
හපුතලේ වත්තේ පදිංචි වී සිටින මෝහන් රාජ් ගයාත්‍රිට සිය දෙවැනි දරුවා බිහි වූයේ ඉකුත් ජුනි 16 වැනිදා ය. එහෙත් ඈ පරීක්ෂා කළ වෛද්‍යවරුන් දෙවැනි දරු උපතට දින දී තිබුණේ ජූලි 02 වැනිදාට ය. දරුවා බිහි වීමට සති 2ක් පමණ ඇති බැවින් නිවසට ම වී සිටි ගයාත්‍රිට ජුනි 16 වැනිදා පාන්දර ජාමයේ ප්‍රසව වේදනාව ඇති විය. ඇගේ සැමියා අසල්වැසියකු කැඳවාගෙන එන මොහොතට ඇයට දරුවා ලැබී තිබිණි. එහෙත් මව සහ දරුවා සම්බන්ධ වී සිටින පෙකණිවැලෙන් වෙන් කිරීමට කිසිවකුට හැකියාවක් හෝ දැනුමක් තිබුණේ නැත. අසල්වැසියා ක්ෂණිකව 1990 සුවසැරිය ගිලන්රථ සේවාව ඇමතුවේ උපකාරයක් අපේක්ෂාවෙනි. ඇමතුම ලද විගසම ක්‍රියාත්මක වූ 1990 සුවසැරිය ගිලන්රථය සුපුරුදු වේගයෙන් ගමන් අරඹා විනාඩි කීපයක් ඇතුළත හපුතලේ වත්තට සේන්දු විය. එහෙත් දරුවකු ලැබුණු මවක් වෙනුවෙන් කටයුතු කිරීම සඳහා වෛද්‍යවරයකු, හෙදියක හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියක එහි සිටියේ නැත. සියලු වගකීම් පැවරී තිබුණේ ගිලන්රථයේ සිටින හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණ නිලධාරි සිතිජ සත්සරට ය.
සිතිජ සත්සර කලබල වූයේ නැත. ඔහු සිද්ධිය හොඳින් නිරීක්ෂණය කළේය. මව සහ දරුවා පෙකණිවැලෙන් වෙන් නොකළහොත් දෙදෙනාගේ ම ජීවිත අනතුරේ බව ඔහු හොඳින් දැන සිටියේය. ඔහු තම වෛද්‍යවරයාට දුරකතන ඇමතුමක් ගෙන සිද්ධිය පැහැදිලි කළේ එබැවිනි. සිතිජ සත්සර මීට පෙර මෙවැනි අත්දැකීමකට මුහුණ දී තිබුණේ ද නැත. ඔහු මීට පෙර වින්නඹුකම් කර තිබුණේ ද නැත. එහෙත් ඔහු වෛද්‍යවරයාගේ උපදෙස් අනුව මව සහ දරුවා පෙකණිවැලෙන් වෙන් කළේය. අනතුරුව බිලිඳාව පිරිසිදු කර රෙදිකඩක එතීය. ඉන් අනතුරුව මවත් බිලිඳු දරුවාවත් පරිස්සම් සහගතව ගිලන් රථයට නංවාගෙන කිලෝ මීටර් 10ක් පමණ දුරින් පිහිටි දියතලාව මූලික රෝහලට රැගෙන ගියේය.
“ඒ මහත්තයා නම් දෙවියෙක්.“ යනුවෙන් ගයාත්රිගේ සැමියා වන ෂන්මුගරාජ් පැවසුවේ දරුවාගේත් මවගේත් ජීවිත බේරා දුන්නේ සිතිජ සත්සර නිසාය. එදා 1990 සුවසැරිය ගිලන්රථය හපුතලේ වත්තට ළඟා නොවුණා නම් ගයාත්රිගේත් බිලිඳාගේත් ජීවිත මොන ආකාරයට විසඳේවිදැයි සිතාගත නොහැකිය.
