
- මුදල තීරණය කරන්නේ ලියන වචන ප්‍රමාණය අනුවයි
- මෙවැනි වංචා ජාත්‍යන්තරයටම පිළිලයක්
- විශ්වවිද්‍යාල තුළ plagiarism හසුකිරීමට Turnitin නමින් මෘදුකාංගයක්
- මෙවැනි වංචනික නිබන්ධන හඳුනා ගැනීම පහසුයි; දඬුවම ප්‍රබලයි.
අද බොහෝ ක්ෂේත්‍රවල යහමින්, අඩු වැඩියක් නොමැතිව ක්‍රියාත්මක වන ප්‍රබලම ගනුදෙනුවක් වන්නේ වංචාවයි. අස්සක් මුල්ලක් නෑර ගමන් කරන වංචාව මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයත් අභිනික්ක්‍රමණය කොට ඇත්තේ විවිධ ස්වරූපයෙන්ය. පාසලට සිසුන් ඇතුළත් කිරීමේ සිට වංචනික ක්‍රියාවන්ගෙන් ආරම්භ වූ සිසු අධ්‍යාපනය තුළ වංචාව මුල්බැස ගන්නේ කෙඳිනක හෝ එහි ගති ලක්ෂණ ඉස්මතු කරමිනි. වර්තමානයේ අසමත් යැයි සැලකෙන අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස ගුණාත්මක අධ්‍යාපනය පරයමින් සහතිකයට හිමි වන්නාවූ ඉහළ වටිනාකම හේතුවෙන් සරසවි අධ්‍යාපනයේදීද මෙවන් වංචාවන් වර්තමානයේ අත් විඳින්නට සිදුවීම මහා කනගාටුදායක ඉරණමකි.
වර්තමානයේ කොවිඩ් හේතුවෙන් වෙනස්ම රටාවකින් ආරම්භ වූ අධ්‍යාපන ක්‍රමය මීට යහපත් පසුබිමක් සැකසුවාට සැකයක් නැත. අධ්‍යාපනයේ සිදුවන්නාවූ ගිවිසුම්ගත වංචා අද ඊයේ ආරම්භ වූවක් නොවූවද, වර්තමනයේ මෙය යහමින් ක්‍රියාත්මක වන්නට පටන් ගෙන ඇත. විශේෂයෙන්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේදී සාමර්ථයන් සඳහා අවශ්‍ය නිබන්ධන, පැවැරුම් ආදිය අද මුදලට තනා දෙන්නෝ රට පුරාම සිටිති. කිසිදු බියක් හිරිකිතයකින් තොරව අන්තර්ජාල පුවත්පත් බිලි ගනිමින් මේ පිරිස් නිබන්ධන මුදලට විකුණන්නේ අද ඊයේ සිට නොවේ. එහෙත් මේ පිළිබඳ අනාවරණ හා ඊට විරුද්ධව ක්‍රියාත්මක විම් තවමත් සිදු වන්නේ සුළුවෙනි.
“ Assingnment And Dissertation Writing Services
Minimum plagiarism, on time delivery andexpertise assistance “ ඒ එක් ලංකාවේ පුද්ගලයකුගේ දැන්විමකි.
මේ තවත් තැනක පළ වූ එවැනිම ආකාරයේ දැන්වීමකි.
