ජාත්‍ය­න්තර පාසල් නියා­ම­න­යට සූදානමක් | Page 2 | සිළුමිණ

ජාත්‍ය­න්තර පාසල් නියා­ම­න­යට සූදානමක්

මෙරට පළමුවෙන් ජාත්‍යන්තර පාසල් ආරම්භ වන්නේ 1980 වර්ෂයේදීය. මේ වන විට ජාත්‍යන්තර පාසල් 370 කට ආසන්න ප්‍රමාණයක් ‍මෙරට සිසු දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. ඉංග්‍රීසි භාෂාවක් ලෙසින් හදාරනවා වෙනුවට ඉංග්‍රීසිය භාෂාත්මක ‍මාධ්‍ය කරගනිමින් අනෙක් සියලු විෂයයන් හැදෑරීම පමණක් නොව ජාත්‍යන්තර විභාගවලට මුහුණ දීම මෙහි අරමුණ විය. 20 වැනි සියවස මැද භාගය පමණ වන විට ජාත්‍යන්තර පාසල් ප්‍රධාන කතිකාවක් වූ අතර රජයේ පාසලකට ඇතුළත් කිරීමට නොහැකි වූ මෙන්ම ඉහත කී අරමුණු ඔත්සේ අධ්‍යාපනය ලබා දීමට කැමැති පිරිස් සිය දරුවෝ ඇතුළත් කළේ මෙවැනි පාසල්වලටය. ජාත්‍යන්තර පාසල් වර්තමානයේ පවත්වාගෙන යනු ලබන්නේ සමාගම් පනත හෝ ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ සමාගමක් හෝ ව්‍යාපාරයක් ලෙස ලියාපදිංචි කිරීමෙනි.

 

එම නිසා මෙම පාසල් පිළිබඳ නිසි නියාමනයක් සිදුවන ආයතනයක් නොමැති අතර ඒ ඒ පාසල්වල පරිපාලනය ගෙන ගියේ ඒ ඒ ජාත්‍යන්තර පාසල් පාලනාධිකාරිය විසිනි. එනම් මේ

ගම්පහ ලයි­සි­යම් පාසල ඉදි­රි­පිට දෙම­වු­පි­යන් විසින් ජූනි 25 සිදු කළ උද්ඝෝ­ෂ­ණය

සම්බන්ධව මතු වූ විවිධ ප්‍රශ්න නිසාවෙන් පසුගිය රජයේ අධ්‍යාපන ඇමැතිව සිටි අකිල විරාජ් කාරියවසම් සකස් කළ නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පෞද්ගලික පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාත්‍යාශයට පවරා ගන්නටද උත්සහ කළේය. මේ සඳහා කමිටුවක්ද පත් කිරිමට කටයුතු කළද එයත් අතරමඟදි නතර විය.

නිදහස් අධ්‍යාපනයෙන් හෝ මුදල්ගෙවා ලබන අධ්‍යාපනයෙන් ඵල ප්‍රයෝජන ගන්නේ අපේම දරුවන්ය. විශාල වශයෙන් ජත්‍යන්තර පාසල් සඳහා වාරික මුදල් ගෙවන මේ දෙමවුපියන්ගේ එකම අපේක්ෂාව වන්නේ ජාත්‍යන්තරයට ගැළපෙන අධ්‍යාපනයක් තම දරුවන්ට උරුම කරන්නටය. මේ වන විට රටේ සමස්ත දරුවන්ටම පාසල් අධ්‍යාපනය අතරමඟ නැවති ඇත්තේ කොවිඩ් වසංගතය හේතුවෙනි. මේ නිසාවෙන් මාර්ගගත ක්‍රමවේදය හරහා අධ්‍යාපනයට සියලු දරුවෝ ප්‍රවිෂ්ඨ වි සිටිති. නමුත් දරුවෝ පාසල් නොගියද, මාර්ගගත අධ්‍යාපනය සඳහා අමතර මුදලක් වෙන් කරන්නට සිදු වුවද මේ ජාත්‍යන්තර පාසල් බොහෝමයක් සිය පාසල් ගාස්තු මුදල් වෙනස් කළේ නැත. ප්‍රශ්න කොතෙක් දෙමවුපියන්ට තිබුණද පාසල් බලධාරීන් මේ මුදල් ලබා ගත්තේ පෙර පුරුදු පරිදීය. මේ සමස්ත සිදුවීමේ එක් පිපිරීමක් මතුවූයේ ලංකාවේ ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසල් ජාලයක් වන ලයිසියම් පාසල් සමූහයෙනි.

