කොත­ලා­වල පන­තට ඇයි මේ විරෝ­ධතා... | සිළුමිණ

කොත­ලා­වල පන­තට ඇයි මේ විරෝ­ධතා...

පන­තට එරෙ­හිව ගාල්ලේ සහ මහනුවර ජුනි 29 පැවැති විරෝ­ධතා
පන­තට එරෙ­හිව ගාල්ලේ සහ මහනුවර ජුනි 29 පැවැති විරෝ­ධතා

සුගිය වසරේ ලොව හොඳම ආරක්ෂක විශ්වවිද්‍යාල එනම් ‘Most Prestigious Military Academies In The World‘ ශ්‍රේණිගත කිරීමේදි ලොව සියලු රටවල ආරක්ෂක විශ්වවිද්‍යාල පරදවමින් අපේ පුංචි රටේ එකම ආරක්ෂක විදුහල වූ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ( KDU ) 4 වැනි ස්ථනයට පත්විය. එසේම එක්සත් රාජධානියේ පොදුරාජ්‍ය මණ්ඩලීය විශ්ව විද්‍යාල සංගමයේ හා ජාත්‍යන්තර විශ්වවිද්‍යාල සංගමයේද සාමාජිකත්වයද මේ විශ්වවිද්‍යාලයට ලබා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිමි වූයේද එය ලබා තිබූ ඉහළ පිළිගැනීම නිසාවෙනි.

 

KDU හි ආරම්භක පරමාර්ථය වන්නේ හමුදා නිලධාරීන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීමටය. 1980 ඔක්තෝබර් 11 වන දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරම්භ කරන එය 1981 අංක 68 දරන ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමියේ පනත යටතේ නීත්‍යානුකූලව ස්ථාපිත කර ඇති අතර එය පාලනය කරනු ලබන්නේ ආරක්ෂක

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය

ලේකම්වරයාගෙන් සමන්විත කළමනාකරණ මණ්ඩලයක් විසිනි. හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් එවකට පැවති රජයට කරන ලද යෝජනාවට අනුව KDU විශ්වවිද්‍යාල තත්වයට උසස් කරන ලද අතර එමඟින් KDU වෙත ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ උපාධි ප්‍රදානය කිරීමට හැකි විය.

ආරම්භක අවධියේදි මෙම විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානය කළේ මොරටුව, රුහුණ ඇතුළු විශ්වවිද්‍යාල කිහිපයක් හරහාය. නමුත් 1988 අංක 27 දරන පනත හරහා මෙම විශ්වවිද්‍යාලය උපාධි පිරිනැමීමේ තත්ත්වය හා විශ්වවිද්‍යාල තත්ත්වයට උසස් කිරීමට පාර්ලිමේන්තු අනුමැතිය හිමිවිය. මේ අවස්ථාවේදී ‘ 1978 දරන විශ්වවිද්‍යාල පනතේ කුමක් සඳහන් වුවත් උපාධි පිරිනැමීමේ බලතල හිමි කරමින් මේ පනතට පොදු ප්‍රතිපාදනයක්ද එක්විය. එයට හේතුවක් වූයේ ‘කිසිදු ආයතනයකට විශ්වවිද්‍යාල නම භාවිත නොකළ යුතු බවත්, උපාධි ප්‍රදානය කළ නොහැකි බවත් 1978 විශ්වවිද්‍යාල පනතේ සඳහන් වීමය. නමුත් මේ සුවිශේෂි අවස්ථාව හිමිවූයේ KDU ට පමණක් නොවේ. 2008 අංක 31 දරන වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල පනතට, 2014 අංක 31 දරන සාගර විශ්වවිද්‍යාල පනතට, 1981 අංක 74 දරන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාල පනතට හා 1996 අංක 26 දරන බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්වවිද්‍යාල පනතටත්ය. ඒ අනුව KDU යනු උපාධි ප්‍රදානය කිරිමේ සුවිශේෂි බලතල ලබාදුන් එකම විශ්වවිද්‍යාලය පමණක් නොවේ.

මෙම ආයතනයට ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නම ලැබුණේ 2007 අංක 50 දරන පනත හරහාය. එසේ වුවත් අන් විශ්වවිද්‍යාල මෙන් මෙහි පරිපාලන ව්‍යූහය සැකසුණේ නැත. තිස් වසරක යුද්ධයේ අවසානයත් සමඟ මේ ආයතනය වඩත් පුළුවල් වන්නට වූයේ එමඟින් හමුදා සේවයේ පුරප්පාඩු සපුරාලීමටය. 2011-2012 වන විට හමුදා අවශ්‍යතාව සම්පූර්ණ වුවද උසස් අධ්‍යාපන අපේක්ෂාවෙන් සිටින සිසුන්ටත් ඉතා අඩු මුදලක් යටතේ මේ විශ්වවිද්‍යාලය දොර විවෘත වන්නට විය. ඒ වන විට රැකියා අභිමුඛ පිඨ 9 ක් සිවිල් සිසුන් සඳහා විවෘත වූයේ ඉතා අඩු හා සාධාරණ මිල ගණන් යටතේය. වෛද්‍ය, නීති, ඉංජිනේරු,කළමනාකරණ, සමාජ විද්‍යා, මානව ශාස්ත්‍ර, සම සෞඛ්‍ය පමණක් නොව රත්මලාන, හම්බන්තොට ඇතුළු ස්ථාන කිහිපයකම පීඨ ආරම්භ වූයේ දැයේ දරුවන්ගේ අධ්‍යාපනයට දායක වන්නටය. උදාහරණයක් ලෙස උසස් පෙළ තාක්ෂණ විෂය ආරම්භයත් සමඟ තාක්ෂණ අධ්‍යාපන පිඨය ආරම්භ විය. කෙසේ වෙතත් මෙම ආයතනයේ මේ වන විටත් වසරකට හමුදා හා සිවිල් සිසුන් 7,500 ක් පමණ ඉගෙනුම ලබන අතර ජාත්‍යන්තර තලයද අබිබවා ගොස් ඇති හෙයින් විදෙස් සිසුන් 200 කට ආසන්න ප්‍රමාණයක් ඉගෙනුම ලබති.

මේ වන විට කොතලාවල විශ්වවිද්‍යාලය සම්බන්ධයෙන් රටේ කතාබහක් නිර්මාණය වී ඇත්තේ කොතලාවල පනත සම්බන්ධයෙනි. අන්තර් විශ්වවිද්‍යාල සිසු බල මණ්ඩලය පමණක් නොව විවිධ සිසු හා දේශපාලන බලවේග මෙම පනත සම්බන්ධ දැඩි විරෝධතා ගොනු කරන්නේ මෙමඟින් නිදහස් අධ්‍යාපනය අහිමි වීම් මෙන්ම කොතලාවල පනත මුල් කර ගනිමින් රට තුළ පෞද්ගලික විශ්විද්‍යාල පද්ධතියක් ගොඩ නැගෙන බව පවසමිනි.

“ සැම ආණ්ඩුවක්ම අධ්‍යාපනය පෞද්ගලිකරණය කරන්න විවිධ අණපනත් ගෙනාවා. මේ අලුත් පනත ගෙනාවේ 2018 රනිල් මෛත්‍රි රජයෙන්. එයට විරෝධතා පැමිණි නිසා එය හකුලා ගත්තා. මෙවර එහි අකුරක්වත් වෙනස් නොකර ගෙනත් කැබිනට් අනුමැතියත් ගත්තා. කොතලාවල පනත හරහා රාජ්‍ය හා රාජ්‍ය නොවන අයට උපාධි දීම නීතිමය පදනමකින් තොරව කරගෙන යනවා. දැනට උපාධි ලබා දිමේ බලය තියෙන්නේ 1978 විශ්වවිද්‍යාල පනතට. නමුත් මෙය අබිබවමින් කොතලාව පනත හරහා බලයක් හිමි වෙනවා. KDU මුල් කරගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල පද්ධතියක් ගොඩ නැඟීම මෙහි අරමුණයි. ඒ සියල්ල කරන්නේ මේ කොතලාවල පනත හරහා.....“ ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේය.

කොතලාවල සරසවියේ නීති පීඨයේ පීඨා­ධි­පති ජ්‍යෙෂ්ඨ කථි­කා­චාර්ය මංගල විජේ­සිංහ සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ

රටේ ආරක්ෂාව භාර ඇමැතිවරයා වත්මන් ජනාධිපතිවරයාය. ජනාධිපතිවරයා ප්‍රමුඛ බලධාරින්ගේ එකම අපේක්ෂාව දැයේ දරුවන්ගේ අධ්‍යාපනය පමණක් නොව තිස් වසරක කාලයක් රට බේරා ගත් හමුදා සේවයට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමය. එසේම KDU යට තවත් ජාත්‍යන්තර පිළිගැනීම ලබා දෙන්නටය. එසේනම් මේ මේ චෝදනා සත්‍යක්ද?

කොතලවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය මංගල විජේසිංහ මෙම පනත් කෙටුම්පත සැකසීමේ ආරම්භක සාමාජිකයෙකි.

“ කොතලාවල පනන ගෙන ඒම එක් දිනකින් හෝ ක්ෂණිකව සිදුවුවක් නොවන බව අවධාරණය කළ යුතුයි. KDU විශ්වවිද්‍යාල තත්ත්වයට පත් වුණත් 2009 සිට මේ දක්වාම විශ්වවිද්‍යාලයක පවතින අභ්‍යන්තර ව්‍යූහය සකස් වුණේ නැහැ. 2009- 2010 වසරේ කමිටුවක් පත්වුණා මෙම පනත් කෙටුම්පත සකස් කිරීමට . 2011 වසරේ එය නිමා කර 2012 අමාත්‍ය මණ්ඩල අනුමැතිය ගත හැකිවුණා. 2013- 2016 වසර දක්වා අවස්ථා ගණනාවකදි මෙහි පවතින ගැටලු අවම කරමින් එය කෙටුම්පත්කරණයට ලක්වුණා. ඉන්පසු මෙය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බවට සහතික කිරීමට නිතීපති වෙත යොමු කළා. මෙය ලංකාවේ එකම ආරක්ෂක විශ්වවිද්‍යාලය නිසා අපි මෙයට ‘ ජනරාල් ශ්‍රිමත් ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල පනත‘ නම දැමීමට තිරණය කළා. මේ වන විට සයිටම් ආයතනයේ සිසුන්ගේ ගැටලුව මතුවුණා. අවසානයේ විසදුම ලෙස යෝජනා වුයේ සයිටම් සිසුන්ව KDU සඳහා යොමු කරවන්න. අපි ඒ අභියෝගය භාර ගත්තා. ඒ සඳහා අවශ්‍ය නීතිමය පසුබිම සැකසීමටයි,

මේ පනත 2018 මැයි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කළත්, ඒ වන විට ප්‍රශ්න මතු වූ නිසා අපි මේ පනතේ කටයුතු තාවකාලිකව නවත්වා 2018 අංක 17 නමින් විශේෂ විධිවිධාන පනතක් ගෙනත් සයිටම් සිසුන්ගේ ප්‍රශ්නය නිරාකරණය කළා නමුත් ප්‍රධාන පනත ඉවත් කර ගත්තේ නැහැ. නමුත් කාලීන අවශ්‍යතාව මත 2020 නොවැම්බර් 25 වැනිදා අමාත්‍ය මණ්ඩලයට සන්දේශයක් ඉදිරිපත් කරමින් නැවත වරක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ජනාධිපතිතුමා අවසර ලබා ගත්තා. 2021 මාර්තු 26 නැවත වතාවක් පළමු වර කියවීමට පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් වූ අතර අප්‍රේල් 5 වැනි දින දෙවැනි වර කියවීම සඳහා නැවතත් න්‍යාය පත්‍රයට මෙය ඇතුළත් කළා. මෙම පනත ආදාළ වන්නේ KDU සඳහා පමණක් බව අවධාරණය කළ යුතුයි. කොතලාවල විශ්වවිද්‍යාලයේ ව්‍යූහය ඇති කිරීම එහි එක් අවශ්‍යතාවයක්. ඒ අනුව කළමනාකරණ සභාව මෙහි පාලන මණ්ඩලය ලෙස නම වෙනස් වෙනවා. අවසානයේ මෙහි අරමුණ දැයේ දරුවන්ට උසස් අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීමයි....“ඒ නීති පීඨයේ පීඨාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මංගල විජේසිංහය. රජයක් වශයෙන් ඉටු කරන්නට වගකිම් සම්භාරයක් ඇත්තේය. එයින් ප්‍රධාන වන්නේ දැයේ දරුවන්ගේ අධ්‍යාපන ඉලක්කයන්ය.

ඡායාරූප - ලලිත් චාමින්ද, ගාල්ල

Comments