පාර මැද්දේ මාර යුද්දේ | සිළුමිණ

පාර මැද්දේ මාර යුද්දේ

- දිවයිනට යළි පැමිණි බැසිල් රාජපක්ෂයන් නිරෝධායනයට යොමු වෙයි
- එල්.ටී.ටී.ඊ. යේ 16ක් ඇතුළු 93ක් සමඟින් දුමින්ද සිල්වා නිදහස්

පාර්ලිමේන්තුව පසුගිය සතියේදී දින 2ක් පමණක් පැවැත්වූ අතර ඒ දින 2 තුළදීම දේශපාලන වශයෙන් උණුසුම් මෙන්ම තීරණාත්මක සිද්ධි කිහිපයක්ම වාර්තා විය. පසුගිය 22 වැනිදා වර්තමාන ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වූ අතර තෙල් මිල ඉහළ දැමීමට එරෙහිව සමගි ජනබලවේගය විසින් රථ වාහන පෙළපාළියකින් උද්ඝෝෂණයක් ද පැවැත්විය. 23 වැනිදා සිදු වූ විශේෂතම සිදුවීම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් මාස 9කට පසුව එක්සත් ජාතික පක්ෂයට හිමි වූ එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයෙහි එම පක්ෂයේම නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දීමයි. 

පාර්ලිමේන්තුවේ පසුගිය (22) දින රැස්වීම පටන්ගැනීමට පෙර සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්ව සිටියේ පි‍ටකෝට්ටේ පිහිටි සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලයේය. තෙල් මිල ඉහළ දැමීම ‍හේතුවෙන් ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක් පැවැත්විය යුතුයි යනුවෙන් විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක, සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් රැස්වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම විසින් ගත් තීරණයකට අනුව මෙම විරෝධතාව සූදානම් කර තිබුණි. එහි සංවිධාන කටයුතු පවරා තිබුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිදෙනකුටයි. ඒ නලින් බණ්ඩාර, මනූෂ නානායක්කාර සහ එස්.එම්. මරික්කාර්ටය.

උදෑසන 9.20ට පමණ රථ පෙළපාළිය පිටකෝට්ටේ සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාලය අසලින් ආරම්භ වූ අතර විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස ගමන් කළේ කුඩා මෝටර් රථයකිනි. එක් එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා රථ වාහන වෙන්කර තිබූ අතර එම රථවාහන එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්ම පදවාගෙන පැමිණීම විශේෂත්වයකි. රථ පෙළපාළියේ ඉදිරියෙන්ම ගමන් කළේ හේෂා විතානගේ, චමින්ද විජේසිරි, වරුණ ක්‍රිශාන්ත, තුෂාර ඉඳුනිල් අමරසේන, හර්ෂණ රාජකරුණාය.

අශෝක් අබේසිංහ, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා එක් ත්‍රිරෝද රථයක ගමන් ගත්හ. අනෙක් ත්‍රීරෝද රථයේ ගමන් කරන ලද්දේ ජේ.සී. අලවතුවල සහ අජිත් මාන්නප්පෙරුමය.

ගයන්ත කරුණාතිලක සහ මයන්ත දිසානායක මෝටර් රථයක ගමන් කළහ. චූන්පාන් ත්‍රීරෝද රථය පදවාගෙන ගියේ එස්.එම්. මරික්කාර්ය. අත් ට්‍රැක්ටරය පදවාගෙන ගියේ ධර්මසේන මන්ත්‍රීවරයාය. කින්ස් නෙල්සන් සහ රෝහිණි කුමාරි කවිරත්න ද ට්‍රැක්ටරයට ‍ගොඩ වී ගමන් කළහ. මහ ට්‍රැක්ටරය පදවා ගෙන ගියේ රෝහණ බණ්ඩාරය. මුජිබර් රහුමාන් ද රෝහණ බණ්ඩාර සමඟ එක්ව සිටියේය.

