දියණියට ‘තරු පහේ’ මඟුලක් කන්න කුඩු බිස්නස් කළ SI | සිළුමිණ

දියණියට ‘තරු පහේ’ මඟුලක් කන්න කුඩු බිස්නස් කළ SI

අත්අඩංගුවටගත් SI රාජකාරියේ යෙදී සිටියදී(වම) සහ අත්අඩංගුවට ගෙන අවස්ථාවේදී(දකුණ)

මේ වන විට මත් ජාවාරම්කාරයන් සමඟ ඩීල් දැමීම නිසා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පමණක් නිලධාරින් විස්සක පමණ බන්ධනාගාරගතව සිටි. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන් සමඟ 'ඩීල්' දැමීම නිසා පොලිසියට කොටුවූ නවතම පොලිස් නිලධාරියා උපපොලිස් පරීක්ෂකවරයෙකි. ඔහු කළුතර දකුණ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ උපපොලිස් පරීක්ෂක ටී. සනත් කුමාර ද සිල්වායි. පසුගිය 18 වැනිදා රාත්‍රියේ හික්කඩුව ගෝනපීනුවලදී හෙරොයින් කිලෝග්‍රෑම් 53කට ආසන්න ප්‍රමාණයක් සමඟ කොටුවූ ඔහු මේ වන විට රැඳවුම් නියෝග මත මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටී.

පොලිස් සේවාව තුළදී වැඩි කාලයක් අල්ලස් හෝ දූෂණ විමර්ශන රාජකාරින්හි නිරතව ඇති මෙකී ජාවාරම්කාර උපපොලිස් පරීක්ෂකවරයා කළුතර දකුණ පොලිසියේ රාජකාරි කර තිබුණේ අධිකරණ කටයුතු බාර නිලධාරියා ලෙසිනි.

පොලිස් නිල ඇඳුමට මුවාවී මත්කුඩු ජාවාරම්කාරයන් සමඟ මත්ද්‍රව්‍ය ජාවාරමට හවුල්ව සිටි උපපොලිස් පරීක්ෂකවරයා නීතියේ රැහැනට කොටු වූයේ මීට සති තුනකට පමණ පෙරදී පොලිස් මූලස්ථානයේ ස්ථාපිත අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසය ඇතුළු අපරාධ හා රථවාහන බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායකට ලැබුණු තොරතුරක් මතයි. ඒ අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා එම තොරතුර පිළිබඳව විමර්ශන සිදු කිරීමට බාර කෙරුණේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ ප්‍රධානත්වයෙන් යුත් අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ කොට්ඨාසයටයි.

එම තොරතුර පිළිබඳව දින ගණනාවක් පුරා එම ඒකකයේ නිලධාරිහු සිවිල් ඇඳුමින් සැරැසි ගාල්ල, වැලිගම, හබරාදුව, හික්කඩුව සහ බද්දේගම ප්‍රදේශවල‍ට ගොස් විමර්ශන සිදු කළහ. එහිදී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබී තිබූ තොරතුර 'තිත'ටම නිවැරැදි බව පොලිස් නිලධාරින්ට ඒත්තු ගියේය. අනතුරුව නිලධාරිහු පසුගිය 18 වැනිදා එකී පොලිස් නිලධාරියා කොටුකර ගැනීමට සූක්ෂ්ම දැලක් එලීය.

ඒ අනුව එදින රාත්‍රියේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත සොයිසාගේ මෙහෙයවීම මත පොලිස් පරීක්ෂකවරුන් වන සමන් පද්මලාල් සහ කැලුම් සෝමරත්න ප්‍රමුඛ නිලධාරින් CBK 7785 දරන අළු පැහැති විට්ස් වර්ගයේ මෝටර් රථයකින් පොලිස් නිල ඇඳුම්ලාගත් උපපොලිස් පරීක්ෂක තනතුර දරන නිලධාරියෙක් හබරාදුවේ නිවෙසකට යන ආකාරය අවේක්ෂණය කෙරිණි.

කළු පැහැති බෑග දෙකක් පටවාගත් හෙතෙම තනිවම එම මෝටර් රථය ගාල්ල දෙසට ධාවනය කරන බව වැටහුණු රැකවල්ලා සිටි පොලිස් නිලධාරින්ද රථය පසුපස හඹා ගියේය. පොලිසියට ඔහු එම ස්ථානයේදීම කොටුකර ගැනීමට හැකියාව තිබුණත් නිලධාරින් සූක්ෂ්ම වූයේ එම ජාවාරම්කාර පොලිස් නිලධාරියා සමඟ ගනුදෙනු කරන සෙසු පිරිසද කොටුකර ගැනීමට අවැසි වූ හෙයිනි.

