
1. ඉන්ධන මිල ඉහළ දැමීම ගැන ජනතා විරෝධයක් මතු වීම සාධාරණ යැයි ඔබ සිතනවාද?
2. ලෝකයේ බොරතෙල් මිල ඉහළ යෑම මෙවැනි වසංගත හමුවේ පාලනය නොවන්නක් බැවින් පවතින රජය මිල වැඩි කිරීමකට යොමුවීම සාමාන්‍ය කරුණක් නොවේද?
3. ජීවන වියදම පිළිබඳ කමිටුව ඒකමතිකව මිල ඉහළ දැමීම පිළිබඳව ගත් තීන්දුව විෂය බාර ඇමැතිවරයා මත පමණක් පැටවීම සාධාරණද? නැත්නම් එයින් අගතියක් සිදුවී ඇත්ද?
4. පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ ඉන්ධන මිල සූත්‍රය හා මෙවර ඉන්ධන මිල වැඩි කිරීම අතර යම් වෙනසක් තිබේද? තිබේ නම් ඒ ගැන පැහැදිලි කිරීමක් කළ හැකිද?
5. මෙතරම් වැඩි මිලකින් ඉන්ධන මිල ඉහළ යෑම නිසා සමස්ත ආර්ථිකයේම යම් උද්ධමනයක් සිදුවන බවට ආර්ථික විශේෂඥයන් අදහස් දක්වයි. මේ පිළිබඳ ඔබේ අදහස කුමක්ද?
බලශක්ති ඇමති උදය ගම්මන්පිල
1ඉන්ධන මිල පමණක් නොවෙයි ඕනෑම භාණ්ඩයක මිල ඉහළ යනවාට කවුරුත්ම කැමැති නැහැ. ඒ නිසා ජනතා විරෝධයක් මතු වීමත් මෙවැනි අවස්ථාවල ජනතාව මෙයින් අසරණ වීමත් ස්වභාවිකයි. නමුත් මේ මතුව ඇත්තේ ආණ්ඩු විරෝධයක් කෘතිමව මතු කිරීමකි.
අද රුපියල් එකසිය පනස් හතට තියෙන පෙට්‍රල් ලීටරය 2013 වසරේදි රුපියල් එකසිය හැටදෙකට වැඩි වුණා. ඒ වගේම අද රුපියල් 111ට තියන ඩිසල් ලීටරය එදා රුපියල් 121යි. නමුත් එදා රටේ මෙවැනි විරෝධයක් මතු වුණේ නැහැ.
ඒවෙලාවේ කවුරුත් බල ශක්ති ඇමැතිට විශ්වාස භංග ගෙනාවේ නැහැ. විවේචන වෙනුවට විකල්ප ඉදිරිපත් කරන්න කියලා අපි විපක්ෂයෙන් ඉල්ලුවත් අද වනතුරු විකල්ප ඉදිරිපත් කරන්න ඒ අය අසමත් වෙලා තියෙනවා.
එයින් පෙනෙන්නේ මේ ආණ්ඩුව විරෝධය කෘතිමව ඇති කරන ලද්දක් බවයි. මේ වනවිට විපක්ෂය මට ඉදිරිපත් කර ඇති විශ්වාස භංග යෝජනාව පොඩි එකාගේ ලියුම වගේ වැරදි ගොන්නක් තිබෙන පදනම් විරහිත ලියවිල්ලක්.
2 ඇත්ත වශයෙන් මේ මිල වැඩිකිරීමෙන් පසුවත් අපේ අසල්වැසි රටවල් අතුරින් අපිට අඩුවෙන් තෙල් විකුණනු ලබන්නේ පකිස්ථානය පමණයි. අන් රටවල් සියල්ලේම ඉන්ධන මිල අපේ රටවල් සියල්ලට ම වඩා වැඩි මිලට තෙල් විකුණනු ලබනවා. නමුත් ඒ වැනි රටවලට මෙවැනි විරෝධතා නැත්තේ විපක්ෂය මේ අර්බුදය ගැන වගකීමෙන් කටයුතු කරනු ලබන නිසයි.
