
උතුම් මනුස්ස ආත්මයක් ලැබුවද ඇතැම් දෙනාගේ හැසිරීම් තිරිසනුන්ටත් වඩා අන්තය. තම කුසෙන් උපන් දරුවන් විකුණන අම්මලා මෙන්ම තම ලෙයින් උපන් දරුවන් කෙලෙසන පියවරුන්ද මේ මිහිපිට සිටින බව වර්තමානය වන විට පසක් වී හමාරය. ගල්කිස්සෙ දැරිය කෙලෙසීමේ ඛේදවාචකයද එවැන්නකි. පිපීගෙන ඒමට වෙර දරමින් සිටි මල් කැකුළක් වන 15 හැවිරිදි දැරිය කෙලෙසමින් තවත් අමනුස්සයන් රැසකටම විකිණීමේ ඛේදවාචකයේ ශෝචනීය තත්ත්වයටද මූලික වී තිබුණේ තම පියා මෙන්ම මවයි. පසුගිය දින කීපය පුරා රටේම කතාබහට ලක්වූ දැරිය අපයෝජනය කිරීමේ තිරිසන් ක්‍රියාවට සබැඳිව පසුගිය හත්වැනිදා (බදාදා) වන විට පොලිස් අත්අඩංගුවට පත්ව සිටි සංඛ්‍යාව 34 ක් වන අතර කාන්තාවන් දෙදෙනෙක්ද සිටී.
ඒ, විමර්ශන ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති දිලීප පෙරේරාගෙන් ඇරැඹීමෙන් පසු පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයටද අනතුරුව පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද එක්ව සිදුකරන පුළුල් විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙසිනි.
මේ වන විට අත්අඩංගුවට පත්ව සිටින පිරිස අතර 45 හැවිරිදි මොහොමඩ් අෂ්මලි නමැති මාලදිවයින් ජාතිකයෙක්ද වේ. ඔහු එරට ප්‍රභූ පුද්ගලයෙකි. අෂ්මලි කොළඹ ප්‍රදේශයේ සුඛෝපභෝගි මහල් නිවෙසක රැඳි සිට ඇත්තෙ 2018 වසරේ සිටයි. සිය බිරියද සමඟ ශිෂ්‍ය වීසා යටතේ සිටි අෂ්මලී මෙරට තිබෙන ප්‍රමුඛතම පෞද්ගලික විශ්වවිද්‍යාලයකින් උසස් අධ්‍යාපනය හදාරමින් සිටි අයෙකි.
දැරියගේ දුරකථනයේ තිබූ අංක ඔස්සෙ සිදු කළ විමර්ශනවලදී අත්අඩංගුවට පත් අෂ්මලි අවස්ථා දෙකකදීම ලංකා ඇඩ්ස් ඩොට්කොම් වෙබ් අඩවිය හරහා දැරිය හඳුනාගෙන අපයෝජනය කර තිබුණේ රුපියල් 20,000ක මුදලක් ගෙවමිනි. ඒ, කොල්ලුපිටියේ සුප්‍රසිද්ධ මරීනා බීච් හෝටලයට රැගෙන යමිනි. අෂ්මලි අත්අඩංගුවට ගෙන පසුගිය සඳුදා අධිකරණයට ඉදිරිපත්කොට රක්ෂිත බන්ධනාගාරගත කිරීමත් සමඟ ඔහුගේ සැබෑ තතු හෙළි කළේ මාලදිවයින් මාධ්‍ය විසිනි. මාලදිවයින් මාධ්‍ය වාර්තා කර තිබුණේ අෂ්මලි එරට හිටපු රාජ්‍ය මුදල් අමාත්‍යවරයකු බවයි. එසේම ඔහු මාලදිවයිනේ ප්‍රධානතම දුරකථන සැපයුම් සමාගමක් වන දීරාගු සමාගමේ සභාපතිවරයා ලෙසද කටයුතු කර ඇති අතර එරට ජාතික ටෙන්ඩර් මණ්ඩලයේ සභාපතිවරයා ලෙසත් කටයුතු කළ අයෙකි.
ඉකුත් සමය පුරාම අමනුස්සයන් අතින් කෙලෙසුණු දැරිය මේ වසරේදී අපොස සාමාන්‍ය පෙළ විභාගයටද පෙනී සිටීමට නියමිතය. තිරිසනුන්ගෙන් අපා දුක් විඳි දැරිය මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ කළුබෝවිල රෝහලේ පසු වන්නීය. මල් කැකුළක් වන් පිපීගෙන ඒමට වෙර දරන එකී දැරියට මෙවැනි ශෝචනීය ඉරණමක් අත්වූ ඛේදවාචකය ආරම්භයේ සිට පෙළ ගැසෙන්නෙ මෙලෙසිනි.
දැරියගේ මව චමිලා ප්‍රියංගනීය. ඇය මේ වන විට 31 වියැති තුන්මස් ගැබිනියකි. චමිලා පදිංචිව සිටියේ දෙල්ගොඩ, කඳුබොඩ ප්‍රදේශයේයි. ඇය විවාහ වී සිටි නිමල් ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වූවෙකි. ඒ අසල්වැසියකුගේ ත්‍රිරෝද රථයක් කුලී පදනම මත ගෙනයි. චමිලා සිය කුලුඳුල් දරුවා ලෙස පාපතරයන් කෙලෙසු දැරිය මෙලොවට බිහි කළේ 2005 සැප්තැම්බර් 24 වැනිදායි. ඇය ඊට වසර 4කට පසු තවත් දරුවෙක් මෙලොවට බිහි කළාය; ඒ පුතෙකි. කාලය ගෙවෙද්දී මීට වසර කීපයකට පෙරදී නිමල් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙමින් සිටියේය. චමිලාගේ පවුල් දිවියට කණකොකා හැඬීමේ ආරම්භය සනිටුහන් වූයේ ඒ සමඟිනි. අනතුරුව පදිංචි ස්ථානය ද වෙනස් කළ ඔවුහු බියගමට පැමිණියහ. චමිලා ඇඟලුම් රැකියාවට යොමු වූවාය. නිමල්ට ත්‍රිවිල් රැකියාව අහිමි වී ගියේ ඔහුගේ දැඩි මත්ද්‍රව්‍ය භාවිතය නිසාවෙනි.
ඒ අතරේ පවුලේ ඇතිවූ අගහිඟතා නිසා වූ පවුල් ප්‍රශ්න මත චමිලා, සැමියා සහ දරුවන් තනිකොට වෙනත් මිනිසුන්ගේ පහස සොයා යන්නට වූවාය. ඒ අතරේ නිමල්ද එම ප්‍රදේශයේ රඹුටන් වත්තක් බලා ගැනීමේ රැකියාවකට ගියේ සිය දරුවන් දෙදෙනාද කැටිවයි. නිමල් සහ දරුවන් දෙදෙනා නිවෙසෙන් ගිය චමිලා සොයා ගොස් නැවත කැඳවාගෙන ආවත් ඇය නැවත නැවතත් නිවෙසෙන් ගියාය. එලෙස ඇය අවස්ථා කීපයකදීම නිවෙසෙන් ගොස් තිබුණාය. දිනක් රඹුටන් වත්තෙ නිවෙසේදී දැඩි සේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි නිමල් තම ලෙයින් හැදූ දියණිය කෙලෙසා දැමුවේය. එදින ඇය කෙලෙසුණු පළමු අවස්ථාවයි. ඒ සමයේ චමිලාද අයාලේ යෑම නිසා පොලිසියටද කොටුවී තිබුණාය.
මීට වසර හයකට පමණ පෙරදී චමිලාට රජිව් ජයනාත් නම් පුද්ගලයකු මුණගැසිණි. ඔහු 35 හැවිරිදි මොරටුව, ලක්ෂපතියේ විසූ තැනැත්තෙකි. චමිලා විඳි පාපතර දිවියේ සියලු තතු රජිව්ට කීවාය. ඇයට රජිව් දෙවියකු බඳු විය. ඔවුන් දෙදෙනා රට වටේම කරක් ගසමින් සතුටින් ජීවත් වූහ. රජිව් කීවේ ඔහුද කලින් විවාහ වී සිටි අයෙක් බවත් තමාට පුතුන් දෙදෙනෙක්ද සිටින බවයි.
