ළමයින් 20,000ක් අතරමං කළ ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ | සිළුමිණ

ළමයින් 20,000ක් අතරමං කළ ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’

- සැලැස්මේ පෙන්වාදී ඇති ආකාරයට කිසිවකු අපට උදව් කර නැහැ
- “වගකීම් විරහිතව” ක්‍රියා කර දුගී දුප්පතුන් අතරමං කළා
- හදිසියේම ඔවුන් පිටව ගියේ ඇයි ද කියා කිසිවකු අපට පැවසූයේ නැහැ

ලෝකයේ විශාලතම ළමා අයිතිවාසිකම් පුණ්‍යායතනයක් වන ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ (Plan International) ආයතනය පසුගිය 2019 වසරේදී ශ්‍රී ලංකාවෙන් හදිසියේම ඉවත් වන බව නිවේදනය කළේය. එලෙස ඉවත්ව යන විට ඔවුන් අතින් “වැරදි ගණනාවක්” සිදුව ඇති අතර, ඉන් ප්‍රතිලාභ ලැබූ ළමුන් 20,000 ක් පමණ අසරණ හා අවදානම්කාරී තත්ත්වයකට පත්ව ඇත. එමෙන් ම ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ වෙත ආධාර කළ ලොව වටා වෙසෙන පරිත්‍යාගශීලීන් නොමඟ යවා ඇති බවද ජාත්‍යන්තර මාධ්‍ය විසින් පසුගිය දා සුවිශේෂ අනාවරණය කළේය.

‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ (Plan International) ආයතනයේ සේවකයන් සහ ව්‍යාපෘති ක්‍රියාත්මක ප්‍රදේශවල පළාත් ආණ්ඩුකාරවරු මෙම ආයතනය හදිසියේ ඉවත්ව යෑම “වගකීම් විරහිත”, “නරුම සහ අවිනීත” ක්‍රියාවක් ලෙස ප්‍රකාශ කර තිබුණි.

එසේම ශ්‍රී ලංකාවේ ප්ලෑන් ඉන්ටර්නැෂනල් හි අරමුදල්වලින් වැඩි ප්‍රමාණයක් ලබා දුන් අනුග්‍රාහකයන් කියා සිටියේ ඔවුන් මෙලෙස කටයුතු කිරීම හා ඉවත් වීමට තීරණය කිරීම පිළිබඳ විනිවිදභාවයක් නොමැති වීම නිසා “කම්පනයට හා කලකිරීමට පත්ව ඇති” බවයි.

වසර 38 කට පසු 2019 දෙසැම්බරයේ දී ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය ප්‍රකාශ කළේ රටේ ආර්ථිකයේ “සැලකිය යුතු වර්ධනය” සහ එක්සත් ජාතීන්ගේ මානව සංවර්ධන දර්ශක ශ්‍රේණිගත කිරීම්වල “කැපී පෙනෙන දියුණුවක්” ශ්‍රී ලංකාව ලබාතිබිම හේතුවෙන් මෙරටින් ඉවත්ව යන බවයි.

ඒ අනුව 2020 ජනවාරියේදී, ළමා අනුග්‍රාහකයන්ට දරුවන්ගේ පවුල් හරහා අරමුදල් සපයන ව්‍යාපෘති දේශීය හවුල්කරුවන්ට භාර දෙන බවට ලිපි ලැබුණි. වසර ගණනාවක් තිස්සේ සහයෝගය දැක්වූ දරුවන්ට සමුගැනීමේ ලිපියක් යැවීමට ඔවුන්ට සති දෙකක කාලයක් ලබා දුන් අතර, තවදුරටත් තම අනුග්‍රාහකත්වය ගැටලු පවතින රටවල නව දරුවන් සඳහා ලබාදීමට බලාපොරොත්තු වන බව දන්වා තිබුණි. 

2020 වසරේ ළමා අනුග්‍රාහකත්වය සඳහා ප්ලෑන් ඉන්ටර්නැෂනල් වෙත ලැබී තිබුණු මුදල බ්‍රිතාන්‍ය ස්ටර්ල්න් පවුම් මිලියන 310 (රුපියල් කෝටි 8,649) කි. එම මුදල් වැයකර ඇති ආකාරය පිළිබඳව විනිවිදභාවයක් නැති බව සේවකයන් පවසා තිබුණි. ඔවුන් පවසන්නේ පුණ්‍යායතනය කඩිනමින් ඉවත්වීමට සැබෑ හේතුව ඉහළ යන පිරිවැය සහ අභ්‍යන්තර ගැටුම් බවයි.

