කොවිඩ් මඬින්න ලංකාව පුරා එන්නත්කරණය කඩිනම් කරයි | සිළුමිණ

කොවිඩ් මඬින්න ලංකාව පුරා එන්නත්කරණය කඩිනම් කරයි

ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී අගමැති ආර්යා ශිරන්ති රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ වූ අවස්ථාවේදී කොළඹ කොටහේන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනි, එච්.එම්. වී. එල් හේරත් නම් ගැබිනි මවට පළමු කොවිඩ් මර්දන එන්නත ලබාදුන් අයුරු.

කොවිඩ් 19 ගෝලීය වසංගතය ලෝකයටම මුව ආවරණ පලඳා, සංචරණ සීමා පනවා මෙම ජුනි මාසයට වසර එකහමාරක පමණ කාලයක් ගතවී ඇත. මෙම සතිය ආරම්භයේදී ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 174ක් වූ අතර මරණ මිලියන 3.74ක් වාර්තා වී තිබිණි. ශ්‍රී ලංකාවේ වරින් වර වාර්තා වූ කොවිඩ් ආසාදිත පොකුරු අතරින් වැඩිම ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව වාර්තා වූයේ මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් 3 වැනි රැල්ලෙනි. ඉකුත් අප්‍රේල් 15 වැනිදා සිට පසුගිය ජුනි 5 වැනිදා මෙරට අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවා ගිය අතර මරණ 1600 සීමාව ද පසු කළේය. මේ දක්වා මෙරට කොවිඩ් ආසාදිතයන් වැඩිපුරම වාර්තා වූ මාසය ලෙස සැලකෙන්නේ ඉකුත් මැයි මාසයයි. එම මාසය තුළ පමණක් 72, 447ක් කොවිඩ් නව ආසාදිතයන් වාර්තා වී තිබිණි. 

ජුනි 9 වැනිදා බ්‍රස්පතින්දා කොවිඩ් ආසාදිත මරණ 67ක් පිළිබඳ වාර්තා වූයේ දිනක් තුළ මෙරටදී තහවුරු කළ වැඩිම කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව සනිටුහන් කරමිනි. ඒ අතර දින 8ක් වයසැති බිලිඳකුගේ මරණයක් වාර්තා වූයේ ගම්පොල මූලික රෝහලෙනි. එය මෙතෙක් මෙරට කොවිඩ් ආසාදිතව මියගිය පුද්ගලයන් අතර අඩුම වයස් මරණය ලෙස සැලකේ. 11 වැනිදා පෙරවරුවේ වසංගත රෝග විද්‍යා අංශය විසින් තවත් කොවිඩ් ආසාදිත මරණ 101ක් පිළිබඳ තහවුරු කිරීමත් සමඟ මෙතෙක් දිනක් තුළ තහවුරු කළ වැඩිම මරණ සංඛ්‍යාව එය බවට පත්විය. ඒ සමඟම මෙරට කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 2,000 ඉක්මවා ගියේය. ඒ අනුව සිකුරාදා (11දා) පෙරවරුව වන විට සෞඛ්‍ය අංශ විසින් තහවුරු කරනු ලැබූ මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 2,011කි.

මෙහි සඳහන්ව ඇත්තේ ජුනි 11 වැනිදා ප.ව 5.00 දක්වා වාර්තා වූ දත්තය.

ගැබිනි මවුවරුන් සඳහා එන්නත්කරණය ඇරඹෙයි

- වයස අවුරුදු 35ට වැඩි ගැබිනි මවුවරුන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය 
- අවදානම් සංඥා ඇත්නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න
- එන්නත ගත්තත් සෞඛ්‍ය උපදෙස් අකුරටම පිළිපදින්න

මෙරට ගැබිනි මවුවරුන්ට කොවිඩ් 19 මර්දන එන්නත ලබාදීමේ ජාතික වැඩසටහන ඉකුත් 9 වැනිදා නිල වශයෙන් කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහලේදී ආරම්භ විය. ඊට සමඟාමීව එම එන්නත්කරණ වැඩසටහන එදිනම පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් ආරම්භ විය. 

ගැබිනි මවුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීම නිර්ණායක කිහිපයක් යටතේ සිදුවන අතර මෙම එන්නත්කරණ වැඩසටහන මාසයක් තුළ අවසන් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සැලසුම් කර ඇත. ගැබිනි මවුවරුන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් පසුගිය කාලයේ මතවාද රැසක් පැවති අතර ගැබිනි මවුවරුන්ට ද කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික මණ්ඩලය විසින් තහවුරු කිරීමෙන් පසු ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට කමිටුවක් ද පත්කරනු ලැබිණි. ඒ පිළිබඳ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මෙසේ පැවසුවාය. 

