
බොහෝ දෙනකුගේ සිත්වලට මරණයේ භීතිකාව ජනිත කරමින් කොවිඩ් 19 වසංගතය තවමත් සිය අණසක රිසි සේ පතුරවමින් ලොව පුරා නිදහසේ සැරි සරයි. ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව මෙම සතියේදී දෙලක්ෂ පන්දහස පසුකළ අතර, ඉකුත් 28 වැනිදා මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,000 සීමාව ඉක්මවා ගියේය.
මෙරට සමස්ත කොඩිඩ් ආසාදිත මරණ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්ම වූවන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස සියයට 74.97 කි. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් බස්නාහිර පළාතේ වෙසෙන වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ට කොළඹ, කළුතර සහ ගම්පහ දිස්ත්‍රික්කවල තෝරාගත් රෝහල් 45කදී කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ආරම්භ කළේ මෙම සතිය ආරම්භයේදීය. එසේ ලබාදෙනු ලැබුවේ සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාවයි.
මේ අතර ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් කොළඹ මහනගර සභා බල ප්‍රදේශයේ වයස අවුරුදු 70ට වැඩි පුද්ගලයන් සඳහා එහි දෙවැනි මාත්‍රාව ලබාදීම ද පසුගිය දිනවල සිදුකෙරිණි. ජුලි මස දෙවැනි සතිය වන විට මෙරට වයස අවුරුදු 60ට වැඩි සියලු පුද්ගලයන්ට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබා දීම රජයේ අරමුණ බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය
මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
කොවිඩ් ආසාදිත මරණ මුදා හැරීමේ නව ක්‍රමවේදයක්
නිවෙස් තුළ මියයන පුද්ගලයන්ගේ ඥාතියකු හෝ අසල්වැසියකු කොවිඩ් ආසාදිතයකු නොවේ නම් එම මරණ කොවිඩ් ආසාදිත නොවන මරණ සේ සලකා ඥාතීන් වෙත මුදාහැරීමට අවසර ලබාදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පැවසීය. ජූනි මාසය තුළ පමණක් කොවිඩ් ආසාදිත මරණ 1,500 ඉක්මවා රජය විසින් තහවුරු කර තිබෙන අතර එලෙස මරණ ඉහළ යෑමට හේතුව පිළිබඳව සෙවීමට විශේෂඥ කමිටුවක් පත්කර ඇති බව ද හෙතෙම සඳහන් කළේය.
මේ අතර එම මෘතදේහ, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ අනුමැතියකින් තොරව නිදහස් කිරීමේ බලය, හදිසි මරණ පරීක්ෂකවරයාට සහ ග්‍රාම නිලධාරිවරයාට හිමිකර දී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පැවසීය. මේ හේතුවෙන් කොවිඩ් ආසාදිතයකු නිවසේ මියගිය විට ගැටලු මතුවිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අදහසයි.
රජයේ වෛද්‍යවරුන්ගේ
විශ්‍රාම යෑමේ වයස අවුරුදු 63 දක්වා ඉහළට
රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණීන්ට අයත් සියලු වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්යය විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63 දක්වා දීර්ඝ කර ඇත. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය මඟින් ඊට අදාළ ගැසට් පත්‍රය ඉකුත් 30 දා නිකුත් කෙරුණි.වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කිරීමට විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා පසුගිය අප්‍රේල් මස 20 වැනිදා අමාත්‍ය මණ්ඩල තීරණය කළේය.
මීට පෙර රජයේ සේවයේ නියුතු සියලුම ශ්‍රේණිවලට අයත් වෛද්‍ය නිලධාරීන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60ක් වූ අතර, එය පසුගිය වසරේදී 61ක් දක්වා දීර්ඝ කර තිබුණි.
මිශ්‍ර එන්නත් ගැන අලුත් කතාවක්
කොරෝනා මර්දන එන්නත් ලබාදීමේදී මිශ්‍ර එන්නත් ලබා දීමෙන් වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බව බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් සරසවිය සිදුකළ අධ්‍යයනයකින් හෙළිවී ඇත. ඇස්ට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගෙන සති 4කට පසු ෆයිසර් එන්නත් මාත්‍රාවක් ලබා ගැනීමෙන් එලෙස වැඩි ආරක්ෂාවක් ලබා ගත හැකි බව ද එම අධ්‍යයනයෙන් වැඩිදුරටත් අනාවරණය වී තිබේ. එලෙස මිශ්‍ර එන්නත් මාත්‍රා ලබා ගන්නා පුද්ගලයන්ගේ ප්‍රතිදේහ නිපදවීම සාමාන්‍ය එන්නත්කරණයට වඩා ඉහළ මට්ටමක පවතින බව ද එම අධ්‍යයනයෙන් හෙළිවී ඇත.
