ගාල්තැන්න ම බිය වද්දා තරු­ණ­යන්ට ඇණ ගැසූ කල්ලිය කොටු වුණ හැටි | Page 4 | සිළුමිණ

ගාල්තැන්න ම බිය වද්දා තරු­ණ­යන්ට ඇණ ගැසූ කල්ලිය කොටු වුණ හැටි

දින කිහිපයක් සැඟව සිටි ප්‍රධාන සැකකාර දුෂ්මන්ත බලගොල්ල පොලීසියට ජූලි 01 බාර වීමෙන් පසු අධිකරණයට  ජූලි 02 ඉදිරිපත් කළ අතර පසුව ජූලි 09 දක්වා රිමාන්ඩ් ගත කෙරිණි.
දින කිහිපයක් සැඟව සිටි ප්‍රධාන සැකකාර දුෂ්මන්ත බලගොල්ල පොලීසියට ජූලි 01 බාර වීමෙන් පසු අධිකරණයට ජූලි 02 ඉදිරිපත් කළ අතර පසුව ජූලි 09 දක්වා රිමාන්ඩ් ගත කෙරිණි.

කුරුසයේ තබා ජේසුස් වහන්සේට ඇණ ගැසීමේ සිද්ධිය ප්‍රතිනිර්මාණය කරමින් තැනූ චිත්‍රපට අපි කොතෙකුත් නරඹා ඇත්තෙමු. ලොමු ඩැහැගන්නා සුලු එම බිහිසුණු ජවනිකාව යළි සිහිපත් කරවන සිදුවීමක් පසුගියදා ශ්‍රී දළදා සමිඳුන් වැඩ හිඳින කන්ද උඩරට මහනුවරින් අසන්නට ලැබිණි. අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ ඝන කැලෑවකින් වටවූ කඳු මුදුනකට රැගෙන ගොස් පුද්ගලයන් දෙදෙනකුට පහරදී ඔවුන්ගේ අත් කොටයකට තබා පරාල ඇණ ගසා තිබුණු අතර ඔවුන් මුදාගනු ලැබුවේ ගම්වැසියකු විසින් පොලිස් හදිසි අමැතුම් අංකයට ලබාදුන් දුරකතන ඇමතුමකට අනුව පොලිස් කණ්ඩායමක් එහි ගොසිනි. දඹුල්ල ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කෝටිපති ව්‍යාපාරිකයකු මෙම සිද්ධියට නායකත්වය ලබාදී තිබෙන බවත්; අවි ගත් ඔහුගේ සහචර මැර කණ්ඩාමක් විසින් පුද්ගලයන් දෙදෙනාට පහරදී ඔවුන්ගේ අත්වල අල්ල ප්‍රදේශය පසාරු වී යන ලෙස පරාල ඇණ ගැසීම සිදුකර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ මඟින් අනාවරණය වී තිබිණි.

පහර කෑමට ලක්වූ පුද්ග­ල­යින් රෝහල් ගතව සිටියදී

ගාල්තැන්න ප්‍රදේශයේ ජනතාව භීතියට පත්කරමින් කප්පම් ගැනීම, මත්ද්‍රව්‍ය ජාවරම ඇතුළු නීති විරෝධී ක්‍රියා ගණනාවක නිරතව සිටින කණ්ඩායමක් මෙම සිදුවීම පසුපස සිටීම නිසා ගම්වැසියෝ කිසිවකුත් ඔවුන්ට එරෙහිව මධ්‍යයට හෝ පොලීසියට එළිපිට තොරතුරු ලබාදීම සඳහා ඉදිරිපත් නොවීම තුළින් මෙම කණ්ඩායම ප්‍රදේශය පුරා පතුරුවා හැර තිබූ භීතිකාවේ තරම තේරුම් ගැනීමට පුළුවන.පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන පරිදි මෙම සිදුවීමට මුල්වී ඇත්තේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත ප්‍රනාන්දු නෑමැති දේවාලයක් පවත්වාගෙන යන පුද්ගලයාට එරෙහිව සමාජ මාධ්‍යයේ පළකර පුවතකි. පොලීසිය එසේ පැවසුවත් මේ තුළ මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම ඇතුළු කාරණා රැසක් අන්තර්ගතව තිබෙන බවක් පැහැදිලිව පෙනෙන්නට තිබේ. මේ බව දුෂ්මන්ත ප්‍රනාන්දු විසින් සමාජ මාධ්‍යයට ඔහුගේ ෆේස් බුක් ගිණුම ඔස්සේ පසුගිය 30 දින මුදාහැර තිබූ හඬ පටයකින් පැහැදිලි වේ.

මහනුවර කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක වූ මතුකුඩු ජාවාරමක් හෙළිදරව් කිරීම නිසා ජාවාරම්කරුවන් පිරිසක් සංවිධානාත්මක තමන්ගේ චරිතය ඝාතනය කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ මඩ ප්‍රචාරයක් දියත් කළ බවත් ඉන් නොනැවතී ඔවුන් වෙඩි තබා තමන් ඝාතනය කිරීමේ සැලසුමක් දියත්කර තිබෙන බවත් දුෂ්මන්ත හෙළිදරව්කර තිබේ. මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පවසන පරිදි පොලිස් කණ්ඩායම් පහක් දුෂ්මන්ත නැමැති කපුවා අත්අඩංගුවට ගැනීමට යොදවා සිටියදී මෙම පුද්ගලයා අදාළ හඬ පටය ෆේස් බුක් ගිණුම ඔස්සේ ප්‍රචාරය කර තිබීම විශේෂත්වයකි. දඹුල්ල ප්‍රදේශයේ ශ්‍රී භද්‍රකාලි අම්මාන් දේවාලයක් වසර 12 ක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන යන මොහු වසර හතරකට පෙර අම්පිටියේ ගාල්තැන්න ප්‍රදේශයේ පන්සලක් හා විහාරස්ථානයක් ඉදි කිරීමට පටන් ගෙන තිබේ. කුඩු ජාවාරමට එරෙහිව තමන් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලයක් ලෙස ව්‍යාජ ෆේස් බුක් ගිණුමක් ඔස්සේ තමන්ට කරනු ලබන තර්ජන හා මඩ ගැසීම් පිළිබඳව ඔහු දඹුල්ල, මහනුවර හා පල්ලේකැලේ පොලීසි වලට පැමිණිලි ඉදිරිපත් කර තිබෙන අතර ඒවාහි පිටපත්ද දුෂ්මන්ත කපුවා සාමාජ මාධ්‍යයට එක්කර තිබේ. දෙවියන්ගේ වැඩකටයුතු කරන දේව දරුවෙක් වන තමන් පුද්ගලයන් දෙදෙනෙකුට ඇණ ගැසීමේ සිද්ධියට කිසිසේත් සම්බන්ධ නොමැති බවත් අදාළ දඬුවම ලබාදී තිබෙන්නේ මත්කුඩු භාවිතයට ඇබ්බැහිව සිට තමන් විසින් ඉන් මුදවාගත් පිරිසක් බවත් ඔහු කියයි.

සැකකරුවන් විසින් ගාල්තැන්න කඳුමුදුනට රැගෙන ගොස් අත්වලට පරාල ඇණ ගසා අමානුෂික ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයන් දෙදෙනා මේවන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති. මංජුල රත්නායක (42) හා දොන් නිශාන්ත කාලිංග (38) නැමැති ඔවුන් දෙදෙනාගේ ප්‍රකාශ වලද යම් යම් පරපරස්පරතා තිබෙන බව දැන ගන්නට තිබේ. මොවුන්ද සිද්ධියේ සැබෑ තොරතුරු පොලීසියෙන් වසන් කිරීමට උත්සහ කිරීම නිසා මේවන විට පොලීසියද යම් ආකාරයක ව්‍යාකූලත්වයට පත්ව තිබෙන තත්ත්වයක් දක්නට ලැබෙයි. කණ්ඩලම ජලාශයේ ජීවිතාරක්ෂක සේවා නිලධාරියකු ලෙස සේවය කරන නිශාන්ත කාලිංග තමන් මුහුණ දුන් සිද්ධිය මෙසේ විස්තර කළේය. මංජුල සහ මම කලක පටන් අඳුරනවා. ඔහු පදිංචිව ඉන්නේ ගුන්නෑපානේ. ගමනක් යන්න ගෙදරට එන්න කියලා 25 වෙනිදා ඔහු මට කිව්වා. මම බයිසිකලයෙන් එහාට ගියා. දවල් 1.00ට විතර අපි දෙන්නා බයිසිකලේකින් බලගොල්ලට ගියා.

