සරුංගලයක් ජීවිත 4ක් බිලිගත් හැටි | සිළුමිණ

සරුංගලයක් ජීවිත 4ක් බිලිගත් හැටි

ඉකුත් දා ඝාතනය වූ ලක්ෂිත ලක්මාල්

හුගිය දිනවල රටපුරා සංචරණ සීමා පනවා තිබුණත් ඇතැම් දෙනා තැනක් නොතැනක් නොමැතිව ඇවිදිමින් සිටියේය. ඒ බොහෝ දෙනෙකුගේ ගමන්බිමන් තේරුමක් නොමැති බව පිළිබිඹු වූයේ සංචරණ සීමා පැවැති සමයේ පොලිස් අත්අඩංගුවට පත්වූ දහස් ගණනක් හේතුවෙනි. මිනුවන්ගොඩ, ගමන්ගෙදර ප්‍රදේශයේ විසූ පිලිප්පැන්නගේ ලක්ෂිත ලක්මාල් ද සිල්වා හෙවත් සුදුද ඉකුත් 20 වැනිදා සංචරණ සීමා නොතකමින් ගමන්ගෙදරට කිලෝමීටර් දෙකක පමණ දුරින් වූ කොටගෙදර ප්‍රදේශයට ගොස් තිබුණේ BFC 0290 දරන යතුරුපැදියෙනි. ඒ මිතුරෙකුගෙන් ලැබුණ දුරකථන ඇමැතුමකට අනුවයි.

කොටගෙදර සිය මිතුරාගේ නිවෙස ඉදිරිපිට මාර්ගය අසල දෙදෙනා කතාබහේ නිරතව සිටියහ. ලක්ෂිත සිටියේ යතුරුපැදිය මතයි. වේලාව මධ්‍යහ්න 12ට ආසන්න වෙමින් තිබිණි. එක්වරම එම පටු මාර්ගයේ විදුලි වේගයෙන් පැමිණියේ රතු පැහැති වෙසෙල් වර්ගයේ මෝටර් රථයකි.

එම රථය ලක්ෂිතගේ යතුරුපැදියේ ගැටිණි. ඒත් සමඟ ඇද වැටුණු ලක්ෂිත ක්ෂණයෙන් එම ස්ථානයෙන් පැන යන්නට තැත් කළේ සිදුවන්නට යන ඉරණම තේරුම් ගිය නිසා වන්නට ඇත. එහෙත් ඔහුට දිව යෑමට හැකි වූයේ මීටර් කිහිපයක් පමණි. සැණින් ක්‍රියාත්මක වූ රථයෙන් පැමිණි කිහිපදෙනෙක් දිවයන ලක්ෂිතව කොටුකරගත්තේය. ඒත් සමඟ පිරිස තියුණු ආයුධවලින් ලක්ෂිතට කෙටුවේය. මැර පිරිස පැමිණි රථයෙන්ම පලා යද්දී ලේ විලක් මැද වැටි සිටි ලක්ෂිත අවසන් ගමන් ගියේ තවත් මැර ප්‍රහාරයකින් සිදුවූ අවාසනාවන්ත ඝාතනයක් සනිටුහන් කරමිනි.

එක් දරු පියකු වන ලක්ෂිතට එම මැර ප්‍රහාරය එල්ල වූ මොහොතේ ඔහු සමඟ මාර්ගය අසල කතාබහේ යෙදී සිටි අයෙක් සඳහන් කළේ,

"මං කුස්සියේ හිටියේ... සුදු ඇවිත් මට කතා කළා... එයා පාරෙමයි හිටියේ... ‍කොහොමහරි විනාඩි දෙකක්වත් කතා කරන්න වුණේ නෑ... රතුපාට කාර් එකක් ඇවිත් ඔහුව හප්පාගෙන ගියා... බයික් එකෙන් වැටුණු ඔහු පැනලා දිව්වා... ඒත් ටික දුරයි යන්න වුණේ... කාර් එකේ ආපු පිරිස පස්සෙන් පන්නලා කොටලා තිබුණා..." කෙසේ හෝ පසුව එම පුද්ගලයාද ලක්ෂිතගේ ඝාතනය සම්බන්ධයෙන් පොලිස් අත්අඩංගුවට පත්විණි.

ලක්ෂිතගේ ඝාතනය පිළිබඳව මිනුවන්ගොඩ පොලිසියට සැලවීමත් සමඟ ඒ පිළිබඳ විමර්ශන මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් ප්‍රමුඛ කණ්ඩායම ආරම්භ කළේය. ඒ, ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරගේ උපදෙස් මතයි.

