
ශ්‍රී ලංකාවේ යටත් විජිත සමයේ බ්‍රිතාන්‍ය මහ රැජිනගේ නිර්දේශය මත සිරකරුවන් නිදහස් කිරීම සිදු කෙරිණි. ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේද ආණ්ඩුකාරවරයාගේ නිර්දේශය අනුව සිරකරුවන් නිදහස් කෙරිණි. නිදහස් ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට ජනාධිපති සමාව යටතේ සිරකරුවන් නිදහස් කිරීමට බලයක් හිමි වුණි. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරුවකු කරන ලද පුද්ගලයකුට සමාවක් ලබා දීමට ජනාධිපතිවරයාට බලය පැවරේ.
ජනාධිපති සමාව යටතේ නිදහස් කළ පුද්ගලයන් අතර වඩාත් කතාබහට ලක් වූ පුද්ගලයා වූයේ ගෝනවල සුනිල්ය. ඔහුට විරුද්ධව ස්ත්‍රී දූෂණ මිනිස් ඝාතන ඇතුළු බොහෝ චෝදනා විය. පසුකාලීනව ද ජනාධිපතිවරුන් කිහිප දෙනකු යටතේ මිනිස් ඝාතනයන්ට වරදකරුවන් වූ පුද්ගලයන් කිහිප දෙනකුට සමාව ලැබුණි. ඒ අතර හිටපු ඇමැතිවරයකුගේ භාර්යාවක වූ මේරි මොනිකා ප්‍රනාන්දු ද්විත්ව ඝාතනයකට මරණීය දණ්ඩනය ලබමින් සිටියදී ජනාධිපති සමාව ලැබුණි. ඒ 2009 වසරේ කාන්තා දිනය යෙදී තිබූ දිනයේය. එමෙන්ම රෝයල් පාක් ඝාතනයට මරණ දඬුවම් විඳිමින් සිටි ජූඩ් ශමන්ත ඇන්තනීටද 2016 වර්ෂයේදී විශේෂ ජනාධිපති සමාවක් යටතේ නිදහස ලැබුණි.
එසේම මරණීය දණ්ඩනය නියම වූ යුද හමුදාවේ සාජන් මේජර් සුනිල් රත්නායක නිදහස් කිරීමට 2020 වසරේ මාර්තු මස කටයුතු කෙරුණේ ද ජනාධිපති සමාව යටතේය.
ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ලැයිස්තුවට එක් වන අලුත් ම පුද්ගලයා වන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ය.
ඒ අනුව මරණීය දණ්ඩනය නියම ව සිර දඬුවම් විඳිමින් සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ. ඒ පසුගිය පොසොන් පොහෝ දින ජනාධිපති පොදු සමාව යටතේය. සිර දඬුවම් විඳිමින් සිටි එල්ටීටීඊ ත්‍රස්තවාදීන් 16 දෙනෙක් ඇතුළු 93 දෙනකුටද මේ අවස්ථාවේ පොදු සමාව යටතේ නිදහස ලැබුණි.
දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබා දෙන ලෙස අවස්ථා කිහිපයකදී දේශපාලඥයන් විසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබුණි. දුමින්ද සිල්වාගේ කතාව බොහෝ දෙනා දන්නා කතාවක් වුවත් එහි සැඟව ඇති නොදන්නා කතාව ගැන මෙහිදී යමක් හෙළි කළ යුතුය.
දුමින්ද සිල්වා අධිකරණයෙන් වරදකරු වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර නොහොත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගේ පියා ඝාතනය කිරීමේ චෝදනාව යටතේය. භාරත ලක්ෂ්මන් ඇතුළු පිරිස ඝාතනය වූයේ 2011 වසරේ ඔක්තෝබර් 08 වැනි දාය. ඒ බස්නාහිර පළාත් සභා ඡන්ද කටයුතුවල දෙපාර්ශ්වයම නිරතව සිටියදී ඇතිවුණු වෙඩි හුවමාරුවකදීය.
ඒ සම්බන්ධව දීර්ඝ නඩු විභාගයක් පැවැත්වුණු අතර අවසානයේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු 5 දෙනකුට කොළඹ මහාධිකරණය විසින් මරණ දඬුවම නියම කරන ලදී. අදාළ නඩුව විභාගයට ගැනුණේ, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ ය. මාස 9ක් පුරා විභාග කෙරුණු මේ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ 2කට 1ක් වශයෙන් බෙදුණු නඩු තීන්දුවක් ලෙසය.
ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති ශිරාන් ගුණරත්න විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කළ යුතු බව ප්‍රකාශ කළ ද, පද්මිනි රණවක හා එම්.සී.බී.එස්. මොරායස් යන විනිසුරු දෙපළ දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන් පස් දෙනාට මරණ දඬුවම නියම කළහ.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පද්මිණි එන්. රණවක විනිසුරුවරිය පෙන්වා දුන්නේ මෙම ඝාතනයට දුමින්ද සිල්වා නායකත්වය ලබා දී ඇති බව තහවුරු වන බව ය. සිද්ධිය වන අවස්ථාවේ ඔහු බීමත්ව සිටි බව අධිකරණ වෛද්‍ය වාර්තාවෙන් සනාථ වී ඇති බව ද විනිසුරුවරිය කියා සිටියා ය. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවු දෙනාට එකම ගිනිඅවියකින් වෙඩි තබා ඇති බවත්, එය එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් ගිනිඅවියක් බවත් විනිසුරුවරිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළා ය.
ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වා, අනුර තුෂාර ද මෙල්, චමින්ද රවී ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද, සරත් බණ්ඩාර, ප්‍රියන්ත ජනක බණ්ඩාර යන 5 දෙනාට මරණ දඬුවම නියම කෙරිණි. නඩුවේ සෙසු විත්තිකරුවන් 8 දෙනා නිදොස් කොට නිදහස් කරන ලදී. අධිකරණය දුමින්ද සිල්වාගෙන් කරුණු විමසූ අවස්ථාවේ ඔහු පැවසුවේ තමන්ට සිද්ධිය සම්බන්ධයෙන් කිසිවක් මතක නැති බවයි.
මේ ගැටුමට මුල් වූයේ දුමින්ද සිල්වා ඇතුළු පිරිසක් හා කොළොන්නාවේ ප්‍රසන්න සෝලංගාරච්චිගේ බිරිඳ ඇතුළු පිරිසක් අතර ඇති වූ ගැටුමකි. ප්‍රසන්නගේ භාර්යාව ඇතුළු පිරිස සහාය ලබා දී තිබුණේ භාරත ලක්ෂ්මන්ටය. ඒ ගැටුම ගැන භාරත ඇතුළු පිරිසක් දුමින්ද සිල්වා හමු වී කතාබහ කළ අතර එහිදී ඇති වූ උණුසුම් කතා බහ දුරදිග යාමෙන් දුමින්ද සිල්වා භාරතට දුන් පහරකින් පය පැටලී ඔහු බිම ඇද වැටුණු බව වාර්තාවල සටහන්ය. ඒත් සමඟම භාරත සමඟ සිටි පිරිසෙන් අයෙක් දුමින්ද ඇතුළු පිරිසට දිගට හරහට වෙඩි තැබූ බවද වාර්තා විය. එයට ප්‍රතිචාර වශයෙන් දුමින්ද සමඟ සිටි පිරිස්ද ජීවිත ආරක්ෂාව පිණිස වෙඩි තබන අතර, එයින් භාරත මිය යන අතර දුමින්ද සිල්වා බරපතළ තුවාල ලබා රෝහල් ගත කෙරේ.
මේ සිදුවීමේදී භාරත මිය ගිය නිසා සමාජයේ මෙන්ම නීතියේ අවධානයද ඔහු කෙරෙහි වැඩි අවධානයකට යොමු විය. එමෙන්ම දුමින්ද සිල්වා බීමතින් සිටීම හා පළමුව දුමින්ද සිල්වා විසින් පහරක් දුන් බව තහවුරු වීම වැනි කරුණු නිසා සාක්ෂි උත්සන්න කර දුමින්ද සිල්වා මෙහි ඝාතකයා ලෙස හංවඩු ගසන්නට සාධක නිර්මාණය කෙරිණි.
ඒ අනුව දුමින්ද සිල්වාට මරණ දඬුවම නියම කළේ භාරත ඝාතනය කිරීමේ අරමුණින් කුමන්ත්‍රණය සිදු කිරීම යන උපකල්පනයක් මතය.
පසුව සිදු කළ සාක්ෂි විභාග නිසි ලෙසින් සිදුවූයේද යන්න ගැන සමාජයේ දැඩි කතාබහට ලක් විය. එයින් ප්‍රධාන කරුණ වූයේ දුමින්ද සිල්වා ඒ වන විට හිසට වෙඩි වැදුණු රෝගියකු විමයි. දෙවැන්න ඒ වන විටත් අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු මතුව තිබීමයි. එහෙත් අද වන විට ඒ සියල්ල හෙළි වෙමින් පවතී. අධිකරණ තීන්දු කිසි ලෙසකින් අපට විවරණය කළ නොහැකිය.
එහෙත් පද්මිණී රණවක විනිසුරුවරියගේ හඬපට විසින් සමාජයට ආ කතා දෙස බැලූවිට අධිකරණ තීන්දුව සාධාරණ ද; යුක්ති සහගතද යන්න ගැන බලවත් කුකුසක් සමාජය තුළම පවතී.
එම නඩු තීන්දු යම් දේශපාලන අවශ්‍යතාවක් පිණිස සිදුවූ බවට සමාජය තුළම කතාබහට ලක්ව තිබේ. එමෙන්ම ඒ පිටුපස සිටි පුද්ගලයන්ද මේ වන විට හෙළිව තිබේ. විශේෂයෙන්ම රන්ජන් රාමනායකගේ හඬපට මේ උදෙසා ප්‍රබල සාක්ෂියක් විය.