ප්‍රධාන සැක­කරු දුෂ්මන්ත

අතුරු පාරකින් ගිහින් බයිසිකලේ නැවැත්තුවාට පස්සේ මංජුල එතන තිබුණු ගෙදරකට ගියා. ටික වෙලාවකින් එතන්ට එව්රි වර්ගයේ වෑන් එකක් අවා. මංජුල ඇවිත් ඒ වෑන් එකට නැග්ගා. වෑන් එකේ හතර දෙනෙක් විතර හිටියා. මට කිව්වා බයිසිකලේ අරන් පස්සෙන් එන්න කියලා. වෑන් එක තැන්නකුඹුර හන්දියට ඇවිත් හඟුරන්කෙත පාරට දාලා ගුරුදෙණිය පැත්තෙන් අම්පිටිය හරහා ගාල්තැන්නට ගියා. කන්දක් වගේ තියෙන අතුරු පාරක වෑන් එක කිලෝ මීටර 1/2 ක් විතර ගමන් කරලා නැවැත්තුවා. වෑන් එකේ හිටපු එක්කෙනෙක් බැහැලා මගේ බයික් එකට නගින්න හැදුවා. එතකොටම කඩු, පොලු අරගත් කොල්ලෝ 10 ක් විතර කන්ද පැත්තේ ඉඳලා ආවා. මගේ බෙල්ලට කඩුවක් තියලා වෑන් එකට නැගපන් කිව්වා. මොකක්ද මල්ලී මේ කරන්නේ කියලා මංජු අහනකොටම අපි දෙන්නට ඒ අය පහර දෙන්න පටන් ගත්තා. ඊට පස්සේ වෑන් එකේ දාගෙන කන්දේ තවත් උඩට අරන් ගියා. වෑන් එක නතර කරලා අපි දෙන්නව ඒකෙන් බිමට ඇදලා දලා කකුල් වලින් පහර දුන්නා. මට හිතාගන්න බැරිවුණා මොකද වෙන්නේ කියලා.ඇයි අපිට ගහන්නේ කියලා අහත්දී තවත් ගැහුවා. මංජු අයියගේ කලිසම ගැලෙව්වා. එතන තිබ්බ කොටයක් අරන් අපේ අත් ඒවා උඩ තියලා පරාල ඇන ගැහුවා. මම හිතුවා අපි ඉවරයි කියලා. පස්සේ කියතක් අරන් ඇවිත් ඇනයේ උඩ තොප්පිය වගේ කොටස කපලා දැම්මා. අපිව තවත් කන්ද පැත්තට ඇඳගෙන යන්න හැදුවා. ඊට පස්සේ මොනවා වුණාද දන්නේ නැහැ..

ගම්වැසියකු විසින් පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලබා දුන් ඇමතුමකට අනුව පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයින් දෙදෙනා බේරාගෙන ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර තිබිණි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් පහක් පරීක්ෂණ පවත්වත්දී පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සැකකරුවන් දෙදෙනෙකු කඩු පහක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ සිද්ධියෙන් දින දෙකකට පසුය. පහරදීමට ලක්වූ පුද්ගලයන් දෙදෙනා රැගෙන ඒමට සැකකරුවන් උපයෝගි කරගත් වෑන් රථය කෙන්ගල්ල ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් අතර කුලී පදනම මත එය සැකකරුවන් විසින් ලබාගෙන තිබෙන බව පරීක්ෂණ මඟින් හෙළිව තිබේ.

ඒ අනුව වෑන් රථයේ හිමිකරුද පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රධාන සැකකරු වන දුෂ්මන්ත නැමැති කපුවා ප්‍රදේශයෙන් පලාගොස් සැඟව සිටින අතර සැකපිට අත්අඩංගුවට ගැනීමට නියමිත තවත් දෙදෙනෙකු පොලීසියටම පැමිණ බාරවී ඇත්තේ පොලිස් කණ්ඩායම් පමක් ඔවුන් සොයන අතරතුරදීය.

මෙම සිදුවීමේ අළුයට ගිනි තවමත් නිවී ගොස් නොමැත. කෝටි ගණනින් මුදල් ඇත්තන් සුදු ඇඳගෙන කරගෙන යනු ලබන මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්වල මුදල් බෙදා ගැනීමේ ආරවුල්ද මේ තුළ තිබෙන බව දැන් දැන් හෙළිවෙමින් තිබේ.අම්පිටිය ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් කප්පම් ගැනීම් හා මත්ද්‍රව්‍යය ජාවාරම් කටයුතු බහුලව සිදුවන බවත් මේ නිසාම පහරදීම්, බියවැද්දීම් ඇතුළු සිදුවීම් රැසක් සිදුවන බවත් ප්‍රදේශවාසීහූ පවසති.

සංචරණ සීමා පනවා තිබියදී අම්පිටියේදී මීකණුවේ පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකුට පුද්ගලයින් දෙදෙනෙකු පසුගිය 19 දින කඩුවකින් පහරදී තුවාල සිදුකර තිබිණි. කප්පම් ගැනීම් සම්බන්ධව පොලීසියට පැමිණිලි කරන්න ගියොත් වෙන්නේ කප්පම්කරුවන් ගේ අතින් මැරුම් කන්න යැයි ඇතැම් ගම්වැසියෝ පවසති. එමඟින් ඔවුන් නොකියා කියන්නේ කප්පම් කරුවන් හා ඇතැම් පොලිස් නිලධාරීන් අතර සබඳතාවක් තිබෙන බවයි. සුළු සිදුවීම් සම්බන්ධයෙන් පොලිසිය නීතිය නිසි ලෙස ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිඵලය පුද්ගලයන්ට ඇණ ගැසීම දක්වා වූ දරුණු අපරාධ වාර්තා වීම බව අම්පිටිය ගම්වැසියෝ පවසති.

 

Comments