වැඩිදුරටත් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූයේ ලක්ෂිතගේ ඝාතනයත් කලෙක සිටම පැවැත එන මිනුවන්ගොඩ, ගමන්ගෙදර ආසන්න නිවෙස්හි දෙපාර්ශ්වයක් අතර පවතින 'ලෙයට ලෙය' පළිගැනීමේ නොනවතින අරගලයක ප්‍රතිඵලයක් ‍බවයි. ලක්ෂිතද 2018 අගෝස්තු 05 වැනිදා සිදුවූ එම ඝාතන වැලෙහි එක් ඝාතනයක ප්‍රධාන සැකකරු ලෙස මීගමුව මහාධිකරණයෙන් රිමාන්ඩ් බන්ධනාගාරගතකොට මෑතකදී ඇප මත නිදහස්ව පැමිණ සිටි අයෙකි.

කෙසේ හෝ මිනුවන්ගොඩ පොලිසිය එදිනම ලක්ෂිතගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පස්දෙනෙකුම අත්අඩංගුවට ගෙන තිබුණේ ඝාතනයට පැමිණි නවීන පන්නයේ මෝටර් රථය සහ මන්නා පිහි සමඟ යකඩ පොල්ලක් ඇතුළු ජංගම දුරකථන තුනක්ද සමඟිනි. ඊට අමතරව ලක්ෂිත ඝාතනය කරන මොහොතේ සැකකරුවන් හැඳ සිටි ලේ තැවරුණු ඇඳුම්ද සැකකරුවන්ගේ ප්‍රකාශ මත පොලිසිය විසින් සොයා ගැනිණි. තවද සැකකරුවන් පොලිසිය නොමඟ යවමින් ලක්ෂිත ඝාතනයට යොදාගත් ආයුධ නොපෙන්වා වෙනත් ආයුධ පෙන්වීමටද තැත්කර තිබුණත් පොලිසියේ සූක්ෂ්ම විමර්ශන මත ඝාතනයටම යොදාගත් ආයුධ සොයා ගැනීමට හැකි විණි. එසේම සැකකරුවන් කලෙක සිටම ලක්ෂිත ඝාතනයට සැලැසුම් කර තිබූ බවත් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති රොහාන් මහේෂ් ප්‍රමුඛ නිලධාරින්ගේ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කර තිබිණි.

අත්අඩංගුවට පත් අය අතර රාලහාමි නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන 49 හැවිරිදි පුද්ගලයා සහ ඔහුගේ 24 සහ 22 හැවිරිදි පුතුන් දෙදෙනා ද විය. ඊට අමතරව කලහුගොඩ ප්‍රදේශයේ 22 හැවිරිදි තවත් තරුණයෙක් සහ ලක්ෂිතට දුරකථන ඇමැතුම දී කොටගෙදර ප්‍රදේශයට රැගෙන ආ 28 හැවිරිදි කොටගෙදර තරුණයෙක්ද වේ.

අත්අඩංගුවට පත් රාලහාමි නමැත්තා මෙකී ඝාතන වැලේ 2017 අගෝස්තු 26 වැනිදා පළමුවෙන්ම සිදුවූ ද්විත්ව ඝාතනයටද බන්ධනාගාරගතව ඇප මත නිදහස්ව සිටියේ මෙදා අත්අඩංගුවට පත් 24 හැවිරිදි පුත්‍රයාද සමඟිනි.

කරවල වෙළෙඳාම් ඇතුළු නොයෙක් ව්‍යාපාරයන්හි නිරතවූ ලක්ෂිතගේ ඝාතනය පිළිබඳව ඔහුගේ පියාණන් වන 52 හැවිරිදි රස්මන් සිල්වා කීවේ,

"මගේ අයියයි අයියගේ පුතයි 2017 වසරේ කපලා මැරුවා. සරුංගල් ප්‍රශ්නයකට. පස්සෙ අයියයි පුතයි මරපු සැකකරුවකුට මිනුවන්ගොඩ යටියන හංදියේදී වෙඩි තබා ඝාතනය කළා... ඒ ඝාතනයට මගේ පුතා රිමාන්ඩ් බන්ධනාගාරයේ ඉඳලා ඇප ලැබිලා ඇවිත් ඉන්නකොටයි මේ අපරාධය වුණේ..."

මේ වන විට මිනිස් ජීවිත හතරක් නිරපරාදේ අහිමි වී තිබෙන මෙකී ඝාතන වැලේ ආරම්භය මීට වසර හතරකට පමණ පෙරදී සිදුවූ ඉතාම සුළු සිදුවීමකි. ඒ ඛේදනීය කතාන්දරය දිග හැරෙන්නෙ මෙලෙසිනි.

සුරාජ් ධනංජය ප්‍රේමසිරි සිල්වා දිවුලපිටිය මුදල් ගනුදෙනු කරන ආයතනයක සේවය ක‍ළ අයෙකි.

ඔහු ලක්ෂිතගේ පියාගේ සහෝදරයාගේ පුත්‍රයායි.

