මහනුවර රෝහලේ විස්මිත සැත්කම | සිළුමිණ

මහනුවර රෝහලේ විස්මිත සැත්කම

මෙම දිනවල රටේම ජනතාවගේ අවධානය යොමුව තිබෙන්නේ කොවිඩ් සම්බන්ධ මාතෘකා කෙරෙහිය. වයිරසයට දෛනිකව ගොදුරු වන පිරිස හා එමඟින් සිදුවන මරණ සම්බන්ධව කවුරුත් කතා කරති. කොවිඩ් රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල යුහුසුලුව කටයුුතු කරන අන්දම නිතර මාධ්‍ය මඟින්ද වාර්තා කරනු ලබයි. මේ ආකාරයට කොවිඩ් පිළිබඳව වැඩිපුර කතා කළද අනතුරු හා වෙනත් රෝග නිසා රෝහල් ගතවන්නන්ද සිටින බව අප අමතක නොකළ යුුතුය. ඔවුන්ගේ ජීවිතද බේරා ගැනීමට වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල කටයුතු කරන්නේ තම දිවිද පරදුවට තබමිනි.මේ ආකාරයට දැඩි අවධානමක් ගෙන කොවිඩ් අසාදිත පුද්ගලයෙකුගේ ජීවිතය බේරා ගැනීමට මහනුවර ජාතික රෝහලේදී පැය තුනක සැත්කමක් කරනු ලැබුවේ විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර ඇතුළු කණ්ඩායමක් විසිනි.

ගසකින් වැටීම නිසා සුසුම්නාවට බරපතළ හානි සිදුවූ රෝගියකුට අදාළ සැත්කම් සිදුකර තිබුණු අතර එය සුවිශේෂ වන්නේ අදාළ පුද්ගලයා කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ අයකු වීම නිසාය. කෑගල්ල රෝහලෙන් පසුගිය 07 දින මහනුවර ජාතික රෝහලට මාරුකර එවා තිබූ ඔහු හැටවැනි වියේ පසු වූවෙකි. නිවස ඉදිරිපිට වූ කොස් ගසට ඉණිමගක් හේත්තුකර හිසට ඉහළින් වූ කොස් ගෙඩියක් කැඩීමට යාමේදී එය ඔහුගේ හිස මතට පතිත වී තිබේ. ඒත් සමඟ ඉණිමගෙන් වැටී ඇති එම පුද්ගලය‍ා කෑගල්ල රෝහලට ඇතුළත් කර ඇත. එහිදී සිදු කළ මූලික පරීක්ෂණ මගින් ඔහුගේ සුසුම්නාවට හානි සිදුව තිබෙන බව තහවුරු වීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට මාරුකර එවා තිබේ.

‘මේ පුද්ගලයා 07 දින රාත්‍රී 7.00 ට පමණ තමයි මහනුවර ජාතික රෝහලට ඇතුළත් කළේ.ගසෙන් වැටීම නිසා මෙම පුද්ගලයාගේ කොඳු ඇට පේළියේ පහළ කෙළවරේ අපි වෛද්‍ය විද්‍යාත්මක L-3 ලෙස හඳුන්වන කොටසේ බිඳීමක් ඇති වෙලා තිබුණා. මේ නිසා සුසුම්නාවේ ස්නායුවලට ද යම් හානි සිදුව තිබුණා. ඒ නිසා ඔහුගේ පාද දෙකම සෑහෙන දුරට අප්‍රාණික තත්ත්වයට පත්වෙලා තිබුණේ. ඒ හැර වෙනත් සෞඛ්‍ය ගැටලු ඔහුට කිසිවක් නොතිබුණු මේ පුද්ගලයා සෞඛ්‍ය සම්පන්නව සිටි අයෙක්. සඳුදා රාත්‍රියේ මම රෝගියා සහ වෛද්‍ය වාර්තා නිරීක්ෂණය කිරීමෙන් පසු ඔහුට සැත්කමක් සිදු කළ යුතු බව නිගමනය කළා. මේ ශල්‍යකර්මය අප නිතර කරන එකක්. ඒ නිසා අපිට ඒක අමුතු දෙයක් නෙ‍ෙවයි. නමුත් මෙතන තිබුණු ප්‍රශ්නය ඔහුට කොවිඩ් වයිරසය අාසාදනය වී තිබීමයි. මේ වන විට නුවර පමණක් නොව සෑම රෝහලකම වගේ රෝගියෙක් ශල්‍යකර්මයකට ලක්කරන්න කලින් ඔහුට හෝ ඇයට කොවිඩ් තිබෙනවාද කියලා බලන්න පරීක්ෂණ කරනවා. ඒ අනුව අපි මුලින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයක් කළා. ඒකෙන් රෝගියාට කොවිඩ් තිබෙන බව හෙළි වුණා. පසුව අපි ඔහුව පී.සී.ආර් පරීක්ෂණයකට ලක් කළා. ඒකත් පොසිට්ව් වුණා. අඟහරුවාදා (08) වැනිදා වෙනකොට රෝගියාට හුස්ම ගැනීමේ අපහසුතා ඇති වෙන්න පටන් ගත්තා. කොවිඩ් තත්ත්වයත් එක්ක රුධිරයේ තිබිය යුතු ඔක්සිජන් ප්‍රතිශතය ක්‍රමයෙන් පහළට එන බව අපට නිරීක්ෂණය වුණා. අසාමාන්‍යය තත්ත්වයේ සිටින පුද්ගලයකුගේ 98-99 % ප්‍රමාණයක් ලේ වල ඔක්සිජන් තිබෙනවා. මේ රෝගියාගේ එම මට්ටම 80% කට වගේ පහත බැස තිබුණා. රෝගියාට දැඩි සත්කාර අවශ්‍යය බව අපට තේරුම් ගියා. නමුත් අපිට ලොකු ගැටලුවක් වුණේ මෙයාගේ කොඳු ඇට පෙළ පහළින් බිඳී ගොස් තිබුණු නිසා ඔහු එහාට මෙහාට හැරවීම, එසවීම වගේ දේවල් කරන්න නොහැකි වීමයි. මොකද ඒක හරිම අවධානම්. ස්නායූ වලට ඒවන විටත් හානි වෙලා තිබුණේ. ඒවාට යළි යළිත් හානි වීම වළක්වා ගැනීමට නම් රෝගියාව ස්ථාවරව තබා ගැනීම ඉතා වැදගත් වෙනවා‘