කුඩා ලොරිය පදවාගෙන ගියේ ආචාර්ය හර්ෂ ද සිල්වාය. මනෝ ගනේෂන් ද ලොරියේ විය. ඉමිතියාස් බාකිර් මාකර් සහ තවත් මන්ත්‍රීවරයකු කුඩා කාරයකින් ගමන් ගත් අතර සුජිත් සංජය පෙරේරා සහ කබීර් හෂීම් ද ගමන් කරන ලද්දේ කුඩා කාර් රථයකිනි. හරීන් ප්‍රනාන්දු කන්ටේනරයක් පදවාගෙන පැමිණියේය.

ෆීෂර් ට්‍රක් රථයක් පදවාගෙන පැමිණියේ හෙක්ටර් ‍අප්පුහාමි සහ කාවින්ද ජයවර්ධනය.

නිරෝෂන් පෙරේරා පැමිණියේ ටිපර් රථයක් පදවාගෙනය. සමගි ජනබලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, දොස්තර රාජිත සේනාරත්න, රවුෆ් හකීම්, කුමාර වෙල්ගම ඇතුළු තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ පිවිසුම් දොරටුව ප්‍රදේශයට පැමිණියේ බස් රථයකිනි.

මඟදී අත් ට්‍රැක්ටරයේ එක් පැත්තක රෝදයක හුළං බැසීම නිසා අත් ට්‍රැක්ටරය පදවාගෙන පැමිණි ධර්මසේන මන්ත්‍රීවරයාට එය නියමිත මාර්ගයේ ගමන් කරවීම සඳහා දැඩි වෙහෙසක් ගැනීමට සිදුවිය.

පාර්ලිමේන්තුවට පිවිසෙන ජයන්තිපුර දොරටුවට මීටර් 100කට ආසන්නවීමට පැමිණි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිස එතැන් සිට විරෝධතා පුවරු අත්වලින් ඔසවාගෙන පැමිණියේ පාර්ලිමේන්තු පිවිසුම වෙතටය.

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මෙම විරෝධතා රථ පෙළපාළියට පොලිසියෙන් කිසිදු බාධාවක් එල්ල නොවීම විශේෂත්වයකි. මේ අතර 22 දින පෙරවරුවේ පාර්ලිමේන්තුවේ සිදු වූ තවත් කාරණයක් වූයේ වර්තමාන ආණ්ඩුවේ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීමයි. ඊයේ පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පිහිටි කථානායක කාර්යාලයේදී මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාට බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව බාර දුන්නේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසිනි. මේ විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනකු අත්සන් කර තිබිණු අතර, ප්‍රථමයෙන් අත්සන් කර තිබෙන්නේ විපක්ෂ නායක, සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාසයි. අවසන් පුද්ගලයා ලෙස එනම් 43 වැනියාට අත්සන් කර තිබෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවකයි. මේ අතර ඊයේ පාර්ලිමේන්තුවේ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩිජිටල් පහසුකම් හා ව්‍යවසාය කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ සිදු කළ කතාවට බොහෝ දෙනකුගේ අවධානය යොමුවීම විශේෂත්වයකි.

නාමල් රාජපක්ෂ ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍යවරයා වශයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේ බන්ධනාගාරගත වී සිටින තරුණයන්ගේ අනාගතය ගැන අවධානය යොමු කළ යුතු බවයි.

“ගරු කථානායකතුමනි, ඔබතුමා දන්නවා අපේ රටේ අධිකරණ පද්ධතිය සහ බන්ධනාගාර තුළ විශාල තරුණ පිරිසක් ඉන්නවා. යම් යම් ප්‍රමාද වීම් නිසා ඇප ලබා ගැනීමට නොහැකි වූ අය ඉන්නවා. වසර ගණනාවක් එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සැකපිට විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටිනවා.”

