කැපෙන ගහට ගසක් සිටුවන අරුම පුදුම සංවර්ධන සැලැස්ම | සිළුමිණ

කැපෙන ගහට ගසක් සිටුවන අරුම පුදුම සංවර්ධන සැලැස්ම

- කළුවර, බුරුත, කරඳ, තිබිරි, රෝයල් ෆාම් වැනි වටිනා ගස් වර්ග 18 ක් තිබුණා
- නව හරිත උද්‍යානයේ ගස් 200 ක් නැවත සිටුවීම් ආරම්භ කළා

ර්තමානයේ බොහෝ සංවර්ධන ව්‍යාපෘතින් සිදුවන්නේ ගස් කපා දැමීමෙනි. එහෙත් ඊට හාත්පසින්ම වෙනස් වූ ආකාරයෙන් සිදුවන සංවර්ධන ව්‍යාපෘතියක් මේ දිනවල සිදුවෙමින් පවත්නේ කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපළ පරිශ්‍රයේදීය. රටක ගුවන් තොටුපළක් යනු ඒ රටේ ආර්ථිකය මෙහෙයවන ප්‍රධානතම ගාමක බලවේගය වන්නේය. අපේ රටේ සංචාරක කර්මාන්තය පමණක් නොව ආර්ථිකයේ වැදගත් සන්ධිස්ථනයක් වන්නේ කටුනායක පිහිටි බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළයි.

මේ වන විට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ දෙවැනි පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු ආරම්භ කර ඇත්තේ වර්තමානය වන විට එහි උපරිම මඟී ධාරිතාවයට පිවිසි නිසාය. දැනට ගුවන් තොටුපළේ වසරකට පවත්නා උපරිම මඟි ධාරිතාව වන්නේ මිලියන 6කි. මේ වන විටත් බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළ මඟී ධාරිතාවයේ උපරීම තත්ත්වයට ළඟාවීම ගුවන් තොටුපළක කාර්යක­්ෂමතාවයට බධාවකි. එමනිසා එහි දෙවැනි මඟී පර්යන්තයක අවශ්‍යතාව තදින් දැනෙන්නට වූ නිසා මෙහි මුල් ව්‍යාපෘතිය ආරම්භ වූයේ 2017 වසරේදීය. මේ වන විට එය අවසන් අදියරට පැමිණ ඇත. එම සංවර්ධන ව්‍යාපෘතියේ දෙවැනි අදියර එනම් මගී පර්යන්තය ඇතුළු ඉදිකිරිම් ආරම්භ වූයේ පසුගිය වසරේ දෙසැම්බර් 15 වැනිදාය. ඒ අනුව වසරකට මඟී ධාරිතාවය මිලියන 9-15 දක්වා වැඩි කරමින් දෙවැනි පර්යන්තයේ ඉදිකිරිම් කටයුතු මේ වන විට සිදුවන්නේය.

බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපළේ පළමු පර්යන්තය වර්ග මිටර 90,000 ක් වන අතර, නව පර්යන්තය ඉදිකිරිමෙන් පසු සමස්ත ප්‍රමාණය වර්ග මිටර 275,900 ක් වන්නේ ගුවන් තොටුපළට අවශ්‍ය අනිකුත් අංග සියල්ල එකතු වීමෙනි.

“මෙම නව පර්යන්තය ඉදිකිරීමෙන් පසුව වසරකට මඟි ධාරිතාව 15 දක්වා වැඩි කිරීම අපේ අරමුණයි. ගුවන් තොටුපළේ ආරක්ෂාව, කාර්යක්ෂමතාව, පාරිභෝගික සේවා පුළුල් වීම තුළින් ගුවන් මඟීන්ට වඩා සුව පහසු ජාත්‍යන්තර මට්ටමේ නවීන අංගෝපාංගවලින් යුතු සේවාවක් ලබා දීම අරමුණියි. ඉදිවෙන දෙවැනි පර්යන්තය වර්ග මීටර 180,000 ක් වන අතර නව ගුවන් මඟී පාලම් 16 ක් , වැසි ජලය බැහැර කිරීමේ පද්ධති, පර්යන්ත ගොඩනැගිල්ලට සම්බන්ධ මාර්ග, උප විදුලි බලාගාර, ජල සැපයුම් හා අපද්‍රව්‍ය කළමනාකරණ පද්ධති, මහල් 5 කින් යුතු රථ ගාල් ආදි සියල්ල ඉදිවෙනවා. මේ සඳහා රුපියල් බිලියන 105 ක් වැය වන අතර වසර තුනකිත් නිමාව දැකීම අරමුණු වෙනවා.....“ ව්‍යාපෘති අධ්‍යක්ෂ ඉංජිනේරු ප්‍රසන්න ජිනරතනය. 