ගාලු පාර ඔස්සෙ කොළඹ දෙසට ඇදුණු එම රථය හික්කඩුවෙන් දකුණට හරවා අධිවේගී මාර්ගයට ගමන් කරන ආකාරයක් පිටුපසින් ලුහුබඳින පොලිස් නිලධාරින්ටද වැටහිණි. කෙසේ හෝ අධිවේගී මාර්ගයට පිවිසීමට මත්තෙන් බද්දෙගම හුවමාරුව ආසන්නයේ ගෝනාපිනුවලදී පොලිස් නිල ඇඳුම්ලාගත් උපපොලිස් පරීක්ෂකවරයා ධාවනය කළ රථය කොටුකර ගත්තේය. ඒ වන විට වේලාව රාත්‍රී 9ට පමණ විය. මෝටර් රථය පරීක්ෂාවේදී එහි කළු පැහැති විශාල ගමන්මලු දෙකක දක්නට වූයේ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයකි. පසුව හෙළි වූයේ ඒ තුළ රුපියල් කෝටි 53ක් පමණ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්‍රෑම් 52යි ග්‍රෑම් 728ක් තිබූ බවයි.

පොලිස් අත්අඩංගුවට පත් පොලිස් නිලධාරියා කළුතර දකුණ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ වාද්දුව, පොතුපිටිය උතුර පදිංචි 52 හැවිරිදි උපපොලිස් පරීක්ෂක සනත් කුමාර බව වැටලීම සිදුකළ නිලධාරින් හඳුනාගත්තේය.

ඒ අතරේ ජාවරමට සම්බන්ධ පොලිස් නිලධාරියා පොලිසියට කොටුවී ඇති බව නොදත් මෙකී මත්ද්‍රව්‍ය තොගය අයත් වෙතැයි සැලවන ඩුබායිහි වෙසෙන බවට සැක කරන පාණදුරේ සලිඳු නමැත්තාගෙන් වට්ස්ඇප් ඔස්සෙ ජාවාරම්කාර පොලිස් නිලධාරියාගේ දුරකථනයට ඇමැතුම් ලැබිණි. එම ඇමැතුම්වලින් අනාවරණය වී තිබුණේ සනත් කුමාර අධිවේගී මාර්ගය ඔස්සෙ රැගෙන යාමට තැත් කළ එම මත්ද්‍රව්‍ය තොගය ලබා ගැනීමට තවත් දෙදෙනෙකු අතුරුගිරිය අධිවේගී මාර්ග පිවිසුම අසල රැඳි සිටින බවටයි. ක්ෂණිකව ක්‍රියාත්මක වූ අපරාධ බුද්ධි විශ්ලේෂණ නිවාරණ ඒකක නිලධාරිහු ඔවුන් දෙදෙනාද අතුරුගිරිය අධිවේගී පිවිසුම අසලදී අත්අඩංගුවට ගත්තෙ සුදු පැහැති CAG 4653 දරන වැගන්ආර් රථයත් සමඟිනි.

එලෙස අත්අඩංගුවට පත්වූයේ දමිළ ජාතිකයන් දෙදෙනෙක් වන කොළඹ 15, මට්ටක්කුලියේ, අලුත් මාවතේ වෙසෙන වාප්පු ලිපිකරුවකු වන 42 හැවිරිදි රාමයියා සම්මුගනාදන් සහ ජාඇළ, ඒකල පාරේ වෙසෙන රියැදුරු රැකියාවක නිරත 26 හැවිරිදි යෝගරාජා අරුල්නාත්ය.

අත්අඩංගුවට පත් තිදෙනාම රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරින්ට බාර කෙරිණි. එහිදී අනාවරණය වූයේ පොලිස් නිලධාරියා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා එක් ගමන් වාරයකට රුපියල් ලක්ෂ 20ක් පමණ ගෙන ඇති බවයි. ඔහු මීට පෙර අවස්ථා කීපයකදීම දකුණු පළාතේ සිට කොළඹ ප්‍රදේශවලට මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර තිබූ බවද අනාවරණය විණි. අත්අඩංගුවට පත්වීමට දින හයකට පමණ පෙරදීත් දික්වැල්ලෙ සිට අධිවේගී මාර්ගය ඔස්සෙ කිලෝග්‍රෑම් 75ක පමණ මත්ද්‍රව්‍ය තොගයක්ද කොළඹ රැගෙනවිත් ඇති බවත් හෙළි විණි.

වැඩිදුරටත් ඔහු නාකොටික් නිලධාරින් ඉදිරියේ පාපෝච්චාරණය කර ඇත්තෙ දරුවන් සිවුදෙනෙකු සිටින බවත් වැඩිමහල් දියණියගේ විවාහ උත්සවය නුදුරේදීම තරු පන්තියේ හෝටලයක පැවැත්වීමට අවැසි මුදල් සොයා ගැනීමට මෙලෙස මත් ජාවාරම්කාරයන්ට උදවු කළ බවයි.

