
පසුගිය වසරේ ජනවාරි මාසයේ පේදුරුතුඩුවේදී හමුදා භට කණ්ඩායමකට ප්‍රහාරයක් එල්ල කෙරිණි. ඒ සම්බන්ධව බුද්ධි අංශ විසින් සිදු කළ විමර්ශනයේදී යාපනයේ නාගර්කෝවිල්හි පදිංචි අයෙක් ප්‍රහාරය එල්ල කිරීමට මූලික වී ඇති බව අනාවරණය කර ගන්නා ලදී.
ප්‍රහාර එල්ල කිරීමේ චෝදනාව යටතේ ඔහු අත්අඩංගුවට ගන්නා ලදී. අධිකරණයේදී ඒ සම්බන්ධව නඩු විභාග කෙරුණු නමුත් සැකකරුට විරුද්ධව නැඟුණු චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ගැන්මට නොහැකි වූයේ සිද්ධිය වූ අවස්ථාවේ ඔහු අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ නිසා මෙන්ම පසුව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී වුවද ඔහු විසින් ඉතා සූක්ෂ්ම ලෙසින් එම කටයුත්ත සිදු කර තිබූ හෙයිනි.
අදාළ පුද්ගලයා එල්ටීටීඊ මුහුදු කොටි බළකායේ පූර්ණ ක්‍රියාකාරිකයකු වන අතර ඔහු අවසන් මානුෂීය සටනින් පසුව ත්‍රස්ත ක්‍රියාකාරකම්වලින් ඈත්ව පුනරුත්ථාපනය වී යළි සමාජගත වීමට අවශ්‍ය බව පවසා පැමිණි අයෙකි.
පුනරුත්ථාපනය වූ එල්ටීටීඊ සාමාජිකයන් සැලකිය යුතු පිරිසක් විශ්වමඩු යාපනය ඇතුළු සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ සේවාවන්ට අනුයුක්තව කටයුතු කරන අතර මේ පුද්ගලයා ඒ කටයුතුවලට ඇතුළත් නොවී ධීවර වෘත්තියට අදාළව කටයුතු කර තිබේ.
ඒ කටයුතු කරන අතරතුර අවස්ථා කිහිපයකදීම විවිධ සැක කටයුතු තොරතුරු ඔහු සම්බන්ධව වාර්තා වී ඇති නමුත් ඒ කිසිවක් ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් ප්‍රමාණවත් වී නොමැත. එහෙත් පසුගිය වසරේ පේදුරුතුඩුවේ ප්‍රහාරයේ තොරතුරු සොයා බැලීමේදී අදාළ සැකකරු ඊට වගකිව යුතු බවට වාර්තා වීම නිසා එලෙස අත්අඩංගුවට ගන්නා ලදී.
අධිකරණයෙන් නිදහස් වුවද ඔහු ගැන බුද්ධි අංශ ඇස නිරතුරුවම යොමුව තිබුණේ ඔහුගේ ක්‍රියාකාරකම් ගැන හොඳින් දන්නා නිසාය. වැඩි කතාබහක් නැති මේ පුද්ගලයා එල්ටීටීඊ සන්නද්ධ කණ්ඩායමක මුහුදු කොටි බළකායක තබා ගමේ කැටපෝලයකින් වෙඩි තබන්නට නොහැකි සේ හැසිරෙන්නෙකි. එම නිසා ඔහු දෙස බලන කිසිවකුට හෝ ඔහු එවැනි සන්නද්ධ කණ්ඩායමක සාමාජිකයකු සිටි බව කිසිදු ආකාරයකින් සිතිය නොහැකිය.
මොහු නිරතුරුවම ධීවර කටයුතු සම්බන්ධව යෙදී සිටියද ඔහුගේ අසාමාන්‍ය හැසිරීම් වැඩි කලක් සඟවා ගෙන සිටින්නට ඔහුට නොහැකි විය. හමුදා බුද්ධි අංශ අනාවරණය කර ගත්තේ ඔහු නාගර්කෝවිල් මත්ස්‍ය තොටුපොළෙන් නික්ම යන්නේ අත්‍යවශ්‍යම හේතුවකට බවයි. නිධානයක් රකින්නාක් මෙන් මොහු එම ධීවර තොටුපොළ අසල කුඩා පැල්පත් නිවසේ නිරතුරුවම රැදී සිටින්නේ ඇයි ද යන කරුණ කෙරෙහි විශේෂ අවධානය යොමු විය.
ඒ අනුව හමුදා බුද්ධි අංශ විසින් අනාවරණය කර ගත්තේ නාගර්කෝවිල්හි පිහිටි ඔහුගේ කුඩා පැෙල් පුපුරණ ද්‍රව්‍ය වළ දමා ඇති බවයි. ඒ සම්බන්ධව දිගින් දිගටම විමර්ශනය කර අවසානයේ සැකකාර පුද්ගලයා විසින් පොළව යට වළලා තිබූ කිලෝග්‍රෑම් 2 ක බරකින් යුතු ක්ලේමෝ බෝම්බයක් ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පසුගිය මැයි 28 වැනිදා හමුදා කණ්ඩායමක් විසින් සොයා ගන්නා ලදී. ක්ලේමෝ බෝම්බයට අමතරව ටී 56 වර්ගයේ ගිනි අවි සඳහා යොදාගන්නා පතොරම් 14ක්, පිස්තෝල සඳහා භාවිත කරන පතොරම් 45ක්, එසේම මිලිමීටර් 12.7 වර්ගයේ පතොරමක් සහ ඩෙටනේටර් නූල් මීටර් 02ක් ද එහි තිබී සොයා ගන්නා ලදී.
