ඩයනා කුමරියගේ මංගල මුද්ද හදා ලෝක පූජිත වූ රන්කරුවා | සිළුමිණ

ඩයනා කුමරියගේ මංගල මුද්ද හදා ලෝක පූජිත වූ රන්කරුවා

මංගල මුද්දක් නිර්මාණය කිරීම යනු රන් කරුවකුට අමුතු දෙයක් නොවේ. නමුත් ලෝකයේ වඩාත්ම අවධානයට ලක්වූ ලක්ෂ සංඛ්‍යාත පිරිසක් නැරඹූ රාජකීය මංගල්‍යයක මනාලයා විසින් මනාලියට පලඳවනු ලබන මංගල මුද්ද සෑදීම නම් ලෝකයේ ඕනෑම රන්කරුවකුට සිහිනයක් ම වනු ඇත. මේ විවාහ මංගල්‍යය බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි චාර්ල්ස් කුමාරගේත් ඩයනා කුමරියගේත් විවාහ උත්සවයයි. එදා චාර්ල්ස් කුමරා විසින් ඩයනා කුමරියට පැලඳ වූ මංගල මුද්දේ නිර්මාණකරුවා වූයේ ගාල්ලේ පදිංචි කොස්වත්ත ඊවඩුගේ සුමනදාසය.

ප්‍රකට රන් භාණ්ඩ නිර්මාණකරුවකු වූ සුමනදාස පසුගිය 19 දා අවුරුදු 92ක් ආයු වලඳා මිය ගියේය. ශ්‍රී ලංකාවේ පමණක් නොව විදෙස් රටවල පවා රන් භාණ්ඩ සැකසුම්කරුවකු ලෙස කටයුතු කළ ඔහු දක්ෂ නිර්මාණකරුවෙකි.

බද්දේගම මීවැඩුමේ පාරම්පරික රන් කැටයම් ශිල්පියකු වූ කොස්වත්ත ඊවඩුගේ රානිස්හාමිට දාව උපත ලැබූ සුමනදාස කුඩා කාලයේ පටන් සිය පියා සමඟ එක්ව කැටයම් ශිල්පය හැදෑරුවේය.

තරුණ වියේ දී කැටයම් කලාවටත් විවිධ නිර්මාණ කිරීමටත් හිත යොමු කළ සුමනදාස මහතා වෙසක් උත්සවය වෙනුවෙන් බද්දේගම ගිං ගඟේ ඉදිකරන බුද්ධ උත්පත්තිය දැක්වෙන නෙළුම් මල් නිර්මාණය අදට ද පැරැන්නන්ගේ මතකයේ පවතී.

රන් කර්මාන්තෙයේ ඉතා අසිරු කාර්යයක් වන අතින් ම රන් කැටයම් නිර්මාණය කිරීම හා ගල් බැඳීම මනාව ප්‍රගුණ කළ සුමනදාස ට අනගි අවස්ථාවක් ලැබිණි. ඒ රන්කර්මාන්තයට මහත් ප්‍රසිද්ධියක් ඉසිලූ ටැන්සානියාවේ රැකියාවක් ලැබීමයි.

එය ලැබුණේ ද අහම්බයකින් නොවේ. රන්භාණ්ඩ නිර්මාණ තරගයකින් ජයග්‍රහණය කිරීමෙනි.

ටැන්සානියාවේ දස්සලාම් අගනුවර හාජි බ්‍රදර්ස් නමැති ආයතනයේ රන්කැටයම් ශිල්පියකු හා ගල් බඳින්නකු ලෙස සේවය ආරම්භ කළ සුමනදාස එහි වසර හතක් සේවය කිරීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ තම විවාහ උත්සවය වෙනුවෙනි.

භද්‍රා සුභාෂිනී මුතුනායක සමඟ විවාහ වූ සුමනදාස යළි විදේශගත වූයේ බිරිඳ ද එහි ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ උත්සාහය ද සාර්ථක විය.

භද්‍රා සැමියා රැකියාව කරන ටැන්සානියාවට ගියාය. ඇය ඒ ගැන මෙසේ කියයි.