ලංකාවේ ජාත්‍යන්තර පාසල් ජාලයේ ප්‍රධාන ස්ථානයක් ලයිසියම් ජාත්‍යන්තර පාසල් ජාලයට හිමි වන්නේය. හිටපු ඇමැතිවරයෙකු වන මොහාන් ලාල් ග්‍රේරු විසින් ආරම්භ කළ මේ පාසල් ජාලය නුගේගොඩ ප්‍රධාන කර ගනිමින් පාණදුර, වත්තල, රත්නපුර, නුවරඑළිය, අනුරාධපුර, කුරුණෑගල, කොට්ටාව, කුලියාපිටිය, කඩුවෙල, නුවර, ගම්පහ මෙන්ම කඳාන ඇතුළු ප්‍රදේශ ගණනාවක් පුරා ව්‍යාප්තව ඇත්තේ සිසුන් දහස් ගණනකිනි. අන් ජාත්‍යන්තර පාසල් ගාස්තු මෙන්ම මෙහිද අවමය රුපියල් 40,000 සිට ඉහළ මිල ගණන් යටතේ දරුවන්ගේ පාසල් වාරික මුදල් ගෙවන්නට සිදුවීම නිසා මේ පාසල් දෙමවුපියෝ මේ වන විට සිටින්නේ වත්මන් පාසල් පාලනයේ ක්‍රියාකාරිත්වය හේතුවෙන් මහත් පීඩාවකට පත්වය.

ඉතා විශාල වාරික ගෙවමින් මෙන්ම ඇතුළත් කිරිමේ මුදල් ගෙවමින් සිය දරුවන්ව මේ ජාත්‍යන්ර පාසල් ජාලයේ පාසලකට ඇතුළත් කළේ ලයිසියම් යන නාමයට ලබා තිබූ ඉහළ වටිනකම හා ජනප්‍රියත්වය නිසාවෙන් බව මේ දෙමවුපියන්ගේ අදහසය. එහෙත් පසුගිය කාලයේ එනම් 2019 වසරේදි පමණ මේ ජාත්‍යන්තර පාසල් ජාලයෙන් පාසල් කිහිපයක් එනම් ගම්පහ හා කඳාන පිහිටි ලයිසියම් පාසල්‘ ඇපලෝ ලයිසියම් ඉන්ටර්නැෂනල් ඇකඩමි ප්‍රයිවට් ලිමිටඩ් ‘නම් ආයතනයකට පැවරී තිබීම මේ ගැටලුවට මූලාරම්භයක් සැපයීය.

මෙම පාසල් සියල්ලේ නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරුය. එසේම පාසල් ජාලයේ විදුහල්පතිනිය ලෙසින් කටයුතු කරන්නේ ඔහුගේ බිරිඳ වන කුමාරි ග්‍රේරුය. මේ දෙදෙනාද ඉහත ‘ඇපලෝ ලයිසියම් ඉන්ටර්නැෂනල් ඇකඩමී ප්‍රයිවට් ලිමිටඩ්‘ හි අධ්‍යක්ෂ මණ්ඩලයේ සිටින අතර වැඩි කොටස් ප්‍රමාණයක් තවත් අද්‍යක්ෂිකාවක් වන දිල්මි රත්නායකට හිමිව තිබීමෙන් ඇය මෙහි අයිතිකරු වන්නේය. කෙසේ වෙතත් දෙමවුපියෝ චෝදනා කරන්නේ පෞද්ගලික කරුණු මුල්කරගනිමින් නිර්මාණය වූ මේ අවුල මේ වන විට දිග් ගැස්සෙමින් යන්නේ තවත් දහස් ගණනක් වූ දරුවන්ගේ අධ්‍යාපනයටද කණ කොකා හඬලමිනි.