3ඇත්ත වශයෙන් මේ තීන්දුව ගනු ලැබූ ස්ථානයේ ජනාධිපතිවරයා අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පත්කළ අනුකමිටුවක් සිටියා. එමෙන්ම ඉන්ධන මිල වැඩි කිරීමේ වගකීම කිසිසේත්ම බලශක්ති අමාත්‍යවරයා මත පටවා නැහැ, කියලා ජනාධිපතිවරයා ලිඛිතව රටට කිව්වා. එහිදි එතුමා කිව්වා මේ මිල වැඩි කිරිම කළේ එතුමාගේ ප්‍රධානත්වයෙන් තිබුණ අගමැතිවරයා සහභාගි වූ කමිටුවකින් බව. ඒ විපක්ෂය සහ විපක්ෂය විසින් නටවන සමහර ආණ්ඩුවේ පිරිස් මගේ පිට පැටවීම සම්බන්ධ සත්‍ය තත්ත්වය දැනටමත් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා පිළිතුරු දී අවසන්.
4 ඇත්ත වශයෙන් ම යහපාලන සමයේ මිල සූත්‍රයේදී ඔවුන් පාවිචිචි කරනු ලබන නිර්ණායකමයි අපිත් පාවිච්චි කරනු ලැබුවේ. ඉන්ධන සඳහා ඇති නිර්නායකයන් එක සමානයි. නමුත් ඒ යුගයේදි තෙල් බැරලයක් මත තිබුණ බදු අතිශයින්ම වැඩියි. ඒ නිසා අද අපි යහපාලන මිල සූත්‍රය තිබුණා නම් අද අපි එකසිය පනස් තුනට විකුණන පෙට්‍රල් ලීටරයක් විකුණනු ලබන්නේ එකසිය හැටතුනට වන අතර අපි එකසිය එකොළහට විකුණන ඩිසල් ලිටරයක් විකුණනු ලබන්නේ එකසිය විසිදෙකටයි.
5 අපි යහපාලන ආණ්ඩුව කළා වගේ නොවැම්බර් සිට ලෝක වෙළෙඳ පොළේ මිල ඉහළ යන ආකාරයට මාස් පතා රුපියල් දෙකතුන බැගින් වැඩි කරගනිමින් ආවා; ඒත් මේ මිලට සමාන වෙයි. නමුත් ජනතාවට දිර්ඝ කාලයක් සහනයක් තිබුණා; මේ මිල වැඩි කිරිම කරනු ලැබුවේ මාස විසි එකකට පසුවයි. ඒවගේම ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුවේ උපදේශක ලෙස මැයි මාසයේ තිස්වෙනිදා ආණ්ඩුවට උපදෙස් සටහනක් ඉදිරිපත් කරනු ලැබුවා. එහි ඉතා පැහැදිලිව සඳහන් කරනවා. අපි තෙල් මිල වැඩි නොකළොත් විදෙස් සංචිත නැතිවීමෙන් රට ණය ගැනිමේ හැකියාව නැතිවෙනවා, ඒවගේ විදෙස් විනිමය අනුපාතය පිරිහීමෙන් ඩොලරයේ අගය තවදුරට ඉහළ යයි. ඩොලරයේ අගය වැඩිවූ විට පිටරටින් ගෙන එන සෑම භාණ්ඩයේම මිල ඉහළ යනු ලබන අතර උද්දමනය ඉහළයයි. තෙල්මිල වැඩි කිරිමේ ඉහළ මිලට වඩා ඩොලරය ඉහළ යාමෙන් ඉහළ යන භාණ්ඩ මිල වැඩිවෙයි. ඒ කාරණා දෙකම සන්සන්දනාත්මකව සලකා බලා ඩොලරය වැඩිවීම පාලනය කරගනිමින් ඉන්ධන මිල වැඩි කළ යුතුයි කියලා ජීවන වියදම් පිළිබඳ කමිටුව තීරණය කළේ. කමිටුවේ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා, අජිත් නිවාඩ් කබ්රාල් ඇමැතිවරයා, ආචාර්ය පී.බී ජයසුන්දර, එච්. ආර්. ආටිගල වැනි ආර්ථික විශේෂඥයන්ද ගණනාවක් සිටියා.
ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න
1 ජනතාව අතිශයින්ම පීඩාවට පත්වෙලා ආර්ථිකමය වශයෙන් අර්බුදයකට ගිය අවස්ථාවකයි; මේ ඉන්ධන මිල ඉහළ යාම සිද්ධ වුණේ. මිනිසුන් දැඩි අපහාසුතාවකට පත්වූ අවස්ථාවක ආණ්ඩුවක් විසින් නොකළ යුතුම කාර්යයක් ආණ්ඩුව සිදු කළේ. ජීවන වියදම් අනුකමිටුවක් හැදුවේ ජීවන වියදම මිනිසුන්ට දරාගැනීමට හැකි වන ආකාරයට සකස් කිරීමට මිසක බඩු මිල වැඩි කිරීමට නොවෙයි. මේ ජීවන වියදමට සහන සලසන්න පත් කළ කමිටුව දැන් වන විට ඉන්නේ මිනිසුන්ට සහන සලසන්න නොවෙයි, බඩු මිල වැඩි කරන්නද කියලා අපි අහන්නේ. ජීවන වියදමට සහන සලසනවා වෙනුවට මේ ආණ්ඩුව ජනතාවට ජීවත්වීමට අපහසු තත්ත්වයක් උදා කරනවා. මෙය මිනිස්සු ආර්ථිකයෙන් දැඩිව බැටකන මොහොතක්. මිනිසුන්ට අපහසුයි කියලා දන්නවා, ඒත් කරන්න දෙයක් නැහැ කියලා කියනවා. එහෙම කරන්න දෙයක් නැති නම් ආණ්ඩු පත් කරගන්න අවශ්‍ය නැහැනේ. ජනතාව ජීවත් වෙන්න අවශ්‍යයි. සහන දෙන්න අවශ්‍ය වෙලාවක තියන සහනයත් උදුරාගැනීමක් කරලා තියෙන්නේ. ජනතාවට අසහනය නිර්මාණය කරලා තිබෙනවා. අනවශ්‍ය දේට ජනතා බදු මුදල් වැය කරන්න පුළුවන් නම් ඇයි ජනතාවට මේ තෙල් මිලට සහනයක් දෙන්න බැරි.
2 ආණ්ඩුවේ අනවශ්‍ය වියදම් කපා හැරියොත් මේ ඉන්ධන මිල පාලනය කරන්න පුළුවන්. එසේනම් ජනතාවට මෙහෙම බර පටවන්න අවශ්‍ය නැහැ. පසුගිය කොරෝනා කාලයේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තනි ඉලක්කමකට පහත වැටුණා. අපේ රටේ ඛනිජ තෙල් සංස්ථාව ඒ අවස්ථාවේ ලොකු ආදායමක් ලබා ගත්තා. ඒ වෙලාවේ සමාජ මතයක් හැදුවා දැන් ලාබයක් තියනවා තමයි, නමුත් ඉදිරියේදී තෙල් මිල වැඩිවෙන්න පුළුවන්. ඒ වැඩිවූ අවස්ථාවේදී ජනතාවට වැඩිවූ මේ මිල වැඩි නොකර එය පියවා ගැනීමට ඛනිජ තෙල් මිල ස්ථායි කිරීම සඳහා කෝටි විසිදහක අරමුදලක් හදනවා, වැඩියෙන් උපයන ලාබය ඒ සඳහා යොදනවා කිව්වා. ඒ මුදලට මොකද වුණේ?