ප්ලෑන් ඉන්ටර්නැෂනල් ආයතනය පිටවීමේදී සලකා බැලූ “බහුවිධ සාධක” වලින් එකක් පිරිවැය බව ඔවුන් ද පිළිගෙන තිබුණි. “රට තුළ සාර්ථකව ක්‍රියාත්මක වීමේ අඛණ්ඩ ශක්‍යතාව” පිළිබඳව ගැඹුරු තක්සේරුවක් සිදු කර ඇති බවත්, ආරක්ෂාව සහ වෙනත් සාධක හේතුවෙන් පිරිවැය ඉහළ යන බවත් එහි සඳහන් විය.

2018 වර්ෂයේ අභ්‍යන්තර වාර්තා මඟින් ශ්‍රී ලංකාවේ ප්ලෑන් ඉන්ටර්නැෂනල් හි “තිරසාර නොවන ඉහළ මෙහෙයුම් පිරිවැයක්” සහ “සුවිශේෂී ලෙස අඩු කාර්ය මණ්ඩලයක්” පවත්වාගෙන යාමට උත්සා කළ බව අනාවරණය වී තිබේ. 2019 දී කෙටුම්පත් කරන ලද අභ්‍යන්තර වාර්තාවක දැක්වෙන්නේ සංවිධානය “සංකීර්ණ හා අභියෝගාත්මක පරිවර්තන ක්‍රියාවලියක්” ආරම්භ කළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස කාර්ය මණ්ඩලය තුළ නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී වැඩ වර්ජන සහ විරෝධතා මතු වූ බවයි.

නෝර්වීජියානු ගෝලීය සංවර්ධන වෙබ් අඩවියක් වන බිස්ටැන්ඩ්සැක්ටුවෙල්ට් විසින් ප්‍රකාශ කරන ආකාරයට ප්ලෑන් ඉන්ටර්නැෂනල් හි පිටවීම පිළිබඳ පරීක්ෂණයකින් හෙළි වූයේ, ශ්‍රී ලංකාවේ දුප්පත්ම ප්‍රදේශවලින් එකක් වන ඌව පළාතේ සිටන අනුග්‍රාහක දරුවන්ගේ පවුල්වල සාමාජිකයන් සැලැස්ම හැර ගියේ ඇයි ද යන්න නොදන්නා බවත්, පොරොන්දු වූ පරිදි කිසිවකු විසින් ව්‍යාපෘති ඉදිරියට පවත්වාගෙන යාමට භාරගෙන නැති බවයි. “සැලැස්මේ පෙන්වාදී ඇති ආකාරයට කිසිවකු අපට උදව් කර නැහැ” යැයි ඌව පළාතේහි මොනරාගල දිස්ත්‍රික්කයේ දෙදරු මවක් වන ලලිනි බිස්ටැන්සාක්ටුවෙල්ට් වෙබ් අඩවිය වෙත පවසා තිබුණි. “ඔවුන් තමන්ගේම ව්‍යාපාරයක් ආරම්භ කිරීමට නොහැකිව රැකියාවක් නොමැතිව මිනිසුන්ට සහ හොඳ පාසල්වලට යා නොහැකි දරුවන් වෙනුවෙන් ඇත්තටම විශාල වැඩ කොටසක් කළා” යැයි පැවසූ ඇය; “සැලසුම් කාර්ය මණ්ඩලය විසින් අපට පවසා තිබුණේ ඔවුන් තව අවුරුදු පහක් අපට දිගටම උදව් කරන බවයි. නමුත් හදිසියේම ඔවුන් අපව හැර ගියා. ඔවුන් පිටව ගියේ ඇයි ද කියා කිසිවෙකු අපට පැවසූයේ නැහැ”