"චමිලා අපි දෙන්නා එක වහලක් යට ජීවත් වෙමු... ඔයා එන්න දරුවො දෙන්නා අරගෙන ලක්ෂපතියෙ මගේ ගෙදරට... මගේ දරුවෝ දෙන්නත් එක්ක සැපවත් ජීවිතයක් ගතකරන්න පුළුවන්..."
සිය පාපතර දිවියෙන් තමන් සහ දරුවන් ගලවා ගැනීමට දෙවියන් එවූ දේව දූතයෙක් සේ රජිව් ගැන සිතූ චමිලා ඔහුගේ අදහසට එකඟ වූවාය. ඇය සිය දරුවන් දෙදෙනාද කැටිව රජිව්ගේ ලක්ෂපතිය නිවෙසට පැමිණියේ සැපවත් දිවියක් ගතකිරීමේ නොතිත් ආශාවෙනි. එහෙත් ඇයට රජිව්ගේ සැබෑ තතු තේරෙන්නට වැඩි කලක් ගතවූයේ නැත. ඔහු නරුමයෙක් බවත් තමා නැවතත් ම්ලේච්ඡයකු ගිලගත් බව වැටහෙද්දී සියල්ල සිදුවී හමාරය.
රජිව් විසූ ලක්ෂපතියේ නිවෙසද කුලී නිවෙසකි. ඒ වන විට රජිව් මත්ද්‍රව්‍යවලටද දැඩිව ඇබ්බැහිව සිටියේය. ඔහුගේ දරුවන් දෙදෙනාද කසාද දෙකකය. රජිව්ගේ එක් විවාහක කාන්තාවක් ඒ වන විට සිටියේ ඩුබායිවලය. දරුවන් සිවුදෙනෙකුද නඩත්තු කරමින් චමිලා ද රැකබලා ගැනීමට මුදල් අගහිඟකමින් පෙළුණු රජිව් කෙසේ හෝ චමිලා මිනිසුන්ට 'ඩීල්' කිරීමට පොලඹවා ගත්තේය. එය චමිලාට අමුතු රැකියාවක් නොවූයේ ඇය ඒ වන විටත් මිනිසුන් කිහිප දෙනෙක් සමඟද යහන්ගතව සිටි හෙයිනි.
පළමු කොරෝනා රැල්ල ආරම්භ වීමට මත්තෙන් රජිව්ගේ ඩුබායිහි සිටි බිරියද මෙරටට පැමිණියේය. ඇයත් ලක්ෂපතියේ නිවෙසේම විසුවාය. දිනක් රජිව් දැඩිසේ මත්ද්‍රව්‍ය පානය කොට නිවෙසට පැමිණියේය. එදින ඩුබායි සිට පැමිණි බිරිය හෝ චමිලා නිවසේ සිටියේ නැත. රජිව් එදින චමිලාගේ දියණිය කෙලෙසා දැමුවේ තවත් පාපතරයකුගේ ගොදුරක් බවට දැරිය පත් කරමිනි.
ඒ අතර රජිව්ට ලක්ෂපතියේ නිවෙසින් යන්නට වී තිබුණේ ඒ අවට වැසියන්ගෙන් පැමිණි නොයෙකුත් ගැටලු හේතුවෙනි. අනතුරුව ඔවුන් පදිංචියට ගියේ ගල්කිස්ස, දුම්රිය පොළ පාරේ මහල් නිවාසයකටයි. ඒ, රුපියල් හැටපන් දහසක කුලී පදනම මතයි. ඒ වන විට චමිලා විවිධ තරාතිරමේ පාපතරයන්ට විකුණමින් රජිව් යහමින් මුදල් හම්බ කරමින් සැපවත් දිවියක් ගත කළේය. දිනපතා ඇතිතරම් මත්ද්‍රව්‍යද පානය කරමින් පදම් වී නිවෙසට එන රජිව් ඔහුගේ ඩුබායි බිරිය ඉදිරියේදීම චමිලාගේ දියණිය කෙලෙසන්නේ හිත්පිත් නැත්තකු විලසිනි.