මේ ආකාරයට හදිසියේ දරුවන් බිහි වීම නිසා 1990 සුවසැරිය ගිලන් රථ සේවයට පින්සිදු වන්නට ජීවිත බේරා ගත් අවස්ථා අපමණය. 2016 ජූලි මාසයේ බස්නාහිර හා දකුණු පළාතෙන් ආරම්භ කළ 1990 සුවසැරිය ගිලන්රථ සේවාවේ, ගිලන්රථයක් තුළ ප්‍රථම වරට දරු උපතක් සිදු වූවේ 2016 දීය. ඒ මාතර තෙලිජ්ජවිල ප්‍රදේශයේ මවක් රෝහලට රැගෙන යන අතරතුරදීය. මෙම කටයුත්තට සහභාගි වී තිබුණේ මාතර අකුරැස්සේ ස්ථානගත කර තිබූ ගිලන්රථයයි. එහි සිටි හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදි රම්‍යා මධුභාෂිණී විසින් දරු උපතේ කටයුතු සිදු කර තිබිණි.
“මගේ සේවා කාලය තුළ ඔය වගේ සිද්ධි 4කට මුහුණදීලා තියෙනවා. ඉස් ඉස්සෙල්ලාම මම මුහුණ දුන්නේ නිට්ටඹුව ඌරාපොල ප්‍රදේශයේ මවකගේ දරු ප්‍රසූතියේදී. එදා උදේ 10.00ට විතර ඇති. අපිට පාරේ ඉන්න ට්‍රැෆික් පොලිස් නිලධාරි කෙනකු තමයි කෝල් කරලා කිව්වේ. බබෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුට අමාරු වෙලා ත්‍රීවිලරයක ඉස්පිරිතාලෙට ගෙනියන ගමන් මඟදි ගොඩාක් අමාරු වෙලා කියලා. ඒනිසා ත්‍රීවීලරය මඟ නවත්තලා. ඊටපස්සේ පාරේ රාජකාරි කරකර හිටපු පොලිස් නිලධාරින් දෙන්නෙකුත් එතනට ඇවිත් තිබුණා. අපි එතනට යනවිට ඒ අම්මාට දරුවා ලැබෙන්න ඔන්න මෙන්න. බබාගේ ඔළුවත් යාන්තමට වගේ පෙනුණා. ඒ වගේ අවස්ථාවක අම්මාව ඉස්පිරිතාලෙට ගෙනියන්න බැහැනේ. අඩු ගණනේ ඒ අම්මාව ගිලන් රථයේ ඇඳටවත් ගන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. බබාලා හම්බ වෙන වෙලාවට පාවිච්චි කරන උපකරණ කට්ටලයක් අපේ ගිලන් රථවලට දීලා තියෙනවා. මම ඒ උපකරණ අරගෙන බබා එළියට ආවාට පස්සේ පෙකණිවැල කැපුවා. ඊටපස්සේ බබාව ශුද්ධ පවිත්‍ර කරලා අම්මාගේ බෑග් එකේ තිබුණු ඇඳුමක් බබාට ඇන්දුවා. එදා ඉපදුණේ ගෑනු ළමයෙක්. අපිට පුහුණුවීමේදි බබෙක් ලැබුණොත් කටයුතු කරන්න ඕනෑ කොහොමද කියලා උපදෙස් දීලා තිබුණේ. මම ප්‍රථම වතාවට වුණත් පුහුණුවීමේදී දුන් උපදෙස් අනුව වැඩ කළා. එදා මට මම ගිය ගිලන් රථයේ රියදුරු වගේම පොලිස් නිලධාරින් දෙදෙනා දීපු සහයෝගය අමතක කරන්න බැහැ. ඒ අම්මාව ගෙනියපු ත්‍රීවීලරය නවත්තලා තිබුණේ වාහනයක්වත් අයිනට ගන්න බැරි පටු තැනක. අපිට අපේ ගිලන් රථය නවත්වා ගන්නවත් ඉඩක් තිබුණේ නැහැ. ඒ මදිවාට පාරේ වාහන තදබදය. පාරේ වාහන එහා මෙහා කරලා අපිට ඉඩ හදලා දුන්නේ ඒ පොලිස් නිලධාරින්. ඒ අම්මා හිටපු ත්‍රීවීලරය ඉටිකොළයකින් ආවරණය කරලා දුන්නේ ඒ පොලිස් නිලධාරීන්.“ යනුවෙන් විස්තර කළේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදී ලෙස කලක් සේවය කළ මයුමි ප්‍රියංගිකා වීරසිංහයි. දැන් ඈ සුවසැරිය ගිලන්රථ සේවයේ කටයුතු කරන්නේ නැත.