ඉදිරියේදී මෙරටට ලැබෙන එන්නත්
ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සඳහා අනුමත කළ මෙතෙක් ශ්‍රී ලංකාව භාවිතයට නොගත් කොරෝනා මර්දන එන්නත් වර්ග 3ක් ඉදිරි සති දෙක තුළ මෙරටට ලැබීමට නියමිත බව ඖෂධ
නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.
ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්දන වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇගයුමට
කොවිඩ් මර්දනය සඳහා දියත් කර ඇති වැඩපිළිවෙළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශ්‍රී ලංකාවේ නේවාසික නියෝජිත ආචාර්ය අලාකා සිං ගේ ඇගයුමට ලක්වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නව නේවාසික නියෝජිතවරිය ලෙස පත් වූ ආචාර්ය අලාකා සිං මහත්මිය ඉකුත් 1 වැනිදා සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි හමුවූ අවස්ථාවේ ඒ බව සඳහන් කර තිබේ.
සති 10කින් මතුවිය හැකි සතුරා ගැන රාජ්‍ය ඇමතිනියගේ අනතුරු ඇඟවීම
ආරක්ෂිත ක්‍රමවේද භාවිත නොකරන්නේ නම් තවත් සති 10ක කාලයක් තුළ ලංකාවේ පැතිර යන ප්‍රධානතම කොවිඩ් ප්‍රභේදය බවට ඩෙල්ටා ප්‍රභේදය පත්විය හැකි බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පසුගියදා අනතුරු ඇඟවීමක් කළාය.
කොවිඩ් 19 වයිරසයෙන් වැඩිහිටියන්ගේ මරණ වැඩිපුර වාර්තා වීම හේතුවෙන් එන්නත්කරණයේදී වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ප්‍රමුඛතාව ලබාදීමට තීරණය කළ බව ද ඇය සඳහන් කළාය.
සෞඛ්‍ය අංශයෙන් ආයතන ප්‍රධානීන්ට විශේෂ අවවාදයක්
උණ රෝගයෙන් පෙළෙන සේවකයන් රාජකාරි සඳහා නොකැඳවන ලෙස නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සියලු ආයතන ප්‍රධානීන්ගෙන් පසුගියදා විශේෂ ඉල්ලීමක් කළේය. එවැනි රෝගීන් කැඳවීමෙන් ආයතනවල කොරෝනා අවදානමක් මතුවිය හැකි බැවින් උණ රෝගයෙන් පෙළෙන සේවකයන් ගැන දැඩි අවධානයකින් සිටින ලෙස ද පැවසීය. මේ අතර වායුසමනය කරන ලද ස්ථානවල හෝ සම්පූර්ණයෙන්ම වැසුණු ස්ථානවල රාජකාරි කරන පිරිස් මුව ආවරණ නොමැතිව කතාබස් කරමින් ආහාර ගැනීම හෝ තේ පානය කිරීම හෝ සාකච්ඡා පැවැත්වීම වැනි කටයුතුවලින් වළකින ලෙස ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඉල්ලා සිටී.
කොරෝනා ගැබිනි මවුවරුන් 12ක් බිලි ගනී
මේ වන විට මෙරට ගැබිනි මවුවරු 12 දෙනකු කොරෝනා ආසාදනය වීමෙන් මියගොස් ඇති බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමැතිනී විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ අනාවරණය කළාය. ගැබිනි මවුවරුන් 200 දෙනකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා පැවසීය. එමෙන්ම දරුවන් ප්‍රසූත කළ කොරෝනා ආසාදිත මවුවරුන් 25 දෙනකු පමණ ද මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ඇය වැඩිදුරටත් පැවසුවාය. එබැවින් ගර්භණී මවුවරුන්
අත්‍යවශ්‍යම කාරණයකට හැර වෙනත් කරුණකට නිවසින් පිටතට යෑම
සිදුනොකළ යුතු බව විශේෂඥ වෛද්‍යවරිය අවධාරණය කළාය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට සහ සිසුන්ටත් කොවිඩ් එන්නත
දිවයිනේ සියලුම විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු අධ්‍යයන හා අනධ්‍යයන කාර්යය මණ්ඩල සාමාජිකයන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයාගේ අවධානය යොමුවී ඇත. ඒ, සියලුම විශ්වවිද්‍යාල සිසුන්ට එන්නත් ලබාදෙන ලෙස උපකුලපතිවරුන් විසින් කර ඇති ඉල්ලීම් හේතුවෙනි. ඉදිරියේදී පැවැත්වීමට නියමිත විභාග සෞඛ්‍ය ආරක්ෂිත ලෙස සිදු කළ යුතු ආකාරය පිළිබඳව ද උපකුලපතිවරුන් අධ්‍යාපන ඇමතිවරයා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇත.