
- දූෂණයට ලක් වූ එක් දැරියක හා මව සසුන්ගත වෙලා
පෙර රජ දවස හිසේ පටන් පාදාන්තය දක්වා ආභරණ පැලඳි කාන්තාවකට වුවද දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනියම නිරුපද්‍රිතව ගමන් කිරිමට හැකියාවක් තිබු බව අප අසා ඇත. ඒ තරමටම පෙර දවසේ සමාජය තුළ කාන්තාන්වට දැඩි ආරක්ෂාවක් පැවති බව ඉතා පැහැදිලිය. එදා එසේ පැවතියත් වර්තමානය වන විට එම තත්වය දැඩි ලෙස වෙනස් වි තිබේ. එදා කාන්තාවකට දෙවුන්දර තුඩුවේ සිට පේදුරු තුඩුව දක්වා තනියම ගමන් කිරීමේ හැකියාව පැවතුණත් වර්තමානය වන විට ඇතැම් නොමිනිසුන් නිසා කාන්තාවට පාරේ ගමන් කිරිමට නොව දොරගුළු වසා නිවසට වී සිටීම පවා අනාරක්ෂිත තත්වයට පත්ව තිබේ. ඒ තරමටම මිනිසුන් මුදල පසු පස හා ආශාවන් පසු පස පමණක් හඹා යමින් ගුණ ධර්ම අතහැර දමා තිබේ. පාඨක ඔබට අද අප මේ ලියන්නට යන කතාවද මීට වසර 18කට පෙර අගුණුකොළපැලැස්ස ප්‍රදේශයෙන් වාර්තා වූ ශෝචනීය වු පුවතකි.
41 හැවිරිදි ගුණපාලත්, සුමනාවතීන් පදිංචිව සිටියේ අගුණුකොලපැලැස්ස කච්චිගල්ආර ප්‍රදේශයේය. ගුණපාලටත් සුමනාවතිටත් පිරිමි දරුවන් දෙදෙනෙකු හා ගැහැනු දරුවන් දෙදෙනෙකු වීය. කුලී වැඩෙන් ජිවත් වූ ගුණපාල තමන්ට හැකි අයුරින් දරුවන් පෝෂණය කරමින් ඔවුන්ට නිසි අධ්‍යාපනය ලබා දිමට කටයුතු කළේය.
දිනය 2002.09.05ය. ගුණපාලත් වැඩි මහලු පුතත් නිවසින් පිටව ගියේ කුඹුරුයායේ ගොයම් කැපිමේ කටයුතු සඳහාය. එදින රාත්‍රි වෙනකම්ම කුඹුරු වැඩ පැවතුණි. රාත්‍රි 10.50ට පමණ ගුණපාලගේ වැඩිමල් පුතු නිවසට පැමිණියත් ගුණපාල පැමිණියේ නැත. නිවසේ සිටි සුමනාවතිත් දරුවන් සිවු දෙනා සමඟ නින්දට ගියේ ගුණපාල එන්න රෑ වෙන බව දන්නා නිසාය. දියණියන් දෙදෙනාගේ සැබෑ නම් වෙනුවට බාල දියණිය ලක්මිණි ලෙසත් වැඩිමහලු දියණිය දිනේෂා ලෙසත් අප හඳුන්වන්නේ පාඨක පහසුව තකාය. වේලාව රාත්‍රි 11ට ආසන්න වෙද්දී එක සැරේටම නිවසේ දොරට යම් අයකු හයියෙන් ගසමින් ‘දොර අරිනවා. අපි පොලිසියෙන්.දොර අරිනවා“ මහ හයියෙන් මොර දෙන්නට විය. මහ රෑ 11ට සිය නිවසට පොලිසියේ අයට පැමිණීමට හේතුවක් නොමැති බව සුමනාවතී කල්පනා කරන්නට විය. මොකක් හෝ දෙයක් වන්නට යන බව සිතුණු සුමනාවති දැරියන් දෙදෙනා සිය පිටුපසට වන්නට තබාගෙන ගේ මුල්ලට වී නිශ්ශබ්දව සිටියේය. දොරට තඩි බෑම එන්න එන්නම වැඩි විය. අවසානයේ දොරට තඩි බෑමේ වේගය නිසා දොර උළුවස්සෙන් කඩාගෙන බිමට වැටුණි. නිවැසියන් බිරාන්තව කෑ ගසන්නට වීය.“අපි පොලිසියෙන්.කෑ ගහන්න එපා.එහෙම වුණොත් වෙඩි තියනවා“ හය දෙනෙකු පමණ නිවසට ඇතුළු වෙමින් පැවසීය. නිවසට ඇතුළු වූ පිරිසේ නායකයා වුයේ එම ප්‍රදේශයේම තාවකාලිකව පදිංචිව සිටි නිහාල් ශාන්ත නැමති අයෙකි.
නිවසට ඇතුළු වු මෙම පිරිස නිවසේ සිටි මව ඇතුළු දරුවන් සිවු දෙනාගේම මුව හා අත්පා ගැට ගසා එළියට ඇද දැම්මේය. පැමිණි අය නිවසේ අස්සක් මුල්ලක් නෑර පීරන්නට විය. දිනපතා කුලියක් මලියක් කර එදාවේල ජිවත් වූ ගුණපාලටත් සුමනාවතීටත් ගෙදර අරන් තියන්නට තරම් මුදලක් නොවීය. ගේ හරියටම තිබුණේ රුපියල් 2000ක මුදලක් හා සුමනාවතීගේ හා දියණියන් දෙදෙනාගේ කනේ තිබු කරාබු ජෝඩු තුන පමණි. ගේ හැම තැනම ඇවිස්සුවත් රුපියල් 2000ක් හැරෙන්නට කිසිවක් පැමිණි පුද්ගලයන්ට සොයා ගැනිමට නොහැකිය. අවසානයේ නිහාල් ශාන්ත නැමැත්තා 13 හැවිරිදි බාල දියණිය වූ ලක්මිණි අසලට පැමිණ “ගලවපිය තොගේ කරාබු දෙක“ කියා ඇයගේ කනේ දමාගෙන සිටි රුපියල් 3000ක් වටිනා කරාබු ජෝඩුව ගලවා ගත්තේය. ඉන් නොනැවතුණු මෙම පුද්ගලයා වැඩිමල් දියණිය වූ දිනේෂාගේ කණේ තිබූ රුපියල් 1000ක් වටිනා කරාබු ජෝඩුව හා සුමණාවතීගේ කනේ තිබූ රුපියල් 1100ක් වටිනා කරාබු ජෝඩුවද ගලවා ගත්තේය.
මින් නොනැවතුණු පැමිණි පිරිස 13 හැවිරිදි බාල දියණිය වු ලක්මිණි නිවස පිටුපසට ඇදගෙන ගියේය. එහිදි ලක්මිණි බිම ඇද වැටුණාය. ඒ පිළිබඳව තඹයකටවත් මායිම් නොකළ පැමිණි අයකු ඇයව බිම දමා ඇදගෙන ගියේය. ගේ පිටුපසට ඇදගෙන ගිය 13 හැවිරිදි දැරිය මේ පාපතරයන්ගේ දුෂණයට ලක් විය. පැමිණි කිහිප දෙනෙකුගේම ගොරහැඩි අත්වලින් කම්මුල් පහර කමින් දැරිය දුෂණය වන්නට වීය. වැඩි මහලු දැරිය වූ දිනේෂාටද එම ඉරණම එලෙසින්ම අත් වූයේ දැරියගේ මවත් වැඩිමහලු සහෝදරයන් දෙදෙනෙකුද බලා සිටියදීමය.
සියල්ල අවසානයේ පැමිණි පිරිස මේ ගැන කාටවත් කිව්වොත් තොපි ඔක්කොම මරණවා කියා සියලු දෙනාගේ අත්පා බැඳ දමා පිටව ගියේය. පැමිණි පිරිසගේ පහරකෑමෙන් සියලු දෙනා දැඩි ලෙස හෙම්බත්ව සිටියේය. මහ රෑ මේ අයගේ පිහිටට එන්න කෙනෙකුද නොවිය. වැඩිමහල් දියණිය දිනේෂා කෙසේ හෝ දෑත් බැඳ දමා තිබූ සිය ලණුව ලිහා ගත්තාය. පසුව ඇය අම්මාගේත්, නංගීගේ හා අයියලා දෙන්නාගෙත් දැත් බැඳ තිබු ලණු ලිහා දැමුවාය. දෑත් ලිහා දැමූ පසු දරුවන් සමඟ සුමනාවතී අසල්වැසි නිවසට ගොස් මේ ගැන ඔවුන්ට කීවාය. වහා ක්‍රියාත්මක වූ අසල්වැසි නිවැසියා මේ පිළිබඳව ගුණපාලට දැන්වීමට ගියේය.
එතෙක් සියලුම දෙනාට නිවසේ සිටින ලෙස දැන්වීය. එළිවෙන්න ආසන්න වෙමින් තිබියදි ගුණපාලත් නිවසට පැමිණියේය. නිවසට ගොස් බලද්දී එහි සියලු දෑ ඇද දමාය. දරුවන් පියා පැමිණි පසු ඔහු බදාගෙන අඩන්නට වීය.“අනේ තාත්තේ අපිට මේ ගෙදර ඉන්න බෑ.අපි කොහේ හරි යමු.පොලිසි ගියොත් අපි මරනවා කීවා“ යැයි දරුවන් පියා බදාගෙන අඩන්නට වීය.
පියකු ලෙස ගුණපාල ඒ සියල්ල දරාගෙන නිවසින් පිටව ගොස් පදලංගල කුට්ටිගල ප්‍රදේශයෙන් කුලියට නිවසක් සොයා ගත්තේය. මේ සිදුවෙච්ච දේට කරන්නේ කුමක්දැයි මහා ලොකුවට අවබෝධයක් ගුණපාලටත් නොවීය. දරුවන් හා බිරිඳ මරණ බයෙන් භිරාන්තව සිටීම ගුණපාලට වාවන්නේ නැති විය. මේ නිසා කළ යුතු පළමු කාරණාව නම් නිවසින් යෑම බව ගුණපාලද සිතිය. මේ නිසාම ඇඳ පුටු මේස හා රෙදි කඩමාලු ටිකත් පටවාගෙන ගුණපාල බිරිඳ හා දරුවන් සමඟ කුට්ටිගල කුලී නිවසට ගියේය.
එම නිවැසියන්ද මේ අයගේ හැසිරීමේ වෙනසක් දැක ඒ පිළිබඳව විමසා තිබේ. ගුණපාල ඔවුන්ට සිදුව ඇති සියල්ල අකුරක් නෑර පැවසීය. “ඔයාලා පොලිසියට යන්න.ඔහොම ඉදලා හරියන්නේ නෑ. යන්න..යන්න..පොලිසියට ගිහින් පැමිණිල්ලක් කරන්න“ නිවැසියා ගුණපාලට උපදෙස් දුන්නේය. ඒ අනුව 2002.09.07 දින ගුණපාල බිරිඳත් දරුවනුත් එක්ක අගුණුකොළපැලැස්ස පොලිසියට ගොස් සිද්ධිය පිළිබඳව පැමිණිල්ලක් කළේය.
පැමිණිල්ලට අනුව ළමා හා කාන්තා කර්යංශයේ නිළධාරිනියක විසින් දැරියන් දෙදෙනා ඇතුළු පිරිසෙන් කටඋත්තර සටහන් කරගැනීම සිදු කෙරුණි.
එම අවස්ථාව වනවිටත් දරුවන් සිටියේ දැඩි ලෙස බිරාන්තවය. කාමාතුරයන්ගේ වද හිංසා හමුවේ දැරියන් දෙදෙනා ඒ වන විටත් හිටියේ පුටුවකවත් වාඩිවීමට බැරි තරම් අපහසුවකිනි. මෙහිදි පොලිසියට කටඋත්තර දෙමින් දැරියන් දෙදෙනා පවසා තිබුණේ නිවසට පැමිණි පිරිස් යළි දුටුවොත් හඳුනා ගැනීමට හැකි බවත් පැමිණි කිහිප දෙනෙකුම බොරු රැවුල් දමාගෙන සිටි බවත් අපව දුෂණය කරන අවස්ථාවේ අවස්ථා කිහිපයකදීම ඔවුන්ගේ බොරු රැවුල් ගැලවී බිම වැටුණු බවත් පවසා තිබේ. පැමිණිල්ල සටහන් කර ගැනිමෙන් පසු පොලිසිය විසින් දැරියන් දෙදෙනා රෝහල් ගත කිරීමටද කටයුතු කෙරුණි. අනතුරුව ලද පැමිණිල්ල පිළිබදව පොලිසිය විමර්ශන ආරම්භ කෙරුණි. එහිදි සිද්ධියට සැක පිට මාතර ප්‍රදේශයේ ස්ථිර පදිංචියේ සිට අගුණුකොළපැලැස්ස කච්චිගල්ආර ප්‍රදේශයේ තාවකාලික පදිංචියට පැමිණ සිටි පුද්ගලයෙකු ඇතුළු සැකකරුවන් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන අගුණුකොළපැලැස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය කෙරුණි.
අනතුරුව එහිදි පැවති මුලික නඩු විභාගයේදී එක් සැකකරුවෙකු වු 40 හැවිරිදි වනිගතුංගගේ නිහාල් ශාන්ත නැමති අයව දැරියන් විසින් හඳුනාගනු ලබන අතර අනිත් සැකකරුවන් පස් දෙනාට එරෙහිව සාක්ෂි නොමැති වීම හේතුවෙන් මහේස්ත්‍රාත් අධිකරණයේදී නිදහස් කෙරුණි.පසුව සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය වූ නිහාල් ශාන්ත නැමැත්තාට එරෙහි චෝදනා 05ක් යටතේ නිතිපති වරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කෙරුණි.
ඒ අනුව පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිල්ල විසින් චුදිතට එරෙහිව නගා තිබු චෝදනා 05ම සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට සමත් වී තිබුණි. නඩුව නියෝගය සඳහා කැඳවනු ලැබුවේ පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්.අයි.කාලිංගවංශ මැතිනිය ඉදිරියේය.
එහිදී පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය අමතමින් රජයේ අධිනිතීඥ ගෙවිදු සෙනෙවි රත්න මෙසේ පැවසීය.
“ස්වාමිනි චුදිතට චෝදනා 05කින් සමන්විත චෝදනා පත්‍රයක් ඉදිරිපත් කර තියෙනවා.එහි 1 හා 2 චෝදනා ලංකා දණ්ඩ නිති සංග්‍රහයේ 364 (2)(උ) වගන්තිය සමග කිවයුතු 364(2)වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවත්,3,4 හා 5 චෝදනා ඉදිරිපත් කර ඇත්තේ දණ්ඩ නිති සංග්‍රහයේ 380 වන වගන්තිය යටතේ දඩුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවත්ය.මේ වන විට දීර්ඝ නඩු විභාගයෙකින් පසු චුදිත චෝදනා 05 සඳහාම වැරදි කරු කර තිබෙනවා.ඒ අනුව ස්වාමිනි 1 හා 2 චෝදනා රංචු ගැසී දුෂණය කිරිම සම්බන්ධයෙන් චෝදනාවක් තියෙන්නේ. එහිදි චුදිත පමණයි හඳුනාගෙන තියෙන්නේ. රංචු ගැසි දුෂණය කියන එකෙන්ම පේනවා මෙම වරදේ තියෙන බරපතළකම. අනික මෙම වරද කරලා තියෙන්නේ වයස අවුරුදු 13 හා 14ක පසුවන කුඩා දැරියන් දෙදෙනෙකුට. මෙම දරුවන් වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කර ඇති වෛද්‍ය වාර්තා වල විශාල තුවාල සංඛ්‍යාවක් පවතින බව දක්වා තිබෙනවා. ඒ කෙරෙහි ඔබතුමියගේ අවධානය යොමු කරන ලෙසත් ඉල්ලා සිටිනවා. මෙය ඉතා බරපතළ චෝදනාවක්. ඒ නිසා සමාජයට පණිවිඩයක් ආදර්ශයක් ලබා දෙන ආකාරයේ දණ්ඩනයක් චූදිතට නියම කරන ලෙසත් ඉල්ලා සිටිනවා යැයි‘ පැවසිය.