2017 අගෝස්තු මස 25 වැනි සිකුරාදා සවස් යාමයේ මිනුවන්ගොඩ, ගමන්ගෙදර, අංක 189 නිවෙසේ විසූ එවකට 20 හැවිරිදි වියේ පසුවූ ධනංජය සුපුරුදු පරිදි අසල වෙල් යායට ගියේ සරුංගල් යැවීමටයි. ඒ මොහොතේ නිවෙස ආසන්න තවත් පිරිස් එම වෙල් යායේම සරුංගල් යවමින් සිටියේය. ධනංජයගේ නිවෙස් ආසන්නයේම වූ සම වයස් තරුණයකුගේ ඉහළට නැඟුණු සරුංගලය හා ධනංජයගේ ඉහළ ගිය සරුංගලය පටලැවීම නිසාවෙන් දෙදෙනා අතර ගැටුමක් හට ගැනිණි. එය ගමේගොඩේ මිතුරන් අතර සිදුවන සාමාන්‍ය ගැටුමකි.

එහෙත් සවස් යාමයේ නිවෙසට පැමිණි ධනංජය එම ගැටුම පිළිබඳව සිය පියාටද කීවේය. 48 හැවිරිදි ලාල් ප්‍රේමසිරි නමැති ධනංජයගේ පියා තොග වශයෙන් කරවල රැගෙනවිත් පැකට්කොට අලෙවි කරන ව්‍යාපාරයක් කරගෙන ගියේය. ඔහුට දරුවන් සිවුදෙනෙකි. ධනංජය එකම පුත්‍රයායි. ධනංජයගේ සරුංගල් ගැටුමට පසු දින එනම් 2017 අගෝස්තු 26 වැනිදා අලුයම ලාල් යතුරුපැදියෙන් වෙළෙඳාම් සඳහා නිවෙසින් පිටත් විණි. ඒ යන අතරතුර ලාල් සිය පුත්‍රයා සමඟ පෙරදා ගැටුම ඇතිකරගත් නිවෙසට ගියේ ඒ ගැන විමසීමටයි. ඒ රාලහාමි නමින් හැඳින්වූ අයගේ නිවෙසටයි.

එහිදී තත්ත්වය උග්‍ර වී තිබුණේය. බහින්බස් වීම ගැටුමක් දක්වා දුරදිග යැවිණි. ඒ වන විට නිවෙස් හිමි රාලහාමි අසල අන්නාසි කොටුවේ වැඩට ගොස් සිටියේ වක් පිහියක්ද සහිතවයි. එම ගැටුමේ කෑකෝ ශබ්දය ඇසී එම ස්ථානයට ධනංජයද පැමිණ තිබුණේ ආයුධයක්ද රැගෙනයි. ඒ අතර නිවෙස් හිමි රාලහාමිද ගැටුම සැලවී අන්නාසි වත්තෙ සිට පැමිණ තිබුණේ වක් පිහියද අතැතිවයි. නිවැසියන් සමඟ ගැටුමකට පැමිණ සිටි ධනංජයටත් ඔහුගේ පියාටත් එම නිවැසියන්ගෙන් ගැලවීමක් නොවිණි. කෙසේ හෝ රාලහාමි ප්‍රමුඛ ඔහුගේ පුතුන් සහ රාලහාමිගේ වැඩිමහල් සහෝදරයා ඇතුළු පිරිස එක්ව ධනංජය සහ ඔහුගේ පියා ප්‍රේමසිරි කපාකොටා ඝාතනයකොට තිබුණේ එම නිවෙස ඉදිරිපිට මාර්ගයේයි.

ඒ පිළිබඳව එවකට ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මුදිත පුස්සැල්ලගේ උපදෙස් මත මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපතිව සිටි ජීවක රාජපක්ෂ ප්‍රමුඛ කණ්ඩායම විමර්ශන සිදු කරද්දී එම ඝාතනවලට නිවෙස් හිමි රාලහාමි සහ ඔහුගේ එක් පුතෙකු සමඟ රාලහාමිගේ සහෝදරයා වූ ජස්ටින් නමැත්තා මිනුවන්ගොඩ පොලිසියට බාර විණි. අනතුරුව ඔවුහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාරගත කළහ.

කාලය කෙමෙන් ගෙවී ගියේය.

ධනංජය සහ ලාල් ඝාතනය කළ රාලහාමි ප්‍රමුඛ සැකකරුවන් තිදෙනා රිමාන්ඩ් බන්ධනාගාරයෙන් ඇප මත නිදහස්ව පැමිණ සිටියේය. එහෙත් ඔවුන් හට ඉරිදා දිනවල මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටීමට නියෝග කර තිබුණේය.