2020 දෙසැම්බර් 15 වැනි දින ආරම්භ කර 2023 දෙසැම්බර් 14 වැනි දින අවසන් කිරීමට අපේක්ෂා නව පර්යන්තය ඉදිකිරිමේ කටයුතු සිදු වන්නේ වෙනස්ම ආකාරයකිනි. මේ සඳහා භුමිය සැකසීමේදි කිසිදු ගසකට හානියක් නොවන්නට ගුවන්තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) (පුද්ගලික) සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චනද්‍රසිරි ඇතුළු නිලධාරින් කටයුතු කර ඇත්තේ සමස්ත රටටම ආදර්ශයක් වන පරිදිය. ඒ ගස් රැක ගනිමින් මේ සුවිසල් ව්‍යාපෘතිය දියත් කරන්නටය.

“BIA දෙවැනි පර්යන්තය සංවර්ධන ව්‍යාපෘතිය මේ වන විට අපි ආරම්භ කර ඇත්තේ අඹ ,සඳුන් වැනි ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ඔක්සිජන් විමෝචනය කරන ගස් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින්. මෙහිදී අපි ‘ගස් සිටුවීම’ පිළිබඳ විශේෂ වැඩසටහනක් ආරම්භ කළා. මෙයින් ගැලවෙන ගස් ගෙන ගිහින් මිගමුව කලපුව ආශ්‍රිතව අක්කර 7 භූමි භාගයක උද්‍යානයක්

ඉදිකරන්නට අපි සැලසුම් කර තියෙනවා. ......“ ඒ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී.ඒ. චන්ද්‍රසිරිය.

මේ කටයුතු සියල්ල සිදු වන්නේ සාමූහික ව්‍යාපෘතියක් වශයෙනි. පරිසර විශේෂඥයින්ගේ සහය මෙන්ම මධ්‍යම පරිසර අධිකාරියේ සහය ලබා ගනිමින් සිදුවෙන මෙම සත් කාර්යයේදි ඉදිකිරිම් සිදුවන භුමියේ තිබූ පඳුරු හා ගස් 900 කට ආසන්න ප්‍රමාණයක් ගස් වර්ග වශයෙන් හඳුනා ගෙන ඇති අතර මෙයින් විශාල ප්‍රමානයක් ඉදිකිරිම් සිදුවන ස්ථානයේම පරිසර හිතකාමි අයුරින් තිබෙන්නට හැර ඉතිරි ගස් නැවත ඉන්දවීමේ ක්‍රියාමාර්ගයට අනුව යමින් මිගමු ප්‍රදේශයේ ඉදිරියේදි ඉදිකිරීමට සැලසුම් කර ඇති හරිත උද්‍යානයේ (කලපු තීරයේ) නැවත සිටුවීම ආරම්භ කෙරීය. පසුගිය පරිසර දිනයේදි සාමූහික කර්තව්‍යක් වශයෙන් මෙම ගස් සිටුවීම ආරම්භ කළ අතර මේ වන විට විශාල ගස් 100 කට ආසන්න සංඛ්‍යාවක් නැවත ඉන්දවා අවසන් කර ඇත. ඒ සියලු ගස් මුදල්මය වටිනාකමින් යුතු පරිසරයට හිතැති වටිනා ගස්වීම විශේෂත්වයකි.

