස පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව යම්කිසි කාලයක් පාසල් වසා දමන්නට සිදුවුණා. ඒ විදිහට පාසල් වසා තියෙද්දි නිවසේවල ඉන්න දරුවන් පාසල හා සම්බන්ධ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නයට අපි පළමු වතාවට මුහුණ දුන්නා. ඔන්ලයින් ක්‍රමය අපේ පාසල් දරුවන් අතර මුලින්ම ආරම්භ කළේ ඒ අවස්ථාවේදියි. එහෙත් ඒ අවස්ථාවේ තාක්ෂණය මේ තරම් විශාල වශයෙන් භාවිත කළේ නැහැ. නමුත් කොවිඩ් 19 වසංගතය පැතිර යෑමත් සමඟ පසුගිය වසරේ මාර්තු 12 වැනිදා පාසල් වසා දැමීමෙන් පසු අප්‍රේල් මාසේ 20 වැනිදා නැවත ආරම්භ වීමට තිබුණත් එය කල් දැමීමට සිදුවුණා. වසංගතයේ ව්‍යාප්තියත් සමඟ එය අවසන් වන කාලවකවානුවක් පිළිබඳ කිවනොහැකි තත්ත්වයක් තුළ අපේ දරුවන්ට මාර්ගගත අධ්‍යාපනය ලබාදීමට තීරණය කළා. ˝
ඒ වෙලාවේ අපිට ප්‍රයෝජනවත් වුණේ ඊට කලින් ඔන්ලයින් උගන්වද්දි සිස්ටම් එකට ඇතුළත් කරලා තිබුණු දරුවන්ගේ විස්තර. ඒ විස්තර එක්ක සති 3ක් ඇතුළත පාසලේ සියලුම දරුවන් එකතු කරගෙන මාර්ගගත අධ්‍යාපනය සඳහා මූලික පියවර නිර්මාණය කළා. අපි සමාගමක් සමඟ එකතු වෙලා ඉගැන්නුම් කළමනාකරණය කියන සංකල්පය තුළ දරුවන්ට ඉගැන්වීම් කරන්නේ කොහොමද?පැවරුම් කරන්නේ කොහොමද?ඇගයීම් කරන්නේ කොහොමද? ඒවා අධීක්ෂණය කරන්නේ කොහොමද කියලා තීරණය කළා. අදාළ සමාගම අපේ ගුරුවරුන්ට නොමිලේ තාක්ෂණික පුහුණුව ලබාදුන්නා. ඒ ආකාරයට පාසල් වැසීමෙන් පසු මාසයක් ඇතුළත මාර්ගගත අධ්‍යාපනය සඳහා අපේ පාසල් හැම දරුවෙක්ම සම්බන්ධ කරගන්න අවස්ථාව ලැබුණා.˝
විදුහල්පතිනි ප්‍රදීපා සමරසිංහ පැවසූ පරිදි විෂය නිර්දේශය ආවරණය කිරීමට අමතරව විෂය සමගාමී සහ විෂය බාහිර කටයුතු, ගායන සහ කලා තරග පමණක් නොව ප්‍රජා සත්කාර ව්‍යාපෘති පවා ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිදු කිරීමට තරම් දේවි බාලිකාවියෝ දැන් අත්දැකීම්වලින් සන්නද්ධව සිටිති.
''˝මේ ක්‍රියාවලිය සාර්ථක කරගන්න ආචාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහාය ගැන විශේෂයෙන් කිව යුතුයි. ඔවුන් ඔන්ලයින් ඉගැන්වීමේ යෙදෙන්නේ ඩේටාවලට වියදම් දරාගෙන තමන්ගේ ජංගම දුරකතනවලින්. නමුත් කිසිම ගුරුවරයෙක් තමන්ට මේක කරන්න බැහැ කියලා ප්‍රතික්ෂේප කරලා නැහැ. ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය මේ ඉගැන්වීම් ක්‍රමය සාර්ථක කරගන්න මට විශාල ශක්තියක්. පාසලේ ඉගැන්වීම් කෙරෙන ආකාරයටම කාලසටහනක් අනුවයි ඔන්ලයින් ඉගැන්වීම් සිදුවන්නේ. නියෝජ්‍ය විදුහල්පතිනිය, සහකාර විදුහලපතිනිය ප්‍රමුඛ කළමනාකරණ කමිටුව සහ අංශ ප්‍රධානින් විසින් මෙහි ප්‍රගතිය පිළිබඳ නිරන්තර අධීක්ෂණයෙන් පසුවනවා. මේ වෙද්දි දරුවන්ට වගේම ගුරුවරුන්ටත් අවබෝධ වෙලා තියෙනවා පාසලක තියෙන වැදගත්කම. ඉස්කෝලේ ඇවිත් ගුරුවරයා ඉදිරියේ ඉඳගෙන සජීවීව ඉගෙන ගන්නවා තරම් සතුටක් දරුවන්ට නැහැ කියලා අපිට නිරීක්ෂණය වෙනවා. නමුත් පවතින වසංගත අවදානම තුළ මේ තරම් හොඳ විකල්පයක් නැහැ. ඒ නිසා මෙයින් උපරිම ප්‍රයෝජන ගන්න කියලා දරුවන්ගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගුරුවරයා දෙන දැනුම මතම යැපෙන්නේ නැතිව ස්වයං හැදෑරීම් කරන්න මෙය දරුවන්ට ලැබුණු හොඳ අවස්ථාවක්.'' ˝
පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය ද මාර්ගගත අධ්‍යාපනයේ ඵල නෙළාගත් පාසලකි. එහි විදුහල්පති කේ.ජී විමලසේන පවසන පරිදි එහි එම ක්‍රියාවලිය ආරම්භ කොට ඇත්තේ පසුගිය වසරේ කොවිඩ් වසංගතයේ ව්‍යාප්තියත් සමඟ පාසල වැසීමෙන් පසුවය. පළමුව වට්සප් ගෘෘප් මඟින් පන්ති මට්ටමින් ඉගැන්වීම් කටයුතු ආරම්භ කර ඇති අතර පසුව විද්‍යාලයීය ආදි ශිෂ්‍යයන්ගේ සහයෝගය ඇතිව පාසල නමින් යූටියුබ් නාළිකාවක් ආරම්භ කොට ඒ මඟින් 11 සහ 13 වසර දරුවන් සඳහා විද්‍යාලයේ ගුරු මණ්ඩලය විසින් සකස් කළ පාඩම් මාලාවක් ඉදිරිපත් කර ඇත.
