
ඓතිහාසික මිහින්තලේ රාජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේගේ 50 වැනි ජන්ම දිනය ජූනි 14 වැනිදාට යෙදී තිබේ
මේ පොසොන් මාසයයි. මේ මාසයේ බෞද්ධ ජනතාවගේ මතකයට නිතැතින් ම නැඟෙන්නේ මිහින්තලාව පිළිබඳවයි. මිහින්තලා පුණ්‍යභූමියේ මෑත කාලීන ප්‍රබෝධය ගැන සලකා බලන විට ඒ සඳහා එහි වත්මන් විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමින් වහන්සේගෙන් සිදුවූ සුවිශාල ශාසනික සේවාව අමතක කළ නොහැකිය.
මිහින්තලා රාජමහා විහාරස්ථානයේ වර්තමාන සංවර්ධනයේ මූලික නායකත්වය දරන උන්වහන්සේ රජරට ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ආගමික, සාමාජික, සංස්කෘතික හා අධ්‍යාපනික සේවාවන් රැසකට නායකත්වය ලබාදෙති.
1971 ජූනි 14 වැනිදා අනුරාධපුරයේ රැඹෑව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වළවාහැංගුණවැවේ දී උපත ලැබූ උන්වහන්සේ පැවිදි දිවියට පිවිසුණේ 1987 දී ය. ඉන්පසු 1991 දී මිහින්තලා රාජමහා විහාරස්ථානයේ විහාරාධිකාරී ධූරයට පත්විය.
ඉන්පසු එකල විහාරාධිපති ධූරය දැරූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනජෝති නා හිමිපාණන්ගේ අනුශාසනා පරිදි මිහින්තල රජමහා විහාරස්ථානයේ සිදු කෙරෙන ආගමික, ශාසනික කටයුතු සඳහා ඇප කැපවී කටයුතු කළහ. 2012 වසරේ දී උන්වහන්සේ මිහින්තලේ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති හා භාරකාර ධූරයට පත්වූහ. එතැන් සිට ලක්දිවට බුදුදහම පැතිරූ මිහින්තලා පුදබිමට කළ යුතු ගෞරවය හා එය රැක ගැනීමට ගත හැකි උපරිම පියවර ගැනීමට ශාසන හිතකාමී ධම්මරතන නාහිමියෝ ඇප කැප වූහ.
2018 දී අනුබුදු මිහිඳු මාහිමි පරිනිර්වාණ සැමරුම් රාජ්‍ය පුණ්‍ය මහෝත්සවය මෙරට ප්‍රථම වරට මිහින්තලයේ දී ආරම්භ කරන්නට උන්වහන්සේ පෙරමුණ ගත්හ. ඊටපසු 2019 දී ද එම පුණ්‍ය මහෝත්සවය පැවැත්වූ අතර එම වසරේදී ම මිහින්තලා පුදබිම හා පොසොන් දිනය ජාතික උරුමයක් බවට පත්කිරීම සිදු කෙරිණි. මිහින්තලා පොසොන් පෙරහර උත්සවත්ශ්‍රීයෙන් පැවැත්වීම මේ වසරේ සිට සිදුවූයේ ධම්මරතන හිමියන්ගේ අනුශාසනා පරිදි ය.
2020 දී පැවැත්වුණු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා 2280 වන සංවත්සරය නිමිති කරගනිමින් ඓතිහාසික මිහින්තලා රාජමහා විහාරස්ථාන පුදබිම කේන්ද්‍ර කරගෙන විශේෂ පුණ්‍යෝත්සවයක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. වළවාහැංගුණවැවේ ධම්මරතන හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වුණු එම පින්කමේ දී මිහිඳු මහ සෑය එහි පෞරාණිකත්වය ආරක්ෂා වන පරිදි ප්‍රතිසංස්කරණය ආරම්භ කිරීමත් මිහින්තලා ධර්මශාලා මන්දිරයේ නව සංවර්ධන කටයුතු ආරම්භ කිරීමත් සිදු විය. එම ධර්මශාලාව දකුණු ආසියාවේ විශාලම ධර්මශාලාව ලෙසට ඉදිකිරීමට කටයුතු කෙරිණි. එහි 5000 කට පමණ ධර්මය ශ්‍රවණය කළ හැකි ය. මෙවැනි ජාතික ආගමික කටයුතු මඟින් පොසොන් පසළොස්වක දින මිහින්තලාවට වැඩම කළ මිහිඳු මහ රහතන් වහන්සේගෙන් ආගමට, දහමට, ජාතියට සිදුවූ මහා මෙහෙවර සැමරීමට කටයුතු කෙරිණි. ඒ වෙනුවෙන් පසුගිය වසරේ දී මිහිඳු මහ රහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් තැන්පත් ශෛලමය කරඬුව තැන්පත් කර ඇති ධාතු මන්දිරය ප්‍රතිසංස්කරණ කිරීම ආරම්භ විය.
උන් වහන්සේ මිහින්තලා රාජමහා විහාරස්ථානයේ දහම් පාසලක් ඇරඹීමට හා අෂ්ඨඵල බෝධීන් වහන්සේ සංරක්ෂණය කිරීමට කටයුතු කළ අතර විහාරස්ථාන පරිශ්‍රයේ පිහිටි චෛත්‍ය හා පුරාවිද්‍යාත්මක ස්ථාන සුරැකීමට හා සංරක්ෂණය කිරීමට පියවර ගත්හ.
මෙවන් ජාතික ආගමික කටයුතුවල නිරත වන වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමියන්ගේ ඉදිරි අපේක්ෂා වන්නේ ද මිහින්තලේ රජමහා විහාරස්ථානය මෙරට බෞද්ධයන්ගේ මුඳුන් මල්කඩ වන් පින්බර පුණ්‍ය මධ්‍යස්ථානයක් බවට පත් කිරීමයි. කවදත් මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට නොමඳව අනුශාසනා කරමින් කටයුතු කරන උන්වහන්සේ හා ලේක්හවුස් ආයතනය අතරත් ඇත්තේ නොබිඳිය හැකි අන්‍යොන්‍ය සම්බන්ධයකි. ලේක්හවුස් ආයතනයේ ආගමික කටයුතුවලට ද නිරන්තරයෙන් එක්වන ධම්මරතන නාහිමියෝ ‘බුදුසරණ’ පුවත්පත සඳහා ද ලිපි සපයමින් කටයුතු කරන්නේ මෙරට බෞද්ධ ජනතාව බුදු දහම කෙරෙහි තවදුරටත් යොමු කරවීමේ පරම අභිලාෂයෙනි.
මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවටම බුදුදහම පැතිරූ මිහින්තලා පුණ්‍යභූමියත්, ලොව ප්‍රථම අභයභූමිය වූ මිහින්තලා ප්‍රදේශයත් සුරැකීමට නිරන්තරයෙන් නායකත්වය දෙන, අනුශාසනා කරන, ඇප කැප වන, ජූනි 14 වැනිදාට 50 වැනි ජන්ම දිනය සමරන මිහින්තලේ රජමහා විහාරාධිපති හා භාරකාර ආචාර්ය වළවාහැංගුණවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේට සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් තව තවත් ඇප කැප වන්නට, නිරෝගීව සිය මෙහෙවර ඉටු කරන්නට ශක්තිය, ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු.