තෙල් මිල අස්සේ පොම්පකරුවන්ගේ සද්දේ | Page 2 | සිළුමිණ

තෙල් මිල අස්සේ පොම්පකරුවන්ගේ සද්දේ

ගිම්හාන සඳරුවන් (28) 
කළුතර

කොළඹ සිපෙට්කෝ තෙල් ගහන්න මම එන්නේ කළුතර ඉඳලා. ඉස්සර දවස ගානේ වුණත් බස් එකේ වැඩට එන්න පුළුවන්. දැන් සංචරණ සීමා නිසා දවස් දෙකකට වරක් තමයි ගෙදර යන්නේ. යන්න එන්න පාස් එකක් දීලා තිබුණත් හැම තැනකම පොලිසියෙන් පරීක්ෂා කරනවා.

අපි ඇඳගෙන එන්නෙත් යුනිෆෝම් එක. ඒත් නවත්තලා බලනවා. අපි උදේ 7.00 ඉදලා රෑ 10.00 තුරු වෙනදට විවෘතව තිබුණත් මේ කාලේ උදේ 7.00 ට ඇරලා සවස 7.00 ට වහනවා. ඉස්සර 4 දෙනෙක් වැඩ කළා. දැන් වරකට එක්කෙනයි වැඩ. අ සාමාන්‍යයෙන් දවසකට 2500 - 3000 පමණ එනවා තෙල් ගහන්න. මේ සැරේ පෙට්‍රල් මිල වැඩි කළා කියලා කලින් ගහලා තියාගන්න වැඩිපුර ආවෙ නැහැ. එන්නත් බෑනේ සංචරණ සීමා නිසා. අනික රෑ ප්‍රවෘත්ති වලටනෙ කීවෙ වැඩි කරනවා කියලා.

ඒ. පුෂ්පරාජ් (38) 
බදුල්ල

සංචරණ සීමාවලට කලින් මම දවස් දෙක තුනකට වරක් ගෙදර යනවා. ඒත් දැන් මෙහෙ නතරවෙලා ගෙදර යන්න විදිහක් නෑ. ආර්ථික ප්‍රශ්න එමටයි; දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කෑම මෙහෙ කට්ටිය උයාගෙන කනවා; ඉන්නත් ඉඩ තියනවා; ඒත් අපිට ගෙදර ගිහින් එන්න විදිහක් නෑනේ. අපේ සෙඩ් එකේ ඩීසල් පෙට්‍රල් දෙකම තියනවා. මිල වැඩි කළා කියලා පිරිස අඩු නෑ. අපි සාමාන්‍යයෙන් උදේ 7.00 සිට රාත්‍රී 11.00 තුරු ඇරලා. ඒත් මේ දිනවල රෑ 7.00 ට වහනවා. පෙට්‍රල් - ඩීසල් ගහන්න එන පිරිස අඩුයි. රජයේ වාහන, පොලිසියේ හමුදාවෙ ඒවා, ඉස්පිරිතාලෙ තමයි වැඩුපර එන්නේ. වෙනද නම් මිල වැඩි කරනවා කියලා ආරංචි වුණාම මිනිස්සු දිග පෝලිම්වල හිටියා. මේ සැරේ සංචරණ සීමානේ.

අමිල සමන්සිරි (33)
ගාල්ල

අපි සේවා මුර ක්‍රමයට වැඩ කරන්නේ. දවස් 5ක් වැඩ කරලා දින 3ක් නිවාඩු. මේ සංචරණ සීමා නිසා තව ටික කලක් දුෂ්කරතාවන්ට මුහුණ පාන්න සිදු වෙනවා. ඉන්ධන පිරවුම්හල් අත්‍යවශ්‍ය සේවා කියා ගැසට් කරලා නිසා අපේ සේවය අනිවාර්යයයි. විවාහවෙලා නැති නිසා මට නම් නිතරම ගෙදර යන්න ඕනේ නෑ. යන්න වුණත් අපහසුවක් නෑ. මේ නිල ඇඳුම නිසා යන්න එන්න දෙනවා. මේ දවස්වල සාමාන්‍ය පිරිසක් තමයි සෙඩ් එකට එන්නේ. මහ රෝහලට යන අය තමයි වැඩිපුරම සෙඩ් එකට එන්නේ. පෙට්‍රල් තමයි වැඩිපුරම යන්නේ. දවසකට 500ක් විතර එනවා. පෙට්‍රල් ගහන්න අපි දෙන්නෙක් ඉන්නවා. අපිට මෙහෙ සෙඩ් එකෙන් කෑම බීම නවාතැන් දෙනවා. ඒ නිසා කීයක් හරි ඉතුරු කරගන්න පුළුවන්.

ඒ.ඩී. සිල්වා (54) 
යටියන්තොට

මම කලින් දවස් දෙකකට වරක් ගෙදර ආවා ගියා සෙඩ් එකේ පෙට්‍රල් ගහන්න. දැන් ගෙදර යන්න විදිහක් නෑ. මාස 3 විතර මෙහේ හිරවෙලා. මට පුතෙක් ඉන්නවා. මේ සංචරණ සීමා නිසා අපිව පවුලෙන් ඈත් කරලා. යන්න හැදුවත් පාරෙදි විවිධ දුෂ්කරතාවලට මුහුණපාන්න වෙනවා. ඒ නිසා මේ කරදර ඉවර වෙනකම් ඉන්නව. සෙඩ් එකේ දවසකට ලක්ෂ 4 විතර බිස්නස් තියනවා. අපි තුන් හතර දෙනෙක්ම වැඩ. සුපර් ඩීසල්, පෙට්‍රල් වැඩිපුර විකිණෙනවා. මේ ටිකේ පෝලිම් නම් තිබුණේ නෑ මිල වැඩි කළත්. උදේ 6.00 ඇරලා හවස 7.00 වහනවා සංචරණ සීමා නිසා. නැත්නම් රෑ 11.00 දක්වා වැඩ. වාඩිවෙලා විවේක ගන්න වෙලාවක් නෑ. කොයිවෙලෙත් කවුරු හරි ඉන්ධන ගහගන්න එනවා.

සුබ්‍රමනියම් විජයකුමාර් (45) 
අවිස්සාවේල්ල

සංචරණ සීමා නිසා වාහන අඩුයි. බිස්නස් අඩුයි. ගෙවල් වලට යන්න පාස් එකක් තිබුණත් යන්න වාහන කිසිවක් නෑ. ඒ නිසා වැඩ ඉවර වුණාම මම ගෙදර යන්නේ යාළුවෙකුගෙ බයික් එකක් ඉල්ලගෙන. පොලිසියෙන් නම් කරදරයක් නෑ යන්න බැරි නම් සෙඩ් එකේ නතර වෙලා ඉන්නවා. මට දරුවෝ 3 යි. පඩිය බැංකුවට දානවා; ගෙදර යන්න බැරි නිසා. සංචරණ සීමා නිසා පෙට්‍රල් ගහන්න එන වාහන වුණත් අඩුයි. හැමෝටම යන්න එන්න බෑනේ. හයර් දුවන අයටත් රැකියාවල් නෑ. පවුලේ ගමන් බිමන් යන්න ඉන්ධන ගහගන්නත් බෑ. ඉන්ධන මිල වැඩිවුණා කියලා සමහර අයට ගානක් නෑ. හැම ගැටලුවක්ම බලපාන්නේ පොඩි මිනිහට තමයි.

විමුක්ති මධුෂාන් (31) 
කිරිඳිවැල

ඉස්සර දවස ගානේ ගෙදර ඉඳලා ආවෙ ගියේ. දැන් සංචරණ සීමා නිසා යන්න බෑනේ. මෙහෙ නතර වෙලා ඉන්නේ. මම විවාහ වෙලා දරුවෙක් ඉන්නවා. අපි ළඟ ඔක්ටේන් 92, ඔක්ටේන් 95, ඔටෝ ඩීසල්, සුපර් ඩීසල් හැම දෙයක්ම තියනවා. ඒවායේ මිල ගණන් වෙනස්. වැඩිපුරම ඉල්ලුම තියෙන්නේ පෙට්‍රල් වලට. දවසකට හාරපන්සීයක් විතර ඉන්ධන පුරවගන්න එනවා. විවිධ ප්‍රදේශවලින් හුඟක් අය පන්දාහේ නෝට්ටු ගේනවා. හුඟාක් අය තම වාහනවලට උපරිම ඉන්ධන ප්‍රමාණයක් එකවර පුරවා ගන්නවා. වැඩිපුර ත්‍රිවිල් එනවා. මේ සැරේ මිල වැඩි කළේ රාත්‍රියේ නිසා හුඟාක් අයට කලින් ඉන්ධන පුරවගන්න බැරි වුණා. සමහරු දන්නෙත් නෑ.

Comments