3ආණ්ඩුවේ ජීවන වියදමට සහන සැලසීමේ කමිටුවක් තියෙනවා. ජිවන වියදම පිළිබඳව කමිටුවක් නම් නොවෙයි එය ජනතා සූරාකන කමිටුවක් ලෙසයි අපි දකින්නේ. මේ ආණ්ඩුව තුළ සාධාරණ කෙනෙක් හොයා ගන්න නැහැ. විෂය භාර ඇමැතිවරයාගේ පිට පමණක් මෙය පටවන්න උත්සාහ කරනවා නම් එය විහිළුවක්. මේවා පොදුවේ ගන්න තීන්දු. මේ අවස්ථාවේ උදයගම්මන්පිල මහතාට පක්ෂ ලේකම්වරයා විසින් ඉල්ලා අස්වන බවට ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. මෙය සන්දර්ශනයක්. මේ ප්‍රශ්නයට අපිට පැහැදිලි කිරීමක් අවශ්‍යයි. පත්තර පිටුවල ලියවෙන්න අවශ්‍ය, විද්‍යුත් මාධ්‍යවල කියන්න අවශ්‍ය ජනතාවට වෙලා තියන මේ පීඩාව ගැනයි. ආණ්ඩුව මෙය සන්දර්ශනයක් කරගෙන මිනිසුන්ට තෙල් මිලට පිටින් වෙන එකක් දාලා තියෙනවා තෙල් මිල අමතක කරවන්න . ප්‍රධාන පක්ෂයේ ලේකම්ගේ ලියුම චුයිංගම් එකක් විදිහට දාලා ජනතාවට හපන්න දීලා. තෙල් මිල වැඩි කළ දේ ගැන කතා කරන්නේ නැහැ. පක්ෂ ලේකම් කියනවා ගම්මන්පිල මහත්තයා අස්වෙන්න ඕන කියලා. ගම්මන්පිල ඇමතිවරයා මාධ්‍ය සාකච්ඡාවක් තියලා කියනවා මම මොකටද ඉල්ලා අස්වෙන්නේ මෙය ජනාධිපති අනුකාරක කමිටුවේ ගත්ත තීන්දුවක්, සාගර කාරියවසම් අස්වෙන්න ඕන කියලා. මෙය නොවෙයි දැන් කතා කරන්න අවශ්‍ය වෙන්නේ. රටේ තෙල් මිල වැඩිවෙලා ඒ හරහා අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා කොතරම් ප්‍රමාණයක් ඉහළ යයි ද කියලයි කතා කරන්න ඕන. රටේ ජනතාවට වෙච්ච පීඩාව දැන් ජනතාවටත් අමතක කරන්න හදනවා.
4යහපාලන ආණ්ඩුව කාලයේ ගොන් කරත්තවල පාපැදිවල නැගලා ගියා තෙල් මිල වැඩියි කියලා. එදා දැනට වඩා ඉන්ධන මිල යම් අඩු මුදලකට තිබුණ වෙලාවක පාර්ලිමේන්තුවට විරෝධතා ගමනක් ගිහින් දැන් ආණ්ඩුවේ ඉන්න අය කිව්වා අපි බලයට පත් වුණාම ජනතාව පීඩාවට පත් කරන්නෙ නැහැ කියලා. තෙල් මිල වැඩිවෙනවා කියන්නේ, සියලු භාණ්ඩ සේවා මිල වැඩිවෙනවා. ඒ නිසා තෙල් මිල අඩු කරන්න කියලා කියපු ආණ්ඩුවක් මේ විදිහට මේ අසාධාරණ ලෙස ජනතාවට පීඩාවට පත් කිරීම ලොකු වරදක්. මෙයට උපහැරණය වෙන්නේ යහපාලන ආණ්ඩුවෙන් වැටුණ මිනිහාට මේ ආණ්ඩුවෙන් ඇන්නා වගේ කියලා. ඉන්ධන මිල ඉතා පහළට ගිය කාල තිබෙනවා.
ඒ වෙලාවේ ආණ්ඩුව දැවැන්ත ලාබයක් ඉපැයුවා. එසේ නම් ආණ්ඩුවට තිබුණා ජනතාවට තෙල් මිල ඉතා අඩුමිලට දෙන්න. එසේ කළේ නැහැ. ලෝක වෙළෙඳ පොලේ තෙල් මිල අඩුවුණාම අඩු කරන්න තිබුණා. අඩු කරපු ප්‍රතිශතය අඩු කරන්නේ නැතුව වැඩි කරපු ගාණ විතරක් ඇයි වැඩි කරන්නේ? අනෙක් කාරණාව ඛනිජ තෙල් සංස්ථාව පාඩුයි කියන්නේ මිනිසුන් නිසා නෙමෙයිනේ. පුරවැසියෝ තෙල් ණයට අරන් ගහලා නෙමෙයිනේ. එහෙම නම් එය ආණ්ඩුවේ දුර්වල පාලනය නිසා සිදු වූ දෙයක්. කළමනාකාරීත්වයේ වරදක්. ඒ බර ජනතාව පිට පටවලා හරියන්නේ නැහැ. ඒ තර්කය අසාධාරණයි.
