
පසුගිය වසරේ ඔක්තෝබර් 03 වැනිදා මරණයට පත්වූ මීගමුවේ කෝටිපති ව්‍යාපාරික මීගමුව ප්‍රදේශයේ ජනප්‍රිය මීපුර ටයර් සෙන්ටර්හි හිමිකරු ෂලින්ද්‍ර ප්‍රියදර්ශන ප්‍රනාන්දුගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ මව සහ සහෝදර සහෝදරියන්ට පසුගිය කාලයේ දැඩි සැක සංකා මතුවී තිබිණි. ඒ අනුව මීගමුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ කරුණු මත සැකපිට ෂලින්ද්‍රගේ බිරිය 52 හැවිරිදි පුණ්‍යා දීපානි අතුකෝරාල සහ නිවෙස් මුරකරුවා ලෙස සේවය කළ මස්කෙළියේ පදිංචිකරුවකු වන 50 හැවිරිදි මුත්තුසාමි පලයණ්ඩි හෙවත් රවී නමැත්තාද අත්අඩංගුවට පත්වූයේ පසුගිය 24 වැනිදායි.
![]() |
මරණයට පත් ව්‍යාපාරික ෂලින්ද්‍ර ප්‍රනාන්දු |
මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය මඟින් අත්අඩංගුවට පත් දෙදෙනා අනතුරුව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් නිශේන්ද්‍ර ඒකනායක නියෝග කළේය.
මීගමුව කොළඹ ප්‍රධාන මාර්ගයේ තෙල්වත්ත හන්දියේ පිහිටි සිය නිවෙසේදී 59 හැවිරිදි ෂලින්ද්‍ර පසුගිය ඔක්තෝබර් මස 03 වැනිදා රාත්‍රියේ මියගොස් සිටියේ නිදි යහනේදියි. මීගමුව දිස්ත්‍රික් රෝහලේදී සිදු කළ ෂලින්ද්‍රගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළිවී තිබුණේ හිසෙහි ගෙඩියක් පුපුරා යාමෙන් මරණය සිදුව ඇති බවටයි. එ් මරණ පරීක්ෂණවලදී ඒ මොහොතේ නිවෙසේ සිටි බිරිය දීපානි සඳහන් කර තිබුණේ, සැමියා වොෂ් රූම් ගොස් පැමිණ මධුවිත උගුරක්ද බී නින්දට ගිය බවත්, එහිදී සැමියා දඟලන ශබ්දයක් ඇසුණු බවයි. පසුව තමන් ගොස් බලද්දී සැමියා මියගොස් සිටි බවද ඇය පවසා තිබුණාය.
අනතුරුව ෂලින්ද්‍රගේ දේහය සියලු ඥාති හිතවතුන්ගේ දුක් සෝ සුසුම් මැද මීගමුව බෝලවලාන රෝමානු කතෝලික සුසාන භූමියේදී මිහිදන් කෙරිණි. පළමු විවාහයේ වයස අවුරුදු 27ක් පමණ වන දියණියක ඇතුළු 1998 වසරේදී පමණ හලාවත කාන්තාවක වූ දීපානි සමඟ වූ දෙවැනි විවාහයෙන් දරුවන් තිදෙනෙක් සිටින ෂලින්ද්‍රගේ මරණය පිළිබඳව ඔහුගේ මව සහ සහෝදර සහෝදරියන්ට සැක සංකා මතුවන්නට විණි. ඒ, ෂලින්ද්‍රගේ මරණයෙන් මාස කිහිපයක් ඉකුත් වෙද්දියි. ඊට බොහෝ සේ පාදක වී තිබුණේ ෂලින්ද්‍රගේ බිරියගේ ක්‍රියා කලාපය බව ෂලින්ද්‍රගේ සහෝදර සහෝදරියන් පවසන්නට වූහ.
මීගමුව නගර මධ්‍යයේ ගොඩනැඟිලි, වෙළෙඳ ව්‍යාපාර සහ වතුපිටි හිමිකරුවකු වන වසර 40ක පමණ කලෙක සිට මීගමුවේ ව්‍යාපාර කටයුතුවල නිරත වූ ෂලින්ද්‍රගේ මරණය පිළිබඳ සැකය මත ඔහුගේ මව මියුරියල් පෙරේරා, වැඩිමහල් සහෝදරිය දේවිකා ප්‍රනාන්දු, බාල සහෝදරිය දීපිකා ප්‍රනාන්දු, බාල සහෝදරයා සෝහිත ප්‍රනාන්දු සහ මස්සිනා නොයෙල් වර්ණකුලගේ අස්සනින් යුතුව කරුණු 25කින් පමණ සමන්විත ලිපියක් යොමුකර තිබුණේ මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යවරයාටයි. ඒ ෂලින්ද්‍රගේ මරණයට හේතු වී ඇති කාරණා නැවත විමසා බලන ලෙසත් කිසියම් වරදක් සිදුවී තිබේ නම් ඊට වගකිවයුත්තන්ට නිසි දඬුවම් පමුණුවන ලෙසටද ඉල්ලමිනි.
