මාස හයකදී හදන අලුත් නගර 100 ක් | සිළුමිණ

මාස හයකදී හදන අලුත් නගර 100 ක්

- මහා පරිමාණ ව්‍යාපෘති සඳහා රු.කෝටි 69,250 ක්
- පොදු ගොඩනැඟිලි නවීකරණයට අනවසර ඉදිකිරීම් ඉවතට
- වසර 20–30 ක් සංවර්ධනය නොවූ නගර 100 ක් හදන්න රු.කෝටි 200 ක්
- කොරෝනා තිබුණත් රටපුරා කෝටි 100 ක් ඉක්මවන ව්‍යාපෘති
- 284 ක් වැඩ අලුත් මහා පරිමාණ පානීය ජල ව්‍යාපෘති 53 ක්

කොරෝනා රෝගය රටපුරා ව්‍යාප්ත වූවත් ඒ සඳහා ලොකු මුදලක් වැය කළත් ජනාධිපතිතුමාගේ හා අගමැතිතුමාගේ උපදෙස් පරිදි රටේ සංවර්ධන කටයුතු දිගටම මහා පරිමාණ අයුරින් ක්‍රියාවට නැංවීම සිදුවෙයි. වත්මන් රජය 2021 පළමු කාර්තුව අවසන් වනවිට ඇස්තමේන්තු පිරිවැය රුපියල් කෝටි 100 ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284 ක් ක්‍රියාවට නංවා ඇත. ඒවා අමාත්‍යාංශ 41 ක් යටතේ ක්‍රියාත්මක වෙයි. 2021 වර්ෂය කොරෝනා රෝගය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන අතරම රජය රට සංවර්ධනයට රුපියල් කෝටි 69250 ක් වෙන් කර තිබේ. මේ අතුරින් ව්‍යාපෘති 53 ක් ‘සැමට පානීය ජලය’ වෙනුවෙන් ද කිලෝමීටර් ලක්ෂයේ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියට අදාළවද ක්‍රියාත්මක වන බව මුදල් අමාත්‍යාංශ තොරතුරු වාර්තා පෙන්වා දෙයි.

මෙම ව්‍යාපෘතිවල ප්‍රගතිය හා ඉඩම් අත්පත්කර ගැනීම පිළිබඳව නෛතික ගැටලු හා ඉදිරි සංවර්ධන කටයුතු ගැන අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කර ඇත‍. 

මේ අතර වසර 20 -30 ක් තිස්සේ කිසිම සංවර්ධනයක් නොවූ රටේ ප්‍රධාන නගර සිය ගණනක අභ්‍යන්තර භෞතික හා පාරිසරික සංවර්ධන කටයුතු පිළිබඳව ද රජයේ අවධානය යොමුවී ඇත. වසර ගණනක් තිස්සේ සංවර්ධනය නොවෙමින් එකම තැනක පවතින කුඩා හා මධ්‍යම නගර සංඛ්‍යාව 200 කට ආසන්න බවට තොරතුරු හෙළිවී ඇත.

ඒ නගර වත්මන් නව තාක්ෂණික දියුණුව, ජනගහන වර්ධනයට හා වාණිජ කරණයට අනුව දියුණු කිරීම අත්‍යවශ්‍ය කටයුත්තකි. නමුත් විවිධ නොසලකා හැරීම් නිසා ඒ නගර පසුගිය වසර 20 – 30 අතර කාලයේදී කිසිම සංවර්ධනයකට ලක්වී නැත.

‍මීට පිළියමක් වශයෙන් සංවර්ධනය නොවූ නගර 100 ක් තෝරාගෙන ඉන් එකකට රුපියල් ලක්ෂ 200 ක් ලබාදී ඒවා සංවර්ධනය කිරීමේ නව ව්‍යාපෘතියක් ජනපතිගේ හා අගමැතිගේ උපදෙස් පරිදි දැන් නාගරික සංවර්ධන හා නිවාස සංවර්ධන අමාත්‍යාංශය ක්‍රියාවට නංවයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ මීට අදාළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමිවී තිබේ. ඒ අනුව වසර ගණනාවක් සංවර්ධනය නොවූ නගරවල භෞතික හා පාරිසරික තත්ත්වය සිත්ගන්නා සුලු අයුරින් හා ඉදිරි ශතකයට ගැළපෙන අයුරින් ඉදිරි මාස හය ඇතුළත සංවර්ධනය කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ හේමාල් ලක්පැතුම් මහතා පවසයි.

අගමැතිතුමාගේ හා නාගරික සංවර්ධන රාජ්‍ය ඇමැති නාලක ගොඩහේවාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් කෝටි 200 ක් වැය කරන බවත් අදාළ නගර සිදු තෝරා ගැනීම දැන් සිදුකෙරෙමින් පවතින බවත් වැඩිම කාලයක් කිසිම සංවර්ධනයක් නොවූ නගරවලට මෙහිදී ප්‍රමුඛත්වය දක්වන බවත් ලක්පැතුම් මහතා කියයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ප්‍රධාන හා ප්‍රාදේශීය නගර අතර පවතින අසමතුලිතතාව අවම කර සියලු ජනතාව සඳහා සමාන නාගරික පහසුකම් ලබාදීම මඟින් එම ජනතාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා ඉටු කිරීමට අපේක්ෂා කෙරේ.