චුදිතට නියම කරන දඬුවම අඩු කරගැනිම වෙනුවෙන්ද චුදිත වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරිය අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ අතර අනතුරුව ඉදිරිපත් වු සියලු කරුණු සලකා බැලූ පූර්වගාමී හම්බන්තොට මහාධිකරණ විනිසුරු එස්.අයි.කාලිංගවංශ චුදිතට දඬුවම් නියම කිරිම සිදු කෙරුණි.
ඒ අනුව එක හා දෙක චෝදනාවන් සදහා චුදිතට වසර 12 බැගින් වසර 24ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කල අතර එය වසර 12ක කාලයකදී සමගාමිව ගෙවි යායුතු බවටද නියම කෙරුණු අතර චෝදනා දෙක සඳහා රුපියල් 10,000/= බැගින් රුපියල් 20,000ක දඩ මුදලක්ද නියම කෙරුණි. දඩ මුදල් නොගෙවන්නේ නම් මාස 03 බැගින් මාස 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
මීට අමතරව තුන,හතර හා පහ යන චෝදනාවන් සඳහාද චුදිතට වසර 05 බැගින් වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළ අතර එය වසර 05ක කාලයකදී සමගාමිව ගෙවී යායුතු අතර ඉහත දඬුවම් කාලය අවසන් වීමෙන් පසු මෙම දඩුවම සක්‍රිය විය යුතු බවටද මහාධිකරණ විනිසුරුවරිය නියෝග කෙරුණි.
එමෙන්ම චෝදනාවන් 03 සඳහා රුපියල් 5000 බැගින් රුපියල් 15000ක දඩ මුදලක්ද නියම කෙරුණු අතර දඩ මුදල නොගෙවන්නේ නම් මාස එක බැගින් තවත් මාස තුනක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
එමෙන්ම අගතියට පත් දැරියන් දෙදෙනා සඳහාද රුපියල් ලක්ෂ තුන හමාරක වන්දි මුදලක් ගෙවන ලෙසද මහාධිකරණ විනිසුරුවරිය චුදිතට නියම කළ අතර එය නොගෙවන්නේ නම් තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කෙරුණි.
නීතිපතිවරයා වෙනුවෙන් රජයේ අධිනිතීඥ ගෙවිදු සෙනෙවිරත්න මහතා පැමිණිල්ල මෙහෙයවන ලදි.
චූදිතට එරෙහිව නියෝගය නිකුත් කෙරුණු අවස්ථාවේ අධිකරණයට චුදිතගේ බිරිඳ හා බිරිඳගේ මවද පැමිණ සිටි අතර චුදිතට තීන්දුව ලබා දීමෙන් පසු ඔවුන්ද හඬමින් වැලපෙමින් අධිකරණයෙන් පිටව ගියේ අනේ මගේ දරුවා අහිංසකයා යැයි කියමිනි. කෙසේ වෙතත් චුදිතට දඬුවම නියම කරන අවස්ථාව වන විට දූෂණයට ලක් වූ එක් දැරියක හා මව සසුන්ගත වී සිටීමද විශේෂත්වයකි.