ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය දුස්රා පන්දුවක් ද? | Page 4 | සිළුමිණ

ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය දුස්රා පන්දුවක් ද?

- මේ ඉතිහාසයේ 50 වැනි විශ්වාසභංගයයි 
- අගමැතිවරුන් 4 දෙනෙකුට විශ්වාසභංග
- 1992 වසරේදී විශ්වාසභංග 4ක් 
- මුල්ම විශ්වාසභංගය ගෙනාවේ 1949 සැප්තැම්බර් 20 දා
- හඬ අනුව විශ්වාසභංගයක් සම්මත කිරීම දින 52 ආණ්ඩු කාලයේදි

කොරෝනා වසංගතය හේතුවෙන් ජන ජිවිතය අවුල්ව තිබියදී ජනතාවට තව තවත් බර පටවමින් තෙල් මිල ඉහළ දැමීම පිළිබඳ චෝදනාව එල්ල වූයේ බලශක්ති ඇමැති උදය ගම්මන්පිලටය. මේ හේතුවෙන් විපක්ෂය විසින් පසුගියදා කරුණු 10 ක් පදනම් කර ගනිමින් ඔහුට එරෙහිව වූ විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූයේ මේ මස 19 සහ 20 යන දෙදින ඇමැති උදය ගම්මන්පිලට එරෙහිව වූ මේ විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීමට දින නියම වී ඇති බවය.

මෙම විශ්වාසභංගයට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 43 දෙනෙකු අත්සන් යොදා තිබුණි. විවාදයට ගන්නා දිනය තීරණය කිරීමෙන් පසුව මෙම යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙනු ඇත. ඇමැති ගම්මන්පිලට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙසේ ඇතුළත් කරනු ලැබ ඇත්තේ පසුගිය 23 වැනිදා නිකුත් කෙරුණු පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයටය. විශ්වාසභංග යෝජනා හෙවත් No Confidence Motions අපේ පාර්ලිමේන්තුවට අලුත් අත්දැකීමක් නොවෙයි. පාර්ලිමේන්තු අතීතයට දිවයන විට මෙය 50 වැනි විශ්වාසභංගයයි. බොහෝ විට විපක්ෂයක් විසින් විශ්වාසභංගයක් ඉදිරිපත් කරන්නේ එවකට පවතින රජයට, අගමැතිවරයෙකුට, කථානායකවරයකුට හෝ වෙන යම් රජයේ අමාත්‍යවරයෙක්‌ කෙරෙහි හෝ රටේ ජනතාව විශ්වාසයක්‌ නැති බව හැඟවීමටය.

පාර්ලිමේන්තු විශ්වාසභංග යෝජනාවක් මුලින්ම කරලියට නැගෙන්නේ 1949.09.20 දිනකය. ඒ වන විට පාර්ලිමේන්තුවේ කතානායකවරයා වූයේ ෆ්‍රැන්සිස් මොලමුරේය. පවත්නා රජයට විරුද්ධව ඉදිරිපත් වූ මේ යෝජනාව ඉදිරිපත් කළේ ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා වන අතර ස්ථීර කර ඇත්තේ මන්ත්‍රීවරයකු වූ කේ. රාජලිංගම්ය. මුලින්ම ඉදිරිපත් වූ මේ විශ්වාසභාංගය පරාජයට පත් වී ඇත්තේ පක්ෂව ඡන්ද 30 ක් හා විපක්ෂව ඡන්ද 55 ක් ලබමිනි. 1950 වසරේදි දෙවරක්ම විශ්වාසභාංග ගෙනෙන්නේ පැවැති රජයට විරුද්ධවය.