“ ගැබිනි මවුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීම ගැන පසුගිය කාලයේ බොහෝ දෙනෙක් විවිධ අදහස් පළ කළා. ඒ අනුව ගැබිනි මවුවරුන්ට කොවිඩ් -19 එන්නත් ලබාදීම සුදුසු ද යන්න සොයා බැලීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් තාක්ෂණික මණ්ඩලයක් පත් කළා. ඔවුන්ගේ නිර්දේශ අනුවයි මෙම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ. එය ආරම්භ කරන්නේ පළමුව එන්නත්කරණ වැඩසටහන් ආරම්භ කළ ආකාරයට වයිරසයේ ව්‍යාප්තිය වැඩි අවදානම් ප්‍රදේශ සලකා බලමින්.

ගැබිනි කාන්තාවන්ට එන්නත් ලබාදීමේදී සංකූලතා සහ ගැටලු ඇති මවුවරුන්ට ප්‍රමුඛත්වය ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරනවා. ඒ අනුව වයස අවුරුදු 35ට වැඩි ගැබිනි මවුවරුන්ට එන්නත්කරණයේදී ප්‍රමුඛත්වය හිමිවනවා. එහෙත් සංකූලතා තිබුණත් වයස අවුරුදු 18ට අඩු මවුවරුන්ට එන්නත්කරණය සිදු කරන්නේ නැහැ.

ගැබිනි මවුවරුන්ට වගේම කිරිදෙන මවුවරුන්ටත් කොවිඩ් එන්නත ලබාදීමට නිර්දේශ කර තිබෙනවා. එන්නත ලබාගැනීමෙන් පසු සාමාන්‍ය ආකාරයට මවුකිරි දීම සිදුකළ හැකියි. මවුකිරි ලබා දීම කිසිම අවස්ථාවකදීවත් නතර කිරීම සුදුසු නැහැ.” 

එන්නත්කරණය සිදුකළද ගැබිනි මවුවරුන් කොවිඩ් 19 ආසාදිතයකු බවට පත්නොවීම සඳහා උපරිමයෙන් ආරක්ෂා වීමේ වැදගත්කම ද විශේෂඥ වෛද්‍යවරිය විසින් අවධාරණය කළාය.

“ ගැබිනි ඔබගේත් කුස තුළ සිටින දරුවාගේ නිරෝගිමත් භාවය ඉතා වැදගත් බැවින් මේ කාලයේ සෞඛ්‍යාරක්ෂිත ක්‍රම තරයේ පිළිපැදීමත් නිසි සෞඛ්‍ය උපදෙස් සහ සේවා ලබා ගැනීමත් අත්‍යවශ්‍යයි. ගැබිනි ඔබට කොවිඩ් වැලඳුනහොත් සංකුලතා ඇතිවීමේ වැඩි අවදානමක් ඇති නිසා, අත්‍යවශ්‍ය කාරණයකට හැරුණුකොට වෙනත් කිසිම හේතුවකට නිවසෙන් පිටතට නොයන්න. සායනයට හෝ රෝහලට හෝ වැනි අත්‍යවශ්‍ය කාරණයකට නිවසින් පිටතට යෑමට සිදුවුවහොත් පහත කරුණු 5 තරයේ පිළිපදින්න.

එනම්, නිතර සබන් යොදා සෝදා දෑත් පිරිසිදුව තබා ගන්න, සෑමවිටම මුව ආවරණයක් නිවැරදිව පලඳින්න, පුද්ගල දුරස්ථභාවය නිසි ලෙස පවත්වා ගන්න, අවමංගල්‍ය උත්සව වැනි වැනි පිරිස් එක්රැස් වන ස්ථානවලට සහ වාතාශ්‍රය හොඳින් නොලැබෙන ස්ථානවලට යෑමෙන් වළකින්න.”

එමෙන්ම එන්නත ලබාගැනීමේ අපේක්ෂාවෙන් ගැබිනි කාන්තාවන් රෝහල් කරා නොඑන ලෙස ඉල්ලා සිටින අතර එන්නත ලබාගැනීමට අදාළ දිනය, ස්ථානය සහ වේලාව පණිවිඩයක් මාර්ගයෙන් මවුවරුන් වෙත ලබාදීමට කටයුතු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. 