‘‘ ටැන්සානියාව හරිම හොඳ රටක්. අපේ රටේ දේශගුණය වගේමයි ඒ රටේ දේශගුණයත්. හැම අතින් ම අපිට එය පහසුවක් වුණා. කිසිම කරදරයක් නැතිව අපි හරිම සතුටින් ටැන්සානියාවේ සිටියා. ඒ කාලය හරිම සුන්දර මතකයක්. ’’

ඔවුන්ගේ දරුවන්ගෙන් තිදෙනකු උපත ලබන්නේ ටැන්සානියාවේදී ය. ඔවුන්ට ප්‍රදීප් ප්‍රසන්න, අරුණි සුභාෂිනී සහ උපුල් ප්‍රියන්ත ලෙස නම් තැබීය.

‘‘ ටැන්සානියාවේ දී මහත්තයා වැඩකරපු ආයතනයේ හිමිකරුවන්ට කිව්වේ කෝජාකරුවන් කියලා. ඒ අය සුද්දන් වගේ වුණත් අදහන්නේ මුස්ලිම් ආගම. ටැන්සානියාවේ රැකියාවකට ගිය මුල්ම ලාංකිකයන් දෙතුන් දෙනාගෙන් එක්කෙනෙක් තමයි මගේ මහත්තයා. ඒ නිසා එහේ තානාපති කාර්යාල පවා අපව හොඳට දන්නවා. කවුරු හරි ශ්‍රී ලංකාවේ ප්‍රභූවරයෙක් ආවොත් මහත්තයාට පණිවිඩය ලැබෙනවා. ඒ එන ගොඩක් අය අප සමඟ කතා බහ කරලා තමයි යන්නේ.

සුමනාදසගේත් භද්‍රාගේත් ජීවිතයේ තවත් වෙනස්කමක් සිදුවූයේ එවකට ගාල්ල නගරාධිපතිවරයාව සිටි ඩබ්ලිව්.ටී.විජේකුලසූරිය ටැන්සානියාවට පැමිණීමෙනි. ඔහු භද්‍රාගේ පියාගේ හිතවතෙකි. නගරාධිපතිවරයා ටැන්සානියාවට පැමිණි බව දැනගත් මේ යුවළ ඔහු හමුවීමට ගියහ. නගරාධිපතිවරයා කියා සිටියේ රන්කර්මාන්තයට ටැන්සානියාවට වඩා කෙන්යාව සුදුසු බවයි. කෙන්යාවේ රන් සැකසුම් ආයතනයක සුමනදාසට රැකියාවක් ලබාදෙන බවට නගරාධිපතිතුමා පොරොන්දු විය. ටික දිනක් ගත වීමෙන් පසු කෙන්යාවේ ඇමෙරිකානු සමාගමක් ටැන්සානියාවේ සිටි සුමනදාස සහ පවුලේ අය එහි ගෙන්වා ගත්තේය. කෙන්යාවේ නයිරෝබි නුවර ඔහු සේවය කළ ආයතනය පිහිටා තිබිණි.

භද්‍රා සිය මතකය අවදි කළාය,

“මේ සමාගමත් ටික කාලයකින් වැහුවා. ඊට පස්සේ, මහත්තයා ‘රතන්සිබුරා’ කියන ඉන්දීය සමාගමකට එක්වුණා. ඒ සමාගමේ ගොඩක් ඉන්දියන් අය හිටියා. නමුත් අපි සිංහල කියලා කිසිදු වෙනසක් තිබුණේ නැහැ. හැමෝම එක ම සහෝදරයෝ වගේ හිටියා. මේ ආයතනයේ ප්‍රධානියාගේ සිරිතක් තිබුණා, වෙනත් රටක රාජ්‍ය නායකයෙක් ආවොත් එයා රත්තරන් මුද්දක් තෑගි කරනවා. ’’.”

ඇය පවසන්නේ වරක් බ්‍රිතාන්‍ය රජ පවුලේ කිහිප දෙනකු තම සැමියා සේවය කළ ආයනයට පැමිණි අවස්ථාවක ආයතනයේ හිමිකරුවන් විසින් ඔවුන්ට මුදු පරිත්‍යාග කළ බවයි. ඒ අතර ශ්‍රී ලංකාවෙන් ගෙන ‍ගොස් තිබූ වටිනා නිල් මැණිකක් මැදි කරමින් වටේට දියමන්ති අල්ලා තම සැමියා විසින් සෑදූ අලංකාර මුද්දක් ද තිබූ බව බිරිඳ පවසන්නීය. 

‘‘ එයා ගොඩක් රත්තරන් බඩු හැදුවා. ලංකාවෙන් ගෙනා වටිනා නිල් මැණික් වලින් තමයි වැඩිපුරම හැදුවේ. ආයතනයේ හිමිකරුවන් ඇතැම් ඒවා එක් එක් රටවල රාජ්‍ය නායකයන්ට දුන්නා. කාලෙකට පස්සේ තමයි දන්නේ මගේ මහත්තයා හදපු මුද්දක් තමයි චාර්ල්ස් ඩයනා විවාහ උත්සවයේ දී චාර්ල්ස් කුමාරයා ඩයනාට පලන්දලා තියෙන්නේ කියලා. අපි ඒක දැක්කේ ඒ කාලේ එංගලන්තයේ පළ වූ සඟරාවකින්. ඒ සඟරාවේ බ්‍රිතාන්‍ය රජ පවුලට අයිති රත්තරන් බඩු ගණනාවක තොරතුරු තිබුණා. ඉන් කිහිපයක් ම අපේ මහත්තයා හදපු ඒවා. ඒ ලිපිය දැක්කම මගේ මහත්තයට පුදුම සතුටක් ඇති වුණා.ඩයනාගේ අත පැලඳි නිල් මැණිකක් සහිත මුද්ද සැමියා හදපු එකක් බව ඔහු කීවා.’’ යැයි ඇය පැවසුවාය.

ටැන්සානියාවේ සහ කෙන්යාවේ සිටිය දී අප්‍රිකානු භාෂාවක් වන සොහයිලි භාෂාව හොඳින් හැසිරවීමට උගත් සුමනදාස හා භද්‍රා යුවළ ඇතැම් විට නිවසේ දී කතා කරන්නේ පවා ඒ බසිනි. ඊට අමතරව සුමනදාස හින්දි හා ඉංග්‍රීසි භාෂා ද දැන සිටියේය. සුමනදාස, භද්‍රා යුවළට කෙන්යාවේ දී තවත් දියණියන් දෙදෙනකු ලැබිණි. ඔවුන් රාජනී සුභාෂණී හා ලක්මිණි සුභාෂිනී නම් වූහ.

සුමනදාසගේ බිරිඳ පවසන්නේ කෙන්යාවේ ජීවිතය ටැන්සානියාවට වඩා දුෂ්කර වූ බවයි. කෙන්යාව ටැන්සානියාවට වඩා තරමක ශීත දේශගුණයක් සහිතය.

ඔවුන් දෙදෙනාට තවත් ගැටලුවක් තිබිණි. ඒ තම දරුවන්ට ඉගැන්වීමයි. ඒ සඳහා යළි ශ්‍රී ලංකාවට යා යුතුබව වටහාගෙන සිටි මේ දෙදෙනා කෙන්යාවට සමුදී 1983 දී යළි මෙරටට පැමිණියහ. ගාල්ල, වුඩ්වර්ඩ් මාවතේ නිවසක ඔවුහු පදිංචි වූහ. ඉන් පසු සුමනදාස විදේශගත වූයේ නැත. තමා උගත් රන් කර්මාන්තයම ජීවිකාව කරගෙන දරුවන්ට ද උසස් අධ්‍යාපනයක් ලබාදී සමාජයේ හොඳින් ජීවත්වීමට මේ යුවළට හැකියාව ලැබිණි.

සුමනදාස රන්කැටයම් හා ගල් බැඳීමට දැක්වූයේ ඉහළ දක්ෂතාවකි. එමෙන් ම ඔහු රන් ආභරණ මෝස්තර නිර්මාණයට ද සුශේෂී හැකියාවක් දැක්වූයේ ය. ඔහුගේ අතින් අදින ලද මෝස්තර ගණනාවක් වෙනත් රන්කරුවන් අතින් රන්භාණ්ඩ බවට පත්ව ඇත. දිගටම ශ්‍රී ලංකාවේ සිටිමින් රන්කරුවන් අතර කීර්ති නාමයක් දිනාගැනීමට සුමනදාස මහතාට හැකිවිය.

සුමනදාසගේ පුතුන්ට ද රන් භාණ්ඩ සෑදීමේ හැකියාව ඇතත් දැන් ඔවුහු වෙනත් රැකියාවල නිරත වෙති. රන් කර්මාන්තයට ඔවුන්ගේ දරුවන් පැමිණියේ නැත. ඒ ගැන නම් සුමනාදාසට තිබුණේ යම් පමණක කනගාටුවකි.

එස්. ලොකුකරවිට - කරාපිටිය සමූහ

Comments