ලංකාවේ අගමැතිවරයකුට විරුද්ධව ඉදිරිපත් කළ මුල්ම විශ්වාසභාංගය වන්නේ එවකට අගමැතිව සිටි එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායකට ඉදිරිපත් කළ විශ්වාසභාංගයයි. ඒ 1957.09.04 වැනි දිනය. මේ වන විට පාර්ලමේන්තුවේ කතානායකවරයා වූයේ එච්. එස්‌. ස්‌මයිල්ය. මෙහි යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ මන්ත්‍රී සී. සුන්දරලිංගම් වන අතර සී. වන්නිසිංහම් මන්ත්‍රීවරයා එය ස්ථීර කර ඇත. එස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක අගමැතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෙම විශ්වාසභාංගය පරාජය වී ඇති අතර පක්ෂව ඡන්ද හිමි වී ඇත්තේ 1 ක් හා විරුද්ධව ඡන්ද 45 ක් ලැබී ඇත. එහිදි වඩාත් හාස්‍යයට කරුණක් වී ඇත්තේ මෙම යෝජනාව ඉදිරිපත් කළ හෝ ස්ථීර කළ මන්ත්‍රිවරුන්ගෙන් එක් අයෙකු ඊට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කිරීමය.

ඉන් අනතුරුව 1958 හා 1959 වසරේදී පැවැති රජයට විරුද්ධවත්, 1960 දෙසැම්බර් හා 1961 යළිත් වරක් ස්වදේශ කටයුතු ඇමැති මහනාම සමරවීරට එරෙහිව විශ්වාසභංගයක් ගෙනෙන්නේය. 1965 වසරේ අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ඊරියගොල්ලටත්, 1965 හා 1966 වසරේ පැවැති රජයටත් විශ්වාසභංග ඉදිරිපත් වන අතර 1966 දි පැවැති රජයට විරුද්ධව විශ්වාසභංගය ගෙනෙන්නේ දොඩම්පේ මුදලාලිගේ මරණය සම්බන්ධයෙනි. යළිත් 1966 නියෝජ්‍ය කතානායක ෂර්ලි කොරයාට විශ්වාසභංගයක් ගෙනෙන අතර 1968 වසරේ තුන් වරක් විශ්වාසභාංග ඉදිරිපත් වන්නේය. ඒ මාර්තු හා මැයි මස පැවැති රජයට හා ඔක්තෝම්බර් මස අධ්‍යාපන හා සංස්කෘතික ඇමැති ඊරියගොල්ල විරුද්ධවය. යළිත් 1969 වසරේ කම්කරු ඇමැතිව සිටි එම්.එච් මොහොමඩ්ටත්, 1972 වසරේ හා 1973වසරේ දෙවරක් පැවැති රජයන්ට විරුද්ධව විශ්වාසභාංග ඉදිරිපත් වන අතර ඒවා පරාජයට පත් වන්නේය. 1975.12.23 දින අගමැතිවරයෙකු වශයෙන් දෙවැනි විශ්වාසභංගයක් පැමිණියේ අගමැතිනි සිරිමාවෝ බණ්‌ඩාරනායකටය.

මේ වන විට පාර්ලිමේන්තුවේ කතානායකවරයා වී ඇත්තේ ස්‌ටැන්ලි තිලකරත්නය. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මෙම විශ්වාසභාංග යෝජනාව ඉදිරිපත් කළ අතර ප්‍රින්ස්‌ ගුණසේකර එම යෝජනාව ස්‌ථිර කර ඇත. මෙයද ඒ වන විට පාර්ලිමේන්තුවේදි විවාදයට බඳුන් වූ අතර මෙම යෝජනාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 43 දෙනෙකු පක්ෂවත්, 100 දෙනෙකු විරුද්ධවත් ඡන්දය ප්‍රකාශ කළහ. 1976 වසරේ එවකට අධිකරණ හා මුදල් ඇමැති වූ පිලිප්ස් බණ්ඩාරනායකට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනා අතර එයද පරාජයට පත්විය.

පාර්ලිමේන්තු විශ්වාසභාංග යෝජනා කතානායකවරුන්ටද එල්ල වූ අවස්ථා ඕනැ තරම්ය. එකවර විශ්වාසභංග දෙකක් එල්ල වීමේ ඉතිහාසගත වාර්තාවකට හිමිකම් කියූවේ කතානායක එම්. එච්. මොහොමඩ්ය. ඒ 1991 සහ 1992 වර්ෂවලදීය. මීට අමතරව කතානායකවරුන් වන ආර්. එස්‌. පැල්පොල කතානායකවරයාට 1963 වසරේදිද, ෂර්ලි කොරයා කතානායකවරයාට 1966 වසරේදිද, එම්. ඒ බාකිර් මාකාර් කතානායකවරයාට 1980 වසරේදිද විශ්වාසභාංගයන්ට මුහුණ දීමට සිදු විය.

