
කළපුව මැද්දේ වැලිපරයකින් දූපතක් හැදිලා
කළපුවේ දැන් වෙනදා තරම් මාළු නැහැ
ශ්‍රී ලංකාවේ දෙවැනි දිගම ගඟ වනුයේ කළු ගඟයි. සමනල කන්දෙන් පටන් ගන්නා කළු ගඟ මුහුදට වැටෙනුයේ කළුතරිනි. විශේෂත්වය වනුයේ ගඟ පටන් ගන්නා ස්ථානය මෙන්ම අවසන් වන ස්ථානය ද කළුතරදී දැක බලා ගත හැකි වීමයි. ඒ කළුතර පිහිටි කළු ගඟේ පාලම මත සිට බැලූ විටය.
සුන්දර කළු ගඟ මතින්වූ පාලම පසුකර කළුතර නගරයට පිවිසෙන අයෙකුට මුලින්ම දැක ගත හැකි වනුයේ කළුතර අභිමානයයි. ඒ යෝධයෙකු සේ සිට ගත් කළුතර චෛත්‍ය රාජයාණන්ය.
ගාලු පාර ඔස්සේ තවත් ටිකක් ගිය විට වම් අත පැත්තේ මනරම් සිරිකුරුස දේවස්ථානයයි. දකුණු පැත්තේ කළු ගං කලපුවයි.
කළුතර චෛත්‍ය රාජයාණන් අසලින් ගලා ගිය කළු ගඟ හැරී ගොස් මුහුදට වැටුණේ කළපුවක් සාදා ගනිමිනි. මෙම කළු ගං මෝය සියවස් ගණනක් තිස්සේ වරින් වර වෙනස් විය. එහෙත් මෙවර එය වෙනස්වී ඇත්තේ ඉතිහාසයේ වෙන කවරදාකවත් නොවූ ආකාරයටය. අද කළු ගඟට හෝ මුහුදට සබඳකම් නොපවත්වන ඛේදජනක තත්වයකට කළු ගං කළපුව පත්ව තිබේ.
“19 වැනි සියවසේ මැද භාගයේදී කළු ගඟ මෝය කට දකුණු දෙසට පැතිරෙන්නට විය. ඉංග්‍රීසි ආණ්ඩුව ගඟෙහි ගමන් මඟ වෙනස්වීම මහත්සේ සැලකිල්ලට ගනු ලැබීය. ඒ මන්දයත් එමඟින් පාරිසරික ගැටලු මතුවීමට ඉඩ තිබූ බැවිනි.
එවකට ප්‍රදේශයේ පරිපාලන කටයුතු මෙහෙයවූ කළුතර ප්‍රාදේශීය මණ්ඩලය මෙය නතර කිරීමට විවිධ ප්‍රයත්න දැරුවේය. එහෙත් එම උත්සාහයන් සියල්ල නිරර්ථක කරමින් කළු ගං මෝය කට දකුණු දෙසට වඩ වඩාත් සංක්‍රමණය වන්නට විය. එක් අවස්ථාවකදී කළුතර ප්‍රාදේශීය මණ්ඩලයේ සභාපති ෆට්ලර් මහතා මෝය කට සංක්‍රමණයවීම නැවැත්වීමට ඵලදායි යෝජනාවක් කිරීමට සමත් අයෙකුට රුපියල් 500/- ක ත්‍යාගයක් දෙන බවට පොරොන්දු විය. එහෙත් කිසිවෙක් ක්‍රියාත්මක කළ හැකි විශ්වාසවන්ත යෝජනාවක් ඉදිරිපත් නොකළහ. එක් වරෙක උණබම්බු වැටක් ඉදිකර ගඟ ගැලීමේ ගමන් මාර්ගය ක්‍රමවත් කිරීමට උත්සාහයක් ගැනිණි. එය ද අසාර්ථක විය.