මෙහිදී ඌව පළාතේ ගමක පදිංචි 12 හැවිරිදි සුභාෂිනි, ඇයට අනුග්‍රහය දැක්වූ ජපන් යුවළකින් වාර්ෂික තෑගි ලැබීම පිළිබඳ ඇගේ මතකය අවදි කළාය. ගණිතය සහ දේශීය භාෂාව වන සිංහල සඳහා අමතර උපකාරක පන්ති ලබා ගැනීමට ඇයට එම උපකාර නිසා හැකි වූ බවත්, පවුල සඳහා වැසිකිළියක් තනාගැනීමට ද එය උපකාරී වූ බවත් සිහිපත් කළ ඇය ඔවුන් ගිය පසු, අපට සියලු උපකාර අහිමි වී වූ බවද පැවසීය. මෙහිදී ඇගේ මව පවසා ඇත්තේ පවුලේ උදවිය තම දියණියගේ පාසැල් අධ්‍යාපනයට තර්ජනයක් නොවන පරිදි ඇගේ අවශ්‍යතා සපුරාලීමට වෙහෙසෙන බවයි. මොණරගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පෝෂණ ව්‍යාපෘති සඳහා වැඩ කළ ශ්‍රී ලංකා රාජ්‍ය නොවන සංවිධානයක් වන සෞඛ්‍ය ප්‍රවර්ධන පදනමේ හිටපු ප්‍රධානී වෛද්‍ය මනෝජ් ප්‍රනාන්දු කියා සිටියේ ළමයින්ට පිටත්ව යන විට ඔවුන්ට ආධාර කිරීම සඳහා විකල්ප විධිවිධාන ඔවුන් විසින් සකසා නොමැති බවයි.“සැලසුම හදිසියේම වෙනත් ප්‍රභවයන්ගෙන් වසා දමා ඇති බව අපට දැනගන්නට ලැබුණා;අපි ඒ ගැන කලබල වුණා.”යැයි හෙතෙම පැවසීය.

2019 වසරේ ඌව පළාතේ හි හිටපු ආණ්ඩුකාර මෛත්‍රි ගුණරත්න පවසා තිබුණේ මෙම වැඩපිළිවෙළ හා ප්‍රජාවන් සමඟ බලාපොරොත්තු සහගත ගමනකට මුලපිරුවද එය මෙම හදිසි තීරණය නිසා හිටිහැටියේම පහතට ඇදවැටුණු බවය. පළාතේ අධ්‍යාපනය වැඩිදියුණු කිරීමේ සැලසුම සමඟ එම දරුවන්ට ජලය, සනීපාරක්ෂාව සහ කාන්තාවන්ගේ ජීවනෝපාය නැංවීම සඳහා අවබෝධතා ගිවිසුමකට තමන් අත්සන් තැබූ බවත්, ප්ලෑන් ඉන්ටර්නැෂනල් ඉවත්ව යන බව ප්‍රකාශයට පත් කිරීමට මාස තුනකට පෙර, එය “වගකීම් විරහිතව” ක්‍රියා කළ බවත්, මෙනිසා දුගී දුප්පතුන් අතරමංව සිටින බවත් ඔවුන් පරිත්‍යාගශීලීන් නොමඟ යැව් බවත් හෙතෙම පැවසීය.

එසෙම පිළිගත් රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස ඔවුන්ට ප්‍රමුඛත්වය ලබා දුන් බවත්, එම ප්‍රදේශවල රාජ්‍ය මූල්‍ය කටයුතු නවත්වා ඒ සඳහා මුදල් යෙදවීමට සැලසුම් කිරීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන් බවත්, වසර ගණනාවක් තිස්සේ මොනරාගල, ඌව, අම්පාරා සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල දුප්පත් හා අවදානමට ලක්විය හැකි පවුල්වල ළමයින්ට සහාය වූ සැලැස්ම, 2019 දී තවත් ළමුන් 1,000 ක් අනුග්‍රාහක යෝජනා ක්‍රමයට බඳවා ගත්තේ පළාත් පාලන ආයතනවල සහායෙන් බවත් හිටපු ආණ්ඩුකාරවරයා අප සමඟ පැවසීය.

රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ රාජා ගුණරත්න පවසා තිබුණේ අදාළ සංවිධානය මෙහෙයුම් අවසන් කර රටින් පිටව යෑමට අවසර ඉල්ලා ඇති නමුත් ඊට අවශ්‍ය කොන්දේසි සපුරා නොමැති බැවින් එම අවසරය ලබාදීමට කටයුතු කර නොමැති බවයි.

එසේම වත්කම් හා වගකීම් නිරවුල් කිරීම සම්බන්ධයෙන් දැනට සේවකයන් 13 දෙනකු විසින් අදාළ ආයතනයට එරෙහිව ගොනු කර ඇති නඩු පිළිබඳව වගකිවයුතු පාර්ශ්වයක් නම් කිරීම ඇතුළු කොන්දේසි 10ක් ඉටු කරනතුරු එම ආයතනයට මෙරටින් නිල වශයෙන් පිටවිය නොහැකි බවද අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පැවසීය.

කෙසේවෙතත් මෙරට දේශපාලනයට සම්බන්ධවීම, මුදල් අයුතු ලෙස භාවිත කිරීම සහ සේවක ගැටලු ඇතුළු චෝදනා රැසක්ම ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ ආයතනයට එරෙහිව පවතින බව පැවසේ. දශක හතරකට ආසන්න කාලයක් පුරා ලක්ෂ සංඛ්‍යාත ශ්‍රී ලාංකික දරු දැරියන් පිරිසක් වෙනුවෙන් සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කළ ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ආයතනය ශ්‍රී ලංකාවේ සිය මෙහෙයුම් අවසන් කරන බව 2019 වසරේදී නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඊට හේතු වී ඇත්තේ පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව අත්පත් කරගෙන තිබූ සැලකිය යුතු ආර්ථික වර්ධනය හා මානව සංවර්ධන දර්ශකයේ රටවල් 189ක් අතර 71 වැනි ස්ථානයට පැමිණීම බව අවධාරණය කරයි. එනිසා අඩු ආදායම්ලාභි රටවලට තම මෙහෙයුම් රැගෙන යන බවයි.

බොහෝ බටහිර රටවල තමන්ගේ භාණ්ඩාගාර හරහා ක්‍රියාත්මක කරන රාජ්‍ය ආධාරක වැඩසටහන් තිබේ. ඒවා සෘජුව ඒ ඒ රටවල් විසින් තවත් රටකට ලබාදෙන ආධාර නොවේ. ඔවුන් මේ ආධාර ලබාදෙන්නේ තවත් රටක රාජ්‍ය නොවන සංවිධානයකට හෝ ස්වේච්ඡා සංවිධානයකටය.

මේ රාජ්‍ය අරමුදල් විදේශීය රාජ්‍ය නොවන සංවිධාන ලෙසින් සැලකීම නිවැරදි නොවේ. එනිසා මේ අරමුදල් මඟින් ක්‍රියාත්මක වැඩසටහන් පැහැදිලි අධීක්ෂණයට හෝ නියාමනයකට ලක් විය යුතුය.

විදේශීය දායක ආයතනවල ආකර්ෂණීය ව්‍යාපෘති අතර ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සිවිල් සමාජය ශක්තිමත් කිරීම ජාතීන් අතර සහයෝගීතාවය, යහපාලනය, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව, කාන්තා විමුක්තිය, ළමා අයිතිවාසිකම් සහ පරිසරය වැනි කාරණා මුල්තැනක් ගනි.

ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා රාජ්‍ය පාලකයන් වෙනස් කිරීම, ඒ සඳහා පොදු අපේක්ෂකයන් ශක්තිමත් කිරීම, ඒ අරමුණ වෙනුවෙන් වැඩකරන සිවිල් සංවිධාන ගොඩනැංවීම සහ ඔවුන් සඳහා ආධාර කිරීම සාධාරණ මැතිවරණ සහ මැතිවරණ නිරීක්ෂණ ව්‍යාපාර වැනි විශේෂිත ව්‍යාපෘති උදෙසා නොමසුරුව මුදල් යෙදවීම මෙම විදේශ ආයතන වලට කිසිදු ගැටලුවක් නොවේ.

