
සේරුවිල ප්‍රාදේශීය සභාවේ අයවැය ඉදිරිපත් කර එය හරිහැටි සම්මත කර නොගැනීම හේතුවෙන් එහි සභාපති ධූරයෙන් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කළ රණසිංහ බණ්ඩා ඉවත් කිරීමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය ගත් තීන්දුව නිවැරැදි බවට අභියාචනාධිකරණය තහවුරු කර තිබේ. සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරයෙන් තමා ඉවත් කිරීමට නැගෙනහිර ආණ්ඩුකාරවරිය ගත් තීන්දුව බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු සභාපතිවරයා විසින් ගොනු කළ රීට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කරමින් අභියාචනාධිකරණය මේ තහවුරු කිරීම සිදුකර තිබේ.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ 2021 වසර සඳහා ඉදිරිපත් කළ අයවැය වාර්තාව පරාජයට පත්වීම නිසා ප්‍රාදේශීය සභා පනතේ 185 වන වගන්තිය යටතේ හිටපු සභාපතිවරයා එම ධූරයෙන් ඉවත් කිරීමට ආණ්ඩුකාරවරිය කටයුතු කර තිබුණි. වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කර විභාගයක් පැවැත්වීමට තරම් පදනමක් නැති හෙයින් ගාස්තු නොමැතිව පෙත්සම නිෂ්ප්‍රභා කරන බව අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන විනිසුරු මඩුල්ල ප්‍රකාශ කර ඇත.
කෙසේ වෙතත් සේරුවිල ප්‍රාදේශීය සභාවේ 2021 සඳහා වූ අයවැය සභාපතිවරයා විසින් ඉදිරිපත් කර,ඡන්ද විමසීමකින් තොරව අයවැය සම්මත වූවා සේ සලකා සභාපතිවරයා දින නියමයක් නොමැතිව සභාව කල් තැබීම හා ඒ හේතුවෙන් ප්‍රාදේශීය සභාවේ කටයුතු අකර්මණ්‍ය වීම මෙම අර්බුදයට හේතු පාදක විය.
එතෙක් පැවති සමානුපාතික ඡන්ද ක්‍රමය අහෝසි කරමින් 2017 වසරේ දී හඳුන්වා දුන් කොට්ඨාස මැතිවරණ ක්‍රමයේ විලම්භීත ප්‍රතිඵල හේතුවෙන් බොහෝ පළාත් පාලන ආයතනයන්හි බලය හිමිවූයේ, පරාජිතයන්ට බව රහසක් නොවේ. විලම්භීත ක්‍රමයට පින් සිදුවන්නට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ මොරවැව, තඹලගමුව හා සේරුවිල යන පළාත් පාලන ආයතනයන්හි බලය පිහිටවූයේ පරාජිත කණ්ඩායමයි. මේ අනුව සේරුවිල ප්‍රාදේශීය සභාවේ ඡන්ද දහසකට වඩා හිමිකර ගනිමින් තේරීපත් වූ ජනතා නියෝජිතයන් නිකන්ම නිකන් මන්ත්‍රීවරුන් බවට පත් වෙද්දී, සේරුවිල ප්‍රාදේශීය සභාවේ බලය පිහිට වූයේ,තම කොට්ඨාසයද පරාජයට පත්වී, එහෙත් නව මැතිවරණ ක්‍රමයේ විලම්භීත බවට පින් සිදුවන්නට ප්‍රසාද මන්ත්‍රී ධූර හිමි කර ගත් පිරිසකි.
2017 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයේදී සේරුවිල ප්‍රාදේශීය සභාවට කුලුඳුලේ තරග වැදුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කොට්ඨාස දහයෙන් හයක්ම ජය ගනිද්දී එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය සහ සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය යන පක්ෂ එක් කොට්ඨාසය බැගින් ජයග්‍රහණය කර තිබුණි. එහෙත් අවසාන ප්‍රතිඵලයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රසාද මන්ත්‍රී ධූර හතරක් සමඟ මන්ත්‍රී ධූර පහක්ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රසාද මන්ත්‍රී ධූර දෙකත් සමඟ මන්ත්‍රී ධූර තුනක්ද, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ ජාතික සන්ධානය එක් මන්ත්‍රී ධූරය බැගින්ද හිමිකර ගෙන තිබුණි.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තෝරාපත් කර ගැනීමේදී එක්සත් ජාතික පක්ෂයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය හා සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය සහාය දැක්වීම හේතුවෙන් සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය සඳහා තේරී පත්වූයේ එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ බණ්ඩායි. රණසිංහ බණ්ඩා එම මැතිවරණයේදී කාවන්තිස්සපුර කොට්ඨාසයෙන් තරග කර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයාට පරාජය වී තිබුණි. උප සභාපති ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ චන්ද්‍රකාන්ති දසනායකට හිමි විය. කෙසේ වෙතත් සේරුවිල ප්‍රාදේශීය සභාවේ කොට්ඨාස වැඩි ප්‍රමාණයක් දිනා ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට විපක්ෂයේ අසුන් ගැනීමට සිදු විය. විපක්ෂ නායක තනතුර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නියෝජනය කළ ඩබ්.ඒ.ජයසිරිට හිමි විය.
එහෙත් උප සභාපති තනතුරට පත්වු චන්ද්‍රකාන්ති දැන් කියන්නේ වෙනත් කතාවකි.
“ඇත්තටම ඒ මැතිවරණයේ දී සැබෑ ජන මතය තිබුණේ පොහොට්ටුවට. නමුත් එදා රටේ තිබුණේ යහපාලන රජයක්. අපිට අපේ පක්ෂයෙන් උපදෙස් ලැබුණේ එක්සත් ජාතික පක්ෂයට සහය දක්වන්න. විශේෂයෙන් එදා සේරුවිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරයා අපිට උපදෙස් දුන්නේ එක්සත් ජාතික පක්ෂයේ රණසිංහ බංඩාව සභාපති තනතුරට පත් කරන්න සහය දක්වන්න කියලා. ඉතින් ඇත්තටම අපි එදා කළේ පක්ෂයේ උවමනාව මිසක් අපේ කැමැත්ත නෙවෙයි.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ 2021 සඳහා වූ අයවැය ලේඛනය හිටපු සභාපතිවරයා විසින් ඉදිරිපත් කර ඒ සඳහා වූ ඡන්ද විමසීමක් සිදු නොකොටම සභාව කල් තැබීම සිදු කර තිබේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂයන් විසින් 2012 විශේෂ විධිවිධාන පනතේ 185 / 2 වගන්තියට අනුව ඒ සඳහා වූ බලය සභාපතිවරයාට හිමිව ඇති බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වන හිටපු සභාපති රණසිංහ බණ්ඩා කියා සිටී. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සේරුවිල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති රණසිංහ බණ්ඩා වැඩිදුරටත් මෙසේ ද කියා සිටී.
“මේ වන විට හොරොව්පතාන, කහටගස්දිගිලිය, ජාඇල සහ දකුණේ පළාත් පාලන ආයතන කිහිපයක්ම මේ පනතට අනුව අයවැය ඡන්ද විමසීමකින් තොරව පවත්වාගෙන යනවා. ඒ ආණ්ඩුකාරවරු ඒ ප්‍රාදේශීය සභාවේ සභාපති ඉවත් කළේ නැහැ. නමුත් නැගෙනහිර ආණ්ඩුකාරවරිය කටයුතු කර තිබෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් විදිහකට. අපි මේ සම්බන්ධයෙන් තවදුරටත් පක්ෂයේ උපදෙස් බලාපොරොත්තුව සිටිනවා...“
මේ වන විට ඇති වී ඇති දේශපාලන පෙරළිවලට අනුව එක්සත් ජාතික පක්ෂයේ බොහෝ දෙනකු සමගි ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ගෙන ඇති බව කියැවේ. මේ නිසා එක්සත් ජාතික පක්ෂය මේ වන විටත් සිය පක්ෂයෙන් තේරී පත්වී සජිත් ප්‍රේමදාසට සහය පළ කර ඇති බොහෝ දෙනකුට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගෙන ඇති බව නොරහසකි. සේරුවිල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සම්බන්ධයෙන් ද සොයා බලා ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් රංගේ බණ්ඩාර අප කළ විමසීමකදී කියා සිටියේය.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ඉවත් කිරීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධ යහම්පත් කියා සිටියේ, පළාත් පාලන පනතට අනුව පළාත් සභාව අක්‍රියව පවතින අවස්ථාවකදී යම් පළාත් පාලන ආයතනයක කටයුතු හරි හැටි ක්‍රියාත්මක නොවන්නේ නම්, ඒ සඳහා නීති ප්‍රකාරව කටයුතු කිරීමේ බලය ආණ්ඩුකාරවරයාට පැවරෙන බවයි. මේ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අයවැය පරාජයට පත්වූ පළාත් පාලන ආයතන කිහිපයකම මේ අන්දමින් නව සභාපතිවරුන් පත් කිරීමට තමා තමා පියවර ගත් බව පෙන්වා දුන්නේය.
සේරුවිල ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ ඩබ්.ඒ.ජයසිරි කියා සිටින්නේ එළඹෙන ජූලි 02 වැනි දින නව සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කරන බවයි. සභාපතිවරයා අයවැය ඉදිරිපත් කර පරාජය වීමෙන් පසු හෝ සභාවේ කටයුතු නීත්‍යානුකූල නොවන ලෙස මඟ හරින විට එහි උප සභාපතිට සභාව කර ගෙන යෑමේ බලය හිමිවීම සාමාන්‍ය සිරිතයි. එහෙත් හිටපු උප සභාපතිනිය වන චන්ද්‍රකාන්ති දසනායක කියා සිටින්නේ තමාට ඒ සඳහා අවස්ථාව ලබා නොදුන් බවයි. එහෙත් ඉදිරියේදී ජනතා කැමැත්තට හිස නමමින් හිටපු විපක්ෂ නායක ඩබ්.ඒ.ජයසිරිට සිය ශ්‍රීලනිප පක්ෂයේ සහය ලබා දෙන බව ද ඇය කියා සිටී.
මංගලනාත් ලියනආරච්චි,
ත්‍රිකුණාමලය