ඉන්ධන මිල වැඩි කිරීම අනාගතය ගැන සිතා ගත් තීරණයක් | සිළුමිණ

ඉන්ධන මිල වැඩි කිරීම අනාගතය ගැන සිතා ගත් තීරණයක්

මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය රජය ගත් ඉතාම අමාරු තීරණයක් බවත්, එය එසේ නොගත්තා නම් ඉදිරියේ දී ඊටත් වඩා බරපතළ තත්ත්වයකට රටේ මුළු ආර්ථිකයටම මුහුණ දීමට සිදු වනු ඇති බවත් මුදල් හා ප්‍රාග්ධන වෙළෙඳපොළ, ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමැති අජිත් නිවාඩ් කබ්රාල් ප්‍රකාශ කරයි. ඒ නිසා වගකිව යුතු රජයක් ලෙස ඉදිරියේ ඇති විය හැකි බරපතළ තත්ත්ව සමනය කිරීමේ දුරදැක්ම අනුව මේ ඉතා අමාරු තීරණය ගත් බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කරයි.

මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීම, ඊට බලපෑ හේතු, මැති ඇමතිවරුන්ට සැප වාහන ගෙන්වීමේ තීරණය, කොවිඩ් උවදුරින් රටේ ආර්ථිකයට එල්ල වන බරපතළ පීඩා සමනය කර ගන්නේ කෙසේදැයි පැහැදිලි කරමින් සිළුමිණ සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පෙන්වා දුන්නේය.

කොවිඩ් තුන්වැනි රැල්ල ඉහළම තැනට ඇවිත්. රටපුරා සංචරණ සීමා පනවලා. ජනතාව ආර්ථික හා ජීවනෝපාය මාර්ග ඇණහිටි තත්ත්වයක ලොකු පීඩාවක ඉන්නේ. එවන් මොහොතක මේ වාගේ අවස්ථාවක ඇයි තෙල් මිල වැඩි කළේ?

මේ මොහොත තෙල් මිල වැඩි කරන්න සුදුසු වේලාවක්, ගැළපෙන අවස්ථාවක් නොවන බව ඔබත් මාත් පිළිගන්න කරුණක්. නමුත්! මේ වන විට රටේ ආර්ථිකයේ ඇති වී තිබෙන අමාරුකම මැද තෙල් මිල වැඩි නොකර ඉන්න වගකිව යුතු රජයක් ලෙස අපට බෑ. ඒ නිසා අමාරුයි තමයි, එහෙත් මේ දේ අද නොකළා නම් හෙට දවසේ තවත් මීට වඩා බරපතළ තත්ත්වයකට රටේ ආර්ථිකයට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා දුර දැක්මක් තියෙන රජයක් ලෙසයි අපි මේ අමාරු තීරණය ගත්තේ.

මේ තීරණයත් සමඟ රජයට විරෝධතා, විවේචන එල්ල වෙනවා. ඒවා ගැන ඔබලාගේ තැකීමක් නැද්ද?

ඇයි නැත්තේ? අපි අනිවාර්යෙන්ම ජනතාවට වගකියන රජයක් ලෙස ඒවාට සවන් දෙනවා. නමුත් මේ මොහොතේ නම් ඒවාට සවන් දී සිටිනවාටත් වඩා ඉදිරියේ දී එවැනි විරෝධතා ඇති නොවීමේ සුබ නිමිත්ත දෙස බලමිනුයි අපි මේ අමාරු තීරණය ගත්තේ.

මේ ආකාරයට රජය ගත් තීරණය ගැන ආණ්ඩුව ඇතුළේම විරෝධතා මතුවී තිබෙනවා. ඒවා අද වන විට සමාජය ඉදිරියේ දක්නට ලැබෙනවා. එය ආණ්ඩුවට එතරම් හොඳ නෑ නේද?

