කොවිඩ් නිහැඬියාවෙන් දෙහිවල සත්තුවත්තට වසන්තය උදා වෙයි | Page 3 | සිළුමිණ

කොවිඩ් නිහැඬියාවෙන් දෙහිවල සත්තුවත්තට වසන්තය උදා වෙයි

සීබ්‍රා මව සහ පැටවා

- කළු හංසයන් වසර 7 කට පසු පැටවුන් බිහි කළේ ප්‍රථම වතාවට
- සුදු මොනරු බිත්තර 6 ක් දැම්මා, ලැබුණේ පැටවුන් 2 යි
- මෙම වසරට පමණක් අරාබි ඔරික්ස් ගව පැටවුන් 4 ක් එකතු වුණා

සොබා දහමෙන් නිර්මිත විලක් නොවූවද සුවිසල් ජල ටැංකිවල ඒ මේ අත පිහිනමින් සෑහීමකට පත්වීමට කළු හංසයන් පුරුදු වූයේ දෙහිවල සත්වෝද්‍යානයට පැමිණි පසුවය. සීත රටක සිට මෙරටට පැමිණි කළු හංසයින් හත් දෙනාගෙන් දෙහිවල සතුන්වත්තේ 5 දෙනකු පමණක් ඉතිරි වූයේ ජෝඩුවක් වාගොල්ලේ පිහිටි සතුන්වත්තට රැගෙන ගිය බැවිනි. නිස්කලංක බවට කවදත් ප්‍රිය කළ මෙම කළු හංසයින් 2013 වර්ෂයේ සිට දෙහිවල සත්වෝද්‍යානයේ නවාතැන් ගෙන සිටියත් වර්ගයා බෝවීමක් සිදු නොවූයේ නරඹන්නන්ගේ පැමිණීම උන්ගේ අභිජනන කාර්යයට බාධාවක් වූ නිසා ය. එහෙත් 2020 මාර්තු මාසයේ සිට කොවිඩ් වසංගතය හමුවේ රටටම අගුළු දැමීමත් සමඟ සත්වෝද්‍යානයේ සතුන්ට භුක්ති විඳින්නට ලැබුණේ අසීමිත නිදහසකි. සැබැවින් ම මෙම කාලය සතුන්ට වෙස් වළාගත් ආශිර්වාදයක් විය.

නිශ්ශබ්දතාවෙන් පිරුණු අවට පරිසරය තුළ රිසි සේ හැසිරීමට ඉඩකඩ විවර වූ කළු හංසයන් ජෝඩු ලෙස බැඳී වෙන් වී පෙම් සුව වින්දේ මෙතෙක් අත්නොවිඳි ප්‍රහර්ෂයක් ආස්වාදනය කරමිනි. එහි ප්‍රතිඵලයක් ලෙස කළු හංසයන් 5 දෙනා අතරින් ජෝඩුවක් මෙම වසරේ මාර්තු 22 වැනි දින හා හා පුරා කියා මවුපියන් බවට පත්වූයේ දෙහිවල සත්වෝද්‍යානය තුළ වාර්තාවක් තබමිනි. එකී වාර්තාව වන්නේ සතුන්වත්තේදී කළු හංස පැටවුන් ප්‍රථම වතාවට බිහි වීමය.

“කළු හංසයන් 5 දෙනාගෙන් ප්‍රජනන කාලයේදී ජෝඩු වුණු කළු හංසයන් දෙදෙනා පවුලක් වගේ එකටමයි ජීවත් වුණේ. 2013 ඉඳලා මේ පස්දෙනා එකට ජීවත් වුණාට බිත්තර දැම්මේම නැහැ. මේ වතාවෙ තමයි පළමු වතාවට බිත්තර දැම්මේ. මේ කළු හංසධේනුව බිත්තර 8 ක් දැම්මා. ඉස්සෙල්ලාම දාපු බිත්තරය රකින්නේ නැතිව අනිත් කළු හංසයන් එක්ක රණ්ඩු කරන්න ගිහින් බිඳුණා. ඊට පස්සේ තව බිත්තර 2 ක් දැම්මා. ඒත් රකින්නේ නැති නිසා අපි අරගෙන කෘත්‍රිම ආකාරයට රැකීමේ උපකරණ 2 කට දැම්මා. ඊට පස්සේ බිත්තර 5 ක් දැම්මා. ඒ බිත්තර පහ දැම්මාට පස්සේ නම් රකින්න පටන් ගත්තා. මේ වනවිට මේ කළු හංස ජෝඩුව අපි වෙන්කර තිබුණු නිසා අනිත් අය එක්ක රණ්ඩු කරන්න යන්න බැරි වුණා. කළු හංස ධේනුව වගේ ම කළු හංසයාත් බිත්තර රකිනවා. ඒ නිසා බිත්තර පහෙන් පැටවු 5 ක් අපිට ලැබුණා. අපි කෘත්‍රිමව රැකපු බිත්තර දෙකින් එකක් ඇතුළේ පැටවා මැරිලා හිටියා. අනිත් බිත්තරයෙන් නම් පැටියෙක් ගන්න පුළුවන් වුණා. ස්වාභාවිකව පැටවු 5 කුත් කෘත්‍රිමව එක් පැටවෙකුත් අපට ලැබිලා තියෙනවා.” යනුවෙන් පැවසුවේ දෙහිවල සත්වෝද්‍යානයේ සහකාර පාලක පාලිත පෙරේරා ය.

