කම්කරු සටන් නායකයා ජී. ඇම්. පොඩිඅප්පුහාමි | Page 2 | සිළුමිණ

කම්කරු සටන් නායකයා ජී. ඇම්. පොඩිඅප්පුහාමි

ලිහකොන් මුදියන්සේලාගේ පොඩි අප්පුහාමි නොහොත් අප සියලු දෙනාම හැඳින්වූ ජී. ඇම්. පොඩිඅප්පුහාමි උපත ලබන්නේ 1937.01.01 දින බණ්ඩාරවෙල දිගන තැන්න නම් ග්‍රාමයේය. රැකියාවක් සොයාගෙන කොළඹ පැමිණි මොහු 1957 දී පමණ ධීවර අමාත්‍යාංශයට මාළු සපයන කම්පැණියක සේවයට පැමිණ පසුව ධීවර අමාත්‍යාංශයේ සුළු සේවකයකු ලෙසට සේවයට බැඳුණේය. පසුකාලීනව මාළිගාවත්තේ මහල් නිවාසයක වාසය කරමින් යුග ජීවිතයට පත්ව දියණියන් හතර දෙනෙක්ගේ පියා ලෙසට සාර්ථක පවුල් ජීවිතයක් මිය යනතුරුම ගත කළේය.

 

ශ්‍රී ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ පුරෝගාමී පක්ෂයක් වන ලංකා සමසමාජ පක්ෂයේ කම්කරු සමිති ව්‍යාපාරයට බැඳී දේශපාලන ජීවිතය ආරම්භ කළ මොහු පසුව ඉන් ඉවත්ව දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්මාතෘ දිවංගත නිහාල් පෙරේරා සහෝදරයා සමඟ එක්ව දේශ විමුක්ති ජනතා පක්ෂයේ කම්කරු අංශයේ ප්‍රධානියා ලෙසට සුවිසල් කාර්ය භාරයක් ඉටු කළේය. 1988 දී දේශ විමුක්ති ජනතා පක්ෂය පිහිටුවන අවස්ථාවේදී එහි නියෝජ්‍ය නායකයා හැටියට ක්‍රියා කළ පොඩිඅප්පුහාමි සමාජවාදී එක්සත් පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඉස්මතු වී තිබුණු ප්‍රගතිශීලී කොටස් එකතු කරගෙන ඒකාබද්ධ කම්කරු ව්‍යාපාරයක අවශ්‍යතාවය පෙන්වා දෙමින් ජේ.ආර්. ජයවර්ධන පාලන සමයේ මෙන්ම ප්‍රේමදාස යුගයේ පැවැති ජනතා විරෝධී සියලු සටන්වල නායකත්වය ගෙන ක්‍රියා කළේ තම ජීවිතය පවා නොතකාය. එදා භීෂණයට සහ දූෂණයට එරෙහිව ගෙන ගිය සියලු ප්‍රගතශීලී අරගලවලදී කම්කරු නායකයකු ලෙසට සුවිශාල මෙහෙවරක් ඉටු කළේය.

පනහ හා හැට දශකවල ධනේශ්වර යූ.එන්.පී. දේශපාලනයට මිනිරන් කර්මාන්තය තොටිල්ල විය. එසේම හැත්තෑව හා අසූව දශකයන් පුරා දේශ විමුක්ති ජනතා පක්ෂයේ නිර්ධන පන්ති දේශපාලනයට ද තොටිල්ල වූයේ එකී මිනිරන් කර්මාන්තයම විය. නමුත් එම බලපෑමේ පදනම වෙනස් විය. මිනිරන් කර්මාන්තයෙන් උත්පාදිත “අතිරික්ත ප්‍රාග්ධනය“ එකල යූ.එන්.පී. දේශපාලනය පෝෂණය කළාක් මෙන්ම මෑත ඉතිහාසයේ මිනිරන් කර්මාන්තයේ “ශ්‍රමය“ යන සාධකය ස්වකීය නිර්ධන පන්ති දේශ විමුක්ති ජනතා පක්ෂයේ අරගල දේශපාලනය පෝෂණය කිරීමට අවශ්‍ය පදනම දැමීම පොඩිඅප්පුහාමිගෙන් ආරම්භ කළේය.

පසුව දිගින් දිගටම කම්කරු සටන් තුළ ඉදිරි දැක්මක් ඇතිකොට සමිති සාමාජිකත්වය වැඩි කරමින් පටු ආර්ථික ඉල්ලීම් විෂයෙහි පමණක් සීමා නොවී ඉන් ඔබ්බට දේශපාලන ඉල්ලීම් දක්වා ගමන් කළ යුතු බව පෙන්වා දුන් කම්කරු නායකයා ජී.ඇම්. පොඩිඅප්පුහාමි විය.

මෙරට දහසක් වධ වේදනා විඳිමින් නියමිත වැටුපක් පවා නොලැබ දුක් විඳින කම්කරු ජනතාවගේ සුභ සිද්ධය වෙනුවෙන් මහත්වූ දයානුකම්පාවකින් හා කරුණාවකින් පොඩිඅප්පුහාමි දිවා රාත්‍රි සේවය කළේය.

කම්කරුවනට හාම්පුතුන්ගෙන් සිදුවන අසාධාරණයන්ට, පළිගැනීම්වලට හා නොයෙකුත් අකටයුතුකම්වලට එරෙහිව කම්කරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් උසාවි, පොලිසි ගණනේ තැපමින් සිය ගණනක් නඩු කීවේය. ජනතාවගේ ජීවන වියදම අඩු කරන ලෙස හා තවත් කම්කරු ඉල්ලීම් ගණනාවක් වෙනුවෙන් 1986 නොවැම්බරයේදී කම්කරු උද්ඝෝෂණයක් මෙහෙයවමින් සිටියදී දිවංගත නිහාල් පෙරේරා සමඟ අත්අඩංගුවට ගෙන මාස ගණනාවක් සිරභාරයේ සිටියේය.

 

1996 දී පණ්ඩු බණ්ඩාරනායකයන්ගෙන් පුරප්පාඩු වූ බස්නාහිර පළාත් සභාවේ මන්ත්‍රී ධුරය ද ලබාගෙන නිහාල් පෙරේරාගේ හදිසි අභාවයෙන් පසුව දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායකත්වයට ද පත්ව 2015 පමණ දක්වා ක්‍රියාකාරී දේශපාලනයෙහි නිරත විය.

කෙටි කාලයක් බණ භාවනා කරමින් බෞද්ධ ආගමානුකූල ප්‍රතිපත්ති පූජාවෙහි නිරත වෙමින් සිටි පොඩිඅප්පුහාමි තරමක අසනීප තත්ත්වයෙන් පසුවූ අතර ඔහුගේ උපන් ගම වූ බණ්ඩාරවෙලදී බලවත්සේ රෝගාතුව රෝහල්ගත කිරීමෙන් පසුව ජුනි 04 දා බණ්ඩාරවෙල මහ රෝහලේදීම අවසන් හුස්ම හෙළීය. ඔහුගේ අවසන් කටයුතු එදිනම බණ්ඩාරවෙල සුසාන භූමියේදී සිදු කෙරිණි. අසනීපව සිටි වකවානුව තුළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂයන්, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර යන දේශපාලන නායකයන් සුවදුක් විමසා බලමින් අවශ්‍ය පහසුකම් සැලැසූ බව කෘතවේදීව සිහිපත් කරමි.

නොසිතූ ලෙස අප අතරින් වෙන්ව ගිය දේශ විමුක්ති ජනතා පක්ෂයේ නායක ජී.ඇම්. පොඩිඅප්පුහාමිට අමාමහ නිවන් සුවය ප්‍රාර්ථනා කරමු.

Comments