˝ඒ විදිහට පාඩම් 50-60ක් පමණ ඉදිරිපත් කළා. අපේ පාසලේ යූටියුබ් චැනල් එක මඟින් ඉදිරිපත් කළ එම පාඩම් මාලාව අපේ පාසලේ දරුවන්ට වගේම වෙනත් පාසල්වල දරුවන්ටත් ප්‍රයෝජනවත් වුණා. ඒ අතරම ඇතැම් ගුරුවරු සූම් තාක්ෂණයෙනුත් ඉගැන්වීම් කටයුතුවල යෙදුණා. පසුව අපි දුරකථන සමාගමකින් සූම් ලයිසන් 10ක් අරගෙන සුදුසු විදිහට ගුරුවරු අතර බෙදා දීලා ඉගැන්වීම් කටයුතු තවත් පුළුල් කළා. ඒ තුළින් එකවර ළමයි 300කට පමණ ඉගැන්වීමට අවස්ථාව ලැබීම විශාල පහසුවක්. විෂය නිර්දේශය ආවරණය කිරීම වගේම වාර විභාග පැවැත්වීමත් අන්තර්ජාල මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුවෙනවා. ඒ වගේම ඔන්ලයින් අධ්‍යාපනය දරුවන්ට ඒකකාරී වීම වැළැක්වීම සඳහා ඔවුන්ට විවේකයකුත් ලැබෙන ආකාරයේ කාලසටහනක් තුළයි අපි ඉගැන්වීම් කටයුතු සිදු කරන්නේ. මේ වන විට දෙවරක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේම මවුපිය රැස්වීම් පවත්වා ඔවුන්ගේ අදහස් ද ලබාගෙන තිබෙනවා. මෙම කාර්යයේදී ගුරු මණ්ඩලයෙන් විශාල සහයෝගයක් ලැබෙනවා. ඇතැම් අවස්ථාවල තාක්ෂණික සහ ප්‍රායෝගික දෝෂ මත මෙම ක්‍රියාවලියට යම් යම් බාධා පැමිණුනත් මේ වන විට සාර්ථකව මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබනවා. ˝විදුහල්පති කේ.ජී විමලසේන එසේ පැහැදිලි කළේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වන ආකරය පිළිබඳවය. ඊට අමතරව නිවෙසටම වී සිටින දරුවන් තුළ ඇතිවන ආතතිය, ඒකාකාරී බව සහ වෙහෙස නැති කිරීම සඳහා සෞන්දර්යාත්මක බව කැටිවූ දිරිගැන්වීමේ වැඩසටහන් කිහිපයක් සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වීමට කටයුතු කරමින් සිටින බව ද ඔහු වැඩිදුරටත් පැවසුවේය.
˝එක් එක් විෂයයන් සඳහා පාඩම් ප්‍රසන්ටේෂන් ආකාරයට සකස් කරලා ලබාදිය හැකි නම් එය දරුවන්ට පහසුවක්. රජයේ පිළිගත් අධ්‍යාපන ආයතනයක් විසින් ප්‍රධාන විෂයන් කිහිපය සඳහා හෝ පාඩම් මාලාවක් සකස් කරලා සී.ඩී මාර්ගයෙන් හෝ ලබාදිය හැකි නම් මාර්ගගත අධ්‍යාපනයේදී එය ඉතා වැදගත් වනවා˝''
අවසාන වශයෙන් ඔහු එවැනි යෝජනාවක් ද කළේ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය තවත් ඵලදායී බවට පත්කර ගැනීමේ අරමුණ ඇතිවය.