නැහැ, ඔබ දකින ලෙස නොවෙයි මා එය දකින්නේ. ඒ ආණ්ඩුව ඇතුළේම ආණ්ඩුව ගත් අමාරු තීරණය ගැන විවිධ මත, වාද විවාද ඇතිවීම තමයි වඩාත් හොඳ. ඇත්තටම, මේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගත්තේ රජයක් ලෙස අපත් ඉතා කැමැත්තෙන් නොවෙයි. මේ තීරණය ගන්න අතරේ අපි විවිධ මතවාද, වාද කළා. ඒවා එසේ කළේ ජනතාව ගැන, ඔවුන්ගේ දුක වේදනාව අපිත් හොඳටම දන්න නිසයි. නමුත්! මේ අවස්ථාවේ අපි මේ ඉතා අමාරු තීරණය නොගත්තා නම් ඉදිරියේ දී අමාරුවේ වැටෙන්නේ ජනතාවමයි, රටේ මුළු ආර්ථිකයමයි. අපි අන්න ඒ ඉතා බරපතළ තත්ත්වය සමනය කිරීමේ මඟක් ලෙස පියවරක් ලෙස මේ ඉතා අමාරු තීරණය ගත්තේ.

තෙල් මිල වැඩි කරන්න නම් ලෝක වෙළඳපොළේ ඉන්ධන මිල ඉහළ යන්න ඕනෑ. එසේ නැත්නම් තෙල් සැපැයුමේ බාධාවක් ඇති වෙන්න ඕනෑ. මේ වන විට එවැනි කිසිම අර්බුදයක් ලෝක මට්ටමේ ඇති වී නැහැ. එසේ නම් ඇයි රජය මේ ඉතා අමාරු තීරණය ගත්තේ?

රජය මේ තීරණය ගන්න මීට මාස හතරකට, පහකට පෙර සිටයි මුල්‍ය අංශ බලධාරීන්, උපදේශකයන් පෙන්වා දුන්නේ. විශේෂයෙන් මහ බැංකුවේ අධිපතිතුමා ඇතුළු නිලධාරීන් මේ තීරණය ගන්න වුවමනා බව රජයට තදින් කියා සිටියා. ඔවුන් එසේ කළේ මේ තෙල් අපේ රටට ගෙන එන ආයතනය විසින් අපේ බැංකු දෙකකට විශාල ණය මුදලක් ගෙවීමට තිබූ තත්ත්වයකයි. ඛනිජ තලේ සංස්ථාව මේ වන විට රුපියල් බිලියන 652 ක් ණයයි. මෙවන් ණය බරක් තිබෙන ආයතනයකට නැවත තෙල් ගෙන්වීමට ණයකරයක් විවෘත කරන්න බැරි තරමට තත්ත්වය උග්‍ර අතට හැරිලායි තියෙන්නේ. ඒ නිසා මේ අධික ණය බර අඩු කිරීමේ එක් අරමුණක් ඇතිවයි රජය මේ තීරණය ගත්තේ.

ඛනිජ තෙල් සංස්ථාවේ ණය බරතාව මකා ගන්න මුළු රටේම ජනතාව ඊට වන්දි ගෙවිය යුතුද?

ඔව්, එය මම මෙහෙම පැහැදිලි කරන්නම්. අපි සිතමු කඩේක මුදලාලි මහත්තයා රුපියල් 62/= කට සබන් කැටයක් විකුණනවා කියලා. එයාට මේ සබන් කැටේ ලැබෙන්නේ රුපියල් 75/= කට. එසේ වැඩි මිලකට අරගෙන අඩු මිලකට සබන් අලෙවි කිරීමේ කටයුත්ත හැමදාමත් මේ ව්‍යාපාරිකයාට කළ හැකිද? බැහැ නේද? එසේ සබන් අලෙවියෙන් දිගින් දිගටම පාඩු අත්වන මේ ව්‍යාපාරිකයාට අලුතින් ණයක් දෙන්න කිසිම බැංකුවක් ඉදිරිපත් වන්නේ නෑ. අන්න ඒ වාගේ තත්ත්වයකයි අපේ තෙල් සංස්ථාව ඉන්නේ. මේ නිසයි ඔවුන්ගේ ණය බර අඩු කර ගන්න තමයි මේ මිල වැඩි කිරීමේ අමාරු තීරණය රජය ගත්තේ.

අපේ රටේ තෙල් මිල එකවර විශාල ලෙස ඉහළ දැමූ අවස්ථාවක් තමයි දැන් ඇති වෙලා තියෙන්නේ. මේ ආකාරයට එකවර විශාල මුදලකින් ඇයි තෙල් මිල ඉහළ දැම්මේ?

