අක්ක-නගෝ අපයෝජනයට සුළු පියාට දඬුවම වසර 90 යි | Page 2 | සිළුමිණ

අක්ක-නගෝ අපයෝජනයට සුළු පියාට දඬුවම වසර 90 යි

- එදා අපයෝජනයට ලක්වූ එක් දියණියක් අද නීතිඥවරියක්
- වසර 25කට පසුව පසුගිය ජූලි 06 දා තීන්දුව ලැබෙයි

නුරාධපුර දිස්ත්‍රික්කයේ ගල්කිරියාගම ග්‍රාමය මනරම් කෙත් යායවලින් සමන්විත ඉතාම රමණීය ප්‍රදේශයකි. ගොවිතැන් බතින් ජීවිකාරව සරිකරගන්නා බොහෝ දෙනෙක් අහිංසක ගොවි ගැමියන්ය. මීට වසර 25කට පමණ පෙර එනම් 1995 වසර සමයයි. ගල්කිරියාගම ගැමි පවුලක උපන් නිලන්ති සහ වසන්ති අක්ක නගෝය. ඒ වන විට දෙදෙනාගේ වයස පිළිවෙළින් අවුරුදු 15ත් 12ත් අතරය. දෙදෙනාට වයස අවුරුදු 10ක තවත් නැඟණියක්ද වූවාය. පියාණන් නොමැතිව මව සමඟ හැදී වැඩුණු කෙලි පැටව් තිදෙනා ගමේ කා අතරත් ප්‍රචලිතව සිටියේ කුරා කුහුඹුවකුටවත් වරදක් නැති අහිංසක දරු පැටවුන් තිදෙනෙක් ලෙසිනි.

කල් ගෙවෙද්දී දරුවන්ගේ මව නන්දා සිය හතරවන අනියම් සැමියා ලෙස නිවෙසට කැන්දාගෙන ආවේ ගල්කිරියාගම ප්‍රදේශයේම වෙසෙන වික්ටර් නමැත්තාය. වික්ටර් දරදඬු මිනිසෙකි. ගතිසොබා රාක්ෂයෙක් බඳු ය. නන්දාගේ නිවෙසට ආ 36 හැවිරිදි වියේ පසුවූ වික්ටර් දරුවන්ට පෑවේ පිය සෙනෙහස වෙනුවට සැඩපරුෂ නරුම ගතිසොබා ය.

යොවුන් විය එළිපත්තෙ වූ නිලන්ති සහ පිපෙන්නට වෙර දරන මල් කැකුළක් වන් වසන්තිත් වික්ටර්ගේ ආගමනයත් සමඟ නිවෙසේ විසුවේ සෑම තත්ත්පරයකදීම භීතියෙන් මුසපත්වය. කෙමෙන් කෙමෙන් නිවෙසේ දරුවන්ට වූ නිදහස් නිවහල් පරිසරය මුළුමනින්ම නැතිවී යන බවක් පෙනිණි. ඒ සිය මවද තලා-පෙළා වික්ටර් නිවෙසේ ආධිපත්‍ය පතුරුවන්නට වූ නිසාවෙනි. දරුවන් නිවෙසේ සිරකාරියන් බවට පත්වූහ.

බොහෝ වි‍ට දරුවන්ගේ මව නන්දා නිවෙසේ නොමැති අවස්ථාවලදී වික්ටර්ගේ රාක්ෂ ගති එළියට පනින්නට වූයේය. දිනෙන් දින ඉහළ යන වික්ටර්ගේ රාක්ෂ ගති දින කීපයකින් ලිංගික අඩන්තේට්ටම් දක්වා වර්ධනය වූයේ සිදුවන්නට යන මහ විනාශයක පෙර ලකුණු පෙන්වමිනි. වික්ටර්ගේ එම පාපතර ගතිගුණවලට වැඩිපුරම නතු වූයේ 15 හැවිරිදි නිලන්ති සහ 12 හැවිරිදි වසන්තිය.

