
රසායනික පෝර පිටරටින් ගේනවා වෙනුවට කාබනික පෝර රටින් ගෙනැල්ලා වැඩක් නෑ
- ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ
කාබනික පොහොර දමලා මම අක්කරයකින් වී බුසල් 130 ක් ගත්තා
- කෘෂි උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති පී. ගුරුසිංහ
මේ දිනවල රටේ ගොවි පරපුරේ ප්‍රධාන ගැටලුව කාබනික පොහොර ද රසායනික පොහොර ද යන්න ය. සමහර ගොවීහු රසායනික පොහොර නැතිව බැරි බව කියති. නමුත් පාරම්පරික ගොවින් පවසන්නේ හරියට කාබනික පොහොර දමා වගා කළොත් රසායනික පොහොර දමනවාට වඩා වැඩි ලාභයක් සමඟ වස විස නැති ආහාර ලැබෙන බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි වත්මන් රජය ක්‍රියාවට නංවා ඇති රසායනික පොහොර තහනම් කර ඒ වෙනුවට කාබනික පෝර ප්‍රචලිත කිරීම වැඩපිළිබඳව රටේ පාරම්පරික ගොවීහු සතුට පළ කරති.
ඒ අනුව දැන් රජය මහා පරිමාණයෙන් කාබනික පොහොර නිපදවීමේ ව්‍යාපෘති සකස් කර තිබේ. ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීම මත කෘෂිකර්ම අමාත්‍යාංශයේ පූර්ණ සහාය ඇතිව කාබනික පොහොර නිපදවීමේ මහා පරිමාණ ව්‍යාපෘතියක් දැන් අනුරපුරේ අරඹා තිබේ. ඉඩම් අමාත්‍යාංශය මඟින් ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ 350 ක පමණ කාබනික පොහොර නිෂ්පාදනාගාර ආරම්භ කරන බව ඉඩම් ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහතා පවසයි. ඒ යටතේ මහා පරිමාණ කාබනික පොහොර නිෂ්පාදනාගාර 35 අද හෙටම ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද ඇමැතිවරයා කියයි.
එහි ප්‍රථම වැඩසටහන පසුගියදා අනුරාධපුරයේදී ආරම්භ වූයේ එස්.එම්. චන්ද්‍රසේන මහතාගේ ප්‍රධානත්වයෙනි. එම වැඩපිළිවෙළට කෘෂිකර්ම අමාත්‍යාංශය එප්පාවල පොස්පේට් සමාගම ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පූර්ණ සහාය දෙයි.
අපි මේ යටතේ නව ව්‍යවසායකයන් 300 ක් බිහිකර කාබනික පොහොර මහා පරිමාණ නිෂ්පාදනාගාර 35 ක් හදනවා. මේවාට දමන්නේ ජපන් ජබර, ගිනිසිරියා කොළ, ගොම මාන කොළ ඇතුළු ද්‍රව්‍යයි. පසුව ඒවාට පොස්පේට් පොහොර මිශ්‍ර කර කාබනික පොහොර සකස්කර ගන්නවා. ඒ පොහොර ලබන මහ කන්නයේ ගොවිතැනට දෙනවා. මේ නිෂ්පාදනාගාර වෙනුවෙන් රජය රුපියල් කෝටි 70 ක් වැය කරනවා.” යැයි එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා එහිදී කීය.
මේ පිළිබඳව අදහස් දක්වන ප්‍රගතිශීලී ගොවිජන සම්මේලනයේ ලේකම් පොලොන්නරුවේ කවුඩුල්ලේ ගොවි නායක එම්.කේ. ජයතිස්ස පවසන්නේ රසායනික පොහොර නැතිව වී ගොවිතැන කළ හැකි බවයි.
“අපි දැන් වසර 10 – 12 ක පමණම රසායනික පොහොර ඉතා අඩුවෙන් පාවිච්චි කරලා කාබනික පෝර වැඩියෙන් දමලා තමයි වී වගා කළේ. අපි අපිටම ආවේණික කාබනික පෝර හදාගෙන තිබෙනවා. දවස් 10 න් හදාගන්න පුළුවන් කාබනික පෝර වර්ගත් තිබෙනවා.
නයිට්‍රජන් ලබාදීමට ගව මුත්‍රා බෝතල් ½ ක් විතර ගැලුමකට දිය කරලා දාන්න පුළුවන්.
පසුගිය කාලේ රසායනික පෝරවලටම ඇබ්බැහි වෙච්ච හියුමස් තට්ටුව නැතිකරගත්ත අය තමයි ඔය තැන් තැන්වල රසායනික පෝර ඕන ඕන කියලා කෑගසන්නේ. ඇයි ආපසු අපේ පසට වස විස දමන්නේ. අපි ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට පූර්ණ සහාය දෙනවා.