“ගරු කථානායකතුමනි, පසුගිය යහපාලන ආණ්ඩුව කාලෙදි අපි රක්ෂිත බන්ධනාගාරගත කළා. මං විතරක් නොවෙයි. ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා, උදය ගම්මන්පිල ඇමතිතුමා, විමල් වීරවංශ ඇමතිතුමා, රෝහිත අබේගුණවර්ධන ඇමතිතුමා ඇතුළු විශාල පිරිසක්. ඒ වෙලාවෙත් අපි බන්ධනාගාරය තුළ තියෙන තත්ත්වය පිළිබඳව දැක්කා.

ඔබතුමාලට පින්සිද්ධ වෙන්න මං හැමදාම කියනවා අපේ තාත්තාටත් මට උගන්වන්න බැරිවෙච්ච පාඩමක් මට ඉගැන්නුවා. ඒ තමයි මේ රටේ බන්ධනාගාරගත වන ජනතාව විඳින දුක පිළිබඳව ප්‍රායෝගික අත්දැකීම් ඔබතුමාලා මට ලබා දුන්නා.

බන්ධනාගාරගතව සිට නඩු විභාගවලින් අනතුරුව දඬුවම් විඳින ප්‍රමාණය සියයට15යි. හැබැයි මෙයින් බහුතරයක් තමන්ට ලැබිලා තියෙන දඬුවමට වඩා වැඩි කාලසීමාවක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා තියෙනවා.

අපිට මතකයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුවේ 12,000 කට වැඩි ප්‍රමාණයක් අපි පුනරුත්ථාපනය කරලා සමාජගත කළා. ඒ අතරින් 3500කට අපි සිවිල් ආරක්ෂක බළකායේ රැකියා අවස්ථා ලබා දුන්නා.” යනුවෙන් ද අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ විසින් බන්ධනාගාරයේ තරුණයන් ගැන දීර්ඝ පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාගේ මෙම පැහැදිලි කිරීමට ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ ඇතැමුන්ගේ ප්‍රශංසාව හිමිවීම විශේෂත්වයකි. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් විසින් ද නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය අගය කරන ලදී.

මහින්ද යාපා අබේවර්ධන කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමේදීත් නාමල් රාජපක්ෂගේ ප්‍රකාශය පිළිබඳව අවධානය යොමු කෙරිණ. දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මෙහිදී විමසා සිටියේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා එම ප්‍රකාශය සිදු කළේ කුමන පදනමකින් ද කියාය.

“නාමල් ඇමතිතුමා තරුණ කටයුතු ඇමති. බන්ධනාගාරගත වූවන් ගැන ප්‍රකාශයක් සිදුකරන්නේ කොහොමද?” යනුවෙන් සුමන්තිරන් විමසීය. බස්නාහිර ජනතා පෙරමුණේ නායක මනෝ ගනේෂන් මන්ත්‍රීවරයාත්, ජාතික ජනබලවේගයේ නායක, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකත් පවසා සිටියේ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයාට එසේ ප්‍රකාශයක් සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි. පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා කියා සිටියේ නාමල් රාජපක්ෂ ඇමතිතුමා උතුරේ තරුණ තරුණියන් ගැන කතා කරන විට සුමන්තිරන් මන්ත්‍රීතුමාලාගේ දේශපාලනයට අවාසියක් වන නිසා නාමල් රාජපක්ෂ ඇමතිතුමාගේ කතාවට දැන් විරෝධය ප්‍රකාශ කරන බවයි.

නාමල් රාජපක්ෂයන් කළ ප්‍රකාශය ඉතා වැදගත් එකක් බව ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා විසින් පෙන්වා දෙන ලදී.

කැබිනට් අමාත්‍යවරයකුට යම් ප්‍රකාශයක් පාර්ලිමේන්තුවේදී සිදුකළ හැකි බව අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින් පෙන්වා දෙන ලදී.