2021 මාර්තු මාසයේ යොමුකර තිබූ එම ලිපිය මඟින් සඳහන් කොට තිබූ කරුණු පිළිබඳව වහා විමර්ශනයක් සිදුකරන ලෙසට බස්නාහිර පළාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමුකිරීමත් සමඟ ඒ පිළිබඳව මීගමුව කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා දැනුවත් කෙරිණි.
අනතුරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ උපදෙස් මත එම ලිපියට අදාළ කරුණු පිළිබඳව සොයා බැලීම මීගමුව සහකාර පොලිස් අධිකාරි අංක 1 නාලක ඩබ්ලිව්. සේනානායකගේ මෙහෙයවීමෙන් මීගමුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක උදයකුමාර වුඩ්ලර් ඇතුළු අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ජේ.එම්.එස්. ජයනාත් විසින් සිදු කෙරිණි.
එම විමර්ශනවලදී අනාවරණය වී තිබුණේ ෂලින්ද්‍ර මරණයට පත්වූ සැණින් ඔහු ඇඳ සිටි ඇඳුම් සහ නිදා සිටි ඇඳෙහි කොට්ට මෙට්ටද පුළුස්සා ඇති බවයි. මේ අතරේ නිවෙසේ මුරකරුද ෂලින්ද්‍රගේ මරණයෙන් දින කිහිපයකට පසුව නිවෙසින් යවා තිබිණි. ඔහු දමිළ ජාතිකයකු වූ මුත්තුසාමි පලයණ්ඩි හෙවත් රවීය. එකී පුද්ගලයාද මීගමුව අපරාධ විමර්ශන අංශයට කැඳවා ප්‍රශ්න කෙරිණි. අනතුරුව සහකාර පොලිස් අධිකාරි නාලක විසින් ඍජුවම මැදිහත් වී රවී දමිළ ජාතිකයකු හෙයින් භාෂා පරිවර්තනයට උපපොලිස් පරීක්ෂක කාර්තිපන්ද කැඳවා රවීගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරිණි. එහිදී රවී පාපෝච්චාරණය කළේ,
"මම කොට්ට මෙට්ට ගිනි තිබ්බෙ නෑ සර්... හැබැයි නෝනගේ කීමට මං එදා රෑ 11ට විතර මහත්තයගේ කාමරේට ගියා... ඒ වෙලාවේ නිදා සිටි මහත්තයගේ කකුල් දෙකෙන් නෝනා අල්ලා ගත්තා... නෝනා කිව්වා මට කොට්ටෙන් මූණ තද කරගෙන ඉන්න... මැරෙනකල්ම කියලා; මං එහෙම කළා..."
එම ප්‍රකාශයත් සමඟ පොලිස් අත්අඩංගුවට පත් රවීගේ දීර්ඝ පාපෝච්චාරණය මත ෂලින්ද්‍රගේ බිරිය දීපානිද පසුගිය 24 වැනිදා සිය නිවෙසේදී පොලිස් අත්අඩංගුවට පත්වූවාය. එහෙත් ඇය එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන්නීය.
අනතුරුව අධිකරණයට ඉදිරිපත් කළ දෙදෙනා රක්ෂිත බන්ධනාගාරගත කරද්දී ෂලින්ද්‍රගේ දේහය තැන්පත් බෝලවලාන සුසාන භූමියටද පොලිස් ආරක්ෂාව යෙද වූයේය. අධිකරණ නියෝග මත පසුගිය 30 වැනිදා නැවතත් ෂලින්ද්‍රගේ දේහය ගොඩ ගැනිණි. ඒ අනුව ෂලින්ද්‍රගේ මරණයට නිශ්චිතව හේතුව සොයා ගැනීමට ගොඩගත් දේහය කොළඹ අධිකරණ වෛද්‍ය සහ විෂවේද ආයතනයට යොමු කෙරිණි.