“ course work assingnment help includes
* Reliability
*Security
*100% plagiarism free “
අද විශ්වවිද්‍යාල සිසුවෙකුට සිය නිබන්ධන, පැවැරුම් ආදිය මුදලට සිදු කරනා එවන් අවස්ථා ඕනෑතරම් සොයා ගැනීමට අන්තර්ජාල පිරික්සූමේදි පමණක් නොව පුවත්පත් මඟින්ද දැකගත හැකිය. අඩු වියදම, ගුණාත්මක නිබන්ධන, විශ්වාසදායි බව ආරක්ෂා කිරීම, අන්තර්ජාලයෙන් කොපි කර නොගැනීම හෙවත් plagiarism නොමැති වීම, කිසිවකුටත් නොදැනෙන පරිදි සිදුකරදීම, නියමිත කාලයට ලබාදීම මේ වෙළඳාම අතර ජනප්‍රිය වාක්‍ය ඛණ්ඩයන් වී ඇත්තේය. එක් වචනයක් වෙනුවෙන් මුදලක් තීරණය කරන මේ සේවාව විවිධ මිල ගණන් යටතේ ගුණාත්මක සේවයක් ලබා දෙන්නේ යැයි පවසන මේ පිරිසකගේ අරමුණ වී ඇත්තේ දරුවන්ගේ විභාග පීඩනය අවම කිරිම මෙන්ම කාලයට වැඩි වටිනාකමක් ලබා දීම බව පවසති. රැකියාවන්හි නියුක්ත පිරිස් බාහිර උපාධි සඳහා යොමුවිමක්, අවසානයේ නිබන්ධන පැවැරුම් ලිවීම සඳහා වූ කාලය ප්‍රමාණවත් නොවිම මත මෙවැනි වංචනික ක්‍රියාවන්ට යොමු වීම, පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන් පවා මෙවැනි ක්‍රම හරහා නිබන්ධන මුදලට සකස් කිරිම මෙවැනි මේවාවන් වැඩි වශයෙන් ව්‍යාප්ත විමට හේතුවකි.
මෙම අධ්‍යයන වංචනික ක්‍රියා දඬුවම් ලැබිය හැකි වරදක් වෙයි. එහෙත් කණගාටුදායක ඉරණම වී ඇත්තේ මේවා ප්‍රසිද්ධියේම පවත්වා ගෙන යාමය. මුදල් ඉපයීමේ අරමුණින්ම දරුවන්ගේ නිදහස් අධ්‍යාපනය මොට කරන මෙවැනි සිදුවීම් අද අපට අසන්නට සිදුව ඇත්තේ වර්තමානයේ ‘අධ්‍යාපනයක් ‘ හෙවත් හදවත සමඟ ගනුදෙනුවකින් තොර මොළය සමඟ පමණක් ගනුදෙනු කරන ‘ අධ්‍යාපනයක්‘ ලැබීම නිසාවෙනි.
“මෙය සදාචාරය පිළිබඳ ප්‍රශ්නයක්. අප අපටම විශ්වාස විය යුතුයි. අද සිදු කරන්නේ ‘අධ්‍යාපනය‘ පිරික්සීමක් මිස ‘අධ්‍යාපනය‘ පරික්සීමක් නොවෙයි. එසේම අපේ රට තුළ පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සිදුවිය යුතුයි. මෙවැනි වංචනික ක්‍රම මීට වසර 10 ට පමණ පෙරත් තිබුණා. නමුත් මේ තත්ත්වය ඉහළට ආවේ මීට වසර 3-4 කට පෙරයි. ඉස්සර මේ දේවල් සිදුවුණේ මෙවැනි දැන්වීම් හරහා නෙමෙයි. නමුත් අද මේ දේවල් ලංකාව තළ පමණක් නොව විශාල වශයෙන් විදේශ රටවලත් සිදු කරනවා. ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල තුළත් මේ දේවල් සිදුවෙනවා. නමුත් රාජ්‍ය විශ්වවිද්‍යාල තුළ මේ දේවල් සිදු වන්නේ ඉතාමත් අඩුවෙන්. අද බොහෝ සිසුන්ට අවශ්‍ය හැකි ඉක්මනින් පංති සාමාර්ථයක් ලබා ගනිමින් සමත් විම. මේ නිසා දැනුමට වඩා මුල් තැන හිමි වන්නේ සහතිකයට. මෙය ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඒ වගේම සිසුවාට සිය නිබන්ධනය ලිවීමේදී නිසි මාර්ගෝපදේශකත්වයක් නොලැබීම, තමන්ට ලැබෙන සුපරීක්ෂකවරයා තමන්ගේ වගකීම් පැහැර හැරීම හරහා සිසුන් මෙවැනි වංචනික ක්‍රියාවන්ට පෙලඹිය හැකියි. සාමාන්‍යයෙන් තම සුපරික්ෂකවරයා විසින් අවස්ථා තුනකදි නිබන්ධනය අධීක්ෂණය කළ යුතුයි. නමුත් මේ සියල්ලන්ගෙන්ම බේරෙමින් ඉහත වංචනික ක්‍රම හරහා උපාධි, පශ්චාත් උපාධි ලබා ගන්නා අයත් සිටිනවා. .......“ ඒ විවෘත විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන අංශයේ, අලෙවිකරණ අංශයේ අංශාධිපති මහාචාර්ය නලින් අබයසේකරය.