5අනිවාර්යෙන් මිනිස්සු කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් මේ වෙන්නේ. සියලු දේ මිල ඉහළ යාම ඉන්ධන මතයි පවතින්නෙ. උද්දමනය වැඩිවෙලා ජනතාවට ලොකු ලොකු ගැටලු එනවා ඉදිරියේදී. ජලබිල, විදුලි බිල වැඩිවෙයි. බස් ගාස්තු වැඩි වෙයි . බේකරි නිෂ්පාදන ඉහළ යනවා. භාණ්ඩ සේවා දෙකේම මිල ඉහළ යනවා. තෙල් මිල වැඩි කරන්න කියන සාකච්ජාවේදී ජීවන වියදම පිළිබඳව සහන සැලසීමේ කමිටුවේ සියලු දෙනා හිටියානේ. ඔවුන් සියලුදෙනානේ මේ තීරණ ගන්නේ.
සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක
1මේ අවස්ථාවේ ඉන්ධන මිල වැඩි කිරීම අතිශයින්ම අසාධාරණයි. ජනතාව මෙයට එරෙහිව නගන මැසිවිල්ල ඉතාමත් සාධාරණයි. ඉන්ධන මිල මත ජීවන වියදම රඳා පවතිනවා. භාණ්ඩ මිල නියම වීමේදී ප්‍රධාන සාධකය වන තෙල් මේ අවස්ථාවේදී වැඩි කිරීම සුදුසු නැහැ. කොරෝනා වසංගතයත් නිසා ජනතාව ඉන්නේ සංචරණ සීමා ඇතුළේ ජිවත්වෙන්නවත් ආර්ථිකයක් නැතිව. එදිනෙදා ආදායම් ලබන්නන්ගේ සියලු ආදායම් ඇහිරිලා තියනවා. විශේෂයෙන් දවසේ ආදායම් ලබන විවිධ වෘත්තීන්වල නියැළෙන අය බහුතරයක් අතිශයන් දුෂ්කර ජීවිතයක් ගත කරන්නේ. එසේ නම් ඉන්ධන මිලත් සමඟ ජිවන වියදම වැඩිවීම යන කරුණ තර්ක කරන්න දෙයක් නැහැ. නිෂ්පාදන වැඩිකරන්න උත්සාහ කරනවා. ප්‍රවාහන අංශ සේවා ගාස්තු වැඩි කිරීමට ඉල්ලීම් කරනවා. ලෝක වෙළෙඳපොළේ පසුගිය වසරක කාලය තුළ ඉන්ධන මිල ඉතා පහත මට්ටමක තිබුණා. තෙල් බැරලය ඇමරිකානු ඩොලර් විස්සකට, විසිපහකට තිබුණා. ඒ අවස්ථාවේදී පෙර මිල අය කරන්න කටයුතු කළා. අරමුදලක් එකතු කරනවා කිව්වා. අරමුදලට කෝටි අට දහකට වැඩිය ආදායම ලැබුණු බව මේ අය කියනවා. ඒ අරමුදලට එකතු වුණා නම් ඒ මිල ස්ථායි කර ඒ අරමුදල මේ මොහොතේ පාවිච්චි නොකරමින් මේ ඉන්ධන මිල වැඩි නොකර ඒ මට්ටමින්ම තියාගන්න තිබුණා. නමුත් එය කළේ නැහැ. මෙහිදී වෙන්නේ ජනතාව මත අධික බර පටවමින් ආණ්ඩුව තමන්ගේ අඩුපාඩුකම් වසා ගැනීමට උත්සහා කිරීමයි. එය ඉතා අසාධාරණ තීන්දුවක්. ඇත්තටම මෙය කරන්නේ ඇයි කියලා කවුරුත් ඇහුවොත් භාණඩාගාරය හිස්වීමේ වගකීම භාරගන්න අවශ්‍ය වෙන්නේ ආණ්ඩුවටයි. අද වෙන කොට රටේ විදෙස් සංචිත ප්‍රමාණය, අපේ වත්කම් ප්‍රමාණය ඩොලර් බිලියන දෙකකට ආසන්නව බැස යමින් පවතිනවා. රට බැරෑරුම් තත්ත්වයක තිබෙන්නේ. ඉන්පසුව බදු ක්‍රමවල පටලැවිලි කරලා විශාල අවුලක් ඇති කරගෙන විශාල ආදායමක් අහිමි කරගෙන තිබෙනවා.
2ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල වැඩිවුණේ එකපාරට නෙමෙයි. ඉන්ධන මිල අඩුවෙලා තිබුණ කාලය ගැන ආණ්ඩුව ඇයි කතා කරන්නේ නැත්තේ? ගිය දෙසැම්බර් සිට තෙල් බැරලය අද තිබුණට වඩා සියයට 75% අඩුවෙන් තිබුණේ. ඒ කාලයේ මේ ඉන්ධන මිලමයි තිබුණේ. ඒ හරහා ආණඩුව කොතරම් මුදලක් උපයන්නට ඇතිද? ආණ්ඩුවට ක්‍රමවේදයක් තිබුණා මිල ස්ථායිකරණ අරමුදල යටතේ එකතු කරගත් මුදල් ඛනිජතෙල් සංස්ථාවේ අලාභයක් තියනවා නම් එයට යොදමින් මිල මේ අවස්ථාවේ වැඩි නොකර තබාගැනීමට. එය ආණ්ඩුව කළේ නැහැ. අනෙක් කරුණ ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ඛනිජ තෙල් සංස්ථාව අධික ණයක් තියනවා කියලා කියනවා. බැංකු කඩාගෙන වැටෙන්න පුළුවන් විනිමය ප්‍රශ්නයකුත් තිබෙනවා කියනවා. එහෙම වෙලා තියනවා නම් ඒ කොහොමද කියලා කියන්න පුළුවන් වෙන්න අවශ්‍යයි. තෙල් සංස්ථාව ව්‍යාපාරික ආයතනයක් . ව්‍යාපාරික ආයතනයක් ලෙස පසුගිය වසරේ රුපියල් කෝටි තිස්තුන්දහසක ලාබයක් ලැබුවා කියලා වාර්තාවල සටහන් වෙලා තිබෙනවා. එහෙම නම් තෙල් සංස්ථාව පාඩු ලබනවා කියලා කියන්න බැහැනේ. මේ පාඩු ලැබුවා කියලා නිගමනයන්ට එන්නේ තෙල් සංස්ථාව වෙනත් බාහිර පාර්ශ්වයන්ට සැපැයු තෙල් වලට මුදල් නොගෙවීම නිසා සිදුවු දෙයක්. පිරිපහදු කරන ලද තෙල් ලීටරයක් ලංකාවට ගේන්න යන්නේ තාමත් රුපියල් අනුවක්, අනු දෙකක් පමණ මුදලක්. ඒ සඳහා තෙල් සංස්ථාවේ මෙහෙයුම් වියදම් එකතු කර විට තවත් රුපියල් විස්සක් වැය වුවත් තෙල් ලීටරයක් රුපියල් එකසිය තිහකට දෙන්න පුළුවන්. ඒත් ඊට වඩා තවත් රුපියල් විස්සකින් මිල වැඩි කළා.
3විෂය බාර ඇමැතිවරයා මේ තීරණය අරන් තියෙන්නෙ සාමූහික තීරණයක් ලෙසයි. විශේෂයෙන් ඉන්ධන මිල වැඩිකිරීමේදී විෂය බාර ඇමැතිවරයාට පමණක් හිතුවක්කාරී ලෙස කරන්න බැරි බව අපි දන්නවා. මෙවැනි මිල වැඩි කිරීමක් කරනවා නම් මුදල් අමාත්‍යවරයාගේ නිල අනුමැතිය ලබා ගැනීම පනතට අනුව අනිවාර්යෙන් කර තිබෙනවා. ඒ සමඟම ඉන්ධන මිල වැඩි වීම පිළිබඳව පත්කර තිබෙන ජීවන වියදම් අනුකමිටුව සාකච්ජා කරගත් තීරණයක් කියලා හෙළි වී තියෙනවා. මෙය ආණ්ඩුවේම සාමුහික තීරණයක් නම් එහි වගකීම ආණ්ඩුවටම පැවරෙනවා. තෙල් සංස්ථාව භාර ඇමැතිවරයාගේ අකාර්යක්ෂමතාවක් වේ නම් ඇත්ත වශයෙන්ම එය විසඳිය යුතුව ඇත්තේ ආණ්ඩුව විසින්මයි. එක් ඇමැතිවරයෙක් පිට දාන්න බැහැ. විෂය බාර ඇමැතිවරයාටත් වගකීමක් තිබෙනවා. මෙය මගේ වගකීමක් නොවෙයි කියලා කියන්න බැහැ. ජනතාව වෙනුවෙන් ඔහු ඊට වගකිව යුතුයි. මෙතැනදී ආණ්ඩුව ක්‍රියාකරන ආකාරය හරි පුදුමයි. ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂයේ ලේකම් ලිපියක් ලියමින් උදය ගම්මන්පිල ඇමතිවරයා දෙසට බර පැටවීම ආණ්ඩුව ඇඟ බේරගන්න හදන න්‍යායක් කියලා අපි දන්නවා. මේ මොහොතේ රජය උත්සාහ කරන්නේ ටෙලි නාට්‍යයක් කිරීමටයි. මේ දේ කළේ කවුද කියලා හොයන්න ජනතාව යොමු කරන්න උත්සාහ කරනවා. කාලය කා දමන්නයි මේ අයට ඕන. ඇමැති හිතුවක්කාර තීරණයක් අරන් තිබෙනවා නම් එය වෙනස් කරන්න පුළුවන් ආණ්ඩුවටයි.