2020 මාර්තු මාසයේ සිට භුක්ති විඳින නිදහසෙන් උපරිම ඵල නෙළා ගත්තේ කළු හංස ජෝඩුව පමණක් නොවේ. අරාබි ඔරික්ස් ගවයන් ද, සීබ්‍රා ද, නිල් ගයි හෙවත් නිල් ගවයා ද සුදු මොනරුන් ද, බූරුවන් ද කොවිඩ් වසංගතය සමඟ උදා වූ වසන්තයෙන් ඵල නෙළා ගෙන තිබේ.

මේ වසර ආරම්භයත් සමඟ ජනවාරි 18 දෙහිවල සත්වෝද්‍යානයට නව ජන්මයක් දුන්නේ අරාබි ඔරික්ස් ගවදෙනකි. ඒ ගැහැනු පැටවකු ප්‍රසූත කිරීමෙනි. ඉන් අනතුරුව තවත් අරාබි ඔරික්ස් ගවදෙනක් පෙබරවාරි 02 වැනිදා ද වෙනත් අරාබි ඔරික්ස් ‍ගවදෙ‍නක් පෙබරවාරි 20 වැනිදා ද පැටවුන් ප්‍රසූත කළහ. මෙම පැටවුන් දෙදෙනාම ගැහැනු වෙති. ඊට අමතරව තවත් අරාබි ඔරික්ස් ගවදෙනක් මැයි 29 වැනිදා පැටවකු ප්‍රසූත කර ඇති අතර උගේ ලිංගභේදය පරීක්ෂා කිරීමට ඉක්මන් නොවුණේ තවමත් පැටවා කුඩා වැඩි නිසාය. මෙම වසරේ දෙහිවල සත්වෝද්‍යානයට එකතු වූ අරාබි ඔරික්ස් ගව පැටවුන් ගණන 4 කි. මෙහි සිටින අරාබි ඔරික්ස් ගව වැඩිහිටි පිරිස අටදෙනෙකි.

දෙහිවල සතුන්වත්තේ සීබ්‍රා සත්තු 5 දෙනෙක් සිටිති. ඉන් තිදෙනෙක් ගැහැනු වෙති. මෙම තිදෙනාගෙන් දෙදෙනෙක්ම මෙම වස‍රේ මවු පදවියට උරුමකම් කීහ. පෙබරවාරි සහ මාර්තු මාසවල උපන් සීබ්‍රා පැටවුන් දෙදෙනා ද ගැහැනු වීම විශේෂයකි. ඉන්දියාවට ආවේණික වූ ගව විශේෂයක් වන නිල් ගයි හෙවත් නිල් ගවදෙනකු පැටවකු බිහි කළේ මෙම වසරේ පෙබරවාරි 12 වැනිදා ය. ඌ ද ගැහැනු පැටවෙකි‍. මෙම ගව විශේෂයේ විශේෂිත ලක්ෂණය වන්නේ මෙම සතුන් පරිණත වනවිට තද නිල් පැහැයට හුරු කළු වර්ණයක් ගැනීමයි.

මෙම වසරේම මාර්තු 15 වැනි දින දෙහිවල සතුන්වත්තට තවත් නව සාමාජිකයකු එකතු විය. ඒ බූරු පුත්‍රයෙකි. “බොල බූරු පුතේ, දුක ශෝකා ඉතින් ඉවසන්” යනුවෙන් ‘දෙව්ලොව යනකං’ නාට්‍යයේ ගැයූවද මෙම බූරු පුත්‍රයාට නම් කිසිම දුකක් ශෝකයක් නොදැනෙන්නේ මව, පියා, සහෝදර, සහෝදරියන් පමණක් නොව ආච්චි ද එක ගොන්නට ජීවත්වන නිසා ය. සත්වෝද්‍යානයේ මේ වනවිට බූරුවෝ 6 දෙනෙක් සිටිති. ඉන් දෙදෙනකු ගැහැනු වන අතර ඉතිරි සිවුදෙනා පිරිමි වෙති. බූරුවකු සහ බූරුදෙනකගෙන් ලැබුණු පැටවුන් සහ පැටවුන්ගේ පැටවුන් වශයෙන් මෙම බූරු කණ්ඩායම සෑදී තිබේ.