මේ අතර දිනක් චමිලා විකිණුනේ අවිස්සාවේල්ල ප්‍රදේශයේ මැදිවියේ ව්‍යාපාරිකයකුටය. ඔහු චමිලා සමඟ යම් පමණක කුලුපගතාවක් ඇති කරගත්තේය. ඇය සිය අපාදුක් දිවිය ගැන එම ව්‍යාපාරිකයාට අකුරක් නෑර කීවාය.
"චමිලා... මං කැමැතියි ඔයාව මගේ ගෙදර එක්කගෙන යන්න..." "අනේ සර්... ඒක කොහොමද කරන්නෙ... රජිව් අපි දෙන්නව මරයි..." "නෑ... මං රජිව්ගෙන් ඔයාව ඉල්ල ගන්නම්..." "ඒක නම් කීයටවත් වෙන එකක් නෑ සර්... මං ගියොත් එයා කොහොමද ඔය සැපවත් ජීවිතේ ගත කරන්නෙ... එතකොට අර පොඩි එවුනුත් බඩගින්නෙ..."
කෙසේ හෝ එම ව්‍යාපාරිකයා රජිව් සමඟ ඒ ගැන කතා කළේය. ඔහු ඊට එකඟ වූයේ මුදල් කන්දරාවකටයි. රජිව්, චමිලා රුපියල් ලක්ෂ 21ක මුදලකට එම ව්‍යාපාරිකයාට විකුණා දැම්මේය. පසුව චමිලා ව්‍යාපාරිකයා සමඟ ඔහුගේ අවිස්සාවේල්ල නිවෙසට ගියේ සිය දරුවන් දෙදෙනාද රජිව් සමඟ ගල්කිස්සෙ නිවෙසේ තනිකරය. කෙසේ හෝ එම ගනුදෙනුවට රජිව්ට ලැබී තිබුණේ රුපියල් ලක්ෂ 18කි. චමිලා පසුගියදා පොලිස් අත්අඩංගුවට පත්වන විටත් විසුවේ එම ව්‍යාපාරිකයාගේ නිවෙසේයි. මේ වන විට ඇය එම ව්‍යාපාරිකයා නිසා තුන්මස් ගැබිනියක් බවත් හෙළි විණි.
චමිලා විකුණා මුදල් ලැබුණු සැණින් රජිව් සැපවත් දිවිය ඔපවත් කිරීමට ලක්ෂ ගණනකට මෝටර් රථයක්ද ගැනිණි. චමිලා දරුවන්ගේ වියදමට මාස කිහිපයක් මුදල් එවුවාය. එහෙත් එය මාස තුනකින් පමණ නතර විණි. රජිව්ගේ මත්ද්‍රව්‍ය පානයත්, සෙල්ලක්කාර දිවිය නිසාවෙන් චමිලා විකුණා ලබාගත් මුදල් ප්‍රමාණය ද මාස කිහිපයකින්ම විනාශ වී තිබුණේ එවැනි පාපතර ක්‍රියාවලින් උපයන මුදල් යා දෙන්නෙ නැති බව පසක් කරමිනි.
රජිව්ට මුදල් ප්‍රශ්න පැන නැඟෙද්දී ඇතැම් දිනවල ඔහුට පමණක් නොව දරුවන් සිවුදෙනාටද කෑමබීම හිඟ වූහ. ඒ වන විට රජිව්ට මුදල් හම්බ කිරීමට තිබෙන එකම වස්තුව චමිලාගේ 15 හැවිරිදි දියණිය පමණි. පොලිස් බාරයට පත් දැරිය සඳහන් කර තිබුණේ,
"ඒ දවස් වෙනකොට රජිව් මාමටත් කන්න නෑ... අපිටත් කන්න නෑ... මං දවසක් රජිව් මාමට කිව්වා එහෙනම් මාත් අම්මා කළ රස්සාව කරන්නම් කියලා..."
දැරිය පොලිසියට වැඩිදුරටත් කියා තිබුණේ සිය මව මිනිසුන්ට විකිණි මුදල් මිටි ගාණේ රැගෙන ආ අයුරු සියැසින්ම දුටු බවයි.
එහෙත් ඇය බාල වයස්කාර දැරියකි.ඇයගේ කැමැත්ත, අකමැත්ත අදාළ නැත. කිසිවකුටත් බාල වයස්කාර දැරියක් අපයෝජනය කිරීම හෝ මිනිස් ජාවාරමට නීතියෙන් අවසර නැත. ඒ බව රජිව්ට ගාණක් නැත. ඔහු ඇයව විකිණීමට පෙලඹිණි. දැරිය රජිව් විසින් මුලින්ම විකුණා තිබුණේ මොරටුව ප්‍රදේශයේම සාමාන්‍ය ව්‍යාපාරිකයකුටයි. ඒ රුපියල් පන්දහසකටයි.
පසුව එලැඹුණේ කොරෝනා නිසා සංචරණ සීමා පැනවූ සමයකි. ඒ සමඟම රජිව් හමුවට ආවේ පාලිතයි. ඔහු කලෙක සිටම රජිව්ගේ කාන්තාවන් 'ඩීල්' දැමීමට සම්බන්ධ වූ මිතුරෙකි.
"රජිව් අයියා, මගේ යාළුවෝ ඉන්නවා... ඉන්ටනේට් වැඩ දන්න... අපි කෙල්ල ගැන වෙබ් සයිට්වල දාමු... එතකොට බිස්නස් එක නැඟලා යාවි..."
ඒ අනුව රජිව් දැරිය විකිණීමට වෙබ් අඩවි කිහිපයක් ඇතුළුව සමාජ මාධ්‍යයන්හිද දැන්වීම් පළ කළේ දැරියගේ අඩනිරුවත් ඡායාරූපද සමඟින් දුරකථන අංක ද සඳහන් කරමිනි. එම දැන්වීම්වලට දුරකථන ඇමැතුම් ගලා එන්නට විය. කෙටි කලකදී ඇයව විශාල පිරිසකට විකිණෙමින් රජිව්, පාලිත ඇතුළු පිරිසට මුදල් යහමින් ලැබිණි. එහෙත් දැරියට ඔවුන් මුදල් පරිහරණයට ඉඩ දී නැත. අන්තර්ජාලය ඔස්සේ දැරිය මිලදී ගන්නා අයවලුන්ට දැරිය අවශ්‍ය ස්ථානවලට රැගෙන ගොස් දීමටද පිරිසක් එක්ව සිටියහ.
කාලය ගෙවිණි. ගල්කිස්සෙ රජිව්ගේ 'පොට්' එක බොහෝ ප්‍රසිද්ධ වෙමින් තිබිණි. මේ අතරේ ඉකුත් දිනෙක ගල්කිස්ස මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප පෙරේරාට රජිව්ගේ 'බිස්නස්' ගැන තොරතුරක් ලැබිණි. තවද වරින්වර රජිව්ගේ නිවෙස් ආසන්න පිරිස්ද පොලිසියට තොරතුරු දී තිබුණේ සිදුවන නොහොබිනා ක්‍රියා ඇස්පනා පිටම දිස්වන හෙයිනි.
මේ පිළිබඳ සියලු තතු පොලිස් ස්ථානාධිපතිවරයා විසින් ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් පුෂ්පකුමාර දැනුවත් කිරීමෙන් පසු ගැනුම්කරුවන් සේ පොලිස් උපාය දූතයන් යොදවා රජිව්ගේ ජාවාරම්කාර නිවෙස වැටලීය. ඒ පසුගිය ජූනි හත්වැනිදා රාත්‍රියේයි. එදින රජිව් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. දැරිය පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කෙරිණි. ඇයගේ දුරකථනය ද පොලිස් බාරයට පත්වූවාය.