මෙම ව්‍යාපෘතීන් සඳහා ඊනියා සිවිල් සංවිධාන ශක්තිමත් කිරීමද ඔවුන්ගේ ප්‍රමුඛතම මැදිහත් වීමකි. බැලූ බැල්මට මේ සියලු ව්‍යාපෘති ඉතාම ප්‍රජාතන්ත්‍රවාදීය. එහෙත් සැබැවින්ම සිදුවන්නේ ජාත්‍යන්තර බලවේගවල සැඟවුණු න්‍යාය පත්‍රවල බළල් අතක් බවට දේශීය රාජ්‍ය නොවන සංවිධාන පත්වීමය.

ඕනෑම රාජ්‍ය නොවන සංවිධානයක් ශ්‍රී ලංකාව තුළ වැඩ කිරීමේදී රටේ නීතියට යටත් වන අතර රට තුළ නිසි අවසරයකින් තොරව පැමිණීමට හෝ ක්‍රියා ක්‍රියාත්මක වීමට හෝ තමන්ගේ කටයුතු හදිසියේ අවසන් කර රටින් පිටව යාමට හෝ අවසරයක් නැත. 2019 දෙසැම්බර් මාසයේදී දශක හතරක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වූ ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ ආයතනය ඉවත්ව යාම ඊට කදිම නිදසුනක් සපයන බව ජාතික සහ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානවල සහ එක්සත්ජාතීන්ගේ ආයතවල දශක තුනක අත්දැකීම් ඇති දීප්ති ළමාහේවා සිළුමිණ සමඟ පැවසීය.

‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ ආයතනය මෙරටින් පිටව යන විට මහනුවර, බදුල්ල, මොනරාගල හම්බන්තොට කුරුණෑගල සහ මුලතිව් යන දිස්ත්‍රික්ක වල ප්‍රතිලාභී පවුල් දහස් ගණනක් සමඟ කටයුතු කරමින් සිටි අතර, ඔවුන් සමඟ කටයුතු කරමින් සිටි ප්‍රජාමූල සංවිධානය සංඛ්‍යාව සිය ගණනකි. ඒ අතර රාජ්‍ය ආයතන ද විශාල ප්‍රමාණයකි. 2019 දෙසැම්බර් මාසයේ ඔවුන් හදිසියේ නික්ම යාමත් සමඟ මේ සියලු කටයුතු එකවර ඇනහිටිණි. රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් මෙහි වැඩ කළ සේවකයන් පිළිබඳ පමණක් සලකා බැලුවද එය ප්‍රමාණාත්මක මැදිහත්වීමක් නොවේ. මේ දරුවන්ට වූ අසාධාරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මාධ්‍යය අනාවරණය කර ඇත.

එසේම මීට හේතුව අදාළ කාර්යාලයේ අකාර්යක්ෂම පාලනය බවත් ප්‍රකාශ කර තිබේ.

මෙවැනි අවස්ථාවක ප්‍රතිලාභී පවුල්, ඉලක්ක කණ්ඩායම් සහ සංවර්ධන පාර්ශ්වකරුවන් වෙත සාධාරණය ඉටු කිරීමේ වගකීමක් ‘ප්ලෑන් ඉන්ටර්නැෂනල්’ ආයතනයට තිබේ. රාජ්‍ය නොවන සංවිධානවලට අප රට තුළ නීතියේ රාමුව තුළ නිදහසේ වැඩ කිරීම්ට ඉඩකඩ තිබිය යුතුය. එහෙත් යම් සංවිධානයක් එම නිදහස අවභාවිතා කරන්නේ නම්, තම සීමාව ඉක්මවා රටේ ප්‍රජා ප්‍රජාතන්ත්‍රීය මැතිවරණයකින් තේරී පත්වන ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්නේ නම් එවැනි සංවිධානවලට තවදුරටත් අප රට තුළ කටයුතු කිරීමට ඉඩ දිය යුතු නොවේ. රටේ නීති රීති සහ පාලනයකට යටත් වනවාට වඩා ස්වයං සකසාගත් අවම සදාචාරයක් රැකගැනීමේ ප්‍රතිපත්තියක් වෙත යාම රාජ්‍ය නොවන සංවිධානවල ඉදිරි යහපැවැත්ම සඳහා වඩාත් යෝග්‍ය උපාය මාර්ගය බව දීප්ති ළමාහේවා පෙන්වා දුන්නේය.

Comments