කා අතරත් ඉතාම සුහදශීලි ගුණ යහපත් පුද්ගලයකු වූ ෂලින්ද්‍ර මියගිය දිනයේදී සිය ව්‍යාපාරික ස්ථානයේ සියල්ලන්ටම වැටුප්ද ගෙවා සවස 5.30ට පමණ සිය නිවෙසට ගොස් තිබිණි. එදින ඔහුගේ නිවෙසට දේව ප්‍රතිමාව හෙවත් සුරුවම වැඩම කරවූ දිනයයි. එදා යාඥා මෙහෙයට සහභාගි වෙමින් ෂලින්ද්‍ර විසින් දේව මාතාවගේ ප්‍රාර්ථනාවද කියවා තිබිණි. තම සහෝදරයා හිටි හැටියේ මරණයට පත්වීමත් සමඟ ඔහුගේ බිරියගේ ක්‍රියාකලාපයන් නිසාවෙන් එම මරණය දැඩි සැකයට භාජනය වූ බව අපට කීවේ ෂලින්ද්‍රගේ බාල සහෝදරයා වන සෝහිත ප්‍රනාන්දුයි.
"ඇත්තටම අපේ අයියගේ මරණය පිළිබඳව ඔහු මැරිලා දින කීපයක් යද්දිම අපට සැක සංකා මතුවෙන්න ගත්තා. ඒකට බලපෑවේ අයියගේ බිරියගේ ක්‍රියාකලාපයන්. මිනිය ගෙදර තියෙද්දි ඇය ලෝයර් හමුවෙලා අහලා තියෙනවා ඔප්පු ලිව්වද කියලා. අයියා මැරෙන්න සති දෙකකට පෙර ලෝයර් ළඟදි මේ කාන්තාව කියලා ඇයට දේපළ ලියන්න කියලා. අයියා කියලා ඔයාට ලියන්න බෑ; මං දරුවන්ට ලියන්නෙ කියලා. ඒ සිද්ධියෙන් සති දෙකකට පස්සෙ අයියා මැරුණා. මේ දේවල්වලින් පැහැදිලි වෙනවා අයියගේ මරණය දේපළ ප්‍රශ්නයකට සිදු වූවක් කියලා.
අයියා මැරුණට පස්සෙ අයියගේ කෝටි ගාණක බඩු විකුණලා. ඉඩම්වල ගස් කපලා මහා විනාශ සිදුවුණා කෙටි කාලයක් තුළ. ඒවත් සමඟ අපි කරුණු 25ක් ඇතුළත්කොට ලිපියක් යොමු කළා; මහජන ආරක්ෂාව පිළිබඳව අමාත්‍යාංශයට. පසුගිය මාස කීපයේ සිදුවූ ඒ දේවල් නිසා අපට ආ සැකය නිසයි වගකිවයුත්තන්ට ලියලා මගේ අයියගේ මරණයට සාධාරණයක් ඉටුකරන්න කියලා ඉල්ලා සිටියේ.
ඒ වගේම මේ දේවල් මෙහෙම හරි අනාවරණය කරගන්න හැකි වුණේ සහකාර පොලිස් අධිකාරි නාලක මහතාගේ ඍජු මැදිහත් වීමෙන් සිදුකළ විමර්ශනවල ප්‍රතිඵල නිසා. නැත්නම් මගේ අයියගේ මරණයට මොකද වුණේ කියලා මෙහෙමවත් හොයාගන්න බැරි වෙනවා. ඒ නිසා මම මේ අවස්ථාවේ මීට මැදිහත් වුණ මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඇතුළු පොලිස් නිලධාරින්ට ස්තුතිවන්ත වෙනවා. නැවතත් මගේ අයියගේ මරණය පිළිබඳව විමර්ශනයක් ඇරැඹීම පිළිබඳව..."
ෂලින්ද්‍රගේ ගොඩගත් දේහය පිළිබඳව සිදුකරන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් බොහෝ දේ හෙළි වීමට ඉඩ තිබෙන බව මේ පිළිබඳ විමර්ශන සිදුකරන නිලධාරින්ගේ විශ්වාසයයි. එසේම ෂලින්ද්‍රගේ මරණය පිළිබඳව ඔහුගේ දූ දරුවන් ඇතුළු නිවෙසේ සිටින සේවිකාවන්ගෙන්ද ඉදිරියේදී ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බවත් විමර්ශන සිදුකරන නිලධාරියෙක් පැවැසීය.