කොවිඩ් රෝගයට දක්වන බිය හේතුවෙන් ගැබිනි මවුවරුන් නියමිත පරිදි සායනවලට සහ ප්‍රතිකාරවලට යොමුවීමෙන් වැළකී සිටින බව ද වාර්තා වන අතර ඒ ප්‍රමාදය නිසා ගැබිනි මවගේත් කුස තුළ සිටින දරුවාගේත් සෞඛ්‍යයට හානි සිදුවිය හැකියි. කොවිඩ් අවදානම වැඩි කාලයේදී සුපුරුදු පරිදි සෞඛ්‍ය සේවාවන් සැපයීමට යම් අපහසුතා තිබුණද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය අමතා එම සේවාවන් දැන් ලබාගත යුතු ආකාරය ගැන දැනුම්වත් වන්න. එමෙන්ම ගැබිනි සමයේ ඇතිවිය හැකි අවදානම් සංඥා එනම් උණ, රුධිර වහනය, තද හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතාව, පෙනීමේ අපහසුතාව, වලිප්පුව, පපුවේ/උදරයේ වේදනාව, දරුවා දැඟලීමේ අඩු බවක් , සිරුරේ ඉදිමීම හෝ වෙනත් ඕනෑම තදබල අපහසුතාවක් අවදානම් සංඥාවක් ලෙස හැඳින්විය හැකිය. මෙවැනි අවදානම් සංඥාවක් මතු වුවහොත් වහාම රෝහල වෙත යා යුතු අතර ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය ද දැනුම්වත් කරන්න. ඔබේ පවුලේ අයකු නිරෝධායනයට ලක්වෙනවා නම් හෝ කොවිඩ් රෝගියකු යැයි සැකකරන පුද්ගලයකු නිවසේ සිටිනවා නම් හෝ ඒ පිළිබඳව වහාම ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුම්වත් කරන්න. ඔබගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා හැකිතාක් එම රෝගියාගෙන් ඈත්ව සිටින්න.

යම්හෙයකින් ඔබට කොරෝනා රෝග ලක්ෂණ ඇති බවට සැකයක් ඇත්නම් වහාම ඒ පිළිබඳව ඔබගේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුම්වත් කර අවශ්‍ය ප්‍රතිකාරවලට වහාම යොමුවන්න. පවතින තත්ත්වය තුළ ඔබට යම් මානසික පීඩනයක් දැනෙනවා නම් එය මගහරවා ගැනීමට සෑමවිටම සැහැල්ලුවෙන්, නිරවුල් මනසකින් සිටින්න උත්සාහ කරන්න.

ඕනෑම වේලාවක ඔබගේ පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හෝ 1999 සුවසැරිය ගිලන් රථ සේවාවේ දුරකතන සේවාව හරහා වෛද්‍යවරයකු අමතා ඔබගේ ගැටලු පිළිබඳව කරුණු සාකච්ඡා කර අවශ්‍ය උපදෙස් ලබාගත හැකිය.

එන්නත ගැන ජනතා බලාපො‍ෙරාත්තු දැල්වෙයි

- කොළඹ නගර සීමාව තුළ එන්නත මගහැරෙන පුද්ගලයන් සඳහා අලු­‌ෙතන් එන්නත් මධ්‍යස්ථාන 5ක් 
- ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ගැන ජපානයෙන් සුබවාදී බලාපොරොත්තුවක්

කොවිඩ්-19 වසංගතය මැඬලීමේ ප්‍රධාන අවිය එන්නත්කරණය බව මේ වන විට මුළු ලෝකයම පිළිගෙන ඇති අතර ඒ පිළිබඳ ලොව පුරාම ජනතාව තුළ දැඩි උනන්දුවක් ඇතිවී තිබේ. මෙම සතිය ආරම්භයේදී ලොව පුරා කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන් තුළ කුමන හෝ එන්නත් වර්ගයකින් එක් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ලෝක ජනගහනයෙන් සියයට 11.5කි. එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇත්තේ ලෝක ජනගහනයෙන් සියයට 5.9කි. ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 මර්දන එන්නත්කරණය මේ වන විට අඛණ්ඩව සිදුවෙමින් තිබෙන අතර වසර අවසන් වීමට පෙර සමස්ත ජනගහනයෙන් සියයට 63කට කොවිඩ් මර්දන එන්නත ලබාදීම රජයේ අපේක්ෂාවයි. මේ වන විට එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන එන්නත්කරණය සම්පූර්ණ කර ඇති සංඛ්‍යාව මුළු ජනගහනයෙන් සියයට 1.6කි. කුමන හෝ එන්නත් වර්ගයකින් එක් මාත්‍රාවක් ලබාගෙන ඇති සංඛ්‍යාව සියයට 8.9කි.

මේ අතර කොවිඩ් එන්නත්කරණ වැඩසටහන සාර්ථකව සහ වේගවත්ව ඉදිරියට ගෙනයෑම සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් දැනුම්වත් කිරීමේ වැඩ සටහනක් ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂගේ මූලිකත්වයෙන් ඉකුත් 3 වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. කොළඹ නගර සීමාව තුළ එන්නත මගහැරෙන පුද්ගලයන් සඳහා අලුතින් එන්නත් මධ්‍යස්ථාන පහක් පිහිටුවීමටත් එම මධ්‍යස්ථාන රාත්‍රී 10.00 තෙක් විවෘතව තැබීමටත් එම හමුවේදී යෝජනා කර ඇත. 

එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු වරට මෙරට භාවිත කරනු ලැබුවේ ඉන්දීය රජයේ ප්‍රදානයක් ලෙස ඉකුත් ජනවාරි 28 වැනිදා මෙරටට ලැබුණු ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නතයි. එය මෙරට ජනතාවට ලබාදීම ආරම්භ වූයේ ජනවාරි 29 වැනිදා අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය හෙවත් IDH රෝහලේදීය. එසේ ලැබුණු කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 500,000 කොවිඩ් 19 පාලනය සඳහා එක්වී සිටින ඉදිරිපෙළ සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ට, ත්‍රිවිධ හමුදා සහ පොලිස් කාර්යමණ්ඩල වෙත ලබාදුන් අතර බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6කදී එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක විය.

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 පාලනය සඳහා පෙබරවාරි මස මැද සතියේ හෝ මාර්තු මස මුල් සතියේ ආරම්භ කිරීමට නියමිතව තිබූ මෙරට එන්නත්කරණ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ දැඩි කැපවීම සහ උනන්දුව මත ජනවාරි මාසයේදීම මෙරට ජනතාවට ලබාදීමට හැකියාව ලැබුණු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබද රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ සඳහන් කළාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් චීන රජය සමඟ කරන ලද සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස චීන රජයේ ප්‍රදානයක් ලෙස ලද මෙරටට සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 3.1ක් ඉකුත් 9 වැනිදා වන විට වරින් වර මෙරටට ලැබී ඇත. රජය ඇණවුම් කර ඇති තවත් එන්නත් මාත්‍රා මිලියන 02ක් මසක් ඇතුළත ලබාදීමටත් අත්‍යාවශ්‍ය වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කිරීමටත් සැලසුම්කර ඇතැයි චීන තානාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පැවසුවේ ශ්‍රී ලංකාව සහ චීනය අතර සිදුවූ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස “සයිනොවැක්” (Sinovac) එන්නත මෙරටදීම නිෂ්පාදනය කිරීමේ කටයුතු ඉදිරි දෙමස ඇතුළත ආරම්භ කිරීම රජයේ අපේක්ෂාව බවයි.

මේ අනුව දෙවැනි මාත්‍රාව ලබාදීම සඳහා ඇස්ට්‍රාසෙනිකා කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා ගැනිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් පසුගියදා ජපාන අග්‍රාමාත්‍යවරයාගෙන් සිදුකළ ඉල්ලීමට යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. කොවිඩ් මර්දන වෛද්‍ය හා සෞඛ්‍ය ආරක්ෂක උපකරණ ලබාගැනීමට ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ඉල්ලීමට ද ජපාන රජයේ එකඟතාව පළ වී ඇතැයි වාර්තා විය.

කොවිඩ් 19 මඬින්න රජයෙන් රුපියල් කෝටි 25,900ක්

කොවිඩ් 19 වසංගතය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන ඇති ක්‍රියාමාර්ග සහ ඊට අදාළ රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතාබහක් ඇති වී ඇත. මේ පිළිබඳව මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් විසින් ඉකුත් 18 වැනිදා පාර්ලිමේන්තුවේදී සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සිදු කළේය.

කොවිඩ් වසංගතය මැඬලීම සහ ඒ ආශ්‍රිත කටයුතු සඳහා රජය විසින් ඍජුවම සිදු කර ඇති වියදම් සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා පැවසුවේ 2020 වසරේදී ඒ වෙනුවෙන් වියදම් කර ඇති මුදල රුපියල් කෝටි 9,610ක් බවයි.

කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා මේ වසර වෙනුවෙන් රුපියල් බිලියන 170ක් රජය විසින් වෙන්කර ඇති අතර, එයින් සියයට 25ක් එනම්, රුපියල් කෝටි 4,190ක් 2021 වසරේ මැයි මස දක්වා කාලය තුළ වියදම් කර ඇත. කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම,ප්‍රතිකාර මධ්‍යස්ථානවලට පහසුකම් සැලසීම සහ එන්නත් ගෙන්වීම සහ එන්නත්කරණ වැඩසටහන් සඳහා පමණක් එම මුදල් වැයකර ඇති අතර ඊට අමතරව අඩු ආදායම්ලාභීන්ට පන්දහසේ දීමනාව ලබාදීම සඳහා වැයකර ඇති මුදල් මීට ඇතුළත් නොවේ.

ඡායාරූප- විමල් කරුණාතිලක, රුක්මල් ගමගේ සහ සමන් ශ්‍රී වෙදගේ

Comments