මෙවැනි හොර මාර්ග වලින් උපාධිය සම්පුර්ණ කර ගැනීමට උත්සාහ කිරීමේදි එය අසාර්ථක වූ සිසුන්ද බොහෝමයකි. ඒ සම්මුඛ පරික්ෂණ වලදි මෙවැනි වංචනික ක්‍රියා හසුවීම හා ජේද කොපි කර ඇත්දැයි පිරික්සීමට ඇති මෘදුකාංග හරහා හසුවීමය. වචනයකින් මිල ගණන් තිරණය කරන මෙවැනි සේවාවන් අපේ රටට පමණක් පොදු වුවක් නොව ජාත්‍යන්තරයටම පොදු වූ පිළිලයකි.
“ plagiarism යනුවෙන් හඳුන්වන්නේ තම නිබන්ධනයට වෙනත් අයකුගේ කොටස් කොපි කර ඇලවීම් අන්තර් ජාලය තුළින්ම සිදු කිරීමයි. මේවා හසුකිරීම සඳහා Turnitin නැමැති මෘදුකාංගයක් විශ්වවිද්‍යාලවල භාවිතා කරනවා. උපාධි, පශ්චාත් උපාධිවල සිටින සිසුනුයි මේ දේවල් සිදු කරන්නෙ. තම නිබන්ධයේ කොපි කිරිම් කර ඇත්නම් සියයට ප්‍රතිශතයක් වශයෙන් එය පෙන්වා දෙනවා. නමුත් සම්පූර්ණයෙන්ම නිබන්ධනය මුදලට ලිවීම මේ හරහා හසු කර ගැනිමට නොහැකියි. මෙවැනි නිබන්ධන හමු වුණොත් අනිවාර්යයෙන් දඩුවම් හිමි වෙනවා. නැතිනම් නැවතත් අලුතින් ලිවීමට සිදු වෙනවා. එවැනි සැකයක් මතු වුණොත් සිසුවාව විමර්ශනය කිරීම සඳහා වෙනමම කමිටුවකට යොමු කරනවා. ඔහු එවැනි දෙයකට යොමු වී ඇත්නම් වසර කිහිපයකට ශිෂ්‍යභාවය අහෝසි වීමක් හෝ සම්පුර්ණයෙන්ම ශිෂ්‍යභාවය අහෝසි වීමක් සිදුවිය හැකියි. මෙතෙක් මෙවැනි ආයතනවලට විරුද්ධව කතා කිරීමේ වේදිකාවක් මෙතෙක් සැකසුණේ නැහැ.
ඉදිරියට හෝ මෙවැනි ආයතන සම්බන්ධව නියාමනයක් සිදුවිය යුතුයි. ඒ වගේම සෑම විශ්වවිද්‍යාලයකටම තත්ත්ව පාලනය සම්බන්ධව නිලධාරියකු සිටින නිසා ඔවුන්ගේ සේවය මෙතැනදී ලබා ගත යුතු වෙනවා. .......“ ඒ මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පීඨයේ ආචාර්ය දිනේෂ් සමරසිංහය.
තමන් තමන්ව රවටා ගැනීම මෙවැනි වංචනික ක්‍රියා අවසානයේ ලැබෙන ප්‍රතිඵලයයි. කිසිවක් කර කියා ගත නොහැකි කුසලතාවන්ගෙන් අඩු උපාධිධාරීන් බිහිවීමේ වගකීම විශ්වවිද්‍යාලයම දැරිය යුතු නොවේ. මේ වරදේ තවත් කොටස් කරුවන් පිරිසක් වන්නේ ඔවුන්ගේ දෙමවුපියන්ය. දරුවන්ට මේ වංචාවන් දෙමවුපියන්ද අනුමත කරන්නේ අනාගතය ගැන දෙවරක් නොසිතාය. තවත් පැත්තකින් දෙමවුපිය අභිලාෂයන් විනාශ නොකිරීමේ අරමුණින්ද සිසුන් මෙවැනි වංචනික ක්‍රියාවලට හසුවිය හැකිය.
ඉහළ ශ්‍රේණියක් ලබා ගැනීම, හොඳ රැකියාවකට පිවිසීමේ අරමුණ මෙන්ම කාලය සමඟ හරඹ කිරීමට ඇති නොහැකියාව යන කරුණු නිසාවෙන් මෙවැනි වංචනික ක්‍රියා පිටුපස සිසුන් ඇදී යා හැකි වුවත්, තමන් එමඟින් කරන්නේ තමන්ටම හානියක් බව මෙහිදි කල්පනා නොවීම කනගාටුවට කරුණකි.
“ මෙය අලුත්ම විලාසිතාවක්. නමුත් මෙවැනි දේ සම්බන්ධ ප්‍රශ්න තවමත් අප වෙත ඇවිත් නැහැ. නිබන්ධන, පැවැරුම් සිසුන් විසින් කිරිම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේම එක් කොටසක්. සිසුන් අවුරුදු ගණනත් උගත් දේ වචන වලට පෙරළීම ඔවුන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයේම එක් කොටසක්. මෙය වෙන කෙනෙකු ලිවීම කිසිසේත් සාර්ථක වන්නේ නැහැ. plagiarism හෙවත් අන්තර්ජාලයෙන් කොපි කර ගැනීම් වළක්වා ගැනීමට නම් සැම විශ්වවිද්‍යාලයකම නිසි ක්‍රමවේදයක් තියෙනවා. නමුත් නිබන්ධන සම්පූර්ණයෙන්ම වෙන අය ලවා ලියවා ගැනීම හසුකර ගැනිමට මීට වඩා විධිමත් ක්‍රමවේදයක් අවශ්‍යමයි. සිසුන් විසින් ලියන පැවරුම් සම්බන්ධයෙන් අධීක්ෂණය කරන වැඩ පිළිවෙළ මීට වඩා ශක්තිමත් විය යුතුයි. සාමාන්‍යයෙන් මෙවැනි ආකාරයට වෙනත් අය ලවා ලියවා ගන්නා පැවැරුම් පරමාදර්ශි ඒවා. ඒ කියන්නේ මේවායේ ඇති අඩුපාඩු අවමයි. කාලයක් සිසුන්ගේ සමඟ ගනුදෙනු කර අඩුපාඩු හඳුනා ගන්නා ආචාර්යවරුන්ට සිසුන් ලබා දෙන එවැනි නිබන්ධන ඔහුගේමදැයි පහසුවෙන් හඳුනා ගත හැකියි.“ ඒ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ
මහාචාර්ය උපුල් දිසානායකය.
මේ වන විට නිබන්ධන ලිවීමේදි සිසුන් විසින් අන්තර්ජාලයෙන් මෙන්ම පෙර කරන ලද නිබන්ධන කොපි කිරිම හෙවත් plagiarism හදුනා ගැනීමට මාදුකාංගයක් සකස් කර ඇත. එය සෑම විශ්වවිද්‍යාලයකම භාවිතා කරන අතර මෙයින් සියයට ලකුණු ප්‍රමාණයක් කොපි කිරිම් වලට හිමි වෙයි. ඒ අනුව නිබන්ධනය ප්‍රතික්ෂේප කිරීිම, නැවත් සිසුන්ට ලිවිමට උපදෙස් දීම මෙන්ම විනය ක්‍රියාමාර්ගවලට යාමට ඒ ඒ විශ්වවිද්‍යාල කටයුතු කරති.
කෙසේ වෙතත් මෙවැනි වංචනික ක්‍රියාමාර්ගවලට හසුවන සිසුන් තමන්ගේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය සාර්ථක කර ගත් අය නොවන අතර හුදෙක් සහතිකය අරමුණු කරගත් අධ්‍යාපනයක් පමණක් ලැබුවන් වෙති. කෙසේ වෙතත් මේ වන විට Turnitin ක්‍රමයද බොහෝ විශ්වවිද්‍යාල භාවිතා කරන්නේ සිසුන් විසින් කරන කොපි කිරිම් හසුකර ගන්නටය.