විකලාංග ශල්‍ය වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර පැවසුවේය.

මේ ආකාර අවධානම් තත්ත්වයක් යටතේ සිටින රෝගීන්ට ප්‍රතිකාර කිරීම සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශ මාර්ගෝපදේශ තිබේ. ඒ අනුව එවැනි අවස්ථාවක සැත්කමක් කළ හැකි වන්නේ ජීවිත බේරා ගැනීමට,අතපය හා ශරීර අභ්‍යන්තර අවයව බේරා ගැනීමට පමණි. මෙම පුද්ගලයාගේ ස්නායූ බේරා ගැනීම යන තත්ත්වය යටතේ සැත්කම සිදු කිරීමට වෛද්‍යවරු තීරණය කර තිබේ. මහනුවර ජාතික රෝහලේ එක් ශල්‍යාගාරයක් කොවිඩ් අසාදිත පුද්ගලයන්ගේ සැත්කම් සඳහාම වෙන්කර ඇති අතර අදාළ රෝගියා සැත්කමට එහිදී භාජනට නොකිරීමට වෛද්‍යවරු තීරණය කර තිබුණේ සංකීර්ණ සැත්කමකට අවශ්‍යය පහසුකම් එහි නොතිබීම හේතුවෙනි.

ඒ සම්බන්ධව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර මෙසේ කීවේය. කොවිඩ් ආසාදිත රෝගීන්ගේ සැත්කම් වලට වෙන්කර තිබූ ශල්‍යාගාරය මේ අකාර සංකීර්ණ සැත්කමක් කිරීමට සුදුසු තත්ත්වයේ එකක් නොවෙයි. ඉඩකඩ මදිවීම එක ගැටලුවක්. අනෙක් පැත්‍තෙන් එහි පහසුකම් අඩුයි. මේ නිසා අපි අදාළ සැත්කම සාමාන්‍යය විකලාංග ශල්‍යාගාරයේම මේක කරන්න තීරණය කළා. මහනුවර ජාතික රෝහලේ ශල්‍යාගාර සංකීර්ණ 15 ක් විතර තිබුණත් ඒ කිසිදු එකක කොවිඩ් පොසිට්ව් රෝගියකු මම දන්නා තරමින් සැත්කමකට භාජනය කරලා නැහැ. මේක පළමු වතාවට තමයි එවැනි එකක කළේ. සාමාන්‍යයෙන් මෙවැනි සැත්කමකට පැය 1 1/2 ක පමණ කාලයක් ගත වෙන්නේ. නමුත් මේකට පැය තුනක පමණ කාලයක් අපට ගත වුණා. මොකද කොවිඩ් රෝගියෙක් නිසා විශේෂ ආරක්ෂිත ඇඳුම් කට්ටල ඇඳගෙන තමයි අපි සැත්කම කළේ. ඒ සූදානම් වීමටම පැයකට වැඩිය ගත වුණා. සාමාන්‍යයෙන් නිර්දේශ කරන්නේ ආරක්ෂිත ඇඳුම් කට්ටල වලින් සැරසුනු තුන් දෙනෙක් පමණක් සැත්කමට සහභාගී වෙන්න ඕන කියලා. මේකට අපි තුන්දෙනෙක් මදි. ඒ නිසා හය දෙනෙක් සැත්කමට සම්බන්ධ වුණා.