“ මේ වන විට දෙමවුපියන් වශයෙන් අපි ගැටලු රාශියකට මුහුණ දී සිටිනවා. අවස්ථා කිහිපයකදීම සංගමයක් වශයෙන් අපි මේ බලධාරින් හමුවීමට උත්සහ කළත් සාර්ථක වුයේ නැහැ. ලයිසියම් පාසලේ ගම්පහ පාසල මේ තත්ත්වයට ගෙන ඒමට අපි විශාල කැපකිරීමක් කළා. ඒත් මේ අයගේ අභ්‍යන්තර ප්‍රශ්න නිසා අපිටත් දරුවන්ටත් ප්‍රශ්න ගණනාවක් මතු වෙලා. මේ ගම්පහ හා කඳාන පාසල් දෙක ඇපලෝ ලයිසියම් නමින් වූ වෙනත් ආයතනයකට පැවැරුවා. අධ්‍යක්ෂ මණ්ඩලය පවා වෙනස් කළා. ඒත් දෙමවුපියන්ව නිසි දැනුම්වත් කිරිමක් කළේ නැහැ. අධ්‍යාපන රටාව වෙනස් කළා පමණක් නොව දරුවට හිමිව තිබූ කේම්බ්‍රිජ් විභාග ක්‍රමය පවා මේ අය වෙනස් කිරීමට සුදානමින් ඉන්නේ. අපි මේ පාසලට දරුවන් ඇතුළත් කර බලාපොරොත්තු වුණේ කේම්බ්‍රිජ් අධ්‍යාපනය හා විභාග . ඒත් දැන් ඒ අය එඩෙක්සෙල් නම් වූ මිට වඩා තත්ත්වයෙන් අඩු විභාග ක්‍රමයක් ලබා දීමට කටයුතු කරනවා. ඔවුන් දරුවන්ගේ හා සිසුන්ගේ අයිතීන් උල්ලඝංගනය කරලා. අපි වාරිකයකට රුපියල් 50,000 ක් පමණ ගෙවනවා. මගේ දරුවන් පස් දෙනෙක්ම මේ පාසලේ ඉගෙන ගන්නේ. කොරෝනා කළේ අනවශ්‍ය වියදම් පෙන්වමින් සම්පූරණ පාසල් ගාස්තු ලබා ගත්තා. විභාග ඔන්ලයින් කරනවා කිව්වට සාර්ථක වූයේ නැහැ. සම්පූර්ණ පාසල් ගාස්තු නොගෙව්වොත් දරුවන්ව ඔන්ලයින් බඳවා ගන්නේ නැහැ. ඒත් මේ කාලයේ පාලනාධිකාරිය ගුරුවරුන්ට ගෙව්වේ මුලික වැටුප පමණයි. නමුත් සම්පූර්ණ මුදල අපෙන් ඉල්ලා හිටියා. දැන් අපිට තේරෙන්වා මෙහි අධ්‍යාපනය ලබා දෙන්නේ ප්‍රමිතියෙන් අඩු ගුරුවරු බව.......“ ඒ ගම්පහ ඇපලෝ ලයිසියම්හි දෙමවුපියකු වන මිරිගම නිලන්ත පෙරේරාය.

මොවුන්ගේ එකම තර්කය වන්නේ පෙර හිමි ලයිසියම් ජාත්‍යන්තර නාමය නැවතත් තම දරුවන්ට ලබා දෙන ලෙසය. කෙසේ වෙතත් අදාළ පාර්ශ්ව දැනුවත් කළද , බලධාරින් සම්බන්ධ කර ගැනිමට උත්සහ කළද මේ වන තෙක් කිසිදු සාර්ථක ප්‍රගතියක් අත්වී නොමැති බව ඔවුන් පවසති. දුරකතන මඟින් හෝ බලධාරින් හා සම්බන්ධ වීමටද නොහැකි වී ඇත්තේය. කෙසේ වෙතත් ලයිසියම් නම් මාරු කිරීමේදි අදාළ ලයිසියම් බලධාරින් පවසා ඇත්තේ බදු ගෙවිමේ ප්‍රශ්නයක් මත මුල්‍ය පරිපාලනයට පමණක් මෙසේ ඇපලෝ ලයිසියම්ට පැවැරූ බවකි. නමුත් එසේ නම් මාරු කිරීමේදි අයිතිකරුවන් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනස් වන්නේ කෙසේදැයි දෙමවුපිය තර්කය වි ඇත්තේය.