පසුව කළ විමර්ශනවලදී හෙළි වූයේ වෙඩි හුවමාරුවේදී භාරත ලක්ෂ්මන් මිය ගියද භාරතගේ ආරක්ෂකයා මුලින්ම දුමින්ද සිල්වාට වෙඩි තැබූ බව සහ භාරතට වෙඩි තබන මොහොත වන විට දුමින්ද සිල්වා වෙඩි වැදී සිහිසුන්ව සිටි බවයි. එමෙන්ම දුමින්ද සිල්වාගේ ගිනි අවියෙන් උණ්ඩ පිටවී නොමැති බවද හෙළි විය.
විශේෂයෙන්ම එකල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ශානි අබේසේකර, රන්ජන් රාමනායකගේ ගෙදර කුලී වැඩ හෝ කරන්නම් යනුවෙන් පවසා සාක්ෂි නිර්මාණය කර ඇති අයුරු හෙළි විය.
භාරත ලක්‍ෂමන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිව් දෙනකුට වෙඩිතබා මරා දැමීම පිළිබඳව වැරදිකරුවන් වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ඇතුළු පස්දෙනෙකුට මරණීය දණ්ඩණය නියම වූයේ, 2016 වසරේ සැප්තැම්බර් 08 වෙනිදාය. බන්ධනාගාරගතව මරණීය දණ්ඩනය නියමු වූ දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ලබාදීම යෝග්‍ය බවට දේශපාලන පලිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත් කරන ලද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව විසින් දන්වා තිබුණි.
දුමින්ද සිල්වාට එරෙහිව කොළඹ මහාධිකරණයේ ගොනුකරන ලද නඩුවේ අධිචෝදනා පත්‍රයෙහි දැක්වෙන සියලුම චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළ යුතුව තිබු බව ද එම කොමිෂන් සභාව ඒකමතිකව තීන්දු කර තිබුණි. විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්නගේ සභාපතිවයෙන් යුත් එම ත්‍රී පුද්ගල ජනාධිපති කොමිසමේ සෙසු සාමාජිකයන් වූයේ විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන අයය.
ජනාධිපති කොමිසමට දුමින්ද සිල්වාගේ පියා වන වින්සන්ට් ප්‍රේමලාල් සිල්වා විසින් ඉදිරිපත් කර තිබු පැමිණිල්ලක් සම්බන්ධයෙන් කොමිසම විසින් අධ්‍යයනය කර අදාළ නිර්දේශ ලබා දී තිබුණි. දේශපාලන පළිගැනීමක් නිසා දුමින්ද සිල්වාට මේ තත්ත්වය උදා වූ බවත් ඔහුට සිදුවූ හානිය සඳහා පැමිණිලිකරුට සහනයක් ලබාදීම යෝග්‍ය බව කොමිෂන් සභාව නිර්දේශ කර ඇත.
එසේම, පොලිස් නිලධාරීන්ට එරෙහිව ඇත්ත බොරු කිරීම සහ බොරුව ඇත්ත කිරීම යන වැරදි වලට සහ දුෂණය කිරීමේ වරද හා පොලිස් සේවය අපකීර්තියට පත් කිරීමේ වරදට පොලිස් විනය නීති යටතේ චෝදනා පත්‍රයක් ගොනුකර පරීක්ෂණ පවත්වා දඬුවම් පැමිණ විය යුතු බවට ද කොමිසම නිර්දේශ කර තිබුණි.
මෙම නඩුවේ ඉදිරිපත්ව ඇති සාක්ෂි පරික්ෂාකාරී ලෙස විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව, පැමිණිලිකාර අරුමාදුර ලෝරන්ස් රෙමෙලෝ, දුමින්ද සිල්වා සාවද්‍ය මනුෂ්‍ය ඝාතනය කිරීමේ වරදට හසු කරලීම සඳහා අසත්‍ය සාක්ෂි නිර්මාණය කරමින් ඔහුට මරණ දඬුවම සහ සිර දඬුවම් පැනවීමට කටයුතු කිරීමටත් එයට ආධාර අනුබල දීමටත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක, විනිසුරු පද්මිණි රණවක හා නියෝජ්‍ය පොලිස්පති ශානී අබේසේකර යන අය කටයුතු කර ඇති බවත් සාක්ෂි මගින් ඔප්පු වී ඇති බව කොමිෂන් සභාව ඒකමතිකව තීරණය කර තිබුණි. එමෙන්ම විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකරයන්ටද ශානි අබේසේකර විසින් තර්ජනය කර ඇත්තේ ‘දුමින්ද සිල්වාට කළ දේ උඹටත් කරනවා‘ ලෙස බවයි.
ඒ අනුව ජනාධිපති කොමිෂන් සභාව විසින් කළ නිර්දේශයේ ප්‍රතිඵලයක් ලෙස දුමින්ද සිල්වාට නිදහස ලැබී ඇති බව පැහැදිලිය. එය සෙසු ජනාධිපති සමාවට වඩා
වෙනස්කමක් දක්වන්නේ එබැවිනි.