හදිසි දරු උපතකදී කටයුතු කළ ආකාරය ගැන විස්තර කළ මයුමි ප්‍රියංගිකා වීරසිංහ, ඈ විශේෂයෙන් අමතක නොකළ කාරණා 2ක් ගැන සඳහන් කළාය. ඉන් ප්‍රධානතම කරුණ වූයේ බිලිඳාගේ හැඬීමයි. අනෙක් කරුණ වූයේ දරුවාගේ උපන් වේලාව සටහන් කර ගැනීමයි. කෙසේ නමුදු මූලික කටයුතු අවසන් කිරීමෙන් පසුව ඈ ගිලන් රථයෙන් මවත් බිලිඳියත් රෝහලට ගෙන ගොස් තිබිණි.
තවත් අවස්ථාවකදී මයුමි ප්‍රියංගිකා සේවය කළ ගිලන් රථයට පාන්දර 2.00ට ඇමතුමක් ලැබුණේ නිට්ටඹුව ප්‍රදේශයේ ගැබිනි මවක් ප්‍රසව වේදනාවෙන් පෙළෙන බැවින් ඇයව රෝහලකට කැටුව යායුතු බවයි. ගිලන්රථය එහි ළඟාවන විට මවගේ වතුර බෑගය කැඩී ළඟ ළඟම ප්‍රසව වේදනාව දැනෙමින් තිබිණි. රෝහලට රැගෙන යෑමට මෙය අවස්ථාව නොවන බව වටහාගත් ඈ නිවසේම බිම හාන්සි කරවා දරුවා ලැබීමට උපකාර කිරීමෙන් පසුව මව සහ දරුවා රෝහල වෙත රැගෙන ගියාය.
“මම මාතර වැඩ කරද්දි මාලිම්බඩ ප්‍රදේශයේ අම්මා කෙනෙකුට අමාරුයි කියලා කෝල් එකක් ආවා. අපි යනකොට ඒ අම්මාට බබා ලැබිලා. මම පෙකණිවැල කපලා පිරිසිදු කිරීම් කරලා අම්මාගේ වැදෑමහත් බෑග් එකකට දාගත්තා. මොකද අපිට පුහුණුවේදී කියලා දීලා තියෙනවා රෝහලකට බාරදෙන විට වැදෑමහත් බාරදෙන්න කියලා. වෛද්‍යවරුන්ට මවගේ තත්ත්වය ගැන එයින් දැනගන්න පුළුවන්. ඉතින් මමත් ඒ කටයුතු ඒ ආකාරයටම සිද්ධ කරලා අම්මාගේ සායනික කාඩ්පත ඉල්ලුවා. සාමාන්‍යයෙන් අම්මා කෙනෙක් බබෙක් ලැබෙන්න රෝහලකට යනවිට මේ කාඩ්පත අනිවාර්යයෙන්ම ගෙනියනවානේ. ඒත් මේ අම්මා ළඟ සායනික කාඩ්පතක් නැහැ. එයා කියනවා එයාට බබෙක් ලැබෙන්න ඉන්න බව එයා දන්නේ නැතිලු. කොහොමහරි අපිට තේරුණා මේ අම්මා වහං කරගෙන හොර රහසේ කරන්න තමයි ඉඳලා තියෙන්නේ. ඒ අම්මාට විවාහ වුණ දරුවොත් හිටියා. ඒනිසා ලැජ්ජාවට වෙන්න ඇති එහෙම ඉන්න ඇත්තේ. ඒ අම්මා දරුවා ලැබෙන්න දඟලද්දි අවු: 14ක 15ක විතර පුතෙක් ළඟ ගෙදරකට ගිහින් කියලා තියෙනවා අම්මාට මොනවාද වෙලා කියලා. අල්ලපු ගෙදර ගෑනු කෙනා ඇවිත් බලලා තමයි අපිට කෝල් කළේ. අම්මාගේ සායනික කාඩ්පතක් නැතිව අපිට රෝහලට බාරදෙන්න පුළුවන්කමක් නැහැ. ඒනිසා අපි පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේ ගෙදරට ගිහින් එයාවත් අරගෙන අම්මාවයි බබාවයිත් ගිලන් රථයට දමාගෙන ගිහින් රෝහලට බාර දුන්නා.“ යනුවෙන් පැවසුවේ ෂෙහාන් දිල්හාර වික්‍රමසේකර ය. ෂෙහාන් ද සුවසැරිය ගිලන්රථ සේවයේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදියකු ලෙස කටයුතු කර, දැනට සේවය අවසන් කළ අයෙකි.