නිලන්තිගේ සහ වසන්තිගේ ජීවිතයේ අවාසනාවන්තම සහ මතකයට නොනැඟීමට අකමැතිම දිනය උදා විය. එදින මව නිවෙසේ නොවූවාය. කල් යල් බලා සිටි වික්ටර් නිලන්ති සහ වසන්තිගේ ජීවිත විනාශ කළේ සිත්පිත් නැත්තකු විලසිනි. එය දිනකින් දෙකකින් අවසන් නොවිණි. එම කාමාතුරයාගේ ලිංගික අපයෝජනයට දරුවන් දෙදෙනා නිතරම පාහේ ලක්වූහ. අහිංසක කෙළි පැටවු දෙදෙනා අසරණ වූයේ කාට කියන්නද මේ දුක ගැන ළතැවෙමිනි.

ඒ අතරේ දරුවන් දෙදෙනාට මුහුණ දෙන්නට වූ බරපතළම ගැටලුව වූයේ 10 වැනි වියේ පසුවූ දෙදෙනාගේ චූටි නංගියා පිළිබඳවයි. ඇය මේ කාමාතුරයාගේ තවත් ගොදුරක් වෙතැයි දෙදෙනාට ඇතිවූයේ මහත් භීතියකි. ඒ අනුව අක්ක නගෝ කතිකා කරගත්තෙ,

"අපි මේ නරුමයා‍ගෙන් විඳින අපාදුක තව ටික කාලයක් ඉවසගෙන ඉමු; නැත්නම් මේ රාක්ෂයා අපේ චූටි නංගියත් විනාශ කරලා දාවි..."

එහෙත් නිලන්ති සහ වසන්තිටද හොර රහසේ වික්ටර් දෙදෙනාගේ චූටි නංගියාටද නොයෙකුත් ලිංගික හිංසන සිදුකර තිබූ බව පසුව සැල විණි.

කලක් පුරා නරුම සුළු පියා හෙවත් මවගේ හතරවන අනියම් සැමියාගේ බරපතළ ලිංගික අපයෝජනයන් ඉවසා දරාගෙන සිටින්නට නිලන්ති සහ වසන්තිට සිදු වූයේ පෙර කළ අකුසලයක පාප කර්මයක් ගෙවමිනි.

ඒ මීට වසර 25කට පමණ පෙරදී වූ අක්ක නගෝ දෙදෙනෙක් ලිංගික අපයෝජනයට ලක්කිරීමේ ඛේදවාචකයේ සැකෙවින් කතාවයි.

පසුගිය 06 වැනි අඟහරුවාදා අනුරාධපුර මහාධිකරණයෙන් සුවිශේෂ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි. ඒ මීට වසර 25කට පෙරදී වූ 15 හැවිරිදි සහ 12 හැවිරිදි ගල්කිරියාගම අක්ක නගෝ දෙදෙනා ලිංගික අපයෝජනයට ලක්කිරීමේ නඩුවේ තීන්දුවයි.

මහාධිකරණ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර එම තීන්දුව ලබා දෙමින් දඬුවම් නියම කළේ එදා 36 වැනි වියෙහි පසුවූ අද 61 වැනි වියෙහි පසුවන ගල්කිරියාගම පදිංචි ලක්ෂපති විදානපතිරණලාගේ වික්ටර් ද මෙල් නමැත්තාටයි.

එදා රාක්ෂයකු මෙන් සැඩපරුෂ ගති සොබා පාමින් හැසිරෙමින් මල් කැකුළු වන් දියණියන් දෙදෙනා විනාශ කළ කාමාතුර ආශාවන් සංසිඳවා ගත් වික්ටර්ට මහාධිකරණ විනිසුරුවරයා විසින් දරුවන් දෙදෙනාව බරපතළ ලිංගික අපයෝජනයට ලක්කළ බවට චෝදනා 6කට වරදකරු කෙරිණි. එම නිසා චෝදනා 6න් එක් චෝදනාවකට වසර 15 බැගින් වසර 90ක් එකවර ගෙවීයන ලෙසට සිර දඬුවම් නියම කළේ මේ දිනවල දැඩි සේ කතාබහට ලක්වන ළමා ලිංගික අපයෝජනයනයන්ට හවුල් වන පාපතරයන්ටද අත්වන ඉරණම ගැන මනා ලෙස පසක් කරමිනි.