කළු ගං මෝය කටට සිදුවූ විපර්යාසයට අදාළ වාර්තාවක් 1907දී කළුතර උපදිසාපතිගෙන් බස්නාහිර දිසාපති ඉල්ලා සිටියේය. ඒ අනුව කළුතර උපදිසාපති විසින් 1907 ජුනි 16 දාතමින් බස්නාහිර පළාතේ දිසාපති වෙත වාර්තාවක් යොමු කරන ලදි. බස්නාහිර පළාතේ දිසාපති 1907 ජුනි 18 දින එම වාර්තාව යටත් විජිත ලේකම්වරයා වෙත ඉදිරිපත් කළේය. අංක 1085 දරන එම වාර්තාවේ සාරාංශ ගත සිංහල අනුවාදය මෙසේය. “ප්‍රාදේශීය මණ්ඩල කාර්යාලයේ තිබෙන ලිපි ලේඛනවලට අනුව කළු ගං මෝය කට සම්බන්ධව සිදුවූ වෙනස්කම් සාරාංශ ගත කරමි.“
“1878 වන තෙක්ම එනම් කළුතර දුම්රිය පාලම නිම කොට වර්ෂයක් ගත වන තෙක් කළු ගඟ පරණ බළකොටුව වටා ගලාගෙන අවුත් අනතුරුව දකුණු දිසාවට ගමන් කළේය. ගඟ ගැලුවේ නිරතුරුවම කොළඹ - ගාල්ල මහා මාර්ගයට සමාන්තරවය. පැරණි බළකොටුවට සැතපුම් 1 1/2ක් දකුණු දිසාවට වන්නට කටුකුරුන්දේදී ගඟ මුහුදට සම්බන්ධ විය.
ගඟෙහි ජලය අධික කාලයේදී දිය පහර වේගයෙන් ගැලීමට සලස්වනු වස් ගඟ හා මුහුද අතර වූ වැලි තට්ටුව කපා ඉවත් කරනු ලැබේ. එසේ නොවිනි නම් කළුතර නගරය ද ඉවුරට ඉහළින් පිහිටා තිබෙන ගම්මාන ද ජලයෙන් යටවීම වැළැක්විය නොහැක. ගඟ සන්සුන්වූ පසු ඉවත් කරන ලද වැලි තට්ටු නැවත පුරවනු ලැබේ. කෙසේ නමුදු 1878 වනවිට මෙය ස්ථිර මෝය කට වශයෙන් සකස් විණි.
“මෙම වකවානුවේදී මහජනයා තුළ පැවැති සාමාන්‍ය අදහස වූයේ ‘දුම්රිය පාලම ගොඩ නැඟීම හේතුකොටගෙන මෝය කට වෙනස් වීය“ යන්නය. එනමුදු මෙම අදහස ප්‍රසිද්ධ වැඩ අධ්‍යක්ෂ ප්‍රතික්ෂේප කරයි. 1880 දී ආණ්ඩුවට යොමු කළ ලිපියක් මඟින් කළු ගඟෙහි සිදුවෙමින් පවතින වෙනස සහ දුම්රිය පාලම ගොඩ නැඟීම අතර සබඳතාවයක් නොමැති බව හෙතෙම සඳහන් කළේය. තවද කැලණි ගඟේ පාලමක් නොමැති නමුත් මෝය කට වෙනස්වූ බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
1893 දී මෝය කට දකුණු දිසාවට තවත් වේගයෙන් යොමු වීම නිසා වම් ඉවුර බරපතළ ලෙස ඛාදනය විය. මේ නිසා ඉහළින්වූ පොල් වතු යායටත්, දුම්රිය මාර්ගයටත් මහත් හානි සිදු විය. 1896 දී ජලය දුම්රිය ස්ථානයට විරුද්ධ දිසාවට ළංවීමට දැරූ තැත වැළැක්වීම පිණිස වේල්ලක් යොදන ලදි. එහෙත් එම උත්සාහය නිශ්ඵල වූයේය. ගඟේ ජල පහරට වේල්ල බිඳිණි.
ජල පහර නැවැත්වීම පිණිස තවත් සැලසුම් යෝජනා වූ නමුදු ක්‍රියාත්මක නොවීය. එහෙයින් තව තවත් දකුණු දෙසට මෝය ගමන් කරන්නට විය.
1903 වැදගත් සිදුවීමක් සිදු විය. මෝය කට නැවත පැරණි ස්ථානයටම එනම් කටුකුරුන්දට ළඟා වීමය. 1903න් වර්ෂ කීපයකට පසු මෝය කට දැන් තිබෙන ස්ථානය කරා නැවත ගමන් කළේය.
මා සිතන පරිදි ඉහත කරුණුවලින් හැඟෙන්නේ මෝය කට වෙනස්වීම වේගවත් ජල ප්‍රමාණයත් සමඟ සිදුවන සාමාන්‍ය ක්‍රියාවලියකි. 1877 දී දුම්රිය පාලම ගොඩනැඟීම, මෙම සංසිද්ධියට බලපෑම් නොකරයි. පාලම් දෙක තිබීම මඟින් එය වතුරේ වේගය අඩු කිරීමේ පුනීලයක් ලෙස ක්‍රියා කරයි.