“ අද ලොව පුරාම විශ්වවිද්‍යාල මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා. අද වන විට මුදල් ගෙවා විශ්වවිද්‍යාල සිසුන්ගේ නිබන්ධන, පැවැරුම් වාර්තා හා ව්‍යාපාති වාර්තා සකස් කර දෙන ආයතන ඕනෑ තරම්. අන්තර් ජාලයේ , පුවත්පත් වල ඒ සඳහා බොහෝ දැන්විම් කිසිදු බියක් නොමැතිව පළ කරනවා. නමුත් සිසුන් තේරුම් ගත යුතුයි උපාධියක් ලබා සිසුන් විශ්වවිද්‍යාලයේ පිට කරන්නේ කුලසතා සමුදායක් ඔහුට ලබා දීමෙනුයි. නිබන්ධන ලිවීමේ හැකියාව හා විශ්ලේෂණය කිරීමේ හැකියාව ඉන් එකක් පමණයි.
නමුත් සිසුන් තේරුම්ගත යුතුයි, තමන්ගේ මේ උපාධියේ තිබෙන වටිනාකම. මේ වංචාව ඉතා බරපතළ දෙයක් වගේම මෙහි බරපතළකම සිසුන් විසින් තේරුම් නොගැනීම දරුවන්ගේ අවාසනාවක්. මේ ආයතනවල ඉංග්‍රීසි භාෂාව, නිබන්ධන ලිවීමේ හැකියාව ඉතා හොඳ විය හැකියි. නමුත් මෙවැනි ව්‍යාජ ක්‍රම හරහා උපාධිය සම්පූර්ණ කරගත් සිසුවා හරියට වටේ පිලිස්සි එහෙත් මැද අමු පාන් ගෙඩියක් වගෙයි. නමුත් කනගාටුවට කරුණ වන්නේ මෙවැනි සිසුන් නිසා අවසානයේ චෝදනා සියල්ල පැමිණෙන්නේ උගත් විශ්වවිද්‍යාලයට යි. ඒ වගේම මෙවැනි නිබන්ධන ලිවීමේදි අනිකුත් අයගේ නිබන්ධන කොපි කිරීම් අනන්තවත් සිදු වෙනවා. මේවා හඳුනා ගැනීමට Turnitin නමින් අපි මෙවලමක් භාවිතා කරනවා. මෙම මාදුකාංගය හරහා වසරකට 32000 ක් වූ ව්‍යාපෘති වාර්තා අධීක්ෂණය කිරීමට අපට හැකි වෙනවා. නමුත් ව්‍යාපෘති වාර්තාවම වෙනමම අයකු ලවා ලියවා ගැනීම මීට වඩා බරපතළ වරදක්. නමුත් එවැනි වංචාවක් හසුවූ විට විශ්වවිද්‍යාලය තුළින්ම දඬුවම් විඳින්නට සිදු වෙනවා......“ රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජිව අමරසේනය.
විශ්වවිද්‍යාල ප්‍රතිපාද කොමිසමද මෙවැනි දේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවෙයි. නමුත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම පවසන්නේ මේවැනි ක්‍රියාවන්හි සිසුන් නිරතවිම විශ්වවිද්‍යාල අධ්‍ය්‍යන නිති උල්ලංඝනය කිරිමක් බවයි. තම අධ්‍යාපන කටයුතු සාර්ථකව පවත්වා ගැනීමේ අරමුණ සිසුන් තුළ තිබිය යුතු බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අවධාරණය කර සිටියි. එම නිසා ඉදිරියේදී මේ පිළිබඳ දැඩිව කටුතු කිරීමට එම ආයතන බලාපොරොත්තු වෙයි. අධ්‍යාපනයේ විප්ලවාදී ප්‍රතිසංස්කරණයක් සිදු කිරිමට කාලය උදා වී ඇත්තේය. සිසුවෙක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වන්නේ දැඩි දුෂ්කර ක්‍රියාවකින් අනතුතරුවය.
එසේ විශ්වවිද්‍යාලවලට ඇතුළත්ව යම් හෙයකින් ශිෂ්‍යභාවය අහෝසි වූයේ නම් එය කොපමණ ඛේදවාචකයක් විය හැකිද? විභාග වංචා එදත් අදත් අසන්නට ලැබෙන්නේය. විවිධ නීති රීතිවලින් ඒවා මර්දනය කරන්ට උත්සාහ කළද එහි අවසානයක් තවමත් නැත. ඒ සිසුන්ගේ ආකල්පමය වෙනසක් සිදුව නැති නිසාවෙනි.