
ලංකාවේ මාර්ග තදබදයට විසඳුමක් ලෙසින් අධිවේගී මාර්ග ඉදිකිරීමට යෝජනා වූයේ දශක හතරකට පමණ පෙරය. එහෙත් වරෙක මතුවෙමින් වරෙක යට යමින් කරළියට ආ අධිවේගී මාර්ග සංකල්පයට මූලාරම්භය වැටුණේ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට පදනම වැටීමත් සමඟිනි. එහෙත් කිලෝමීටර් 25.3ක දිගකින් යුක්ත වූ එම මාර්ගයේ වැඩ අතරමඟ ඇණහිටියේය. ඒ අතර දක්ෂිණ අධිවේගී මාර්ගය මෙරට ප්‍රථම අධිවේගී මාර්ගය ලෙසින් ජනතා අයිතියට පැවරුණි.
එයින් පසුව කොළඹ පිටත වටරවුම් මාර්ගයේද වැඩ ආරම්භ වූ අතර එයද අදියර තුනක් යටතේ වැඩ කටයුතු නිම වූ අතර ඊට පෙර කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේද වැඩ අරඹා ජනතා අයිතියට පැවරුණි. මේ අධිවේගී මාර්ග ත්‍රිත්වයම දැන් එකට සම්බන්ධ වී ඇත. එහෙත් තවමත් කොළඹ නාගරික තදබදයට සැලකිය යුතු විසඳුමක් ලැබී නැත. එමෙන්ම අධිවේගී මාර්ගයේ මාතර හම්බන්තොට ඇතුළු දකුණේ ප්‍රදේශවල සිට පැමණි කොට්ටාව හෝ කඩුවෙල පිවිසුමෙන් පිටව අධිවේගී පිවිසුමේ සිට කොළඹට පැමිණීමට ගතවන කාලය මාතර සිට පැමිණීමට ගත වූ කාලයට සමානය.
එය සංවර්ධනය වන රටක් ලෙස අපිට අතිවිශාල මූල්‍ය මෙන්ම මිනිස් ශ්‍රම හානියකි. ඒ තත්ත්වයට වහාම විසඳුම් සෙවිය යුතු බව ප්‍රවාහන විශේෂඥයෝ නිරතුරුවම පැවසූහ. ඒ අනුව කැලණි ගඟ මතින් නව පාලමක් මංතීරු 6කින් යුක්තව ඉදි කිරීමටත් නව කැලණි පාලමේ සිට වරාය පිවිසුම මාර්ගයට ඉහළින් කුලුනු මතින් නව අධිවේගී මාර්ගයක් ද එම පාලමේ අවසානයේ සිට ඉදි කිරීමටත් සැලසුම් කෙරිණි.
ඊට අමතරව තවත් ගුවන් මාර්ගයක් අදියර දෙකක් යටතේ නව කැලණි පාලම හා සම්බන්ධව රාජගිරිය දක්වාත්, රාජගිරියේ සිට අතුරුගිරිය දක්වාත් ඉදි කිරීමට යෝජනා වුණි.
එම යෝජනාවේ පළමු අදියර වන නව කැලණි පාලම හා වරාය පිවිසුම් මාර්ගය හරහා ඉදි වන අධිවේගී මාර්ගයේ වැඩ මේ වන විටත් අරඹා තිබේ.
එම ව්‍යාපෘතියේ වැදගත්ම මාර්ගය වන නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන ගුවන් මාර්ගය හෙවත් කුලුනු මත දිවෙන මාර්ගයේ වැඩ කටයුතු පසුගිය 7 වැනිදා අගමැති මහින්ද රාජපක්ෂයන් විසින් ආරම්භ කරන ලදී. ඒ අරලිය ගහ මැදුරේ සිට මාර්ගගත තාක්ෂණය ඔස්සේය.
එම අවස්ථාවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසාගේ සහභාගිත්වයෙනි.
ඒ සමඟම තවත් විශේෂී වූ කටයුත්තකටද මෙහිදී ආරම්භය වැටුණි.