යුද්ධ හමුදා බුද්ධි අංශය විසින් අදාළ සැකකරු පිළිබඳව සොයා බැලීමේදී ලැබුණු රහස්‍ය තොරතුරකට අනුව මෙම වැටලීම සිදුකර අදාළ පුපුරන ද්‍රව්‍ය සොයා ගන්නා ලදී.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර පරීක්ෂණ සඳහා රැගෙන යාමට සූදානම් වෙද්දී එම ස්ථානයට පැමිණි කාන්තාවන් පිරිසක් ඇතුළු කණ්ඩායමක් කළහකාරී ලෙස හැසිරෙන්නට උත්සාහ ගන්නා ලදී. එහෙත් හමුදා කණ්ඩායම විසින් ඔවුන් කිසිවකුට වචනයකින් හෝ කිසිදු ආකාරයක බලපෑමක් නොකර අදාළ සැකකරු හා අත්අඩංගුවට ගත් පුපුරණ ද්‍රව්‍ය යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකට භාර දෙන ලදී.
යාපනය ත්‍රස්ත විමර්ශන ඒකකය මඟින් අදාළ සැකකරු පිළිබඳව දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටී.
විශේෂයෙන්ම දැනට වාර්තා වී ඇති අන්දමට මේ පුපුරණ ද්‍රව්‍ය එල්ටීටීඊ සමයේ භාවිත කළ ඒවාය. යුද්ධය අවසන්ව වසර 12ක් ගතවීත් ඒවා සජීවී ලෙසින් තබා ගැනීමේ අරමුණ කුමක්ද යන්න ගැන මේ වන විට ත්‍රස්ත විමර්ශන ඒකකයෙන් විශේෂ විමර්ශනයක් සිදු කරමින් පවතී.
මීට පෙර අවස්ථා කිහිපයකදී වඩමාරච්චි, කිළිනොච්චි, විශ්වමඩු, මුලතිව් ඇතුළු ප්‍රදේශ රැසකදී පුපුරණ ද්‍රව්‍ය හමුවීමත් පුපුරණ ද්‍රව්‍ය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමත් යන කරුණු නිසා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මේ කරුණු සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් සිදු කිරීමට නියමිතය.
විශේෂයෙන්ම ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න පවසා ඇත්තේ කිසිදු විටක ත්‍රස්තවාදයට යළි හිස එසවීමට ඉඩ ලබා නොදෙන බවයි. එම නිසා උතුරේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කර ඇති බවත් එසේ වුවද සෙසු ප්‍රදේශවලද අවධානය වැඩි කර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා කීය.
මේ වන විට ආරක්ෂක අංශ විසින් මේ පුද්ගලයා හා සබඳතා පැවැත්වූ සෙසු පුද්ගලයන් කවුරුන්ද යන්න ගැන විමර්ශනය කෙරෙමින් පවතී.
විශේෂයෙන්ම පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයේ සිටින දෙපා නොමැති හිටපු එල්ටීටීඊ සාමාජිකයකු කෙරෙහි ආරක්ෂක අංශ ඇස යොමු වී තිබේ. ඔහු හිටපු මුහුදු කොටි නායකයා වූ සුසෙයිගේ රියැදුරාය. යුද්ධයේදී ඔහුගේ දෙපා අහිමිව තිබේ. එසේ වුවත් දෙපා නොමැතිව ඔහු අදටත් පොල්ගස් පවා නැඟීමට හපනෙකි. එමෙන්ම යතුරු පැදි පවා පැදවීමට හැකි ඔහු නිවාසයන්හි විදුලි සැපයීමේ සියලු කටයුතු සිදු කරන්නට මෙන්ම සංගීතයටද උපන් හපනෙකි.
ත්‍රි රෝද රථයක් පවා හිමි ඔහු වරක් සිළුමිණට පැවසුවේ එම ත්‍රි රෝද රථය මිලට ගැන්මට මිතුරන් මුදල් ලබා දුන් බවයි.
කිසිදු ආකාරයක හැල හොල්මනක් නොමැතිව සිටින මේ පුද්ගලයා සම්බන්ධව කලකට පෙර මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානයේත් 59 වන සේනාංකයේත් අවධානය යොමුව තිබුණු නමුත් පසුව ඔහු සාමාන්‍ය පුද්ගලයකු සේ කටයුතු කිරීම නිසා ගැටලුවක් ඇති නොවීය.දැන් ආරක්ෂක අංශ ඇස යළිත් ඔහු කෙරෙහිත් අවධානය යොමු කර ඇත්තේ නාගර්කෝවිල්හි මේ සැකකරු හමුවීමත් සමඟය. කලකට පෙර පුදුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් හමුවූ මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල සම්බන්ධවද කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට හැකියාවක් ලැබුණේ නැත.
මේ කතා කෙසේ වුවත් වරින් වර මෙසේ හමු වන අවි ආයුධ මෙන්ම පුපුරණ ද්‍රව්‍ය කෙරෙහි දැන් පෙරට වඩා අවධානය යොමු කළ යුතුය. ඒ නාගර්කෝවිල් සැකකරු අත්අඩංගුවට ගැනීමේදී කළහකාරී ලෙසින් කාන්තාවන් ඇතුළු පිරිසක් හැසිරීම නිසාය. ‘බඩුත් සමඟ හොරු‘ අසුව තිබියදීත් මෙසේ ඔවුන් කළහකාරී ලෙසින් හැසිරීම පිටුපස සිටින්නේ කවුද යන්න වෙනම පරීක්ෂණයකින් සොයා ගත යුතුය.