අපේ තෙල් සංස්ථාව කාලයක් තිස්සේ බැංකුවලට ගෙවිය යුතු මුදල් ගෙවා නැති කමිනුයි මේ තරම් ණය කන්දක් නිර්මාණය වෙලා තියෙන්නේ. එසේ කියා මුළුමනින්ම ඒ පාඩුව මේ මිල වැඩි කිරීම තුළින් එකතු කරගන්න බැහැ. අපට රුපියල් බිලියන 652, බිලියන 20කින්, 40කින් වාගේ ක්‍රමිකව අඩු කර ගන්න පුළුවන්කම ලැබුණොත් එයත් විශාල සහනයක්. 

අපේ අසල්වැසි රටවලටත් කොවිඩ් උවදුර පීඩා කරනවා. නමුත් ඔවුන් තෙල් මිල වැඩි කළේ නැහැ.

හොඳ ප්‍රශ්නයක් ඇහැව්වේ. අපේ කලාපයේ තවමත් අඩුම ඩීසල් මිල ගණන් තිබෙන්නේ අපේ රටේ. ඉන්දියාවේ, පාකිස්ථානයේ, බංග්ලාදේශයේ ඩීසල් මිල ගණන් තවමත් අපිට වඩා වැඩියි. එසේ කියා මේ මොහොතේ තෙල් මිල වැඩි කිරීමේ තීරණය ගැන සතුටු වීමට තරම් අපි සූදානම් නැහැ.

ජනතාව ජීවන බරින් පීඩා විඳින මොහොතක මැති ඇමැතිවරුන්ට සැප වාහන ගෙන්වීමට රජය යෝජනා කළා. ඒවා ගැන ජනතාවගේ තිබෙන්නේ දැඩි විරෝධයක්.

ඒ ආකාරයට මැති ඇමැතිවරුන්ට සැප වාහන ගෙන්වීමේ තීරණය නතර කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළා. මැයි මස 24දා පැවැති කැබිනට් රැස්වීමේදී මේ තීරණය ගත්තේ. ඒ අනුව මුදල් අමාත්‍යාංශය ඒ තීරණය ක්‍රියාත්මක කරයි.

කොවිඩ් උවදුරින් රටේ ජනතාව මුදා ගන්නට රජය කොපමණ මුදලක් වැය කර තිබෙනවාද?

ඔව්! අපි කොවිඩ් වසංගතයෙන් රටේ ජනතාව බේරා ගැනීමට වසර 2020 දී රුපියල් බිලියන 96ක්, මේ අවුරුද්දේ මේ වන විට රුපියල් බිලියන 42 වැය කර තිබෙනවා. එකතුව රුපියල් බිලියන 138ක් වෙවා. මේ සා විශාල මුදලක් සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වැය කර තිබෙනවා.

කොවිඩ් වසංගතය නිසා ව්‍යාපාර බිඳ වැටුණ, බැංකු ණය ගෙවා ගත නොහැකි වූ අයට ලබා දුන් සහන මොනවාද?

ඔව්! ඒ සඳහා අපි අවස්ථා 02 කදී ජනතාවට සහන ලබාදීලා තියෙනවා. බැංකු ණය ගෙවීම් අවස්ථා දෙකකදී ප්‍රමාද කළා. පළමු අවස්ථාවේදී රුපියල් බිලියන 2473ක්, දෙවැනි අවස්ථාවේදී රුපියල් බිලියන 941ක් ලබා දුන්නා. මේවායේ එකතුව රුපියල් බිලියන 3414ක්. අපේ රටේ බැංකු ණය තොගයෙන් සියයට 25කට මේ සහනය ලැබිලා තියෙනවා. බැංකු නොවන ආයතනවලින් ලබා ගත් ණය තොගයෙන් රුපියල් බිලියන 525ක සහනයක් ලබා ගෙන තිබෙනවා.

මේ සහනවලට අමතරව අලුත් ණය දීම් සිදු කළේ නැද්ද?

ඇයි නැත්තේ, කොවිඩ් තත්ත්වය හමුවේ පවා, අලුත් ව්‍යවසායන් ආරම්භ කරන්න රුපියල් බිලියන 166ක් ණය දීලා තියෙනවා. ඒවායේ පොලිය සියයට 04ක් තරම් අඩුයි.

Comments