තරු­ණි­යන් මුළා කළ කට්ට­ඩියා ජීවි­ත­යෙන් වන්දි ගෙවූ හැටි | Page 2 | සිළුමිණ

තරු­ණි­යන් මුළා කළ කට්ට­ඩියා ජීවි­ත­යෙන් වන්දි ගෙවූ හැටි

සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් අධිකරණයට ගෙන යමින්
සැකකරුවන් පොලිස් අත්අඩංගුවෙන් අධිකරණයට ගෙන යමින්

සූඅට අසූනවය භීෂණ සමයේ අඳුරු මතකය සිහිපත් කරමින් කැලණි ගඟේ නවගමුව ප්‍රදේශයේ දෙඅත් ගැටගැසු මළසිරුරක් පාවෙන ආකාරය අසල්වාසීහු දුටුහ. ඒ පසුගිය 26 වැනිදායි. ඒ පිළිබඳව නවගමුව පොලිසියට සැලවීමත් සමඟ පොලිස් විමර්ශන ඇරැඹිණි. මළසිරුර පිළිබඳව වැඩිදුර විමර්ශනයේදී හෙළි වූයේ ඉකුත් දිනෙක එනම් පසුගිය 23 වැනිදා රාත්‍රියේ ඇඹුල්ගමදී පැහැර ගැනුණු කට්ටඩියාගේ සිරුර එලෙස කැලණි ගඟේ පාවුණු බවටයි.

 

කට්ටඩියාගේ පැහැර ගැනීම පිළිබඳව ඒ වන විටත් නවගමුව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබිණි. එලෙස පැහැර ගැනුණු පුද්ගලයා 54 හැවිරිදි හල්දුම්මුල්ල ප්‍රදේශයේ පදිංචි ගාමිණි හෙට්ටිආරච්චි නමැති කට්ටඩියෙකි. ඔහු පැහැර ගැනුණු මොහොතේ ගතකර තිබුණේ අනියම් බිරියගේ ඇඹුල්ගම බෝඩිම් නිවෙසකයි.

ඔහුගේ පැහැර ගැනීම පිළිබඳව නවගමුව පොලිසිය සිදුකළ විමර්ශනවලට අමතරව නුගේගොඩ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාගේ උපදෙස් මත කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකළ සූක්ෂ්ම විමර්ශනයකින් ගාමිණි කට්ටඩියාගේ ඝාතනයේ සුලමුල අනාවරණය කරගත්තෙ දින පහක් වැනි කෙටි කාලයක් තුළදීයි. ඒ අනුව ඔහුගේ ඝාතනයට පසුගිය 28 වැනිදා අනියම් බිරිය 45 හැවිරිදි ඉනෝකා උපමාලි සමඟ කට්ටඩියා ඝාතනය කළ ප්‍රධාන සැකකරු 49 හැවිරිදි නිරෝෂන් ප්‍රියන්ත සහ 33 හැවිරිදි දිලිණ ශ්‍රිමාල් යන දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි.

කට්ටඩියාගේ ඝාතනයේ ඛේදනීය කතාන්දරය මෙලෙසිනි. කට්ටඩියා 2011 වසරේ දිනක් බළන්ගොඩ ප්‍රදේශයේ තොවිලයකට ගියේය. එදින එම නිවෙසට ඉනෝකාද පැමිණ සිටියේය. ඇය ගාමිණි තොවිලයක් කිරීමට ගිය නිවෙසේ කාන්තාවගේ නැඟණියයි. ඇය විසුවේ හල්දුම්මුල්ලෙ බෝපත්තලාවේයි. දියණියකගේ සහ පුතෙකුගේ මවක වන ඉනෝකා සිය සැමියා සමඟ බෝපත්තලාවේ සත්ත්ව ගොවිපළේ රැකියාව කළහ. එදින ඇය සමඟ කුලුපගවූ කපුවා,

"නංගිලයි ගෙවල් පැත්තෙත් ගිහින් බලමු... භූතදෝෂ එහෙම තියෙනවානම් මට පුළුවන් විසඳලා දෙන්න..."