පසුගිය 23 දින දිවුරුම් දීමට පැමිණි එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ, කථානායක කාර්යාලය අසල ආලින්දයේදී කථානායක මහින්ද යාපා අබේවර්ධන සමඟ කෙටි වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි ආකාරය ද දැකගත හැකි විය.

සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දීම සඳහා කැඳවන්නේ සභා ගර්භයට පිවිසෙන ප්‍රධාන දොරටුව වම් පැත්තේ පිහිටි කුඩා දොරටුවෙනි. උදෑසන 9.50ට පමණ රනිල් වික්‍රමසිංහ එම දොරටුව අසලට වී තම අවස්ථාව පැමිණෙන තුරු බලාගෙන සිටියේය.

ඒ වන විටත් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා කාර්යාලයේ සිටියේ මැති ඇමතිවරුන් පිරිසක් සමඟ කතාබස් කරමිනි.

රනිල් වික්‍රමසිංහ දුටු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ රනිල් සමීපයට ගොස් සැපදුක් විමසීය.

“සර්, පාර්ලිමේන්තු ආපු එක හොඳයි. මං හිතන්නේ ආණ්ඩු පක්ෂයේයි, විපක්ෂයේයි හුඟ දෙනෙක් කැමතියි, ඔබතුමා ආපහු පාර්ලිමේන්තුවට ආපු එකට.” යනුවෙන් පවසමින් ජයන්ත කැටගොඩ කතාව ආරම්භ කළේය.

“අපේ පක්ෂයෙන් මට විශාල වශයෙන් ඉල්ලීම් කළා, ආපහු පාර්ලිමේන්තුවට යන්න කියලා. ඒ වගේම රටේ විවිධ ක්ෂේත්‍රවල විද්වතුන්, උගතුන් බොහෝ දෙනෙක් මගෙන් ඉල්ලීම් කළා, ආපහු පාර්ලිමේන්තුවට යන්න කියලා.” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ඊට පිළිතුරු දුන්නේය.

මේ අතර පාර්ලිමේන්තුව කැඳවීමේ සීනුව නාද වූ අතර මැතිසබයට පැමිණීම සඳහා මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අගමැති කාර්යාලයේ සිට පැමිණියේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු සමඟය.

ඉදිරියට පැමිණෙන මහින්ද රාජපක්ෂ අගමැතිවරයා දිවුරුම් දීමට යාමට සූදානමින් සිටින එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ දුටුවේය.

‘Congratulations’ කියමින් මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා අතට අත දී එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහට සුබ පැතීය. මෙම අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයාට ස්තූති කරමින් කෙටි වේලාවක් සුහඳව කතා කිරීමට ද රනිල් වික්‍රමසිංහ අමතක කළේ නැත.

“අපේ පක්ෂයේ දැඩි ඉල්ලීමක් අනුව මං පාර්ලිමේන්තු ආවම විපක්ෂයේ සමහරුන් කියන්නේ රාජපක්ෂවරුන් සමඟ ඩීල් එකකට මං ආවා කියලා. මේක මහ පුදුම කතාවක්” යනුවෙන් රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරද්දි එතන සිටි සියල්ලෝම සිනාසුණහ.

“පාර්ලිමේන්තුවේ වගකීම ආණ්ඩුවත්, විපක්ෂයත් මේ අවස්ථාවේදී හරියට සිදුකරන්නේ නැහැ. කොවිඩ් පාලනය සඳහා ආණ්ඩුවේ වගකීම හරියට සිදුවෙන්නේ නැහැ. විපක්ෂයේත් ප්‍රශ්න තියෙන බව ‍පේනවා.” පාර්ලිමේන්තුවේ පැවති මංගල කතාවේදී රනිල් වික්‍රමසිංහ පැවසීය.

