නාගොඩ රෝහලේ සුව විරුවන් කළ විස්මිත සැත්කම | සිළුමිණ

නාගොඩ රෝහලේ සුව විරුවන් කළ විස්මිත සැත්කම

සැත්කමින් පසු සුවය ලබමින් සිටින චමින්ද ප්‍රියලාල් සහ හිස් කබලේ ස්කෑන් ඡායාරූප

හුට සිදුවූයේ අනපේක්ෂිත දෙයකි. දිනය නිමා වී නිවසට පැමිණෙමින් සිටිය දී නිවස පෙනෙන නොපෙනෙන දුරක දී ඔහු ගමන් කළ පා පැදියේ ඉදිරිපස රෝදය කැඩී ගියේය. මාර්ගයේ තිබූ වළකට වැටිමෙන් නොසිතූ මොහොතක රෝදය කැඩුණු විට කිසිවක් කරකියාගත නොහැකි වූ ඔහු ඇදගෙන වැටිණි. ඒ ඇද වැටීම සාමාන්‍ය වැටීමක් නොවේ. මුහුණට බරපතළ තුවාල සිදුවී තිබිණි. ඔහුගේ අනතුර දුටු අයට පෙනෙන්නට තිබුණේ බෝම්බයකට හසුවී පොඩිපට්ටම් වී ගියාක් වැනි මුහුණකි. අධික ලෙස රුධිරය වහන වෙමින් තිබිණි. එය නැවැත්වීමට කිසිවකුට නොහැකි විය. මේ අනතුර සිදුවූයේ අලුත්ගම දර්ගා නගරය ආසන්නයේ ය.

අසල්වැසියෝ හැකි ඉක්මණින් වාහනයක පටවාගෙන ඔහු කළුතර නාගොඩ රෝහලට රැගෙන ගියහ.

දර්ගා නගරයේ, මීගම පදිංචි ඒ.එම්.චමින්ද ප්‍රියලාල් නමැති ඔහු 40 හැවිරිදි සිවුදරු පියෙකි. ස්ථිර රැකියාවක් නොවූ ප්‍රියලාල් ජීවත් වූයේ කුලී වැඩක් කරමිනි. පසුගිය 15 වැනි දා යම් කර්යයකට නිවසින් පිටතට ගොස් ආපසු එමින් සිටිය දී මේ අනතුරට ඔහු මුහුණ දුන්නේය.

අසල්වැසියන් විසින් රාත්‍රියේ ම කඩිනමින් රෝගියා රෝහලට ඇතුළු කෙරිනි. රෝහලට ගෙන එනවිට ඔහුට සිහිය තිබුණ ද ක්‍රමයෙන් ඔහු සිහි මුර්ජා තත්ත්වයට පත්වූයේය. රෝගියාට දැඩි සත්කාරයට යොමු කෙරුණු අතර ඔහුට කොරෝනා ආසාදනය වී තිබේ දැයි දැනගැනීම සඳහා ඇන්ටිජන් සහ පීසීආර් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම සිදු කෙරිණි.

ඇන්ටිජන් පරීක්ෂණයෙන් තීරණය වූයේ ඔහුට කොරෝනා ආසාදනය වී නැති බවය.

“මේ රොගියාගේ මුහුණට ඉතා දරුණු ලෙස හානි සිදුව තිබුණා. යටි හනුව, උඩ හනුව වගේම මුහුණේ අස්ථි කොටස් කිහිපයක් ම කැඩී විකෘති වෙලා තිබුණා. මෙය ඉතාමත් බරපතළ තත්ත්වයක්. දැඩි ජීවිත අවදානමක රෝගියා සිටියේ. ඒ වගේම රෝගියාගේ මොළයට හානි සිදුව තිබේ ද කියා දැනගැනීමටත් අවශ්‍ය වුණා. ඒ නිසා කොළඹ ජාතික රෝහලට මොහු යවන්න තීරණය කළා.” වෛද්‍යවරයකු කීවේය.

පසුව දා එනම් 16 වැනි දා කොළඹ ජාතික රෝහලට යැවූ ඔහු යළි එදිනම සවස නාගොඩ රෝහලට එවා තිබිණි. ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වූයේ ඔහුගේ මොළයට හානි සිදුව නැති බවයි. වෛද්‍යවරුන්ට එය නම් යම් තරමකට සැනසුමට කාරණයක් විය.

කෙසේවුවද ඒ වනවිට ලැබී තිබුණු පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඔහු කොරෝනා ආසාදනය වූ පුද්ගලයකු බව තහවුරු වී තිබිණි. ඔහු වහාම දැඩි සත්කාර ඒකකයට ඇතුළු කෙරිණ. කොරෝනා ආසාදිත වුවද මුහුණ විනාශ වී තිබුණු මේ පුද්ගලයා ජීවත්කරවීමට නම් ශල්‍යකර්මයක් කළ යුතුය. එය පහසු කාර්යයක් නොවේ. කොරෝනා වසංගතය පැතිර යෑම හේතුවෙන් දත් හා හනු සම්බන්ධ සාමාන්‍ය සායනික කටයුතු පවා නතර කිරීමට සෞඛ්‍ය අංශ උපදෙස් දී තිබිය දී මෙවැනි සැත්කමක් සිදුකිරීම පහසු නැත.

මුහුණට සිදුව ඇති හානිය නිසාම ඒ වනවිටත් ඔහුට ස්වසන අපහසුතා ඇතිවී තිබිණි. කොරෝනා වයිරසයේ බලපෑමෙන් එය තවත් දරුණු වුවහොත් ඔහුගේ ජීවිතය අහිමිවීමට වැඩි ඉඩක් තිබිණි.

නාසය සහ මුඛය විනාශ වීම හේතුවෙන් ශ්වසන මාර්ගයේ ආරම්භයට හානි සිදුවීම හේතුවෙන් රෝගියාට කෘතිම ශ්වසනය ද සපයා තිබිණි.

මේ අවස්ථාවේ දී නාගොඩ රෝහලේ මුඛ හා හනුක ශල්‍ය වෛද්‍ය ඒකකයේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් රෝගියා පරීක්ෂා කර ඔහුගේ මුහුණ යළි සැකසීමේ අතිශය බාරදූර වගකීම බාර ගත්තේය.

පරීක්ෂණ කිහිපයකට පසු තම වෛද්‍ය කණ්ඩායම සමඟ ෂන්මුගනාදන් වෛද්‍යවරයා අතිශය අවදානම් සහ බැරෑරුම් ශල්‍යකර්මය පසුගිය 20 වැනි දා සිදු කළේය. විශේෂඥ නිර්වින්දන වෛද්‍ය තරංගා පෙරේරා රෝගියා නිර්වින්දනය කළ අතර ශල්‍යාගාරයේ සිටි වෛද්‍යවරු, හෙද හෙදියන්, තාක්ෂණ ශිල්පීන් ඇතුළු කාර්ය මණ්ඩලය සිය උපරිම සහයෝගය ලබා දුන්නේ කොරෝනා ආසාදිත රෝගියකු වුව ද ඔහු ජීවත්කරවීමේ හැකියාව තමන් සතු බවට විශ්වාසයත් සමඟිනි.

සැත්කම පැය 04ක් සහ විනාඩි 30ක කාලයක් ඇදී ගියේය. කැඩී ගිය සියලු අස්ථි යළි පුරුද්දමින් ඒවාට කෘත්‍රිම තහඩු කොටස් එක්කරමින් ඉතාමත් සංකීර්ණ සැත්කමක් සිදුකෙරිණි. ඉන් පසු ඔහුගේ මුහුණේ ඉරී එල්ලා වැටෙමින් සහ පසෙකට තල්ලුවී ගිය පේෂි හා සම යළි සකස් කෙරිණි.

විශේෂඥ මුඛ හා හනුක වෛද්‍ය සුරේෂ් ෂන්මුගනාදන් සැත්කම ගැන මෙසේ කීවේය.

“ඔහුගේ මුහුණට ඉතා බරපතළ විදියට හානි සිදුව තිබුණා. අපිට තිබුණු ‍විශාලම අභියෝගය වුණේ මේ පුද්ගලයා කොරෝනා ආසාදිත පුද්ගලයකු වීම. නමුත් අපි ඒ සියල්ල අමතක කරලා වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය හැටියට ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කටයුතු කළා. ඒ නිසා අපේ කාර්ය මණ්ඩලය මේ සැත්කමට සිය උපරිම දායකත්වය ලබා දුන්නා. සැත්කම සාර්ථකයි. දැන් රෝගියාගේ මුහුණ යළි සකසා තිබෙනවා. ඔහු සුවය ලබමින් සිටිනවා. ඒ ගැන ඇත්තටම සතුටක් තියෙනවා. මේ සඳහා දායක වුණු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් රෝහල් බලධාරීන් ඇතුළු සියලු දෙනාටත් අපි ස්තූතිවන්ත වෙනවා.”

කොරෝනා ආසාදිත අයකුට සැත්කමක් කිරීම පහසු නැත. සැත්කම සිදුකරන සම්පූර්ණ කාලයේ ම කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වී සිටීමට අවශ්‍ය ආරක්ෂිත ඇඳුම් ඇඳගෙන සිටීම පවා අභියෝගයක් වූ බව සැත්කමට සම්න්ධ වූ කාර්ය මණ්ඩලය පවසයි.

ජීවිතයත් මරණයත් අතර සටනක නිරතව සිටි චමින්ද ප්‍රියලාල් දැන් සම්පූර්ණයෙන් ම සුවය ලබා සිටියි. උඩ හනුවත් යටි හනුවත් බිඳී යාම හේතුවෙන් කතා කරන්නට පවා නොහැකිව සිටි ඔහුට මුල් අවස්ථාවේ දියර වර්ග පමණක් ආහාර ලෙස දුන්න ද මේ ලිපිය ලියන 23 වැනිදා; බදාදා වනවිට ඔහු සාමාන්‍ය පරිදි ආහාර ගනිමින් සිටියේය.

සැත්කම සිදුකිරීමෙන් පසු මුහුණට යෙදූ තුවාල ආවරණ ද දැන් ඉවත්කර ඇත. ඔහුට දැන් ඇත්තේ කොරෝනා ආසාදිත අයකු වීමේ ගැටලුව පමණි. වෛද්‍යවරු පවසන්නේ කොරෝනා ආසාදිතයකු ලෙස රෝහල්ගත ව සිටිය යුතු කාලය අවසන් වූ පසු ඔහුට තම නිවසට යා හැකි බවයි.

මෙම සැත්කම නොකරන්නට ඔහුට සිය ජීවිතය අහිමිවන්නට ඉඩ තිබිණි.

එස්. ලොකුකරවිට,
කරාපිටිය සමූහ

Comments