ඊට අමතරව වින්දිතයන්ට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවන ලෙසටද විත්තිකරුට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා එම වන්දි මුදල නොගෙවන්නේ නම් විත්තිකරුට තවත් වසර දෙකක සිර දඬුවමක්ද නියම කෙරිණි. මීට වසර 25කට පෙරදී නිසි ලෙස නිදහසේ අධ්‍යාපන කටයුතුද කරගැනීමට ඉඩ නොදෙමින් සිය සුළු පියාගෙන් බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක්වූ 15 හැවිරිදි දියණිය වර්තමානය වන විට නීතියේ දෙවඟන ඉදිරියේ දිවුරුම් දෙමින් නීතිඥවරියක ලෙස කටයුතු කිරීමද එක්තරා ආකාරයක දෛවයේ හාස්කමකි.

ඇය බරපතළ ලිංගික අපයෝජනයෙන් පීඩා විඳීමෙන් පසු නිවෙසින් බැහැරව ළමා නිවාසයක හැදී වැඩී මනා ලෙස අධ්‍යාපන කටයුතු ලබා තිබුණේ ජීවිතයේ දැඩි අධිෂ්ඨානයක් සිත්හි පෙරදැරි කරගෙනය. ඒ තමන් මුහුණ පෑ ඛේදනීය ඉරණම සේ දුක්ඛිත ජීවිතවලට මුහුණ දෙන සුවහසක් දෙනා වෙනුවෙන් නීතියෙන් සර්ව සාධාරණය ඉටුකරලීමට පෙනී සිටීම වෙනුවෙනි. කෙසේ හෝ පාපතර සුළු පියා මහඋළුගෙදර කූරු ගණින්නට යද්දි ඇය නීතිඥවරියක ලෙස කටයුතු කිරීම සුවිශේෂය.

මෙකී සුවිශේෂ නඩු තීන්දුව ප්‍රකාශයට පත් කළ නඩු කටයුත්තේ මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්විණි. අනතුරුව 2017 වසරේ අප්‍රේල් මස 04 වැනි දින විත්තිකරුට අධි චෝදනා බාර දීමෙන් පසු එම නඩුවෙහි වැඩිදුර විභාගය අනුරාධපුර අංක දෙක මහාධිකරණයට යොමු කෙරිණි.

නඩුවේ සාක්ෂිකරුවන් ලෙස එවකට අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයාව සිටි ධනංජය වෛද්‍යරත්න, එවකට ගල්කිරියාගම මූලික රෝහලේ වෛද්‍යවරියක ලෙස සේවය කළ වෛද්‍ය ශාන්තිලතා විජේසේකර, ගල්කිරියාගම පොලිසියේ නිලධාරීන් මෙන්ම සමාජය ඉදිරියේ නොසැලෙමින් වර්තමානයේ වැඩිහිටි කාන්තාවක් වන එදා වින්දිත දැරියකද නම් කර සිටියහ.

වර්තමානය වන විට දරුවන්ට සිදුවන ලිංගික අපයෝජන දිනෙන් දින ඉහළ යමින් තිබෙන බව සංඛ්‍යා දත්ත විශ්ලේෂණයෙන්ද පෙන්නුම් කරන්නකි. ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය මුදිත විදානපතිරණ සඳහන් කළේ ළමා අපචාරයන් පිළිබඳව පසුගිය මැයි 30 වැනිදා වන විට පැමිණිලි 4000ක් ලැබී තිබූ බවත් එය ගිය වසරේ 8165ක් බවයි. එසේම ළමා අපචාර පිළිබඳව පසුගිය මාස හය තුළ දුරකථන ඇමැතුම් 48000ක් පමණ ලැබී ඇති බවත් සභාපතිවරයා කීය.

වැඩිදුරටත් ළමා අපයෝජන පිළිබඳ විමර්ශනවලදී හෙළි වන සත්‍ය නම් දරුවන් බොහොමයක් දෙනා ලිංගිකව අපයෝජනයට ලක්වන්නෙ තම ළඟම ඥාති හිතෛෂින්ගෙන් බවයි. විශේෂඥයෙන්ම සුළු පියා නැතිනම් මවගේ අනියම් සැමියාගෙන් දරුවන්ට සිදුවන ලිංගික හිංසන අතිමහත්ය. එහෙත් සමාජයෙන් එල්ල වන අවමන් සහගත තත්ත්ව නිසාවෙන් බොහෝ දෙනකු එවැනි ලිංගික හිංසන පිළිබඳව වගකිවයුත්තන් ‍දැනුවත් නොකිරීම ඉතාම අභාග්‍ය තත්ත්වයකි.

Comments