“ නුවර පාසල ඇතුළුව කඳාන හා ගම්පහ පාසල් තුන පවත්වා ගෙන යන්නේ ඇපලෝ ලයිසියම් යන නමින්. 2019 වසරේදි මේ ආකාරයට වෙනස් වන්නේ පාලනයට අපහසුයි කියන පදනම යටතේයි. ඒත් දැන් මේ යටතේ මතුවන ප්‍රශ්න ගැන පිළිතුරු දෙන්න කිසිවකුත් නැහැ. කේම්බ්‍රිජ් අධ්‍යාපනය බලාගෙන යන සිසුන්ට එඩෙක්සෙල් කරන්න වුණොත් අපරාදේ. සිසුන් ලයිසියම් යන ජනප්‍රිය නාමය යටතේ බඳවා ගෙන දන් එය වෙන අයෙකුට ලබා දිම අපේ මුලික චෝනාවයි. ඒ නිසා ලයිසියම් යන නාමය අපිට ඕන. ඒ වගේම පසුගිය කොරෝනා කාලයේ ඔන්ලයින් අධ්‍යාපනය කියලා සම්පූර්ණ මුදලම ගත්තා. පුස්තකාල පහසුකම්, රසායනාගාර, ක්‍රිඩා සඳහා සම්පූර්ණයෙන්ම මුදල් අයකළා. අපි සහනයක් ඉල්ලුවා. ඒක් කිසිවක් නැහැ. මුල්‍ය අපහසුතා තිබුණ අයට ගෙවන්න බැරිවුණොත් ඒ දරුවන්ගේ ඔන්ලයින් පන්ති නැති කළා. මේවා ගැන දෙමවුපියන්ට කතා කරන්න බැහැ. දෙමවුපියන්ට පරිපාලනයට ඇඟිලි ගහන්න බැහැ. නමුත් අපි වාරිකයකට රුපියල් 40,000 සිට 52,000 බැගින් ගෙවනකොට ඇයි මේ දේවල් පිළිබඳ ප්‍රශ්න මතුකරන්න බැරි. නමුත් ගුරුවරුන්ට මුලික වැටුප පමණයි ලබා දුන්නේ. සමහර ගුරුවරු දක්ෂතාවයෙන් අඩුබව පේන්නේ ඔන්ලයින් පන්ති කරද්දී. නමුත් මේවා ගැන චෝදනා කළාම ඒවා දරුවන්ගෙන් පළි ගන්නවා. ඒ වගේම පාසල්වල මුලික පහසුකම් බොහෝමයක් අඩුයි“ ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ දෙමවුපිය සංගමයේ සභාපති සුමේන්ද්‍ර ප්‍රසාද්ය.

මෙම දෙමවුපිය සංගමය විසින් පසුගිය කාලය පුරාවටම අධ්‍යාපන බලධාරින් ඇතුළු සියලු දෙනා දැනුම්වත් කර ඇතිද මේ වන තෙක් නිසි පිළිතුරක් නොලත් බව දෙමවුපිය චේදනාවයි. එක් පක්ෂග්‍රාහී මාවතක සිට නිවැරදි මාධ්‍ය වාර්තාකරණයේ යෙදිම නොකළ යුතු හෙයින් සිළුමිණ අපි මේ පිළිබඳව අදහස් ලබා ගැනීමට මෙහි නිර්මාතෘ මොහාන් ලාල් ග්‍රේරු සම්බන්ධ කර ගැනිමට අවස්ථා කිහිපයකදිම උත්සහ දැරුවද එය ව්‍යවර්ථ විය. ගැටලු මතුව ඇති ගම්පහ ලයිසියම් පාසලේ වත්මන් විදුහල්පතිතුමාටද අපි මේ පිළිබඳව පවසා අදහස් දැන ගැනීමට සම්බන්ධ කර ගත්තද ඔහු පැවැසූයේ තොරතුරු ලබා ගැනීමට මොහාන් ලාල් ග්‍රේරුවම සම්බන්ධ කර ගන්නා ලෙසයි. කෙසේ වෙතත් ගම්පහ ලයිසියම් ඇතුළු පාසල් සම්බන්ධව මේ වන විට මතුව ඇති ගැටලුව සම්බන්ධව එහි අධ්‍යක්ෂක මණ්ඩලය වන මොහාන් ලාල් ග්‍රේරු, කුමාරි ග්‍රේරු හා දිල්මි රත්නායක යන අය දෙමවුපියන්ට ලිපියකින් පවසා ඇත්තේ මෙසේය.