ඒ කොළඹ හා අවට අධික රථවාහන තදබදය හා දැනට අධික රථවාහන තදබදයක් ඇති මහනුවර තදබදයට යම් හෝ විසඳුමක් ලබා දෙන්නට ගැටඹේ නව ගුවන් පාලමක්ද වශයෙන් ගුවන් පාලම් 5ක වැඩ කටයුතු ආරම්භ කිරීමයි.
නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා වන කුලුනු මත දිවෙන අධිවේගීමාර්ගයේ දුර කිලෝමීර් 17.3ක් වන අතර එය මංතීරු 4කින් යුත් අධිවේගී මාර්ගයකි. පළල මීටර් 24.5ක් වන අතර පැයට කිලෝමීර් 100ක උපරිම වේගයකින් එම මාර්ගයේ ගමන් කළ හැකිය. මෙම මාර්ගය කුලුනු මත ඉදිවන හෙයින් ආපදා අවස්ථාවදී රථ වාහන ගාල් කිරීමට මාර්ගයේ ඉඩකඩ වෙන් කිරීමේදී ලබා දෙන්නට හැකිව ඇත්තේ ඉතා සීමිත ස්ථාන කිහිපයක් පමණි. මාර්ගය සඳහා වන සමස්ත වියදම බිලියන 134.9ක් වන අතර එය විදෙස් සහායෙන් ලබා ගැන්මට රජය තීරණය කර ඇත. ඒ අනුව එම මාර්ගය ඉදි කර එහි ආදායම පළමු වසර 15දී අදාළ ඉදි කිරීම් කරනු ලබන චයිනා හාබර් ඉංජිනියරින් සමාගම විසින් ලබා ගනු ඇත.
මාර්ගයට අන්තර් හුවමාරු ලෙස රාජගිරිය, කොස්වත්ත, හෝකන්දර පිවිසුම් ස්ථාපිත. කෙරේ. ඊට අමතරව බේස්ලයින් මාර්ගයට පිවිසීමට දෙමටගොඩ පිවිසුමක්ද ස්ථාපිත කෙරේ.
නව මාර්ගය ඉදි කිරීමේදී පවුල් 1,106ක් වෙනුවෙන් විකල්ප ස්ථාන ලබාදීමට මේ වන විටත් මහාමාර්ග අමාත්‍යාංශය විසින් පියවර ගනිමින් සිටී. එම ජනතාවට දූ දරුවන්ගේ දැනට අධ්‍යාපනය ලබන පාසල් වෙනුවට ජාතික පාසල් හෝ ඉහළ මට්ටමේ ශ්‍රේණිගත පාසල් ලබාදීමත් ස්වයං රැකියා කරන්නන්හට වඩාත් ඵලදායි ස්ථාන ලබා දෙන්නටත් අදාළ පියවර ගෙන තිබේ.
ඒ අනුව අවම ජනතා ගැටලු මෙන්ම පරිසර ගැටලු සහිතම මේ මාර්ගය ඉදි කෙරේ.
මාර්ගය ඉදිකිරීමෙන් පසුව විනාඩි 11ත් 14ත් අතර කාලයකදී නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා ගමන් කළ හැකිය. අතුරුගිරියේදී මේ නව අධිවේගී මාර්ගය කොළඹ පිටත වටරවුම් මාර්ගය හා සම්බන්ධ වන අතර එතැන් සිට එම මාර්ගයෙන් කොළඹ කටුනායක අධිවේගී මාර්ගයට හෝ දක්ෂිණ අධිවේගී මාර්ගයට හෝ සම්බන්ධ වී ගමන් කළ හැකිය. ඒ උදෙසා අතුරුගිරියේ නව පිවිසුමක්ද ස්ථාපිත කෙරෙනු ඇත. ඒ දකුණේ සිට පැමිණෙන වාහනවලට අතුරුගිරියෙන් පිට වී නව අධිවේගයෙන් ඔරුගොඩවත්තට (නව කැලණි පාලම අසලට) හෝ දෙමටගොඩට පැමිණ විනාඩි පාලම ගමනාන්තයට ළඟාවිය හැකිය.
එසේ නැත්නම් නව කැලණි පාලම අසලදී වරාය පිවිසුම් අධිවේගී මාර්ගය හරහා කොළඹ නගරයටම ළඟා විය හැකිය.
ඒ අනුව සලකා බැලුවහොත් විනාඩි 18ක් වැනි කාලයකදී අතුරුගිරියේ සිට කොළඹ නගරයට (ගාලු මුවදොර, පිටකොටුව, කොටුව) ළඟා විය හැකිය.මේ දක්වා අතුරුගිරියේ සිට සාමාන්‍ය වාහනයකට එම දුර ගෙවීමට පැය එකහමාරක පමණ කාලයක් ගත වේ.
එයින් රථවාහනවලට සැලසෙන අතිවිශාල පහසුව මෙන්ම රටට ඉතිරිවන මූල්‍ය ප්‍රමාණයද අතිමහත්ය. එසේම යෝජිත නව ගුවන් පාලම් 5න් විශේෂිත පාලමක් වන්නේ පේරාදෙණියේ ස්ථාපිත කෙරෙන ගැටඹේ ගුවන් පාලමයි. විශේෂයෙන්ම මහනුවර, කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්ක ත්‍රිත්වය යාකෙරෙන ගැටඹේ මංසන්ධිය හරහා දිනකට සාමාන්‍ය ලෙසින් වාහන 49,363ක් ධාවනය වන බවට ගණන් බලා ඇත. එමෙන්ම විළියම් ගොපල්ලව දුම්රිය හරස් මාර්ගයයේදී කාර්ය බහුල පැය 12ක කාලයක් තුළදී දුම්රිය 31ක් ගමන් කරන අතර ඒ වෙනුවෙන් දිනකට විනාඩි 61ක් දුම්රිය ගේට්ටුව වසා තබන බව හෙළිව තිබේ. එමනිසා වාහනවලට අමතර පැයක් හා විනාඩි 35ක කාලයක් වැය කරන්නට සිදු වේ. එයින් මඟී පැය 225ක් දිනකට අපතේ යන බව හෙළිව තිබේ.
එම නිසා දිගින් මීටර් 374ක් වන ගුවන් පාලමක් එහි ඉදි කිරීමේ කටයුතුද මේ සමඟම ආරමභ කෙරිණි. එම ගුවන් පාලමේ එක් කොටසක් මංතීරු දෙකක් හා අනෙක් කොටස මංතිරු 3ක් ලෙසින් ඉදි කෙරේ. ඒ සඳහා වැය කෙරෙන රුපියල් මිලියන 7,734කි. ඒ සඳහා මූල්‍ය ප්‍රතිපාදන හංගේරියානු රජයෙන් සැපයේ. පාලම ඉඳි කිරීමෙන් පසුව වාර්ෂිකව රුපියල් මිලියන 708ක් ඉතිරි කර ගැන්මට හැකියාව තිබෙන අතර පාලම මාස 28ක් තුළ ඉදි කර අවසන් කරනු ඇති බව මාර්ග සංවර්ධන අධිකාරියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ ආර්.එම්. ජේ. එන්. රත්නායක සිළුමිණට අනාවරණය කෙළේය.
එමෙන්ම කොළඹ නගර සීමාවෙන් පිටත ඉදිවන අනෙක් වැදගත්ම ගුවන් පාලම වන්නේ කොහුවල ගුවන් පාලමයි.
විශේෂයෙන්ම නුගේගොඩ සිට කොහුවල මංසන්ධියට දිනකට වාහන 39,000ක් පමණද කළුබෝවිල සිට කොහුවල දෙසට වාහන 25,000ක් පමණද ගමන් කරයි. එසේම කොළඹ සිට වාහන 53,000ක් ගමන් කරන අතර පිළියන්දළ පැත්තේ සිට දිනකට වාහන 43,000ක් පමණ පැමිණේ. කාර්ය බහුල උදෑසන පැයක කාලයකදී දිනකට වාහන 6,400ක් ගමන් ගන්නා බව හෙළිව තිබේ.