“සාමාන්‍යයෙන් සමාජයේ බූරුවා, බූරුවා කියලා පාච්චල් කළාට බූරුවා කියන්නේ කීකරු, හීලෑ සතෙක්. අපේ සත්වෝද්‍යානයේ ජනප්‍රියම සතා තමයි බූරුවා. පොඩි දරුවන් බූරුවන් අතගානවා. සුරතල් කරනවා. සෙල්ෆි ගහනවා. බූරුවන්ගේ ෆොටෝ ගන්නවා.” යනුවෙන් අලුත් ම තොරතුරක් අනාවරණය කළේ දෙහිවල සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී ශෑමල් සමරනායක ය. ඉන්දියානු මුව විශේෂයකට අයත් Black Buck සත්ව සමූහයට ද මෙම වසරේ මාර්තු 26 වැනිදා නව සාමාජිකයෙකු එකතු විය. ඌ පිරිමි පැටවෙකි. මේ වනවිට දෙහිවල සතුන්වත්තේ Black Buck සත්වයෝ 5 දෙනෙක් සිටිති.

දුර්ලභ සත්ව විශේෂයක් වන සුදු මොනරුන්ගෙන් ද පැටවුන් 3 දෙනෙකු බිහිවූයේ මෙම වසරේ මැයි 03 වැනිදා ය. හම්බන්තොට රිදීගම සෆාරි උද්‍යානයෙන් එවන ලද සුදු මොනරුන් 4 දෙනාගෙන් එක් සෙබඩක් හා හා පුරා කියා මවු පදවිය ලැබුවේ කොවිඩ් වසංගතය හේතුවෙන් උදා වූ නිදහස් නිස්කලංක පරිසරයට පින්සිදු වන්නටය.

“සුදු සෙබඩ බිත්තර 6 ක් දාලා රැක්කා. මේ බිත්තර දින 38 ක් රකිනවා. ඒත් පැටවු ආවේ බිත්තර දෙකකින් විතරයි. අනිත් බිත්තර නරක් වුණා.” යනුවෙන් පැවසුවේ සහකාර පාලක පාලිත පෙරේරා ය.

අප්‍රිකානු ගව විශේෂයකට අයත් ස්කිමිටර්හෝන් ඔරික්ස් (Scimitar Horned Oryx) දෙනක් පැටවකු ප්‍රසූත කළේ අප්‍රේල් 11 වැනිදාය‍. මෙම ස්කිමිටර් හෝන් ඔරික්ස් ගව විශේෂයේ ගැහැනු සතුන් දෙදෙනෙක් සහ එක් පිරිමි සතෙක් දෙහිවල සතුන්වත්තේ සිටිති. ඒ මව, පියා සහ දුව වශයෙනි. මෙවර සිංහල අලුත් අවුරුද්ද ළං ළංව එන මොහොතේ පැටවකු ප්‍රසූත කළේ ස්කිමිටර් හෝන් ඔරික්ස් දුවය. එහෙත් පැටවාගේ පීතෘත්වය හිමිවන්නේ ඔරික්ස් දුවගේ පියාටමය.

මීට අමතරව නිල් මාල ගිරවු (Blue Ringneck Parakeet) පැටවුන් දෙදෙනකු ද ළය රතු ගිරවු පැටවුන් තිදෙනකු ද බිහි වූයේ මෙම වසරේ කොවිඩ් වසංගතයට රට වසා ඇති වකවානුවේය.

“කොවිඩ් වසංගතයට ගිය අවුරුද්දේ මාර්තු මාසයේ සිට දෙහිවල සත්වෝද්‍යානය වහපු නිසා සතුන්ට පුදුමාකාර නිදහසක් ලැබුණා, නරඹන්නන්ගේ පැමිණීම නැතිවීමෙන් සතුන් විවේකීව සිටියා. වෙන කිසිම අවුරුද්දක නැති විදිහට 2021 වර්ෂයේ සත්ව ගහනය වැඩිවීමට එය ඍජුවම බලපා ඇති බව අපිට පෙනෙනවා. රයිනෝසිරස් වැනි සතුන් කීපදෙනකු ගැබ් ගෙන ඇති බවට සැක පහළ වී තිබෙනවා. ඒවායේ ප්‍රතිඵල ලැබෙන්න තව කල් යයි.” යනුවෙන් දෙහිවල සත්වෝද්‍යානයේ සංවර්ධන නිලධාරී ‍ශෑමල් සමරනායක පැවසීය.

‍රටම අඟුළු දැමූ වකවානුවේ අවට පරිසරයේ ඇති නිශ්ශබ්දතාව, විවේකය සතුටින් භුක්ති විඳිනු ලැබුවේ දෙහිවල සත්වෝද්‍යානයේ සතුන් පමණක් නොවේ. වනෝද්‍යාන සහ අභයභූමිවල ජීවත්වන සතා සීපාවා පමණක් නොව ගස්වැල් පවා මලින් පලින් බර වූයේ පරිසරයේ උදාවූ නිස්කලංක බව නිසා ය.


Comments