විපක්ෂ නායකවරුන්ටද විශ්වාසභංගයනට මුහුණ දෙන්නට සිදු වූ වාර අපේ පාර්ලිමේන්තු ඉතිහාසයේ පවතියි. ඒ. අමිර්තලිංගම් විපක්ෂනායකවරයාව සිටි කාලයේදී එනම් 1981.07.23 දින විශ්වාසභාංගයක් ඉදිරිපත් වූ අතර මේ විශ්වාසභාංගය ආණ්ඩු පක්ෂය විසින් ජයග්‍රහණය කිරීමෙන් පසුව ඔහුට විපක්ෂ නායක ධූරයද අහිමි විය. මෙම විශ්වාසභාංගයේදි 121 දෙනෙකු පක්ෂව ඡන්දය ලබා දී තිබුණි. පාර්ලිමේන්තු ඉතිහාසයේ විශ්වාසභංගයක් පරාජයට පත් වූ එකම අවස්ථාව ද මෙය වෙයි. 1983,1984 පැවැති රජයට විරුද්ධව විශ්වාසභංග ගෙනෙන අතර ඒවාද පරාජයට පත් වන්නේය.

1992 වසරේ විශ්වාසභාංග 4 ක් ඉදිරිපත් වීම සුවිශේෂි කරුණකි. ඒ රජයට විරුද්ධව විශ්වාසභංග දෙකක් හා මුදල් ඇමැතිව සිටි ඩී.බි විජේතුංගට හා එම්.එච් මොහොමඩ්ට විරුද්ධවය.

1994 යළිත් වරක් පැවැති රජයට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන එයි.

වර්තමානය දෙස අවධානය යොමු කරන විට 1998 වසරේ එවකට තැපැල් හා විදුලි සංදේශ ඇමැතිව සිටි මංගල සමරවීරට විරුද්ධවත් , 2002 වසරේදි ඇමැති ජෝන් අමරතුංගටත්, 2003 දී ආරක්ෂක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති වූ තිලක් මාරපනටත්, 2010 වසරේදී එවකට අභ්‍යන්තර කටයුතු ඇමැති ව සිටි ජී.එල් පීරිස්ට විරුද්ධවත් ගෙන ආ විශ්වාසභංග අප මතකයේ තවමත් රැඳී පවතියි.

ලංකාවේ අගවිනිසුරුවරයකුට විරුද්ධව ගෙනා මුල්ම හා එකම දෝෂාභියෝගය ගෙනාවේ 2013 වසරේදීය. ඒ හිටපු අගවිනිසුරුවරියක වූ ශිරාණි බණ්ඩාරනායකට විරුද්ධවය. 2013 වසරේ විදේශ කටයුතු හා සමාජ සේවා ඇමැති වූ ඩිලාන් පෙරේරාටත්, 2014 වසරේදී එවකට පැවැති රජයේ මුදල් ඇමැතිව සිටි රවී කරුණානායකට විරුද්ධව ගෙනා විශ්වාසභංග යෝජනා පරාජයට පත් කරන්නට හැකි විය.

අගමැතිවරයෙකුට විරුද්ධව එල්ල වූ 3 වැනි විශ්වාසභාංග යෝජනාව වූයේ පසුගිය රජයේ අගමැති රනිල් වික්‍රමසිංහටය. ඒ රජයේ නොසැලකිල්ල නිසා පාස්කු ප්‍රහාරය සිදු වූ බව මුල්කර ගනිමින් කරුණු 14 ක් පදනම් කරගෙන ගොඩනඟා තිබූ තර්කයි. චෝදනාව එල්ල වී තිබුණේ අගමැතිවරයාට හා කැබිනට් මණ්ඩලයට ය.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව 55 දෙනෙකුගේ අත්සනින් යුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම විසින් ඉදිරිපත් කරන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්දයෙන් පරාජයට පත්විය. දින 52 රජය කාලයේ අගමැති වු මහින්ද රජපක්ෂට විරුද්ධව 2018 නොවැම්බර් මස පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා, 'පත්කළ අග්‍රාමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවක්' ඉදිරිපත් වූ අතර මන්ත්‍රීවරුන්ගේ 'හඬ අනුව' එය සම්මත කළ බව එවකට කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළේය.