එමෙන්ම කාර්ය බහුල වේලාවන්හිදී වාහනයක වේගය පැයට කිලෝමීටර් 7ත් 12ත් අතර බව සොයා ගෙන තිබේ. කාර්ය බහුල නොවන වේලාවන්හිදී වුවද එම වේගය පැයට කිලෝමීටර් 14ත් 25ත් අතර අගයක් ගන්නා බව හෙළිව තිබේ. එසේම පදිකයන්ද 11,000ක් පමණ මංසන්ධිය හරහා ගමන් කරන බව හෙළිව තිබේ.
මේ පාලම ඉදි කිරීම නිසා වසරකට රුපියල් මිලියන 1,300ක් ඉතිරි වන බවද හෙළිව තිබේ.
මංතීරු 2කින් යුත් පාලමේ දිග මීටර් 294 ක් වන අතර පළල මීවර් 9.4කි. ඒ වෙනුවෙන් සේවා මාර්ග 4ක් ද ඉදි කෙරෙන අතර හංගේරියානු රජය මේ සඳහා දායකත්වය සපයයිත මාස 22ක් තුළ එම ගුවන් පාලමේ වැඩ කටයුතු අවසන් කෙරෙනු ඇත. මීට අමතරව කොළඹ නගරයට සමීපව කොම්පඤ්ඤවීදියට නුදුරින් නව ගුවන් පාලම් 3ක් ඉදි කිරිමේ සමාරම්භයද එදින සිදු කෙරිණි.
ඒ අනුව කොම්පඤ්ඤවීදියේ උත්තරානන්ද මාවත, විනිසුරු අක්බාර් මාවත හා බාලදක්ෂ මාවතේ නව ගුවන් පාලම් 3ක් ඉදි කෙරේ.
කොම්පඤ්ඤවීදිය අවට දැනට ඇති සාමාන්‍ය හා ඉදිරියේදී ඇති විය හැකි දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගෙන ඉදි කෙරේ. විශේෂයෙන්ම පෝර්ටි සිටි ඉදි කිරීමෙන් පසු නගරයේ ඇතිවීමට ඉඩ තිබෙන රථවාහන තදබදයට මේ පාලම් ඔස්සේ විශේෂ සහායක් ලැබෙනු ඇත.
එක් ගුවන් පාලමක් විනිසුරු අක්බාර් මාවත හරහාද අනෙක උත්තරාන්ද මාවත හරහාද ඉතිරි පාලම බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ද ඉදි කෙරේ.
විශේෂයෙන්ම විනිසුරු අක්බාර් මාවතේ කොම්පඤ්ඤවීදිය දුම්රිය ස්ථානය අසල හා හා උත්තරානන්ද මාවතේ දුම්රිය ගේට්ටු දිනකට පැය 3කට අධික කාලයක් වසා තබන්නට සිදු වන බවත් දිනකට අවස්ථා 84කදී දුම්රිය ගේට්ටුව වැසෙන බවත් හෙළිව තිබේ.
එම නිසා වාර්ෂිකව රටට රුපියල් මිලියන 150ක් අහිමි වන බව ද හෙළිව තිබේ. එමෙන්ම බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත යා කරමින් ඉදි කෙරෙන නව පාලම නිසාද නගරයේ කිලෝමීටරයක දුරින් ඇති ස්ථානයකට ගමන් කිරීමට කිලෝමීටර් 4ක් පමණ දුර ගෙවා යන්නට සිදුවීම වැළකීම නිසා විශාල මුදලක් ඉතිරි වන බව සමීක්ෂණවලදී හෙළිව තිබේ. වසරක් තුළදී මේ ගුවන් පාලම් 3හි වැඩ අවසන් කෙරෙන අතර ඒ සඳහා දේශීය අරමුදල් හා දේශීය තාක්ෂණය යොදා ගැනෙනු ඇත.