දිනය 2018 අගෝස්තු 05 වැනිදායි. ඉරිදා දිනයක් වූ එදින ධනංජයගේ සහ ලාල්ගේ ඝාතකයන් මිනුවන්ගොඩ පොලිසියේ පෙනී සිටි දිනකි. මිනුවන්ගොඩ පොලිසියට ගොස් පැමිණෙමින් සිටියේ ලාල්ගේ සහ ධනංජයගේ ඝාතනයේ ප්‍රධාන සැකකරුවකු වූ මිනුවන්ගොඩ කොටගෙදර පදිංචිකරුවෙක් වූ 65 හැවිරිදි විජේමුණි ජස්ටින් රත්නශීල ද සිල්වා නමැති ව්‍යාපාරිකයායි.

ඔහු දෙදෙනා ඝාතනයේ ප්‍රධානියා වූ රාලහාමිගේ සහෝදරයායි. ජස්ටින් එදින පෙරවරු 11ට පමණ මිනුවන්ගොඩ, යටියන හංදිය පසුකරමින් පා ගමනින් යමින් සිටියේය. එහෙත් ඔහුට යටියන හංදියේ වැඩි දුරක් යාමට නොහැකි වූයේ වෙඩි වරුෂාවක් එල්ල වීම නිසාවෙනි. එම වෙඩි ප්‍රහාරයෙන් ජස්ටින් අවසන් ගමන් ගියේය.

එම වෙඩි ප්‍රහාරය යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු එල්ලකොට පලා යන ආකාරය අසල සීසීටීවි කැමරාවකද මනා ලෙස සටහන් විණි.

ඒ පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය සිදුකළ විමර්ශනයේදී ජස්ටින්ගේ ඝාතනයට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. එදා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රධානතම සැකකරුවා වූයේ පසුගිය 20 වැනිදා ඝාතනය වූ ලක්ෂිත ලක්මාල් ද සිල්වායි.

2017 අගෝස්තු 26 වැනිදා ඝාතනය වූ ලාල් ප්‍රේමසිරි සිල්වාගේ සහෝදරයාගේ පුත්‍රයා වූ ලක්ෂිත, ජස්ටින්ගේ ඝාතනයට රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඇප මත නිදහස්ව ඇත්තෙ මෑතකදියි. අනතුරුව යහපත් දිවියක් ගතකරමින් සිටියත් ඔහු ඇතැම් නොහොබිනා ක්‍රියාවලටද සම්බන්ධව සිටි බව පොලිස් විමර්ශනවලදී හෙළිවී තිබිණි.

ලක්ෂිත ඝාතනය කළ දින පස්වරුවේ ගමන්ගෙදර පිහිටි ඝාතකයන්ගේ නිවෙස් තුනක්ම ගිනිබත් කිරීමට ලක්ෂිතගේ පාර්ශ්වකරුවන් කටයුතු කළහ. ඉන් නිවාස දෙකක් මුළුමනින්ම පාහේ ගිනිගෙන තිබිණි.

මේ වන විට ඉතාම සුළු සිදුවීමක් ඔස්සෙ ඇවිලෙන මෙකී ඝාතන වැලේ අවසානය කොතැනද යන්න සැවොම නඟන පැනයයි. එම නිසා මෙකී ඝාතන වැලට තිත තැබීමට සැවොම සිහිබුද්ධියෙන් කටයුතු කළ යුතුය. නැතිනම් සිදුවන්නෙ දරු පැටවු අනාථ වෙමින් තව තවත් මිනිස් ජීවිත බිල්ලට යෑම පමණි. ඉන් කිසිවකුටත් අත්වන සෙතක්නම් නොමැති වග සිහි තබා ගත යුතුය.

එසේම කලෙකට පෙර මිනුවන්ගොඩ මෙකී ගම් ප්‍රදේශයේම දෙපාර්ශ්වයක් අතර ගසක අත්තක් කැපීම නිසාවෙන් හටගත් ගැටුමක් දීර්ඝ කාලයක් පුරා පැවැතීම නිසා දෙපාර්ශ්වයේම විස්සකට අධික සංඛ්‍යාවක්ද මියගොස් ඇති බවත් සැල වේ.

ලක්ෂිතගේ ඝාතනය පිළිබඳ වැඩිදුර විමර්ශන බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති දමයන්ත විජයශ්‍රී සහ ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික සිල්වාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි තුසිත කුමාරගේ මෙහෙයවීමෙන් මිනුවන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රොහාන් මහේෂ් ප්‍රමුඛ ප්‍රධාන පොලිස් පරීක්ෂක පතිරාජ, පොලිස් පරීක්ෂක සතරසිංහ සහ උපපොලිස් පරීක්ෂක ජයවර්ධන ඇතුළු නිලධාරිහු සිදු කරති.

Comments