4ඉන්ධන මිල සුත්‍රය ඇති කළේ ඉන්ධන මිල ලෝක වෙළෙඳ පොළේ අඩුවන කාලයට අඩුවීමේ වාසිය ජනතාවට ලබා දීමේ පරමාර්ථයෙන්. බොහෝවිට ආණ්ඩු කරන්නේ ඉන්ධන මිල අඩුවෙන විට අඩු නොකර වැඩි වන විට වැඩි කිරීම පමණයි. එහිදී පාරිභෝගිකයාට අසාධාරණයක් වෙනවා. ලෝකයේ බොහෝ රටවල් ඉන්ධන මිල දෛනිකව තීන්දු කරනවා. එසේ එදිනෙදා වෙළෙඳපොළේ ඉන්ධන මිල නියම කරමින් තෙල් පරිභෝජනය කරන බොහෝ දෙනා වාසිය භුක්ති විඳිනවා. පහුගිය යහපාලන රජය කාලයේ ඉන්ධන මිල පාලනය කරන්න මිල සූත්‍රය හැදුවා. මෙහි වාසියක් තිබුණා. මේ ආණ්ඩුව පත් වුණාම එය අහෝසි කරලා දැම්මා. ඒ අය කිව්වේ අපිට මිල සුත්‍ර ඕන නැහැ , අඩුවෙනවා නම් මිල අඩු කරලා ජනතාවට වාසි ලබාදෙන්න ක්‍රියා කරනවා කියලා. ඉන්ධන මිල සුත්‍ර ක්‍රියාත්මක නොවීම නිසා ආණ්ඩුව හිතුවක්කාර පරිදි අසාධාරණ ලෙස ජනතාවගේන් විශාල මුදල් ප්‍රමාණයක් එකතු කරගත්තා. ඉන්ධන මිල සුත්‍රය ක්‍රියාත්මක වුණා නම් එහි වාසිය ජනතාවට යනවා.
5ඇත්ත වශයෙන්ම අපි මේ තීන්දුව දකින්නේ රටේ ආර්ථිකයට විශාල ලෙස බලපාන ලද කාරණාවක් ලෙසයි. ඉන්ධන මිල වැඩි කිරීම නිසා රටේ ආර්ථිකයට මරු පහරක් එල්ල වන බව ඉතා පැහැදිලියි. මිල වැඩි වීම, උද්දමනය වැඩි වීම, භාණ්ඩ සේවා නිෂ්පාදන වැඩි වීම එකිනෙකට එකිනෙකට දම්වැලක් සේ ගැටගැසිලා තියෙනවා. ඒ නිසා රටේ ආර්ථිකයට මෙය ඍජු ලෙස බලපානවා කියන කාරණාව ඉතා පැහැදිලිව සත්‍යයක්. මිනිසුන්ට දරාගන්න බැරි තරම් ප්‍රමාණයකින් මේ ඉන්ධන මිල වැඩිකරලා තිබෙනවා. ඉන්ධන මිල 69% කින් වැඩි වීම නිසා රටේ ආර්ථිකයට අනිවාර්යෙන් බලපානු ලබනවා. ජන ජීවිතයට ඉතා විශාල ලෙස බලපානු ලබනවා.