සැත්කම සිදු කිරීමේදී වෛද්‍යවරු මුහුණ දී තිබෙන ප්‍රධානතම ගැටලුව වී තිබෙන්නේ රෝගියාගේ සිහිනැති කිරීමය. ඔහුගේ රුධිරයේ ඔක්සිජන් මට්ටම පහත බැස තිබූ බැවින් සිහි නැති කිරීම ඉතා අවධානම් සහිත ක්‍රියාවක් වී තිබෙන්නේ එවැනි අවස්ථාවක රෝගියා මරණයට පත්වීම සඳහා 80% ක පමණ ඉඩක් පැවතීම නිසාය.

‘ලෝකයේ මේ ආකාර අවධානම් සැත්කම් වල ප්‍රතිඵල නිරීක්ෂණයකදී රෝගියා මරණයට පත්වීමේ වැඩි ඉඩක් තිබෙන බව පැහැදිලි වෙනවා. නමුත් අපි අවධානම අරගෙන සැත්කම කළා. සැත්කම කිරීමෙන් පසු කොදු ඇට පේළිය සවි කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර ප්‍රතිකාර ලබාදෙන තත්ත්වයට අපි රෝගයා හරවා ගත්තා. දැන් ඔහුට කෘත්‍රිම ශ්වසනය දෙන්නේ නැහැ. සමහර කොවිඩ් රෝගීන්ට ඔක්සිජන් ලීටර් 60 ක් පමණ දෙන්න සිදු වෙනවා. නමුත් මොහුට ලීටර් 02 ක් පමණ ලබාදී ශරීරයේ ඔක්සිජන් ප්‍රතිශතය 98 ක අගයක පවත්වාගෙන යන්න අපට හැකිවී තිබෙනවා. කොවිඩ් රෝගයෙනුත් දැන් ඔහු අත්මිදෙමින් ඉන්නවා. ශල්‍ය වෛද්‍යවරු දෙදෙනෙක්, නිර්වින්දන වෛද්‍යවරයෙක්, හෙද නිලධාරීන් දෙදෙනෙක් සහ සහායක නිලධාරියකු මේ සැත්කමට සම්බන්ධ වුණා. කොවිඩ් වයිරසයට ගොදුරු අයගේ පෙනහලු පැය දෙක තුනක් වගේ කාලයකදී නරක් වී ජීවිත හානි සිදුවන අවස්ථා අපි දැක තිබෙනවා. එවැනි අවධානමක් තිබෙන රෝගියකුට පැය දෙක තුනක සැත්කමක් කිරීම බරපතළ කාරණයක් වන්නේ එවැනි අවස්ථාවක පෙනහැල්ලේ ක්‍රියාකාරීත්වය වැඩිපුර අවශ්‍ය වෙන නිසයි. සැත්කම කොන්දේ කරන නිසා රෝගියා මුනින් අතට තැබිය යුතුයි. ඒකත් නිර්වින්දන වෛද්‍යවරයකු මුහුණ දෙන අභියෝගයක්. මොකද ඒ ආකාරයට රෝගියකු සිටියදී ශ්වසන පද්ධතිය නිසි ලෙස පවත්වාගෙන යෑම අසීරුයි‘ වෛද්‍ය විශේෂඥ උඩගෙදර කීය.

කොවිඩ් තත්ත්වයත් සමඟ අප සැමගේ ජීවන චර්යාව පැහැදිලි වෙනස්කම් රැසකට ලක්ව තිබේ. මේ වන විට පනවා තිබෙන සංචරණ සීමා හේතුවෙන් හදිසි අවස්ථාවක රෝගියකු ඉක්මනින් රෝහලකට රැගෙන යෑමද ගැටලුවකි. අනෙක් පසින් රෝහල් කාර්ය මණ්ඩල කොව්ඩ් සමඟ පසුවන්නේ ඉතා කාර්යබහුල තත්ත්වයකය. කොවිඩ් නිසා සංචරණ සීමා පනවා තිබෙන අවස්ථාවල රිය අනතුරු නිසා රෝහල් ගතවන පිරිස සැලකිය යුතු ලෙස අඩුව තිබේ. සැත්කම් වලට ලක්කළ යුතු තත්ත්වයේ රෝගීන් වැඩි පිරිසක් ගස්වලින්, පඩිපෙල්වලින් වැටී තුවාල ලැබූවන්ය. ආරවුල් නිසා කපා කොටා තුවාල සිදු කර ගෙන රෝහල් ගතවන පිරිස ද මේ කාලයේ වෙනදාට වඩා සංඛ්‍යාත්මක ව ඉහළ ගොස් ඇත. මේ තුවාල ලැබූවන් අතරින් වැඩි දෙනෙක් එ් තත්ත්වයට පත්ව තිබෙන්නේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත් නොවී කටයුතු කරන්නට යෑමෙනි. අවධානම් සහිත මේ අවස්ථාවේ නොසැලකිලිමත් ලෙස කටයුතු කර එක් පැත්තකින් තමන්ගේ ජීවිතය ද අනෙක් පැත්තෙන් වෛද්‍යවරුන්ගේ හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ ද ජීවිත ද අවධානමකට තල්ලු නොකරන ලෙස වෛද්‍ය විශේෂඥ සුනන්ද උඩගෙදර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

Comments