ඉහත දීර්ඝ ලිපිය මඟින් උපදිසාපති මෝය කට වෙනස්වීම අරභයා පැවැති ව්‍යාකූලත්වය මඟ හැරවීමට උත්සහ ගත්තේය. වර්තමානයේ විසි එක්වන සියවසේ මෝය කට හා දහනමවන සියවසේ මෝය කට තිබූ ස්ථානය අතර ඇත්තේ විශාල පරතරයකි.
(උපුටා ගැනීම : Government documents 1900 - 1928 ඇසුරෙන් - 2003 වසරේදී කළුතර තේජානි ප්‍රකාශකයෝ ප්‍රකාශයට පත් කළ මතෙන් ප්‍රනාන්දු විසින් රචිත ‘කළුතර‘ නම් වූ ගවේෂණාත්මක කෘතියෙනි.)
මීට වසර කීපයකට පෙර ගංවතුරත් සමඟ කළු ගං කළපුවත් මහ සාගරයත් අතර වූ වැලි පරය බිඳී යාමත් සමඟ අලුත් මෝය කටක් නිර්මාණය විය. ඒ සමඟම බිඳී ගිය වැලි පරයේ වැලි නැවත තැන්පත්වී කලපුව මැද විකෘති වැලි පරයක් නිර්මාණය විය. ඒ කලපුව මැද නිර්මාණය වූ කුඩා දූපත් ද සමඟය. ඒ වැලිපරය නැවත ඉදිවූයේ කළු ගඟ හා කළපුව අතර වූ සබඳතාවයට තිත තබමිනි.
අද වන විට කළපුව කළු ගඟට හෝ මුහුදට කිසිසේත්ම විවෘත නොවේ. එය හුදෙකලාව පොකුණක් බවට පත්ව තිබේ.
කළු ගං කළපුව ආශ්‍රිතව ඈත අතීතයේ සිටම ධීවර රැකියාවේ නියුතු වූ පරපුරක් ඒ ආශ්‍රිතව වාසය කරති. වර්තමානයේ ඔවුහු බොහෝ ඇසීරුතාවයන්ට මුහුණ දී සිටිති.
අතීතයේ කළු ගඟ සහ කළු ගං කළපුව තුළ මත්ස්‍ය වර්ග 40ක් පමණ වාසය කළේය. ඉන් සමහරක් කළු ගඟට හා කළපුවට ආවේණික වූ මත්ස්‍ය විශේෂයන්ය.
තටු දණ්ඩියා, රත් කයිලයා, ගල් පංඩි, හොර දන්ඩියා, හිරි කනයා, මඩ ඉගිලියා, ඉපිලි කඳයා, කොට ඉපිලියා, පොත්තයා, කටු කූරියා, පෙතියා, බුලත් හපයා, හිත මැස්සා, මස් පෙතියා, ලේ තිත්තයා, පොඩි පෙතියා, රස බෝරා කවරි, දංඩියා, හල් මල් දංඩියා, ලෙවුල්ලා, වයිරන් ඉව්රවා, කනිටු ඉව්රවා, ඉහිරවා. අඟුලුවා, පත් අංකුට්ටා, ඉරි අංකුට්ටා, වලපොත්තා, වලයා, මගුරා, හුංගා, ගඳ තිත්තයා, උඩා, ඉරි ගඳයා, කහ කොරලියා, කොරලියා, කාවයියා, තල් කොස්සා, මල් පුලුට්ටා, පුලුට්ටා, පරක්පැල් කනයා, අරා, කොල කනයා, මඩ කනයා, ලූලා, ගං තෙලියා, රෙඩ් වේල් ගෝබි හා ලිප්ස්ටික් ගෝබි එම මත්ස්‍ය සිටියද මේ කුමන මත්ස්‍යයෙක්වත් අද කළු ගං කළපුවේ දක්නට නැත.
සුන්දර කළු ගං කළපුව අද ඛේදනීය ඉරණමකට ගොදුරුවී සිටී. ඒ සම්බන්ධව කළපුව ආශ්‍රිතව ධීවර රැකියාවේ නියුතු ධීවරයින් කීප දෙනෙකු මෙසේ කීය.