මීට අමතරව සුවසැරිය ගිලන්රථ තුළ නිවුන් දරු උපත් ද වාර්තා වී තිබේ. එවැනි දරු උපතක් මුල් වරට වාර්තා වී තිබෙන්නේ දෙණියාය ප්‍රදේශයෙනි. එදා 2017 වර්ෂයේ සිංහල හා දෙමළ අලුත් අවුරුදු දිනය විය. අවුරුදු නැකත යෙදී තිබුණේ උදෑසන 7.05ටය. උදෑසන 7.02ට සුවසැරිය ගිලන්රථ සේවයට ඇමතුමක් ලැබිණි. එයින් දැනුම් දෙනු ලැබුවේ දෙණියාය අනිල්කන්දේ මවක් ප්‍රසව වේදනාවෙන් පෙළෙන බවයි. ඒ මවට දින දී තිබුණේ අප්‍රේල් 22 දාය. ඔවුන් රෝහලකට යෑමට ත්‍රීරෝද රථ කීපයකට කතා කර තිබුණත් අලුත් අවුරුදු නැකත යෙදී තිබෙන බැවින් කිසිම ත්‍රීරෝද රථ රියදුරකු මව රැගෙන රෝහලට යෑමට පැමිණ තිබුණේ නැත. අවසානයේදී ඔවුන් පිහිට පැතුවේ සුවසැරිය ගිලන්රථ සේවාවයි. ඒ වන විට සෑහෙන කාලයක් ඉක්ම ගොස් තිබිණි. ගිලන්රථය අනිල්කන්දට පැමිණෙන විට හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදිනිය දුරකතනයෙන් මවගේ තත්ත්වය විමසමින් පැමිණියේ අවශ්‍ය උපදෙස් ද ලබා දෙමිනි. සුවසැරිය ගිලන්රථය පැමිණි වහාම ගැබිනි මව ගිලන් රථයෙන් රෝහල කරා රැගෙන යෑමට කටයුතු කෙරිණි. එහෙත් පෙ:ව: 7.58ට ගිලන් රථය තුළදීම ඈ එක් දරුවකු ප්‍රසූත කළයා. ඊට ස්වල්ප වේලාවකට පසුව දෙවැනි දරුවා ද ප්‍රසූත කළ අතර නිවුන් දරුවන් දෙදෙනාගේම කටයුතු සිදු කෙරුණේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදිනිය අතිනි.
තවද සුවසැරිය ගිලන්රථයක් පැමිණෙන තුරු නොසිට ප්‍රසව වේදනාවෙන් පෙළෙන ගැබිනි මවක් ත්‍රීරෝද රථයකින් රෝහලට පැමිණෙන විට අතරමඟදී හමුවූ ගිලන් රථයට රෝගියා මාරු කළ පසුව දරුවකු බිහි කළ පුවතක් වාර්තා වූයේ බදුල්ල ප්‍රදේශයෙනි. ඒ 2018 සැප්තැම්බර් 25 වැනිදා ය. බදුල්ල පුස්වැල්කන්ද ප්‍රදේශයේ ගැබිනි මවක් ප්‍රසූත වේදනාවෙන් පෙළෙන බැවින් 1990 සුවසැරිය ගිලන්රථයකට ඇමතුමක් ලැබිණි. ඒ වන විට බදුල්ල පොලිස් ස්ථානයේ තිබූ සුවසැරිය ගිලන් රථය වහාම ක්‍රියාත්මක විය. එය පුස්වැල්කන්ද කරා යන විට ගැබිනි මව ත්‍රීරෝද රථයකට නංවාගෙන නිවැසියන් රෝහල කරා පැමිණෙමින් සිටියේ කාලය අපතේ යැවිය නොහැකි නිසාය. අතරමඟදී ගිලන්රථය හමු විය. ත්‍රීරෝද රථයේ සිටි ගැබිනි මව ගිලන් රථයට මාරු කෙරිණි. සුවසැරිය ගිලන් රිය වේගයෙන් ඉගිළුණත් එය රෝහල කරා ළගා වන තෙක් ප්‍රසව වේදනාව ඉවසා දරාගෙන සිටිය නොහැකිය. ගිලන් රථය තුළදීම මව දරුවා ප්‍රසූත කළාය. දරුවා බිහි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයූ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදිනි සුලක්ෂි ප්‍රසාදිනි, පෙකණිවැල කපා දරුවා ඉවතට ගෙන ශුද්ධ පවිත්‍ර කර සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කළාය. අවසානයේදී මව සහ බිලිඳා බදුල්ල රෝහලට රැගෙන ගොස් බාර දෙනු ලැබිණි.