අපේ රටේත් මේ පාරිසරික ගොවිතැන තමයි වැදගත් වන්නේ. පාරිසරික ගොවිතැනට කොම්පෝස්ට් හා ස්වාභාවික පළිබෝධනාශක යොදනවා. නමුත් නියම කාබනික ගොවිතැනට කිසි පොහොරක් දාන්නේ නැහැ. කැලෑවල්වල හේන්වල කෙරෙන්නේ නියම කාබනික ගොවිතැන. නමුත් අපිට මේ පාරිසරික ගොවිතැනින් කුඹුරු අක්කර 2 ½ ලාභ ඇතිව ලෙහෙසියෙන් වගා කරන්න පුළුවන්. මම අවුරුදු 10 – 12 ක සිට ඒක කරනවා.
1993 - 94 කාලේ කෘෂි විද්‍යාඥයෙක් වන උපවංශ මහත්තයා තමයි අපිව එකතු කරලා මේ පාරිසරික ගොවිතැන කියල දුන්නේ. සමස්ත ලෙස ගත්තම මේක රටටම ලාභදායි ගොවිතැනක්. ඉන් විස වස නැතිකර පස සරු කරනවා.
මේ පාරිසරික ගොවිතැනේදී බෝග මාරුව වැදගත්. ඒ වගේ ම හරි කන්නයට වගා කරන්න ඕන. දැන් අපි මහවැලි වතුරෙන් ඒක කරනවා. වල් ගස් අඩුයි.
පාරිසරික ගොවිතැනට මුලින්ම ගිය විට මුල් කන්නය ටිකක් අස්වැන්න අඩු වෙයි. නමුත් පසට කන්න 2 – 3 ක් කාබනික පොහොර සාම්ප්‍රදායික ස්වාභාවික කෘමි හා වල් නාශක ක්‍රම භාවිතා කළ විට පසේ හියුමස් තට්ටුව හරියාවි. දිගු කලක් රසායනික පෝර දැම්ම විට පසේ තිබුණු ස්වාභාවික හියුමස් තට්ටුව නැතිවෙලා. ඒකයි රසායනික පෝර නැතිව බෝග හැදෙන්නේ නැත්තේ.” ජයතිස්ස මහතා පවසයි. එම්.කේ. ජයතිස්ස පවසයි.
මේ අතර රාජාංගනය ඒකාබද්ධ ගොවි සංවිධානයේ සභාපති ටෙරන්ස් ගාමිණී පවසන්නේ ජනපතිගේ මේ ක්‍රමයට ගොවි සංවිධානවල පූර්ණ සහාය ලබාදෙන බවයි.
“මේ ක්‍රමය හොඳයි. හැබැයි හරියට ක්‍රියාවට නැංවිය යුතුයි. කාබනික පොහොර විවිධ අයුරින් ගොවින් ළඟ තිබෙනවා. පැය කිහිපයකින් හදා ගන්න ඒවාත් තිබෙනවා. පසට කුඹුරට වස විස යොදා කොම්පෝස්ට් ජෛව විද්‍යාත්මක ක්‍රම හා කොහොඹ ඇට වැනි ස්වාභාවික ද්‍රව්‍ය දැම්මොත් අපිට අඩු වියදමකින් වැඩි ඵලදාවක් ගන්න පුළුවන්. පසත් අපත් සුවපත් වෙයි” ටෙරන්ස් ගාමිණී පවසයි.
වත්මන් සෞඛ්‍ය රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන මහාචාර්ය නලින් ද සිල්වා ඇතුළු එතෙර මෙතෙර විද්වතුන් රජරට ප්‍රදේශවල පසුගිය වසර 10 – 15 තුළ කළ පර්යේෂණ අනුව මේ රසායනික පොහොර හා වල්නාශකවල අඩංගු ආසනික්, කැඩ්මියම් හා රසදිය වැනි විස රසායනික නිසා වකුගඩු රෝගය වැලඳීමේ ප්‍රවණතාවක් ඇති බව අනාවරණය කරගෙන තිබිණි.
අලුත්ම සංඛ්‍යා ලේඛන අනුව අපේ රටේ දැනට වකුගඩු රෝගීන් 164000 ක් පමණ සිටින බවත් සෑම වසරකටම වකුගඩු රෝගය නිසා 6000 ක් පමණ දෙනා මිය යන බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ පර්යේෂණ මඟින් පෙන්නුම් කරයි. ඊට අමතරව පිළිකා රෝගය ද දැන් වැඩිවීමක් තිබේ. රටේ දැනට පිළිකා රෝගීන් 89000 ක් පමණ සිටින බවත් දිනකට 5 – 6 ක් අතර පුද්ගලයන් ගණනක් පිළිකා නිසා ජීවිතක්ෂයට පත්වෙන බවත් පිළිකා රෝහලවල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරයි.