කළුතර කටුකුරුන්ද පදිංචි හැත්තෑ හත් හැවිරිදි මර්වින් ජෝශප් ප්‍රනාන්දු පවසන්නේ,
“මම අවුරුදු පනහකට වැඩි කාලයක් මේ කළපුවේ ධීවර රැකියාව කරලා තියෙනවා. 1970 - 1980 කාලෙදීය. අපි දවසට රුපියල් 500/- ක විතර ආදායමක් මාළු විකුණලා ගත්තා. ඒත් දැන් කළපුවේ අල්ලන්න මාළුවෙක් ඉතිරි වෙලා නැහැ. ගඟේ මාළු කියල හිටපු වර්ග මෝය වෙනස් වුණාට පස්සේ නැත්තටම නැති වුණා. දැන් කළු ගඟේ වතුර කළපුවට එන්නේ නැහැ. පහුගිය කාලේ පැරණි මෝය කට මුහුදට සම්බන්ධ වෙලා තියෙද්දි මුහුදෙන් එන මාළු ටිකක් කළපුවේ හිටියා.
දැන් තාප්පයක් බැන්දා වගේ උස කුණු කන්දකින් මෝය කට වැහුණා. අද වෙනකොට කළපුව ගඟටවත් මුහුදටවත් සම්බන්ධ නැහැ. තව ටිකක් දවස් යනකොට මේ තියෙන වතුර පල් වෙලා මුළු පළාතම ගඳ ගහයි. ලුනාව කළපුවටත්, බේරේ වැවටත් වෙච්ච දේ මේකටත් වේවි.“
වසර ගණනාවක් තිස්සේ ධීවර රැකියාවේ නියූතු වූ කළුතර කටුකුරුන්දේ පදිංචි ඇන්ටනි කැලිස්ටස් රුද්‍රිගු (අවු: 68) අදහස් දක්වමින් මෙසේ කීය.
“මම අවුරුදු 13 කාලෙ ඉඳල මේ කළපුවෙ ධීවර රැකියාව කරනවා. අපි වගේම කළපුවේ ධීවර රැකියාව කරපු 30 - 40 ක් හිටියා. ඒ කාලෙ ගඟේ මාළුන්ට අමතරව පරවි, ගොඩයො, කොරළි, කටිල්ලො, වැලිගොව්වො, ඉස්සො එහෙම අහුවෙනවා.
කළපුවෙන් පිටත්වී මුහුදු ගිය බෝට්ටු කීපයකුත් තිබුණා. දැන් ඒ මාර්ග සියල්ල ඇහිරිලා. මම කටුකුරුන්ද ශාන්ත පිලිප්නේරි ධීවර සමිතියේ භාණ්ඩාගාරික. ශාන්ත ඇන්ඩෘ ධීවර සමිතියේ උප සභාපති. මේ කළපුව රැක දෙන්න කියල අපි කළුතර ධීවර කාර්යාලයටත් අදාළ අංශවලටත් දන්වලා තියෙනවා. එහෙත් ඒක කවුරුවත් සැලකිල්ලට ගත්තේ නැහැ.“ කලක් සාම්ප්‍රදායික උපුමයන්ගෙන් ධීවර රැකියාවේ නියුතු වූ කළුතර කටුකුරුන්දේ පදිංචි ජූඩ් සමන්ත (අවු, 45) අද වන විට කළපුවට අත්ව ඇති ඉරණම ගැන පවසන්නේ කනස්සල්ලෙනි.
“මම කුඩා කාලෙ ඉඳල මේ කළපුවේ ඉරට්ටෙන් අතන්ගුවෙන් ඉස්සො අල්ලලා තියෙනවා. කිතුල් පිත්තෙන් බිලී බාලා තියෙනවා. දැන් ඔරුවකින් ධීවර රැකියාවේ යෙදෙනවා. දැන් කළපුව හිස්. මාළු නැහැ. අපේ ඔරු ඉවුරෙ ගැට ගහල තියෙනවා. මාළු නැති වුනාට කළපුවේ වැරෑටි බෙල්ලො බෝවෙලා තියෙනවා. උන් දැල්වල බැඳෙනවා. මේ දර්ශනීය කළපුවේ අපි ධීවර රැකියාව කළාට අමතරව සමහරු ජල ක්‍රීඩාව කළා. රෙදි හේදුවා. නෑවා. දැන් නාන්නවත් බැහැ. තව ටික දවසකින් වතුර පල් වේවි. කළුතර නගරයේ ප්‍රධාන කුණු කානු 06ක් කළපුවට යොමු කරල තියෙනවා. ඒවාට සමහරු වැසිකිළි බටත් හරවලා තියෙනවා. මේ තත්වය මත තව ටික දවසකින් කළපුවට කුමක් සිදුවේදැයි හිතා ගන්නට බැහැ.“ ගුරුවරයෙකු හා පරිසරවේදියෙකු වූ මහින්ද නාමල් කළපු හානිය ගැන පවසන්නේ මෙවන් කතාවකි.