නොවැම්බර් 15 වැනිදා පාර්ලිමේන්තුව රැස්වූ අතර පෙර දිනයේ සම්මත වූ විශ්වාසභංගය හේතුවෙන් අග්‍රාමාත්‍යවරයෙකු නොමැති බව කතානායකවරයා ප්‍රකාශ කළ අතර පසුදින එනම් නොවැම්බර් 16 වැනිදා පාර්ලිමේන්තුව තුළ දැඩි කලබලකාරී වාතාවරණයක් ඇතිවූ අතර, දැඩි පොලිස් ආරක්ෂාව සහිතව පාර්ලිමේන්තුවේ තාවකාලික අසුනක සිට කතානායකවරයා දෙවන විශ්වාසභංග යෝජනාව පිළිබඳ ඡන්ද විමසීම කර 'හඬ අනුව' ප්‍රතිඵලය ප්‍රකාශ කර සිටියේය.

පාර්ලිමේන්තුව තුළ මිරිස් කුඩු ප්‍රහාර එල්ල වූයේ එයින් අනතුරුවය.

ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ජනාධිපතිවරයකුට විරුද්ධව විශ්වාසභාංගයක් ඉදිරිපත් නොවුණද, එවකට ජනාධිපති ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයාට එරෙහිව එල්ල වූ දෝෂාභියෝගයද පාර්ලිමේන්තුවට නොපැමිණම ඉවතට විසි විය.

එම දෝෂාභියෝගයට ප්‍රධානම හේතුවක් වූයේ ප්‍රේමදාස ජනාධිපතිවරයා තමන්ගේ අගමැති ධුරය සඳහා එවකට එක්සත් ජාතික පක්ෂ ප්‍රබලයන් දෙදෙනෙකු වූ ගාමිණී දිසානායක සහ ලලිත් ඇතුලත්මුදලි යන දෙදෙනාටම අවස්ථාවක් නොදී ඩී. බී විජේතුංගව පත් කිරීමය.

විශ්වාසභංගයක් යනු සම්ප්‍රදායානූකූලව අතීතයේ සිට පාර්ලිමේන්තු සම්ප්‍රදායට අනුව පැවැත එන්නෙකි.

ඒ නිසාවෙන් එය කොයි ආකාරයෙන් සකස් විය යුතුදැයි සඳහන් වූ නිතිරීති පද්ධතියක් නොමැත්තේය. නමුත් පාර්ලිමේන්තුවට විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වු පසු එය පාර්ලිමේන්තු සම්ප්‍රදායන්ට අනකූලව පවතීනම් එය පිළිගැනීමේ හැකියාව කතානායකවරයාට පවතියි.

එය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට දින නියමයක් නොමැති යෝජනාවක් සේ පාර්ලිමේන්තුවේ න්‍යාය පුස්තකයට ඇතුළත් කෙරෙයි.

අනතුරුව දැනුම් දෙන ලද දින සිට දින 05 ක්‌ ඉකුත් වන තෙක්‌ මිස එම යෝජනාව න්‍යාය පත්‍රයට ඇතුළත් කර විවාදයට ගත නොහැකි වන අතර විවාදය සඳහා දින නියම වීම හා ඡන්ද විමසීම් කෙරෙන දිනය තීන්දු කෙරෙන්නේ කතානායකවරයාගේ මූලිකත්වයෙන් යුත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමෙන් අනතුරුවය.

ඉන් අනතුරුව පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයට ඇතුළත් කෙරෙන මෙම යෝජනාව අදාළ දිනවල විවාදයට ගන්නා අතර ඉන් අනතුරුව ඡන්ද විමසීම් කෙරෙනු ඇත. කෙසේ වෙතත් මෙතෙක් පැමිණි බොහෝ විශ්වාසභංග මෙන් මෙයත් පුස්සක් පමණක් වේදැයි බොහෝ දෙනා බලා සිටිති.

 

Comments