කොරෝනා පාලනය කිරීම සම්බන්ධයෙන් තවත් තීරණාත්මක සාකච්ඡාවක් පසුගිය 18 වැනිදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදීය. රජයේ ප්‍රබල අමාත්‍යවරුන් රැසක් සහ සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ ඇතුළු අදාළ අංශවල උසස් නිලධාරීහු ද මේ සාකච්ඡාව සඳහ“ඔය ගොල්ලන් එක්ක මං මේ ගැන කතා කරන්නමයි හිටියේ. අපි මෙච්චර මහන්සි වෙලා කොවිඩ් පාලනය කරන්න දඟලනවා. හැබැයි අපේ ළඟ තියෙන දත්ත වැරදියි. වැරදි දත්ත මත පදනම් වෙලා අපි මොනතරම් විශේෂඥ තීන්දු තීරණ ගත්තත් මොනතරම් පිළියම් යොදන්න හැදුවත් ඒ කිසි එකකින් වැඩක් වෙන්නේ නෑ. ඇයි අපිට බැරි වුණේ හරි දත්ත පද්ධතියක් හදා ගන්න. මොකද එහෙම වුණේ. කොතනද අපිට වැරදුණේ.” ජනාධිපතිවරයා දැඩි ලෙස ප්‍රශ්න කළේය.

“අපි පසුගිය 14 වෙනිදා රට අරින්න තීරණය කළා. ඒ තීරණය ගන්න තමයි අපි 11 වෙනිදා රැස්වුණේ. මෙන්න සෞඛ්‍ය බලධාරීන්ගේ වාර්තාවක් එනවා 11 වැනිදා 101 දෙනෙක් මැරුණා කියලා. මේක වෙන්න බැහැනේ. මට මේ සංඛ්‍යා ලේඛන ගැන ලොකු සැකයක් මතු වුණා. අන්තිමේ මම බුද්ධි අංශ කැඳවලා මේ ගැන හොයන්න කියලා වැඩේ ඒගොල්ලන්ට බාර දුන්නා. බුද්ධි අංශ මැරුණා කියන හැම කෙනාගේම ගෙවල්වලට ගිහිල්ලා හරි තොරතුරු හොයා ගත්තා. බැලින්නං අපිට දීපු තොරතුරු ඔක්කොම බොරු. හරියටම ඒ දිනයට මැරිලා තියෙන්නෙ 15 දෙනයි. මං අහන්නේ ඇයි මේක හරියට කරන්න බැරි. මේ දත්ත ටික එක ෂීට් එකට ගන්න බැරිද. මෙහෙම වැරදි තොරතුරු ජනගත කරාම ඒ සංඛ්‍යාව දැකලා ජනතාව බය වෙනවා.”

සෞඛ්‍ය බලධාරීහු එම සංඛ්‍යා ලේඛන හැදෙන ආකාරය විස්තර කරන්නට උත්සාහ කළහ.

“ඕවා මට කියන්න එපා. මම දන්නවා ඕගොල්ල ඒව හදන විදිය. ඔය 101 අතරේ අවුරුදු 84ක කාන්තාවක් ඉන්නවා. එයා මැරිලා තියෙන්නේ පෙබරවාරි 06. තව මේ වගේ සිද්ධි ගණනාවක් වෙලා තියෙනවා. මේ කට්ටිය වළ දාලත් ඉවරයි, මරණ සහතික දීලත් ඉවරයි. නමුත් මේ ඔක්කොම එකතු කරලා තියෙන්නේ ජුනි 11 වනදා රිපෝට් එකට. මේ ලිස්ට් එකේ එක්කෙනාගෙ නම තැන් දෙකක ලියවිලා. නමය දහය දෙන්නම එක්කෙනෙක්. හැටතුන හැට හතර දෙන්නම එක්කෙනෙක්.”

ජනාධිපතිවරයා දිගින් දිගටම මේ අයුරින් හෙළිදරව් කරමින් ගිය කාරණා, එතන සිටි දේශපාලනඥයන් පුදුමයෙන් අසා සිටියා හැර කිසිවක් කීවේ නැත.

“මං අහන්නෙ කාව රවට්ටන්නද අපි මේවා කරන්නේ. හරි දේ හරි තැනට දා ගන්න බැරිද. පොඩි ළමයි ද... අනික් කාරණාව තමයි කලින් වැරදි තොරතුරු හරි මං ඉල්ලුවාම දුන්නා. මං මේවා හොයන්න ගත්තාම දැන් මට දත්ත දෙන්නෙ නෑ. පනස් අටක් මැරිලා පනස් තුනක් මැරිලා කිය කිය ඉලක්කම් විතරක් දෙනවා.”

නිලධාරියෙක් කුමක්දෝ පැහැදිලි කරන්නට උත්සාහ කළේය... ඒ අතර ජනාධිපතිවරයා දොස්තර පාදෙණිය දෙස බලා ප්‍රශ්නයක් ඇසුවේ මෙසේය...

“දැන් අපේ විශේෂඥ‍යෝ ඉන්නවා. මේ දොස්තර පාදෙණිය වගේ අය මාධ්‍යවලින් ජනතාට කතා කරනවා. හරි දත්ත නැතුව හරි තොරතුරු නැතුව අපි කොහොමද ජනතාවට හරි දේ ගැන කියන්නේ. හරි දත්ත නැත්තං ඒ මත පදනම් වෙලා කතා කරන දේවලුත් වැරදිනේ... එහෙම නේද?”

“ඒක තමයි සර් මම මුලදිම කිව්වේ. මෙතන ප්‍රශ්නයක් තියෙනවා. හරි තොරතුරු දෙන්නෙ නෑ. මේකත් කුමන්ත්‍රණයක් කියලයි මම මුලින් කිව්වේ. මේ ඔක්කොම කරන්නේ සෞඛ්‍ය බලධාරීන් තුන්දෙනෙක්... “ පාදෙණිය තිදෙනකුට චෝදනා කරන්නට පටන් ගත්තේය.

ඉන්පසුව පාදෙණිය නැවතත් පවිත්‍රා ඇමතිනිය දෙස බලා කතා කළේය.

“මම මේ ඇමතිතුමිය එක්ක මේ ගැන කතා කළා. මේ දෙන තොරතුරු වැරදියි කියලා මම ඔට්ටුවකුත් ඇල්ලුවා. අන්තිමේ ඇමතිතුමිය තොරතුරු ලබා දෙන්න අධ්‍යක්ෂවරයෙක් පත්කළා. එයා සෞඛ්‍ය අමාත්‍යාංශ වෙබ් එකට දානවා තොරතුරු නෑ කියලා”

“මේක මාර වැඩක්නේ... තොරතුරු නැති වෙන්නේ කොහොමද?”

“අපි මේකට කණ්ඩායමක් දැම්මා. මේ තත්ත්වය විශ්ලේෂණය කරන්න. එයාලට එක ෆයිල් එකක් අල්ලන්නවත් දුන්නෑ මේ ගොල්ලෝ. තුන්දෙනෙක් එකතු වෙලා මේක බදාගෙන හිටියා. අපි බය නෑ කියන්න... මෙතන කුමන්ත්‍රණයක් වෙනවා...” පාදෙණිය චෝදනා කළේය.

“මෙතන මහා ලොකු රොකට් සයන්ස් එකක් නැහැ. හැබැයි මේකට මහන්සි වෙන්න ඕනෑ. මහන්සි වෙලා මේක කරන්න.” ජනාධිපතිවරයා පවිත්‍රා ඇමතිනිය දෙස බලමින් කීවේය.

“තවත් වරදක් වෙනවා. මිනිහෙක් මැරෙනවා අලියෙක් ගහලා. ඒ මිනිහ hospital අරන් යනවා. මොකක් හරි හින්දා දේහය පී.සී.ආර්. එකෙන් positive වෙනවා. එතකොට ඒ මරණය වෙන්නේත් කොවිඩ් හින්දද? තව තැනක බයිසිකලයක් පැදන් එන ළමයි දෙන්නෙක් හැප්පිලා මැරෙනවා. ඒක ඇක්සිඩන්ට් එකක්. නමුත් එක්කෙනෙකුට කොවිඩ් පොසිටිව් කියලා ඔප්පු වෙනවා. එතකොට දෙන්නගෙම නම් වැටෙන්නේ කොවිඩ් මරණවලට. මේ වගේ සංකීර්ණ ප්‍රශ්න වෙලා තියෙනවා.”

ජනාධිපතිවරයා ඇසූ ප්‍රශ්න වලට සෞඛ්‍ය අංශයේ බලධාරීන්ට කට උත්තර නැති විය.

ගම්පහ දොම්පේ උලහිටිවල ස්ථාපනය කෙරෙනු කොවිඩ් රෝහල නිරීක්ෂණය කිරීම සඳහා පසුගිය බදාදා නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා පැමිණියේය. මෙම අවස්ථාවට ප්‍රසන්න රණතුංග, සහන් ප්‍රදීප් හා මිලාන් ජයතිලක මන්ත්‍රීවරු ද එක්වූහ. ඉන් අනතුරුව නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා සහ ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා පැමිණියේ මිනුවන්ගොඩටයි. මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශයේ ජනතාවට පානීය ජලය ලබා දීම සඳහා ජල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වුවද එමඟින් පැය 24 පුරා ජලය ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කෙරුණේ නැත. දවසක් ඇර දවසක්, දිනකට පැය හතරක් පමණක් ජලය ලබා දීම සිදු වූ මෙම ව්‍යාපෘතිය නවීකරණය කිරීම සඳහා බැසිල් රාජපක්ෂ ගම්පහ දිස්ත්‍රික් සංවිධායකවරයාව සිටි කාලයේ කටයුතු කළේය. ඒ පැය 24 පුරාව ජනතාවට පානීය ජලය ලබාදීමේ අරමුණෙනි. නමුත් යහපාලන රජය බලයට පැමිණීමෙන් පසුව එම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගැනීම නිසා මිනුවන්ගොඩ ජනතාවට මේ වන තෙක් පැය 24 පුරා ජල පහසුකම නොලැබිණ. වාසුදේව නානායක්කාර අමාත්‍යවරයාගේ ද සහාය ඇතිව ප්‍රසන්න රණතුංග ඇමතිවරයාගේ මැදිහත්වීමෙන් මිනුවන්ගොඩ නගර සභා බල ප්‍රදේශය ජනතාවට පැය 24 පුරාම ජලය ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරිණි. එහි සමාරම්භක අවස්ථාවට සහභාගි වීම සඳහා නාමල් රාජපක්ෂ ඇමතිවරයා හා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පැමිණියේය.

“මේ වැඩපිළිවෙළ සකස් කෙරුණේ මහින්ද රාජපක්ෂයන්ගේ ආණ්ඩුව කාලේ, බැසිල් රාජපක්ෂයන්ගේ මූලිකත්වයෙන්.

සෞඛ්‍ය හේතු මත අපි මෙතනට සෙනඟ එක්රැස් කරේ නැහැ. අපේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් තමයි එන්නේ’ ප්‍රසන්න රණතුංග ඇමතිවරයා පැවසීය.

“අපි වැඩ කරාට ඒ දේවල් පෙන්නන්න ලොකු උත්සව ගන්නෙ නැහැ. අනිත් එක කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක එහෙම කරන්නත් බෑනේ.” නාමල් රාජපක්ෂ ඇමතිවරයාගේ අදහස විය.