ඒ අනුව සිය ස‍හෝදරියගේ නිවෙසේ පැවැති ශාන්තිකර්මය අවසන් වූ සැණින් පසුදා පාන්දර ඉනෝකා සමඟ කට්ටඩියාද ඇයගේ බෝපත්තලාව නිවෙසට ගියහ. එම නිවෙසේ වත්තපිටිය පරීක්ෂා කළ කට්ටඩියා, "මේක නියම ඉඩමක්නේ... මේ ඉඩමේ නිධන් තියෙනවා... ඔයාගේ මූණ බැලුවමත් පේනවා නිධන් වාසනාවක් තියෙනවා කියලා... ඕනේනම් මට පුළුවන් නිධානේ ගොඩදාලා දෙන්න..."

ඝාතනය වූ කට්ටඩියා පැහැරගෙන යන ආකාරය සීසීටීවී කැමරාවක සටහන්ව තිබූ ආකාරය

එම වදන්වලට ඉනෝකාද එකපයින්ම එකඟ වූවාය. අනතුරුව කට්ටඩියා විසින් ඉනෝකාට සුරයක් දමා තිබුණේ නිධන් වාසනාව පැදීමට යැයි පවසමිනි. එහෙත් එය මුසාවකි. ඔහු කර තිබුණේ වශී ගුරුකමකි. ඉන් ඉනෝකාගේ සිත කපුවාට ඇදි ගියේ නිරායාසයෙනි. කපුවාගේ ඝාතනයට අත්අඩංගුවට පත්වූ පසු ඉනෝකා පැවැසූවේ, "ඒක දැම්ම විතරයි මට ඔහුව නොදැක ඉන්න බැරිව ගියා..."

අනතුරුව සියල්ලට හොර රහසේ මෙකී කාන්තාව රැගෙන කපුවා බොහෝ තැන්වල කරක් ගසමින් අනාචාරයේ

හැසිරිණි. එලෙස කපුවා සමඟ වූ රහස් සබඳතාව ඉනෝකාගේ සැමියාට හෙළි වීමත් සමඟ ඔහු ඉනෝකා නිවෙසින් පන්නා දැමීය. ඒ 2012 වසරේදී පමණ සමයේදියි.

නිවෙසින් එළවීමත් සමඟ ඉනෝකාගේ නවාතැන්පළ වූයේ හෝමාගමයි. ඒ සිය මිතුරියකගේ සහායෙනි. හෝමාගමට පැමිණි ඇය නියඳගල පාරේ බෝඩිමක නතරවී ප්‍රසිද්ධ බිස්කට් නිෂ්පාදන ආයතනයක රැකියාවකට ගියාය. ඒ වන විට කට්ටඩියාට ඉනෝකා මඟහැරි කලක් ගතවෙමින් තිබිණි. එම කාලයේදී වශී ගුරුකම නිසාවෙන් ඉනෝකාටද කට්ටඩියා සොයා යෑමට අනේකවාරයක් සිත ගියත් සිය මිතුරියන් නිසාවෙන් එය මඟ හැරිණි.

එහෙත් දිනක් ඉනෝකාගේ දුරකථනයට කට්ටඩියා ඇමැතුමක් ගැනීමත් සමඟ ඇය සියලු තතු හෙළි කළාය. ගතවූයේ දින දෙකකි. කට්ටඩියා, ඉනෝකා සොයා නියඳගල බෝඩිමට ආවේය. ඒත් සමඟ කට්ටඩියාද බෝඩිමේම නතර විණි. දින කිහිපයක් ඉකුත් වෙද්දී බෝඩිමේ වූ සෙසු කාන්තාවන්ටද කට්ටඩියා වශී ගුරුකම් කර තිබුණේය. ඉන් තවත් කාන්තාවන් කිහිපදෙනෙක්ම ඔහුට වශී වූහ. ඒ වන විට කපුවා සතුව නියම හැඳුනුම්පතට අමතරව ව්‍යාජ හැඳුනුම්පතක්ද තිබී ඇත. ඒ බව ඉනෝකාද දැන ගත්තාය.

සෙසු කාන්තාවන්ටද වශී ගුරුකම් කිරීම නිසාවෙන් ඉනෝකා, කපුවා සමඟ හිත් අමනාප වූවත් වශී බලය නිසාවෙන් කෙසේ හෝ නැවතත් ඇයව වසඟයට ගැනීමට කපුවා සමත් විණි.

එලෙස වසර කීපයක් ගතවී ඇත. 2019 වසර පමණ වන විට ඉනෝකාට සිය රැකියා ස්ථානයෙන්ද ගැටලු පැන නැඟී ඇත්තේ කපුවා සිය මිතුරියන්ද වසඟයට ගැනීම නිසාවෙනි. ඇතිවූ ගැටලුකාරි තත්ත්වයත් සමඟ කපුවාට හොර රහසේ ඉනෝකා රැකියාවෙන්ද ඉවත්ව ඇඹුල්ගම ප්‍රදේශයේ බිම් ඇතුරුම් ගල් නිෂ්පාදිත ආයතනයකට රැකියාවට ගොස් තිබුණාය.

එහි කලක් රැකියාවේ නිරත වෙද්දී එම ආයතනයට ටිපර් රථ රියැදුරකු ලෙස රැකියාවට පැමිණියේ ප්‍රියන්තයි. ඔහු නාවික හමුදාවෙන් ඉවත්ව සිටි හංවැල්ලෙ, වෙදගම නවාතැන්ගෙන රැකියාවට පැමිණි අයෙකි. දරුවන් දෙදෙනෙකුගේ පියෙක් වන ප්‍රියන්තගේ පදිංචිය රඹුක්කනයි.

ප්‍රියන්ත සමඟ ඉනෝකා ළඟ ඇසුරකට මුල පිරූහ. ඇය කට්ටඩියාගෙන් අත්වූ දුක්ඛිත ජීවිතයේ සියලු තතු ප්‍රියන්තට පැවැසුවාය. දිනක් ඉනෝකා ඒ වන විට නැවතී සිටි පනාගොඩ ලේලන්ඩ් හංදියේ බෝඩිමට පැමිණි ප්‍රියන්ත ඇයගේ දුරකථනය ගෙන කට්ටඩියාට ඇමැතුමක්ගෙන බැණ වැදුණේ,

කට්ටඩියා පැහැර ගැනීමට යොදාගත් යතුරුපැදිය

"උඹ ආයිත් ඉනෝකට එහෙම කරදර කළොත් බලාගන්න පුළුවන්... උඹ දන්නෙ නෑ මගේ හැටි... මම නේවි එකේ හිටපු කෙනෙක් හරිද..." ඊට කට්ටඩියා ප්‍රතිචාර දැක්වූයේ, "ඒයි... උඹත් දන්නෙ නෑ මගේ හැටි... බලපන් පැය 24ක් ඇතුළත උඹව ඉන්න තැනම ගල් කරනවා..."

කට්ටඩියා කිවූ සේම ප්‍රියන්ත, ඉනෝකාගේ බෝඩිම තුළ පැය 24ක් පමණ ගතකර තිබුණේ උන්මත්තකයකු විලසිනි. ප්‍රියන්ත යථා තත්ත්වයට පත්වූයේ සිය නිවෙසට ගොස් වෙනත් කට්ටඩියකු මාර්ගයෙන් ශාන්තිකර්මයක් කිරීමෙන් පසුවයි.

ඒ අතර කට්ටඩියා දිගින් දිගටම ඉනෝකා සිටි ස්ථානය සෙවීය. ඇමැතුම් කෙතරම් ගත්තද ඉනෝකා ඊට පිළිතුරු නුදුන්නාය. කෙසේ හෝ දුරකථන නවීන තාක්ෂණය මඟින් ඇය සිටි බෝඩිම් ස්ථානය හඳුනා ගැනීමට කට්ටඩියා සමත් වූහ. අනතුරුව ඔහු ඉනෝකා සොයා පැමිණියේය. ඒ මීට මාස එකහමාරකට පමණ පෙර සංචරණ සීමා පැනවීමට පෙරදියි. කට්ටඩියා ඉනෝකාගේ බෝඩිමට පැමිණ සිටිද්දී සංචරණ සීමා පැනවීය. දඹුල්ලේ ඥාතියෙකුගේ නිවෙසේ සිට පැමිණ සිටි කට්ටඩියා ඒත් සමඟ ඉනෝකාගේ බෝඩිමේ කොටු විය.

ඒ අතරතුර ඉනෝකාට නිතර දෙවෙලේ ප්‍රියන්තගෙන්ද ඇමැතුම් ලැබුණාය. ඒ සෑම විටෙකදීම ඇය කට්ටඩියාගෙන් සිදුවන හිරිහැර පිළිබඳව ඔහුට කීවාය. ප්‍රියන්ත ඇයට කීවේ,

"ඉන්න මම හොඳ වැඩක් කරන්නම්... 119 කෝල් කරලා පොලිසිය එවන්නම්..."

ඒ අතරේ ප්‍රියන්ත පිටිපන ප්‍රදේශයේ ඥාති සහෝදරයකු වන රජයේ රැකියාවක නිරත දිලිණට ඇමැතුමක් ගෙන කිවේ, "මල්ලි පොඩි වැඩකට යන්න තියෙනවා... එකෙක්ව උස්සන් එන්න... පොඩ්ඩක් එනව ස්කූටියෙන්..." දිලිණ ගත් කටටම කියා සිටියේ, "ඕවනම් මහ අමාරුවේ වැටෙන වැඩ අයියේ... කමක් නෑ අයිය කියන නිසා එන්නම්..."

දිනය පසුගිය 23 වැනිදායි. අඳුර වැටිණි. ඒ වන විට ප්‍රියන්ත සහ කට්ටඩියා කිසිදා මුහුණට මුහුණ හමුවී නොසිටියේය. දිලිණ සිය පෙම්වතියට අයත් රතු පැහැති ස්කූටි යතුරුපැදියෙන් ගොඩගමට පැමිණියේය. එහිදී ප්‍රියන්තද යතුරුපැදියට නැඟිණි.

දෙදෙනා ඉනෝකා සිටි බෝඩිම් නිවෙසට ගියේ පොලිස් නිලධාරින් විලසිනි. ඔවුහු යන විට ඉනෝකා දිය නාමින් සිටියහ. ඇය ප්‍රියන්ත හඳුනාගත්තත් කිසිවකුට ඒ බවක් හැඟවූයේ නැත.

"අපි පොලිසියේ අපරාධ අංශයෙන්... මෙහෙ ඉන්නවනේ හොර කට්ටඩියෙක්..." එසේ පවසමින් ප්‍රියන්ත පවසා තිබුණේ කට්ටඩියාගේ ව්‍යාජ හැඳුනුම්පතේ නාමයයි. එම නම පැවැසීමත් සමඟ කට්ටඩියා තුෂ්ණිම්භුත වී තිබුණේ එය බොහෝ දෙනෙක් නොදත් හෙයිනි. ක්ෂණයෙන් නිවෙසින් පැන ගිය කට්ටඩියා අසල හබරල ගාලක සැඟවිණි. පසුව පැමිණි දෙදෙනා පොලිසියෙන් යැයි පැවසීම නිසා බෝඩිමේ සෙස්සන්ද එක්ව කට්ටඩියා සෙවීමට සහාය දුන්නේය. සියල්ලගේ සහායෙන් කට්ටඩියා හබරල ගාලේ සිට අල්ලා ගැනීමට ප්‍රියන්ත සමත් වූයේය. ඔහු ගෙන ගොස් තිබූ දම්වැලෙන් කට්ටඩියාගේ දෙඅත් ගැටගසා ඉබි යතුරකින්ද අගුල් දැමිණි.

අනතුරුව ප්‍රියන්ත හා දිලිණ කට්ටඩියා යතුරුපැදියේ දෙදෙනාට මැදිව නංවාගෙන එම ස්ථානයෙන් විදුලි වේගයෙන් පලා ගියහ. කට්ටඩියා රැගෙන යන ආකාරය අසල සීසීටීවී කැමරාවකද මනා සේ සටහන් වී තිබිණි. සියල්ල දැන සිටි ඉනෝකා ඒ බව කිසිවකුට හැඟවූයේ නැත. ඒ වන විට කට්ටඩියාගේ රැගෙන යාම පිළිබඳ බෝඩිම් හිමිකරුට යම් සැකයක් හටගෙන තිබිණි.

ඔහු විසින් සැණින් පොලිස් 119 අංකයට ඇමැතුමක් ගෙන සිදුවීම දැන්වීය. ඒත් සමඟ ඉනෝකාද විලාප දෙන්නට වූයේ කපු මහත්තයට බොහෝ තරහකාරයෝ සිටි බව පවසමිනි. 119 දුරකථන ඇමැතුමට අනුව පැමිණි පොලිසිය නිල්මිණිට කියා තිබුණේ පොලිසියට පැමිණ පැමිණිල්ලක් සටහන් කරන ලෙසටයි. ඇය එදින රාත්‍රියේම පොලිසියට පැමිණිල්ලක් කළාය.