“ ගුවන් තොටුපළ ඉදිකිරීමේ A අදියර යටතේ ඉවත් කෙරෙන ගස් නැවත ඉන්දවීමේ ව්‍යාපෘතිය අපි ආරම්භ කළේ සමුහ කණ්ඩායම් ව්‍යාපාතියක් වශයෙන්. ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ල ඉදිකිරිම් කරන කොටසේ කළුවර, බුරුත, කරඳ, තිබිරි, රෝයල් ෆාම් වැනි වටිනා ගස් වර්ග 18 ක් තිබුණා. මේ පර්යන්තයේ මැනීම් කටයුතු සිදු වූ පසු මේ ගස් ඉවත් කළ යුතු බවට තීරණය වුණා. ගස් පඳුරු ඇතුළත්ව ඒ ප්‍රමාණය 900-1000 ක් වශයෙන් හදුනා ගෙන තිබුණා. මේ නිසා අපේ කණ්ඩායමක් ගිහින් නැවතත් සමීක්ෂණය කර එහි සැලැස්මත් සමඟ නැවත පරික්ෂා කර බැලුවා. මේ කාර්යයේදි ගුවන් තොටුපළ බලධාරින් අපට විශාල සහයක් ලබා දුන්නා සේම උනන්දු කිරිම් කළා. සමහර ගස් ගැලවෙන්නේ එහි තාවකාලික ඉදිකිරිම් වෙනුවෙන් බව තේරුණා. ඒ අනුව එවැනි ඉදිකිරීම් එහාට මෙහාට කර ගස් 200 ක් නොකපා තබන්නට අපි කටයුතු කළා. ඒ වගේම ගලවා ඉවත් කරන්නට සිදුවන ගස් වෙනමම හඳුනා ගත්තා. ඒවා නැවත සිටුවිම ආරම්භ කළේ ගසේ වටිනාකම, අනාගතයේදි පරිසරයට සිදුවන දායකත්වය වැනි කරුණු මත. මේ නිසා එම ගස් නැවත මීගමුව කලපු ප්‍රදේශයේ ඉදිකිරිමට සැලසුම් කර ඇති හරිත උද්‍යානයේ නැවත සිටුවන්නට සැලසුම් කළා. පසුව නැවත සිටුවන ගස් 200 ක් අදාළ ප්‍රදේශයට රැගෙන ගියා. මෙය මාර්තු 27 වැනිදා නැවත සිටුවන්නට කටයුතු ආරම්භ කළා......“ ඒ ඒ ජ්‍යෙෂ්ඨ පරිසර විශේෂඥ ආචාර්ය නදීෂා චන්ද්‍ර‍ෙස්නය.

මෙම සාමූහික ගුවන් තොටුපළ බලධාරින් මෙන්ම පරිසරවේදීන්ද එකතු වූයේ කිසිදු ගසක් විනාශ නොවන්නටය. කළුවර, බුරුත, කරඳ, තිබිරි, රෝයල් ෆාම් වැනි වටිනා ගස් අදාළ ප්‍රදේශයේ නැවත සිටුවන්නට වූයේ ඒ සඳහා වූ විද්‍යාත්මක ක්‍රමවේදයන්ට අනුගතවය. කුඩා ගස් සිටුවීමට වඩා විශාල අභියෝගයක් වූ මේ සුවිශාල වාක්ෂ නැවත සිටුවීම මනාව කළ යුතු කාර්යයක් විය. අඩි 25-30 පමණ වූ සුවිශාල වෘක්ෂ සිටුවීමේදි අතු කපා ගස අවශ්‍ය ප්‍රමාණයට සැකසීමට ඔවුන්ට සිදුවිය. එසේම ගස මනාව මුල් පාදා කිරි මුල් ඇඳිමට දින 90 ක පමණ කාලයක් තබන්නට සිදුවිය. මේ වන විට මීගමු කලපුව ආශ්‍රිතව ඉදිකිරිමට යෝජිත උද්‍යානයට විවිධ පස්, පොහොර වර්ග එකතු වීමෙන් මේ ගස් නැවත ඉන්දවීමට එය සුදුසු බිමක් බවට පරිවර්තනය වී තිබුණි. ගස් සිටුවීමේ කටයුත්තේදී ගුවන් තොටුපළ උද්‍යාන නිර්මාණශීල්පින්ගේ සහයද නොඅඩුව ලැබුණ අතර රෝයල් ෆාම් වැනි ගස් උද්‍යානය වටේට අලංකාරව ඉන්දවීම සිදුවිය. මේ වන විට ගස් 200 න් 100 ක් පමණ ඉන්දවිම් කටයුතු අවසන් කර ඇති අතර ඉතිරි ගස් ඉන්දවීම ජුලි මස වන විට අවසන් කිරිමට කටයුතු යොදා ඇත. කෙසේ වෙතත් මෙම ප්‍රදේශවලට වර්ෂාව නොලැබිම් හේතුවෙන් ගස් 10 ක් පමණ විනාශ වි ගොස් ඇති අතර අවසානය වන විට උද්‍යානයේ ගස් 190 ක් ඉන්ද වන්නට බලාපොරොත්තු වෙයි.

කෙසේ වෙතත් මෙවැනි පුළුල් ව්‍යාපෘතියක් මෙවැනි පරිසර හිතකාමි අයුරින් සිදුවීම අනාගතයේදි ජාත්‍යන්තරයේ පැසසුමට ලක්විමට කරුණක් වනු ඇත.

Comments