“මේ විනාශයට මුල් වුණේ 2018 විතර ඉතා අමනෝඥ හා වගකීම් රහිතව වැරදි තැනකින් මෝයක් කැපීම නිසයි. එයින් කළපු පද්ධතියත් මුහුදත් අතර වූ වැලි පරය මුහුදට තල්ලු වී ගියා. කළපුව ආශ්‍රිතව ධීවර රැකියාව කළ ධීවරයින් හා පරිසරයට ආදරය කරන පිරිස් මේ සම්පත රැක දෙන ලෙස කළ ඉල්ලීම් මේ වනවිට නොසලකා හැර තිබෙනවා.
දැන් ගංවතුරත් සමඟ ආ කුණු රොඩුවලින් තිබූ මෝය ඇහිරිලා. මෙහි ප්‍රතිඵලය වන්නේ මෙය දුගඳ හමන අජීවී කළපුවක් වීමයි. වහා පියවර නොගතහොත් මේ තත්වය වළක්වා ගන්න බැහැ.“
මේ සම්බන්ධයෙන් අප කළ විමසුමට පිළිතුරු දුන් කළුතර ප්‍රාදේශීය වාර්මාර්ග ඉංජිනේරු එච්. කේ. එම්. සජීවනී මෙසේ කීවාය.
“වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් වන්නේ ගඟක මෝය කට සිට කිලෝ මීටර් 2ක් තරම් සමීපයට වනතුරු පමණයි. එහෙත් මෝය කටක පිහිටීම හා විශාලත්වය ගංවතුර බැස යාමට බලපානවා. එමෙන්ම කළුතරට පානීය ජලය සපයන කෙත්හේන ජල පවිත්‍රාගාරය දක්වා ලවණ පැතිරීමට ද බලපානවා.
කළු ගඟේ ජලය දැන් කළපුවට නොගොස් කෙළින්ම මුහුදට යනවා. මේ තත්වය නිසා ගංවතුර පාලනයක් සිදුවී ඇති බව පේනවා. එහෙත් කළපුවට ගඟේ වතුර ගෙන යාම ගැන ව්‍යාපෘතියකට ශක්‍යතා අධ්‍යයනයක් සිදු කර තිබෙනවා. කෙසේ වෙතත් මෝය තියෙන කලාපය අයිති වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවටයි.“ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කළුතර දිස්ත්‍රික් ඉංජිනේරු ඊ. එල්. සී. විනෝද් අදහස් දක්වමින් මෙසේ කීය. “කළු ගඟේ ජලය කළු ගං කළපුවට ඒම සුදුසුයි කියල මම හිතනවා. ඒ සඳහා දැනට නාවික කඳවුර ඇති ස්ථානය අසලින් අගලක් කැපීමට යෝජනාවී තිබෙනවා. දැනට පැරණි මෝය අවහිර වී තිබීම පිළිබඳව සොයා බලා කටයුතු කරනවා. “කළුතර දිසා ලේකම් ප්‍රසන්න ගිනිගේ පවසන්නේ; “වසර කීපයක සිට කළු ගඟේ මෝය වෙනස්වී තිබෙනවා.
මේ නව වෙනස්වීම කළුතර දිස්ත්‍රික්කයේ මෙතෙක් පැවැති ගංවතුර ගැටලුවට විසඳුමක්ව තිබෙනවා. ඒ ගඟේ වතුර ප්‍රමාණය එක එල්ලේම මුහුදට ගලා බසින නිසයි. ඒත් කළපුවට බලපාන තත්වය ගැනත් සොයා බැලිය යුතු වෙනවා.
මේ සම්බන්ධයෙන් ඉක්මනින් ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කර පැරණි මෝය කටේ කුණු රොඩු ඉවත් කර එහි අවහිරතාවය මග හැරීමට කටයුතු කරනවා.“
කළු ගං කළපුව යනු කළුතරට ඇති මහඟු සම්පතකි. එය වටින්නේ කළුතර ජීවත් වන ජනතාවටය. අනාගත පරම්පරාවටය. එය ආරක්ෂා කර දීම කාගේත් යුතුකමය.