වරක් මාළිගාවත්ත මහල් නිවාසයක පදිංචි මවක් වෙනුවෙන් දුරකතන ඇමතුම ලැබී තිබුණේ අලුයම 3.25ට පමණය. මරදාන සුවසැරිය ගිලන්රිය එහි ළඟා වන විට කාන්තාවට දරුවා බිහි වෙමින් තිබුණේ ඈ නාන කාමරයේ ලිස්සා වැටීම හේතුවෙනි. මෙම අවස්ථාවේ හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදිනි රූමධු ලක්ෂාණි ඇයට දරුවා බිහි කිරීමට පහසුකම් සලසා මවත් බිහිවූ පිරිමි දරුවාත් කොළඹ ද සොයිසා කාන්තා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළාය. මෙහිදී ගිලන් රථ රියදුරු සරත් කුමාර ද රූමධු ලක්ෂාණිට සහාය වී තිබිණි.
තවත් අවස්ථාවක වැල්ලම්පිටිය ප්‍රදේශයේ නිවසක ගැබිනි මවකට ප්‍රසව වේදනාව ඇති වී තිබෙන බවට දුරකතන ඇමතුමක් ලැබිණි. වැල්ලම්පිටිය සුවසැරිය ගිලන්රථයේ සේවය කරන හදිසි වෛද්‍ය ප්‍රතිකාර තාක්ෂණවේදිනි අකලංකා රණසිංහ සහ රියදුරු අමිල බාලසූරිය එහි ළඟා වන විට ඇය ද දරුවා ප්‍රසූත කරමින් සිටියාය. එහෙත් දරුවා බිහි වෙමින් සිටියේ අසාමාන්‍ය ආකාරයටය. මේ වන විට පවුල් සෞඛ්‍ය නිලධාරිනිය ද පැමිණ සිටි බැවින් ඇගේ සහය ඇතිව අකලංකා නොබියව එම අවස්ථාවට මුහුණ දී දරුවාට මෙලොව එළිය දකින්නට වරම් ලබා දුන්නාය. නමුත් දරු ප්‍රසූතිය අසාමාන්‍ය අයුරින් සිදුවීම නිසාත් සති 30කින් දරු උපත සිදුවීම නිසාත් දරුවා හුස්ම ගත්තේ නැත. වහාම ක්‍රියාත්මක වූ අකලංකා බිලිඳාට කෘත්‍රිම ශ්වසනය ලබා දෙමින් මව සමඟ ද සොයිසා කාන්තා රෝහලට රැගෙන ගියාය. ඇගේ කැපවීම නොවන්නට බිලිඳාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වන්නේ නැත.
මේ ආකාරයට සුවසැරිය ගිලන්රථ තුළ දරුවන් බිහි වූ අවස්ථා බොහෝ ය. එය එක් ප්‍රදේශයකට පළාතකට සීමා වී නැත. ලංකාවේ සෑම පළාතකම අස්සක් මුල්ලක් නෑර සුවසැරිය ගිලන්රථ සේවාවේ ප්රතිලාභ ලැබූ අය බොහෝ සිටිති. සුවසැරිය ගිලන්රථ 298කින් සහ සේවක සේවිකාවන් 1364 දෙනකුගෙන් ලංකාවම ආවරණය කරමින් මහජන සේවයට ඇපකැප වී සිටින සුවසැරිය ගිලන්රථ සේවයට නව ගිලන් රථ 112ක් එකතු කිරීමට එකඟත්වය මේ වනවිට පළ වී තිබේ. ඉන් අනතුරුව සුවසැරිය ගිලන්රථවලින් වඩාත් කාර්යක්ෂම සේවයක් සැලසෙනු නොඅනුමානය.