කෙසේ හෝ උපපොලිස් පරීක්ෂක සනත් කුමාරට මත්ද්‍රව්‍ය තොගයේ හිමිකාරයන් වන පාණදුරේ සලිඳු නමැත්තා හඳුනා ගැනීමට හැකිවී ඇත්තෙ මීට කලෙකට පෙරදී නඩු කටයුතු සඳහා අධිකරණයට ගිය අවස්ථාවලදියි. පාණදුරේ කුඩු සලිඳු මෙකී මත් ජාවාරම්හි නිරත වන්නෙ මේ වන විට මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන එන ප්‍රධානතම මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයා ලෙස සැලැකෙන ඩුබායි වෙත පැන ගොස් සිටින හරක් කටා හෙවත් මිදිගම චින්තක නැතිනම් නදුන් චින්තක සමඟිනි. මාකඳුරේ මධුෂ්ගේ ගෝලයෙක් වන හරක් කටා ඩුබායි සිට මත්ද්‍රව්‍ය තොග ජාත්‍යන්තර ජාවාරම්කාරයන්ගෙන් රැගෙන කුඩා බෝට්ටු ඔස්සෙ දකුණු පළාත කේන්ද්‍රකොට මත්ද්‍රව්‍ය තොග මෙරටට එවති. පසුගිය 13 වැනිදාද ඔහු විසින් මෙරටට වන ලද මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 219ක් නාවික හමුදාව ප්‍රමුඛ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන නිලධාරින් විසින් කොටුකරගත්තෙ වැලිගම මුහුදු තීරයේදීයි.

හරක් කටාගේ මත් ජාවාරමට මනා සහායක් දෙන පුද්ගලයෙක් ලෙස පාණදුරේ කුඩු සලිඳු ඉදිරියටවිත් තිබේ. මෑතක සිට මහා පරිමාණ මත් ජාවාරමට පිවිස සිටින සලිඳු මල්ෂික ගුණසේකර හෙවත් කුඩු සලිඳු 25 හැවිරිදි තරුණයෙකි. ඔහු මුලින්ම 19 හැවිරිදි වියේදී 2015 වසරේදී කුඩු ග්‍රෑම් 15ක් සමඟ පොලිසියට කොටුවී බන්ධනාගාරගත වූවෙකි.

බන්ධනාගාරයේදී හඳුනාගත් බොහෝ අපරාධකාරයන්ගේ සහායෙන් මෑතකදී කරළියට ආ කුඩු සලිඳු පිළිබඳව දැඩිව කතාබහක් වූයේ පසුගිය ජනවාරි 25 වැනිදා පාණදුර උතුර, පල්ලෙමුල්ලේදී දෙනෝදහක් බලා සිටියදී වෙඩි තබා ලක්ෂාන් සඳකැලුම් ඝාතනය කිරීමත් සමඟිනි.

ධීවර රැකියාවේ නිරත 32 හැවිරිදි ලක්ෂාන් ඝාතනය කර ඇත්තෙ මත්කුඩු ආරවුලක් මත සලිඳුගේ මෙහෙයවීමෙනි. ඒ සලිඳුගේ අපරාධකාර හිත‍වතෙක් වන බන්ධනාගාරයේ පසුවන මතුගම සුද්දා නමැත්තා මඟින් වෙඩික්කරුවන් දෙදෙනෙකු සොයා ගනිමිනි. බොහෝ අවස්ථාවල ත්‍රිවිධ හමුදාවේ මෙන්ම පොලිස් නිලධාරින් ග්‍රහණයට ගෙන මත්කුඩු ජාවාරම මෙහෙයවන කුඩු සලිඳු, හරක් කටා හා එක්ව සිදුකළ තවත් මත් ජාවාරමක්ද පසුගිය පෙබරවාරි මස 25 වැනිදා හොරණදී කොටුකර ගැනීමට පාණදුර වලාන දූෂණ මර්දන ඒකක නිලධාරින් සමත් වූයේය.

රුපියල් කෝටි 45ක් පමණ වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ එදින අත්අඩංගුවට පත්වූයේද හමුදා නිලධාරින් දෙදෙනෙකි. ඔවුන් දෙදෙනාද උපපොලිස් පරීක්ෂක සනත් මෙන් වැලිගම ප්‍රදේශයේ සිට අවස්ථා තුනකදී පමණ මත්කුඩු කිලෝග්‍රෑම් 100ක් පමණ කොළඹ ප්‍රදේශයට ගෙනැවිත් තිබූ බවටද අනාවරණය වූයේ යුද හමුදා නිල ඇඳුමට මුවා වෙමිනි. එම ජාවාරමත් හරක් කටා සමඟ මෙහෙයවා තිබුණේ සලිඳුය.

මත් ජාවාරමට කොටුවූ සනත්ගේ සේවය අත්හිටුවීමටද පොලිස්පතිවරයාගේ නියෝග මත පසුගියදා පොලිස් මූලස්ථානය කඩිනමින් පියවර ගත්තෙ මත් ජාවාරම්වලට හවුල් වන පොලිස් නිලධාරින්ට අත්වන ඛේදනීය ඉරණම පසක් කරමිනි. එම නිසා නිල ඇඳුම්ලා ජාවාරම්කරුවන් සමඟ ඩීල් දමන කිසිදු නිලධාරියෙකුට නීතියෙන් ගැලවීමට නොමැති වගනම් සිහිතබා ගත යුතුමය. එසේම මෙවැනි අධම නිලධාරින්ගේ ජාවාරම්කාර කල්ක්‍රියා නිසාවෙන් ඔවුනගේ ඥාති හිතෛෂින්ට සිදුවන අපහසුතාවන් ගැනවත් මෙකී නිලධාරින් සිතන්නේනම් මැනවි.

Comments