අංක 211 අලුත්ගම, බෝගමුව යක්කල යන ස්ථානයේ පවත්වා ගෙන යන , ගම්පහ ලයිසියම් ජාත්‍යන්තර පාසලේ එම නාමය ඉදිරියේදි නොවෙනස් වන බවයි. එසෙම සිසුන්ගේ නිල ඇදුම්, වර්ණ, පාසල් ගීතය විෂයමාලාව, විෂයානුබද්ධ කිසිවක් වෙනස් නොවන බවත්, අනිකුත් පාසල් ජාලයේ ක්‍රියාත්මක වන පරිදි ඒ සියල්ල පවත්වා ගෙන යන බවයි. එසේම මෙම පහසුකම් ලැබෙන්නේ ජාත්‍යන්තර පාසල නාමයෙන් පමණක් බවයි. වැඩි කාර්යක්ෂමතාවයත්, පාසලේ මුදල් පරිපාලනයත් පමණක් ඇපලෝ ලයිසියම් ජාත්‍යන්තර ඇකඩමියෙන් සිදුවන බවයි.

අපේ රටේ දරුවන්ගේ අධ්‍යාපනය මෙහෙයවන මෙවැනි පාසල් පිළිබඳ නියාමනයක් නොමැකි වීම මේ ගැටලුවේ ආරම්භයයි. සමාගම් රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වුවද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් කටයුතු කරන ආයතන ඊට මැදිහත් නොවීම හරහා මේ දෙමවුපියන් පමණක් නොව දරුවන්ද අසරණ වී ඇත්තේය. “ අපේ ගැටලුව කාට කියම්ද? “ මේ නිසාවෙන්ම අවසන් විසදුම ලෙස ඔවුන් ඉල්ලන්නේ මේ පාසල් රජය යටතට පවරා ගන්නා ලෙසයි. එය කළ නොහැකි දෙයක් වුවත් මෙවැනි පාසල්, එහි ගුරුවරු, විෂයමාලා මෙන්ම අධ්‍යාපන කටයුතු නිසි නියාමනයක් සිදු වන්නේ නම්, මේවා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ හෝ ලියාපදිංචි වන්නේ නම් එම දරු පරපුරටම වටිනා ශක්තියක් වනු ඇත.

ඒ පිළිබඳ විමසීමේදි සතුටුදායක පුවතක් වාර්තා වූයේ අධ්‍යාපන සේවා කොමිසම මඟිනි. ඒ මේ ප්‍රශ්නයට විසඳුම් ඒ හරහා ලැබෙමින් පවතින බවයි. ඒ අනුව නුදුරු දිනයකදි අධ්‍යාපන අමාත්‍යාංශය මේ ජාත්‍යන්තර පාසල් සම්බන්ධ වගකීම කරට ගැනීමට කටයුතු කරනු ඇත. “මේ වන විට අපි ජාත්‍යන්තර පාසල් සම්බන්ධ ජාතික ප්‍රතිපත්තියක් සකස් කරමින් යනවා. ඒ සඳහා තව වසර දෙකක කාලයක් ගත වේවි. ඒ අනුව ඉදිරියේදී ජාත්‍යන්තර පාසල් නියාමනය, ගුණාත්මක භාවය මතු කිරීම, ගුරුවරුන්ගේ ගුණාත්මක තත්ත්වය පිරික්සීම, හා ඒ ඒ පාසල්වල තත්ත්වය විමසීය යනාදිය ජාතික අධ්‍යාපන සේවා කොමිසම මඟින් සිදු කිරිමට කටයුතු කරනවා. ඒ වගේම මේ පාසල් ඉදිරියේදි අධ්‍යාපන අමාත්‍යාංශයේ ලියාපදිංචි කිරිම කළ යුතු වෙනවා. ඒ වගේම මේ අය තත්ත්ව ඇගැයීම් සහතිකයක්ද ලබා ගත යුතු වෙනවා‍.මේ වන විට ඊට අවශ්‍ය දත්ත අපි එක්රැස් කරමින් යනවා. මෙවැනි ප්‍රශ්න මතු වූයේ නිසි පරිදි නියාමනයක් සිදු නොවීම නිසයි....“ ඒ ජාතික අධ්‍යපන කොමිසම් සභාවේ සභාපති මහාචාර්ය හරිස්චන්ද්‍ර අඹේගුණවර්ධනය.

ඡායාරූප - සමන්ත වීරසිරි

 

Comments