
සම්බුල ඔහු ගේ නම ය. කච්චායන ගෝත්‍රයේ උපන් හෙයින් සම්බුල කච්චායන නමින් ඔහු ප්‍රකට විය.
මගධ රට වැසියකු වූ ඔහු දිනක් වේළුවනාරාමයට ගියේ බුදුරජාණන් වහන්සේ ගෙන් බණ ඇසුවේ ය.
අනන්ත කාලයක සිට ඉපදෙමින්, මැරෙමින් ආ සසර ගමනේ දුක - බිහිසුණු බව ඔහුට බණ අසන අතර වැටහිණ. ‘සසර ගමන නතර කළ හැකි භවයක දැන් මා ඉපිද සිටිනවා. හොඳින් සිහිකල්පනාව ඇති මිනිසකු වශයෙන් ඉපිද සිටින මා දැන් සසර ගමන නවතන මග දන්න උතුමකු ළඟ ඉන්නවා. උන්වහන්සේ ගෙන් උපදෙස් ලබා ගෙන දුකෙන් මිදීමේ, සසර ගමන අවසන් කිරීමේ අවස්ථාවට මා පැමිණ සිටිනවා. මේ අවස්ථාවෙන් මා ප්‍රයෝජන ගත යුතුමයි. මේ අවස්ථාව පැහැර හැරියහොත් යළි කොපමණ කාලයක් සසරේ ඇවිදින්නට වේදැයි දන්නේ නැහැ.‘
ඔහු දහම් දෙසුම අවසන් වූ පසු ද පියැවුණු දෑසින් යුතුව සිටියේ ය.
උණ වනය සැලෙන සිලිසිලිය පමණක් ඇසෙන්නට වූ පසු නැගී සිටි ඔහු ඈත තුරු සෙවණේ වැඩ සිටින බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ ය.
“ස්වාමීනී, මා පැවිදි කළ මැනවි“ සම්බුල කච්චායන කී ය.
පැවිද්ද ලැබිණ. සම්බුල කච්චායන හිමියෝ කමටහන් ලබාගෙන, විදසුන් වැඩීම සඳහා හිමාල අඩවියේ භේරව නමැති පර්වතයේ පිහිටි ගුහාවකට වැඩිම කළහ.
විදසුන් වැඩීම ඇරැඹිණ.
පංචස්කන්ධ ධර්මයන් අනිත්‍ය, දුක්ඛ, අනාත්ම වශයෙන් දකිමින්, සමාධියෙන් යුතුව දින කීපයක් ගෙවීමෙන් පසුව එක් දිනෙක උන්වහන්සේට අහස ගුගුරනු ඇසිණ. පර්වත මුදුනේ ද මැද ද අකුණු පිපිරිණ. මහ වැසි වසින්නට විය. ගඩ ගඩ හඬින් ජලධාරා ඇදැහැලෙන්නට විය.
දිවි, වලස්, කුළු හරක්, ඇත් ආදි වන සත්තු බියපත්ව මහ හඩ නැඟූහ.
සම්බුල කච්චායන හිමියන් ගේ ශරීරයේ ග්‍රීෂ්මය දුරුවී සිරුර සිහිල් ව ගියේ ය. සිත වඩාත් සංසුන් වූයේ ගැඹුරු සමාධියේ ම පිහිටියේ ය. අවට බිහිසුණු හඬ නැගෙද්දී උන්වහන්සේ සිත නිවනට පත් විය. රහත් බව ලැබීය.
රහත් බව ලබද්දී ගුහාව අවට පැවැති බිය දනවන, බිහිසුණු පරිසරය සිහිපත් කරමින් සම්බුල කච්චායන රහතන් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ.
මහ වැස්සක් වසින්නේ ය
ගඩ ගඩ ගඩ හඬ නඟමින්
ජල කඳකුත් බසින්නේ ය
බිය දනවන අඳුර පිරුණු
ගුහාව තුළ මා තනිව ම.
එහෙත් බියක් තැති ගැන්මක්
ලොමුදැහැගැන්මක් මට නැත
මගේ දහම මා සුරකී