මේ පිළිබඳව කරුණු දක්වන පාරම්පරික බීජ හා කෘෂි උරුමයන් සුරැකීමේ සංවිධානයේ සභාපති ප්‍රේමදාස ගුරුසිංහ මහතා පවසන්නේ තමා වසර 24 ක් තිස්සේ කාබනික ගොවිතැනේ නිරත බවයි. මොරගහකන්ද ව්‍යාපාරය යටතේ තමා කාබනික ක්‍රමයට වගා කළ කුඹුරකින් අක්කරයකට වී බුසල් 130 ක අස්වැන්නක් ලබාගත් බවත් ඔහු පවසයි. ජනාධිපතිතුමා ගත් රසායනික පොහොර තහනම් කිරීමේ තීරණය ඉතා කාලෝචිත බවත් තවදුරටත් අපේ රටට රසායනික පෝර - වස විස ගෙනාවොත් අපේ දරු පරපුර ලෙඩ පරපුරක් වනු ඇති බවත් ඔහු කීය.
“අපි මේ වැඩේට ජනපතිට රජයට උදවු දෙන්න සූදානම්. හැබැයි මේක හරියට කරන්න ලැප්ටොප් තියාගෙන කථා කරන අයට මේක කරන්න බැහැ. පොළොවට බැහැලා කුඹුරට බැහැලා වැඩ කරන අයටයි මේක හොඳට පුළුවන්. ඒ අනුව අපි කියන්නේ පොළොව එක්ක හැප්පිලා කාබනික පොහොර පාවිච්චි කරන සැබෑ ගොවියන් පිරිසක් එකතු කරගෙන මේ වැඩේ කළොත් එය ඉහළම ප්‍රතිඵල ලැබෙන කාර්යයක් වනු ඇති බවයි” ගුරුසිංහ මහතා පවසයි.
මේ පිළිබඳව කරුණු දක්වන ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ මෙහෙයුම්කරු චින්තක රාජපක්ෂ මහතා පවසන්නේ මෙම කාබනික පොහොර ජනප්‍රිය කිරීමේ හා රසායනික පොහොර තහනම් කිරීමේ වැඩපිළිවෙළ අපේ රටට දිගුකාලීනව ඉතා උචිත වැඩපිළිවෙළක් බවයි.
“කෙසේ වුවත් මේ දේශපාලන තීන්දුවක් නිසා එය විශ්වාස කිරීමට අමාරුයි. මෙහිදී සිදුවිය යුත්තේ රසායනික පොහොර වෙනුවට පිටරටින් කාබනික පොහොර ගෙන්වීම නොව අපේ රටේ ගොවි ජනතාවට මෙරටදීම කාබනික පොහොර නිපදවීමට අත හිතදීමයි.”
''අපි මේ වැඩේට කැමැතියි. හැබැයි රසායනික පොහොර තහනම් කර අපේ රටේ කාබනික පොහොර නිපදවන මහා කර්මාන්ත ශාලා ඇති කර අපේ ගොවීන්ට ඒ මත යැපීමට කටයුතු නොකළ යුතුයි. අපි කළ යුත්තේ මෙරට සේරම ගොවි බිම් ක්ෂුද්‍රජීවීන් බහුල ඔවුන්ට හා ශාකවලට හිත කර ස්ථාන බවට පත්කිරීමයි. ඒ සඳහා ගොවිජනතාවට රජය හැකි සියලු යටිතල පහසුකම් සැපයිය යුතුය. විශේෂයෙන් දැනටමත් මේ කාබනික ක්‍රමයට වගා කරන ගොවිජනතාවට ඇති ඉඩම් ගැටලු, වෙළෙඳපොළ ගැටලු, ජලය පිළිබඳ ගැටලු නිරාකරණය කර දීමට රජය, කෘෂි නිලධාරීන් හා වෙළෙඳ ආයතන කටයුතු කළ යුතුයි.'' චින්තක රාජපක්ෂ පවසයි.
මේ පිළිබඳව කරුණු දක්වන කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසන්නේ කාබනික පොහොර නිපදවීමට අවශ්‍ය සියලු යන්ත්‍ර සූත්‍ර නිපදවීමට නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවයි.
“මේ සඳහා අලුත් පරිගණක තොරතුරු දත්ත ගබඩා පරිගණක යෙදවුම් හා නව තාක්ෂණය අපි දැනටම සූදානම් කර තිබෙනවා. මේ වැඩේට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉංජිනේරු සංගමයත් පූර්ණ සහය දක්වනවා. මෙරට විද්වතුන් රැසක් සම්බන්ධ වන මෙම සංගමයේ ඉංජිනේරුවරු, රටේ දෑ හිතකාමී ඉංජිනේරුවරු සහ කෘෂිකර්ම විද්‍යාඥයන් එක්වී ලංකාව ලෝකයේ කාබනික ගෙවත්ත කිරීමේ ජාතික වැඩසටහනට සහය දෙන්නට සූදානම්ව සිටින බවත් ඇමැතිවරයා පවසයි.
ඡායාරූප - හිදෝගම චිත්‍රා කළුආරච්චි