
එදා ලංකාවේ සිටි වාරි තාක්ෂණික ශිල්පීන් ක්‍රි.ව. 08 වන සියවසේදී ඉන්දියාවේ කාශ්මීරයට ගොස් ඇති බවත්, එහිදී එකල කාශ්මීරයේ රජු වැව් අමුණු ඉදිකිරිම් සම්බන්ධයෙන් ලංකාවේ ඉංජිනේරුවන්ගේ සහාය ලබා ගෙන ඇති බවත් ලංකාවේ වාරි මාර්ග පද්ධතිය පිළිබඳව හසල දැනුමකින් සහ උද්යෝගයකින් කටයුතු කළ බ්‍රිතාන්‍ය ජාතික ඉංජිනේරුවකු වන හෙන්රි පාකර් දක්වා තිබේ. එදා හෙළයන් සතුව වාරි තාක්ෂණය පිළිබද කෙතරම් දැනුමක් තිබුණේද යන්න පිළිබඳ හෙන්රි පාකර් මහතාගේ මේ කරුණු දැක්වීම හොඳම සාක්ෂියකි.
එදා සිංහලයා සතුව තිබූ නිර්මාණාත්මක විශේෂ බුද්ධිය නිසා ජනාකීර්ණ නගරාසන්න ප්‍රදේශයන්හි මහ වැව් බැඳ ඇළ වේලි තැනීමට ඔවුන් සමත් වී තිබේ. ලංකාව පිළිබද ගවේෂණය කළ බොහෝ විදෙස් ජාතික විද්වතුන්ගේ කරුණු දැක්විම් වලට අනුව දැක්වෙන අන්දමට සිංහලයන් සතුව විශේෂ බුද්ධි ඥානයක් පැවති බවත් මේ හේතුවෙන් ඔවුන්ට විශාල වැව් ඉදිකිරීමට හැකියාව ලැබුණු බවත් එම විශාල වැව් තුළින් පිට කරන මහා ජල කද නියමාකාරයෙන් බෙදාහැරීම හැකි තාක්ෂණික ක්‍රමයක් යටතේ ඇළ වේලි නිර්මාණය කිරීමටත් ලාංකිකයෝ සමත් වූ බව දක්වා තිබේ.
වැව් බැදි රාජ්‍යෙය් එදා අතිත හෙළ රජදරුවන් විසින් ඉදිකළ වැව් අමුණු අද විදේශිකයන් ලවා ප්‍රතිසංස්කරණය කරවා ගැනීමට සිදු වී තිබීම පිළිබඳව ඇත්තේ කණගාටුවකි.
පසුගිය 20 වන දින තිස්සමහාරාම වැවෙහි රොන් මඩ ඉවත් කර වැව ප්‍රතිසංස්කරණය කිරීම් කටයුතු ආරම්භ කෙරුණි. ඒ වර්ෂ 150කට පමණ පසුවය. මේ පිළිබඳව බොහෝ දෙනෙකුගේ වැඩි අවධානයක් යොමු කෙරුණි. ඒ අන් කිසිවක් නිසා නොව මෙම වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමකට ලබා දී තිබීමත් හා එහි සේවය සඳහා යුද හමුදා කැලෑ ඇඳුමකට සමාන පුද්ගලයන් පිරිසක් විසින් මෙම කටයුතු සිදුකිරීමත් නිසාය. මේ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතා බහක් ඇතිවිය. “ඔන්න තිස්සමහාරාම වැව චීනෙට දීලා“ ඇතමෙක් කියන්නට වූ අතර තවත් අයකු කීවේ තිස්සමහාරාම වැව අවට චීන හමුදා කඳවුරක් දමන්නට යන බවත්ය.
ඒ අනුව අපද තිස්සමහාරාම වැව පිහිටි ප්‍රදේශයට ගියේ මේ පිළිබඳව සොයා බලන්නටය. අපි එහි යනවිටත් යුද හමුදා කැලෑ ඇඳුමකට සමාන ඇඳුම් ඇදගත් චීන ජාතිකයන් පිරිසක් බර යන්ත්‍ර සූත්‍ර කිහිපයක් යොදා ගනිමින් වැවෙහි රොන්මඩ ,මැටි හා වැලි ඉවත් කරමින් සිටියේය.
මෙම වැව අවසන් වරට නියම ප්‍රමිතියෙන් යුතුව ප්‍රතිසංස්කරණය කළ බව සැලකෙන්නේ වර්ෂ 1871 දීය. අක්කර 652ක භූමි ප්‍රමාණයකින් යුක්ත තිස්සවැව මුලික කරගෙන කුඹුරු අක්කර 2000ක් පමණ යල මහ වගා කෙරෙති. තිස්සමහාරාම වැව අක්කර 652ක් පුරා විහිදී පැවතියත් අද වන විට එම ප්‍රමාණය බොහෝ අඩු වි ඇති බවයි ගොවි ජනතාව පෙන්වා දෙන්නේ. ඊට හේතුව 1871 පසුව වැවෙහි නියම ප්‍රතිසංස්කරණයක් සිදු නොවීම බවද ඔවුන් පෙන්වා දෙති.
වත්මන් රජයේ වැව් අමුණු හා වාරි කෘෂි ඇළ මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ වාරි සෞභාග්‍යා ජාතික වැඩසටහන යටතේ ඉහළ ජල ධාරිතාවක් සහිත මහ වැව් ප්‍රතිසංස්කරණය කිරීම සම්බන්ධව වන නියමු ව්‍යාපෘතියක් ලෙස තිස්ස වැව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු පසුගිය දින ආරම්භ කෙරුණු අතර එය රාජ්‍ය මුදල් සැපයීමකින් තොරව සිදුකිරිම විශේෂත්වයකි. ඒ අනුව අදාළ ප්‍රතිසංස්කරණ කටයුතු චීන සමාගමක් වෙත බාර දි තිබේ. තිස්ස වැව නැවත ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ වීම ඉතා හොඳ කටයුත්තක් වුවත් එය සිදුවෙන ආකාරය පිළිබඳව බොහෝ දෙනෙකු තුළ පවතින්නේ දැඩි කුකුසකි. අද වන විට එය මෙරට පමණක් නොව එරට ජනතාව තුළද කතාබහට ලක්ව තිබේ.
යුද හමුදා ඇඳුමකට සමාන ඇදුමින් සැරසුණු චීන ජාතික පිරිසක් හා තවත් දේශීය පිරිසක් එක්ව මෙලෙස තිස්ස වැවෙහි මැටි හා පස් ඉවත් කිරීමේ කටයුතු ආරම්භ කිරීමත් සමඟ මේ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද අවධානය යොමු විය. ඒ අනුව මේ පිළිබඳව වහාම සොයා බලා අදාළ ක්‍රියාමාර්ග ගන්නා ලෙසට පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන්ට උපදෙස් ලබා දුන්නේය. ඒ අනුව ක්‍රියාත්මක වූ හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකාව තිස්සමහාරාම වැවෙහි සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු වහාම නවතා දමන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා යැවිමට කටයුතු කෙරුණි. ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක් ලෙසින් සැලකෙන තිස්සමහාරාම වැවෙහි යම් ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුවන්නේ නම් ඒ සඳහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේද අවසරය ලබාගත යුතුය. එහෙත් පසුගිය දින තිස්සමහාරම වැවෙහි මඩ හා වැලි ඉවත් කිරීමේ කටයුතු චීන සමාගමක් විසින් සිදු කෙරුණු අතර ඒ පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කිරිමට අදාළ නිලධාරීන් කටයුතු කර නොතිබුණි. ඒ නිසා එහි ප්‍රතිසංස්කරණ කටයුතු නවතා දමන ලෙසයි පුරාවිද්‍යා නිලධාරීන් අදාළ නිලධාරින් වෙත දැනුම් දිමට කටයුතු කෙරුණේ.
අප මේ සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් ගෙන්ද විමසිමක් කළ අතර එතුමිය මෙලෙස පැවසුවාය.
"තිස්සමහාරාම වැව කියන්නේ ඓතිහාසික වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටි වැවක්. ඉතින් එවැනි ප්‍රදේශයක යම් කැණීමක් සිදුකරන්නේ නම් ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුවත් කර අවසරයක් ලබා ගත යුතුයි. එවන් පසුබිමක් තුළ පසුගිය 20 වන දින තිස්සමහාරාම වැවෙහි යම් ප්‍රතිසංස්කරණ කටයුතු කිහිපයක් සිදුවෙන බවට ලද තොරතුරකට අනුව සිදුකළ සොයා බැලීමකින් පසු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග වෙත ඒ පිළිබඳව දැනුම්වත් කර එ් ප්‍රතිසංස්කරණ කටයුතු තාවකාලිකව නවතා දමන ලෙස මා දැනුම් දුන්නා. මේ වන විට එහි සිදුවන ප්‍රතිසංස්කරණ කටයුතු නවත්තලයි තියෙන්නේ. දැනට අප මේ සම්බන්ධයෙන් මූලික ගවේශනයක් ආරම්භ කරලා තියෙනවා. ඉන් ලැබෙන හා ගන්නා තීන්දු තීරණ අනුව තමයි ඉදිරිවැඩ සැලසුම් වෙන්නේ. මුලික ගවේශනයේදී ඔප්පු වුවහොත් මෙහි සිදුවන කැණීම් පුරාවිද්‍යා නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි කියා අප ඒ පිළිබඳව අදාළ සමාගම වෙත දැනුම් දිමට පියවර ගන්නවා. එතෙක් තමයි මේ කටයුතු නවතා තමා තියෙන්නේ යැයි" පැවසුවාය.
මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරී තුසිත බලල්ල ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසුවේ මෙම ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳව මෙරට අදාළ අංශ එම ස්ථානය පරීක්ෂා කර ඇති බවත් ඒ පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති බවත්ය. එමෙන්ම මෙම ව්‍යාපෘතියෙන් අදාළ සමාගමට රජය පාර්ශ්වයෙන් කිසිදු ලාභයක් නොලැබෙන බවත් ලාභයක් ලබා ගත හැක්කේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතුවලදී ලැබෙන මැටි, වැලි හා පස් විකිණීමෙන් පමණක් බවද ඔහු වැඩි දුරටත් පැහැදිලි කිරීමක් කර තිබේ. එමෙන්ම මේ ව්‍යාපෘතියේ සේවයේ නියුතු චීන පිරිස් ඇද සිටින කැලෑ ඇඳුම පිළිබඳ ව ද චීන ශ්‍රී ලංකා ඒකාබද්ධ සමාගමේ සාමාන්‍යාධිකාරීවරයා මෙලෙස පැහැදිලි කිරිමක් සිදුකර තිබේ.
![]() |
වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු කරමින් තිබූ අවස්ථා |
”ඒක සාමාන්‍යයෙන් ඒ කට්ටියගේ ඕවරෝල් කිට් එකක් ඒක. මම හිතන විදිහට මේ වෙච්ච දේත් එක්ක, බුද්ධි අංශ නිලධාරීන් පැමිණිලා කැමා කිට් එකත් එක්ක මෙය සසඳලා බලලා, කිව්වා මේක කිසිම දේක ප්‍රශ්නයක් කර ගන්න එපා. මේක වැඩ බිමක සාමාන්‍යයෙන් චීන කට්ටිය අඳින ඇඳුමක්. අපිත් ඒක ලොකුවට හිතුවේ නෑ. මොකද මේ කට්ටිය මෙහෙට ඇවිල්ලා මාස 06 ක් විතර වෙනවා. ඒ අය පාරේ සැරිසරනවා. දැන් මාසයක් මේ කට්ටිය තිස්සමහාරාමෙ ඉන්නවා. ඇත්තටම මම මෙක එකහෙලාම කියනවා මේක කවදාවත්, චීන හමුදා ඇඳුමක් මොකවත් නෙවෙයි, ඇවිත් වුණත් බලන්න පුළුවන්. බුද්ධි අංශ නිලධාරීනුත් මේක අල්ලලා බලලා අපිට කිව්වා මේක ප්‍රශ්නයක් වෙන්නේ නෑ කියලා”.
ඒ අතරේ මෙම ඇඳුම සම්බන්ධයෙන් උසස් හමුදා නිලධාරියකු පවසා තිබුණේ මෙවන් කතාවකි.
‘තිස්සමහාරාම වැවෙහි රොන්මඩ ඉවත් කිරිමේ කටයුතුවලට සම්බන්ධ වී සිටින චීන ජාතිකයින් අතර සිටින කිහිප දෙනෙකු එරට හමුදා ඇඳුමට සමාන ඇඳුමකින් සැරසී සිටියත් ඔවුන් හමුදා සාමාජිකයින් නොවෙයි. වැවේ රොන් මඩ ඉවත් කිරීමේ කොන්ත්‍රාත්තුව මෙරට කෙනෙක් අරගෙන ඔහු චීන සමාගමක් සමඟ සම්බන්ධ වෙලා මේක කරන්නේ. ඒ අනුව මෙහ වැඩ කරන චීන ජාතිකයන් හමුදා ඇඳුම් වලට සමාන ඇඳුම් ඇඳ සිටීම සාමාන්‍ය දෙයක්. සෑම චීන ජාතිකයකුම හමුදා පුහුණුවක් ලබන නිසා ඔවුන් හමුදා ඇඳුම් ඇඳ සිටීම සාමාන්‍ය දෙයක්‘
එදා රජ දවස මෙරට ඉදිකළ මහා වාරි ව්‍යාපෘතින්ට අමතරව ඒ ඒ ප්‍රදේශ ඉලක්ක කරගෙන ඉදිකළ කුඩා කුඩා වැව් කොතරම්ද යන්න සංඛාත්මකව කිව නොහැකි තරම්ය. ඒ තරමටම වැව් වලින් ජලයෙන් මේ රට ස්වයංපෝෂිතව පැවතුණි.එහෙත් අද වන විට යළ මහ කන්න දෙකට වගා කටයුතු කිරීමට තරම් ප්‍රමාණවත් ජලය රඳවා ගත හැකි වැව් පවතින්නේ කීයෙන් කීයක්ද යන්න සිතා බැලිය යුතුව තිබේ. ඇතැම් වැව් පැවතියත් ඒවායේ වගා කටයුතු කළ හැකිව ඇත්තේ එක කන්නයක් පමණකි. ගම් මට්ටමේ පැවති කුඩා කුඩා වැව් අද වන විට ඇත්තේ නමට පමණකි. ඒවායේ වතුර නොමැතිය. වැව් බොහොමයක් මේ වන විටත් ගොඩවි කැලෑවට යටවී හමාරය. මේ හේතු නිසා ගොවියෝද වතුර ඇත්නම් ගොවිතැන් කර නැත්නම් කුලියකට ගොස් කීයක් හරි සොයා ගැනිමට පුරුදුව ඇත්තේ වෙන විකල්පයක් නොමැති නිසා විය යුතුය.