සයිබර් ඇටෑක් ගැන රජීව් කියූ බොරු අතේ පත්තු වෙයි | Page 3 | සිළුමිණ

සයිබර් ඇටෑක් ගැන රජීව් කියූ බොරු අතේ පත්තු වෙයි

රජීව් යසිරු අධිකරණ භූමියේදී

කුත් කාලයේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය (ITSSL) ලිපි ශීර්ෂය යටතේ එහි සභාපති යැයි සඳහන්වූ රජිව් යසිරු කුරුවිටගේ මැතිව් නමැත්තෙක් නිවේදන නිකුත් කෙරිණි. ඒ, සමාජ මාධ්‍යයන්හි සිදුවීම් ඇතුළු තොරතුරු තාක්ෂණය පිළිබඳවයි. එම නිවේදන ඔහු විසින් සමාජ මාධ්‍යයට, මාධ්‍ය ආයතනවලට මෙන්ම මාධ්‍යවේදීන්ටද ඔහු විසින් නිකුත් කෙරිණි.

පසුගිය මාසයේ සිට නිකුත් කළ එම නිවේදන තුළින් රාජ්‍ය ආයතන කිහිපයකට මෙන්ම චීන තානාපති කාර්යාලයටත් සයිබර් ප්‍රහාර එල්ල වීමේ අවදානම් පිළිබඳව දන්වා තිබිණි.

එමෙන්ම අගමැති මහින්ද රාජපක්ෂයන්ගේ නිල වෙබ් අඩවිය පිළිබඳවත් ඔහු විසින් නිකුත් කළ නිවේදනවල සඳහන් විණි. ඒ, එම වෙබ් අඩවියටද එවැනි ප්‍රහාර එල්ල වීමක් පිළිබඳවයි.

ඒ අතර පසුගිය 4 වැනිදා ජනාධිපති කාර්යාලය, විදේශ අමාත්‍යාංශය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, ශ්‍රී ලංකාවේ මිනින්දෝරු දෙපාර්තමේන්තුව, පවුල් සෞඛ්‍ය කාර්යාංශය, වයඹ පළාත් කළමනාකරණ සංවර්ධන හා පුහුණු ඒකකය යන රාජ්‍ය ආයතනවල වෙබ් අඩවි දැවැන්ත සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බව සඳහන් කරමින් ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ ශීර්ෂයෙන් රජිව් යසිරු නිවේදනයක් නිකුත් කළේය.

ජනාධිපති කාර්යාලයේ ලිපි ශීර්ෂයද යොදා ගනිමින් නිකුත් කළ ඒ නිවේදනයේ රාජ්‍ය වෙබ් අඩවි ඉලක්ක කරගෙන මෙවැනි සයිබර් ප්‍රහාර එල්ල විය හැකි බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය පෙන්වා දුන්නත් ඒ සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු නොවීම මත මේ තත්ත්වය උදාවී ඇති බව ද සඳහන් විය.

ඒ අනුව එම නිවේදනය පිළිබඳව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) පරිගණක අපරාධ විමර්ශන අංශය විමර්ශනයක් ආරම්භ කෙරිණි. ඒ අතර ඔහු විසින් නිකුත් කළ නිවේදනවලට අදාළව පසුගිය දිනෙක රජිව් යසිරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රකාශයක්ද ලබාගෙන තිබුණේය.

වැඩිදුරටත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කළ විමර්ශනවලදී හෙළිව තිබුණේ පසුගිය 4 වැනිදා ජනාධිපති කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතනවලට එල්ල කළ බව සඳහන් කරමින් රජිව් යසිරු නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන්ම අසත්‍ය පුවතක් බවටයි. ඒ අනුව පසුගිය 7 වැනිදා සවස් යාමයේ ඔහුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනිණි.

ඒ, රාජ්‍ය වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාරයක් එල්ල වීම යනුවෙන් සඳහන් කිරීම තුළින් එකී වෙබ් අඩවි පරිශිලකයන් දැඩි අපහසුතාවට පත්වීම නිසාවෙනි. එසේම එම වෙබ් අඩවිවලට ඇතුළු වී වැරැදි දත්ත ඇතුළත් කර ඇති බවට පැතිර යන අසත්‍ය තොරතුරු නිසාවෙන් ඒ වෙබ් අඩවි සමඟ ගනුදෙනු කළ පුද්ගලයන් එය නවතා දමා ඇති බව අනාවරණය වූ නිසාවෙන් හෙතෙම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පැවැසීය.

රජිව් යසිරු නමැති සැකකරුවා විසින් සිදුකර ඇතැයි හෙළිවන වරද, පරිගණක අපරාධ පනතේ අදාළ ප්‍රතිපාදන යටතේ මෙන්ම පොලිස් ආඥා පනතේ 98 වැනි වගන්තිය යටතේත් ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 120 යටතේත් වරදක් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වී තිබුණේ ඔහුට තොරතුරු තාක්ෂණය පිළිබඳව කිසිදු වෘත්තිය සුදුසුකමක් නැති බවයි.

එහෙත් ඔහු පෙනී සිට තිබුණේ තොරතුරු තාක්ෂණ උපදේශකවරයකු ලෙසිනි. තවද එම සංගමයද මෙරට තුළ ලියාපදිංචි වී නැති බවත් එය ඔහු විසින් තනිවම පවත්වාගෙන යන්නක් බවත් අනාවරණය වී ඇත.

එලෙස රජයේ ආයතනයක් නොවන කිසිදු පෞද්ගලික ආයතනයකට ශ්‍රී ලංකා නාමය භාවිත කළ නොහැකි බවද සැකකරු දැන නොසිටි බවත් හෙළි වේ.

පසුගිය 8 වැනිදා රජිව් යසිරු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩිදුර විභාගය සඳහා සැකකරුව පසුදා එනම් 09 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් රිමාන්ඩ් බන්ධනාගාර ගත කළාය. 09 වැනිදා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල වෙත ඉදිරිපත් කළ රජිව් යසිරු රුපියල් ලක්ෂයක පුද්ගලික ඇපයක් මත මුදා හරින ලෙස නියෝග කෙරුණේ නඩු විභාගය ජූලි 01 වැනිදා දක්වා කල් තබමිනි. 

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් භාෂණයේ නිදහස උපරීම ලෙස ලබා ගනිමින් අසත්‍ය සහ මහජනයා නොමඟ යවන සුලු ප්‍රකාශ පළ කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන්නේය. තවද මහේස්ත්‍රාත්වරයා විසින් රජයේ සහ රාජ්‍ය ආයතනවල කටයුතු අකර්මණ්‍ය වන ආකාරයෙන් ක්‍රියා කිරීමට හැකියාවක් නැති බවත් පෙන්වා දුන් අතර ඉදිරියටත් සැකකරු එවැනි ආකාරයෙන් කටයුතු කළහොත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ප්‍රකාශ කරමින් දැඩි අවවාද මත ඔහුට ඇප නියම කෙරිණි.

රජිව් යසිරු නුගේගොඩ, උඩහමුල්ලෙ අයෙකි. 1998 උපන් හෙතෙම පෞද්ගලික විශ්වවිද්‍යාලයක ඉගෙනුම ලබන අයෙකි. ඔහු තවත් කිහිප දෙනෙක් සමඟ එක්ව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය නමැති ලියාපදිංචි අංකයක් හෝ ලිපිනයක් නොමැති සංවිධානය අටවාගෙන ඇත්තෙ 2019 වසරේයි. ඒ නුගේගොඩ ප්‍රදේශය මුල්කරගෙනයි.

මීට පෙර 2020 වසරේදීද මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක ඒටීඑම් ජාලය පිළිබඳව නිකුත් කළ ආන්දෝලනාත්මක නිවේදනයක් නිසා රජිව් යසිරු ගැන දැඩි සේ කතාබහක් ඇති වූයේය. රජිව් යසිරු විසින් පසුගිය කාලයේ රාජ්‍ය ආයතන කිහිපයකම වෙබ් අඩවිවලට සයිබර් ප්‍රහාර එල්ල වීම පිළිබඳ කළ නිවේදන පිළිබඳව මෙරට සයිබර් ආරක්ෂණ විශේෂඥයන් සඳහන් කරන්නෙ එවැනි ප්‍රහාරයන් සිදුව නැති බවයි. සිදුව ඇත්තෙ වෙබ් අඩවිවල කිසියම් තාක්ෂණික දෝෂයක් පමණක් බවත් එහෙත් එම වෙබ් අඩවිවල තොරතුරුවල කිසිදු වෙනසක් සිදුව නොමැති බවත් ඔවුහු සඳහන් කරති.

කෙසේ හෝ මෙරට සමාජ මාධ්‍ය ඇතුළු තොරතුරු තාක්ෂණයේ ගැටලුකාරී තත්ත්වයන් මෙන්ම ඉදිරියේ විය හැකි අනතුරු පිළිබඳව රටේ ජනතාව දැනුවත් කිරීමට ඒ පිළිබඳ හසළ දැනුමැති අයවලුන් පෙරට ඒමක් සිදුවිය යුතුමය. නැතිනම් සිදුවන්නෙ තවත් මෙවැනිම පුද්ගලයන්ගේ පෙරට ඒමයි. එය වළකාලීම වගකිව යුත්තන්ගේ වගකීම බව නැවත පසක් කරමු.

Comments