ඒ අතරේ කට්ටඩියා පැහැරගත් ප්‍රියන්ත සහ දිලිණ එදින රාත්‍රියේම දෙඅත් සහ මුවද ගැටගසා ඔහුව රැගෙන ආවේ හංවැල්ලෙ සුප්‍රසිද්ධ සිසිල් බීම නිෂ්පාදන ආයතනයකට යාබද පොල් වත්තකටයි. එම වත්තෙ එක් මායිමක් කැලණි ගඟට මායිම් වේ. කට්ටඩියා බෝඩිමේදී අල්ලාගත් මොහොතේ ඔහුව බියගැන්වීමට ප්‍රියන්ත බෝඩිමේ තිබූ මිටියක්ද ගෙන තිබුණේය. එම මිටියද ඔහු පොල් වත්තටද ගෙනැවිත් තිබුණේය.

පොල් වත්තට රැගෙන ආ කපුවාගේ මුව විවර කෙරිණි. ඒත් සමඟ විලාප දෙන්නට වූ කට්ටඩියාට දෙදෙනා පහර දෙන්නට විය. සැණින් කට්ටඩියාද දිලිණට පා පහරක් දී ඇත්තෙ බිම වැටෙන්නටයි. ඊට කිපුණු ප්‍රියන්ත ක්ෂණයෙන් රැගෙන ආ මිටියෙන් කට්ටඩියාගේ හිස පසාරු කරගෙන යාමට පහරක් දී තිබිණි. ඉන් සිහි විකල්ව වැටුණු දෙඅත් ගැටගසා සිටි කට්ටඩියා දෙදෙනා එක්ව රැගෙන ගොස් විසිකර තිබුණේ අසලින් ගලා යන කැලණි ගඟටයි.

ඉකුත් 26 වැනිදා කැලණි ගඟේ පාවෙමින් තිබූ ගාමිණි කට්ටඩියාගේ සිරුර අසල්වාසීන් දැකීමත් සමඟ නවගමුව පොලිසියට දැන්වීමත් සමඟ විමර්ශන ඇරැඹිණි. ඊට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයද එක්විය. එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ ප්‍රමුඛ නිලධාරිහු කට්ටඩියා පැහැරගත් මොහොතේ සීසීටීවී දසුන් පරීක්ෂා කරමින් විමර්ශන සිදුකරද්දී නුගේගොඩ කොට්ඨාස බුද්ධි අංශයේ පොලිස් පරීක්ෂක වටවල ඇතුළු පිරිසද විමර්ශනවලට එක්වූහ.

ඒ අතරේ විමර්ශනවලට එක්ව සිටි නිලධාරියෙක් කට්ටඩියාගේ අනියම් බිරිය ඉනෝකාගේ 24 හැවිරිදි පුත්‍රයා හඳුනා ගැනීමට සමත් වූයේ මුහුණුපොත මඟිනි. එම තරුණයා සියල්ල හෙළිකර තිබුණේ තම මව මේ වන විට තම පවුලේ අයවලුන් සමඟ කිසිදු සබඳතාවක් නොමැති බවත් ඇය කලෙකට පෙරදී ඔවුන්ව හැර දමා කට්ටඩියකු සමඟ ගිය බව පවසමිනි.

ඒත් සමඟ කට්ටඩියාගේ මරණයට සැක පිට එම කාන්තාව අත්අඩංගුවටගෙන පුත්‍රයා කී කරුණු ඔස්සෙ ප්‍රශ්න කළත් ඇය සියල්ල ප්‍රතික්ෂේප කළාය. එහෙත් පසුව විමර්ශන නිලධාරිහු ඇගේ පුත්‍රයාගේ ඡායාරූපයක් පෙන්වා තිබුණේ. "ඔහුව හඳුනනවාදැයි" විමසමිනි. "අනේ ඒ මගේ පුතානේ..." ඇය කියන්නට වූවාය. "එයා තමයි විස්තර කිව්වෙ..." නිලධාරියු ඇයට කීහ. ඒත් සමඟ ඇය සියල්ල මුල සිට වමාරන්නට වූවාය. ඇයගේ පාපෝච්චාරණයත් සමඟ කට්ටඩියා ඝාතනය කළ 49 හැවිරිදි ප්‍රියන්ත සහ 33 හැවිරිදි දිලිණද අත්අඩංගුවට ගැනීමට නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරිහු සමත් වූහ. ඒ අනුව දුරදිග නොබලා සිදුකළ තවත් ඛේදනීය කතාන්දරයක සුලමුල හෙළි වූයේ ජිවත්ව සිටින්නන්ට තවත් 'පාඩමක්' කියා දෙමිනි.

 

ඡායාරූප - සමීර අබේසිංහ, නුගේගොඩ සමූහ

 

Comments