අමාත්‍යවරුන් මිනුවන්ගොඩ එන විට පළාත් පාලන ආයතන මන්ත්‍රීවරු කිහිප දෙනෙක් පමණක් එහි පැමිණ සිටියහ. පැය 24 පුරා ජලය ලබාදීමේ වැඩපිළිවෙළේ පළමු ජල සම්බන්ධතාවට හිමි හිමිකම්පත ලබාදීමට සූදානම් කර තිබුණේ වයසක ආච්චි අම්මා කෙනෙකුටය. නාමල් රාජපක්ෂගේ අතින් ඒ ආච්චි අම්මාට හිමිකම් පත ලබා දෙන අවස්ථාවේදි දැඩි සතුටට පත්ව සිටි ඇය,

“ඇත්තටම මේක හීනයක් මහත්තයෝ. මම කවදාවත් හිතුවේ නෑ ගේ ඇතුළේ ටැප් එක අරින ඕනම වෙලාවක වතුර එන දවසක් දකින්න ලැබෙයි කියලා.” යි පැවසීය.

ඇයගේ නොසිතූ ප්‍රකාශය නිසා නාමල් රාජපක්ෂ ඇමතිවරයාත් ප්‍රසන්න රණතුංග ඇමතිවරයාත් තරමක් මවිත වූ අතර සංවේදී වූහ.

“ඔබතුමාගේ තාත්තට අපි ගොඩක් ගරු කරනවා. එතුමා අපේ රට බේරගත්ත නායකයා. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂයන්ටත් අපි ගරු කරනවා ඇය දෑසේ කඳුළු පිටි අත්ලෙන් පිස දමමින් පැවසුවේය.

කටුනායක ආයෝජන ප්‍රවර්ධන කලාපයේ ආයෝජකයන් හා අමාත්‍යවරුන් අතර හමුවක් එදිනම පැවැත්විණි. මිනුවන්ගොඩ සිට කටුනායක දක්වා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා හා නාමල් රාජපක්ෂ ඇමතිවරයා පැමිණෙන විටත් ඩී.වී. චානක රාජ්‍ය අමාත්‍යවරයා එහි පැමිණ සිටියේය.

මෙහිදී ආයෝජකයන් විසින් ප්‍රධාන ප්‍රශ්න දෙකක් සම්බන්ධයෙන් ඇමැතිවරුන්ගේ අවධානය යොමු කරනු ලැබීය. පළමුව සාකච්ඡා වූයේ ජී. එස්. පී. සහනය සම්බන්ධවයි. ජීඑස්පී සහනය දීර්ඝ කර ගැනීමට නොහැකි වුවහොත් කර්මාන්තශාලාවලට ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුවන බව ආයෝජකයෝ පැවසූහ.

“මේ වෙනකොටත් ජීඑස්පී සහනය දීර්ඝ කර ගැනීමට විදෙස් කටයුතු අමාත්‍යාංශය මැදිහත් වෙලා සිටිනවා. මම හිතනවා අපිට ජීඑස්පී සහනය කිසිම බාධාවක් නැතුව ලබාගන්න පුළුවන් වෙයි කියලා” නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ආයෝජකයන්ට පැවසීය.

පසුගිය 24 වැනිදා ඇමෙරිකාවේ සිට මෙරටට පැමිණි බැසිල් රාජපක්ෂ ගැන දේශපාලන ක්ෂේත්‍රයේ යොමුවී තිබෙන්නේ දැඩි අවධානයකි. ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම අසන්නේ බැසිල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේ දිවුරුම් දෙන්නේ කවදාද කියාය.

බැසිල් පාර්ලිමේන්තුවේ ලබන 06 වැනිදා දිවුරුම් දීමෙන් පසුව ඔහුට ප්‍රබල අමාත්‍ය ධුරයක් හිමිවන බවට ද යම් යම් ප්‍රචාර සිදුවෙමින් පවතී. මේ කිසිවකට පිළිතුරු නොදී සෞඛ්‍ය උපදෙස් අනුව බැසිල් රාජපක්ෂ නිරෝධායනයට ලක්වී සිටී.

Comments