මෙම නව නගර 100 සංවර්ධනය කරන්නේ ඒ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුකූල පරිදි හා එම නගරවල හා ඒ අවට ජනතාවට මෙන්ම රටේ සියලු ජනතාවට ප්‍රතිලාභ රැසක් ලැබෙන අයුරින් ය.

රටපුරා තිබෙන දෙවන හා තෙවන පෙළ බොහෝ නගර එහි පවතින අසංවර්ධිත සංවර්ධන කටයුතු නිසා ඉතා අපිළිවෙළ අවලක්ෂණ හා මහජනයාට පීඩාකාරී නගර ලෙස තවමත් පවතින අතර, එම නගර අලංකාර, ක්‍රමවත් හා මහජන හිතකාමී නගර ලෙස සංවර්ධනය කිරීමට නිසි වැඩපිළිවෙළක් පසුගිය කාලයේ ක්‍රියාත්මක නොවීය.

මෙම අපිළිවෙළ නගරවලින් බොහෝ නගර ක්‍රමානුකූල සැලැස්මකට හා වැඩපිළිවෙළකට අනුව සුළු පරිශ්‍රමයක් දැරීම මඟින් මහජනතාව සඳහා හිතකාමී ප්‍රසන්න නගර බවට පරිවර්තනය කිරීමට හැකියාවක් ඇත. ඒ නගර සඳහා අපරව්‍යුහ පහසුකම් සපයන රජයේ සියලු ආයතන ඒකාබද්ධව එම ආයතනවලින් සිදුකළ යුතු වැඩ කොටස් හඳුනාගෙන ප්‍රදේශයේ දේශපාලන නායකත්වය, වෙළෙඳ ප්‍රජාව හා මහජන සහයෝගය ද ඇතිව වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මඟින් අපේක්ෂිත ඉලක්ක පහසුවෙන් ළඟා කරගත හැකිය.

මේ සඳහා නාගරික සංවර්ධන අධිකාරිය මඟින් ‘සියක් නගර’ නමින් නව වැඩසටහනක් සැලසුම් කර ඇති බවත්, රට පුරා විසිරී ඇති මෙවන් නගර සියයක් තෝරාගෙන ඒවායේ මූලික පහසුකම් වැඩි දියුණු කිරීම හා නගර ක්‍රමවත් කර අලංකරණය කිරීම මෙම වැඩසටහනේ මූලික අරමුණ බව එහි සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන්ද සිල්වා පවසයි.

මෙවන් ඒකාබද්ධ සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා මැදිහත් විය හැකි ප්‍රධානත ම ආයතනය ලෙස නාගරික සංවර්ධන අධිකාරිය හඳුනාගත හැකි අතර, අධිකාරියේ රට පුරා විහිදී ඇති පළාත් සහ දිස්ත්‍රික් කාර්යාල මඟින් මෙම වැඩසටහන පහසුවෙන් ක්‍රියාත්මක කරනු ලබන බව ද සභාපතිවරයා කීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්ගේ උපදෙස් හා මඟපෙන්වීම අනුව නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම සහ ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවාගේ මෙහෙයවීමෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර යන මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් නාගරික සංවර්ධන අධිකාරිය මඟින් මෙම සංවර්ධන කටයුතු සිදු කරනු ලබයි.

මෙහිදී මූලික වශයෙන් නගර මධ්‍යවල ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම, පදික වේදිකා සකස් කිරීම හා ඒවා අලුත්වැඩියා කිරීම, මාර්ග දෙපස කාණු පද්ධති සකස් කිරීම, කැඩුණු කාණු අලුත්වැඩියා කිරීම, රථගාල් ඇති කිරීම හා දැනට පවත්නා රථගාල් සංවර්ධනය කිරීම, අනවසර සහ අපිළිවෙළ දැන්වීම් පුවරු ක්‍රමවත් කිරීම හෝ ඉවත් කිරීම ද සිදු කෙරේ. රුක් රෝපණය, පොදු මහජන ගොඩනැඟිලි, තාප්ප ආදිය නවීකරණය කිරීම හා පින්තාරු කිරීම, මාර්ග දිසා පුවරු එකම ආකාරයකට සවිකිරීම, කුණු කසළ එකතු වන ස්ථාන සඳහා සුදුසු වැඩපිළිවෙළක් යෙදීම, වීදි ලාම්පු ආදිය ලබාදීම, බස් නැවතුම්පළ, විවේක ස්ථාන ආදිය ඉදිකිරීම හා ඒවා ප්‍රතිසංස්කරණය කිරීම ද මෙහිදී සිදුවන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

අවිධිමත් ලෙස තැන් තැන්වල පවත්වාගෙන යනු ලබන තාවකාලික වෙළෙඳ කුටි ඉවත් කර ඒවා සඳහා සුදුසු ස්ථානයක් හා සැලැස්මක් ලබා දීම, මාර්ග පිළිසකර කිරීම, පැති බැමි ආරක්ෂිත වැටවල් ආදිය ඉදිකිරීම වැනි ක්‍රියාකාරකම් සිදු කිරීම මඟින් අදාළ නගර අලංකරණය හා මහජන හිතකාමී පිළිවෙළක් සහිත නගර බවට පත් කිරීමට අදහස් කෙරේ.

මේ අනුව කොරෝනා තිබුණත් රටේ සංවර්ධනය දිගටම සිදුවන බවට මේ ව්‍යාපෘති හොඳම උදාහරණ ලෙස පෙන්වා දිය හැකියි.

Comments