දැරියගේ පාපෝච්චාරණ සහ ඇගේ දුරකථනය ඔස්සේ මෙකී දැරිය අපයෝජනය කිරීම මෙන්ම මුදලට විකිණීමේ ජාවාරම මහා පරිමාණ ජාවාරමක් බවට පොලිසියට ක්ෂණිකවම වැටහිණි.
ඒ අනුව මෙහි විමර්ශන උසස් පොලිස් නිලධාරින්ගේ උපදෙස් මත ගල්කිස්ස පොලිසියෙන්, පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කෙරිණි. එම කාර්යාංශයේ අධ්‍යක්ෂිකා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි දර්ශිකා කුමාරිගේ උපදෙස් මත පොලිස් අධිකාරි ඉන්දික ලොකුහෙට්ටිගේගේ මෙහෙයවීමෙන් එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර ඇතුළු පිරිස විමර්ශන ඇරැඹීය. විමර්ශනවලදී පසුගිය 30 වැනිදා වෙද්දී දැරිය අපයෝජනය කළ සහ මුදලට විකිණීමට දායක වූ 17 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට සමත් විය. ඒ අතර දැරියගේ පියා, මව, දැරිය විකිණු රජිව්, කෝටිපති ව්‍යාපාරිකයන්, චීවරධාරියෙක්, මැණික් ව්‍යාපාරිකයෙක්, නාවික කපිතාන්වරයෙක් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බළකා සෙබළෙක්ද වූහ.
කිරිබත්ගොඩ ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක වන චීවරධාරියා දැරිය අපහරණයට මිලට ගෙන ඇත්තේ රුපියල් පනස්දහසක මුදලකටයි. එසේම අත්අඩංගුවට පත් පොලොන්නරුවේ කෝටිපති ව්‍යාපාරිකයා, දේශපාලනඥයකු යැයි පවසමින් වහසි බස් කියා දැරිය රජිව්ගෙන් සහ පාලිත නමැත්තාගෙන් ලබා ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ තුනක මුදලකට ය. එතරම් විශාල මුදලකට මිල කර ඇත්තේ එම ව්‍යාපාරිකයා කන්‍යාවියක් අවැසි යැයි කීම මතයි. අනතුරුව දැරිය කන්‍යාවියක් යැයි හැඟවීමට රජිව් ඇතුළු පිරිස හොර වෛද්‍යවරයකුගෙන් ලබාගත් ව්‍යාජ වෛද්‍ය සහතිකයක්ද එම ව්‍යාපාරිකයාට පෙන්වා ඇති බව සැල වේ.
වැඩිදුරටත් විමර්ශනයේදී පසුගිය පළමු වැනිදා වෙද්දී දැරිය කෙලෙසීමේ විමර්ශනයට කොටු වූවන් අතර මිහින්තලේ ප්‍රාදේශිය සභාවේ උපසභාපතිවරයා ද විය. ඔහු පසුගිය සමයේ දේශපාලන කටයුතු සඳහා කොළඹට පැමිණි විටෙකදී අන්තර්ජාලය ඔස්සේ දැරිය මිලට ගෙන තිබුණේ රුපියල් විසිදහසක මුදලකටයි. අනතුරුව ඔහු දැරිය කොල්ලුපිටියේ හෝටලයකට රැගෙන ගොස් තිබේ.
ඒ අතර මේ අපරාධයේ බරපතළකම මත විමර්ශන තවදුරටත් පුළුල් කරමින් පොලිස්පති චන්දන වික්‍රමරත්න උපදෙස් දී තිබුණේ විමර්ශන සඳහා පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ද එක්කර ගන්නා ලෙසටයි. ඒ අනුව රුපියල් දසදහසේ සිට රුපියල් විසිතිස්දහසක් ඇතුළත මිලකට දැරිය මිලට ගත් බහුතරයකට අමතරව සීඅයිඩීයේ පරිගණක විමර්ශන අංශය සිදු කළ විමර්ශනවලදී දැරියගේ අසභ්‍ය ඡායාරූප පළ කරමින් ඇයව විකිණීමට යොදාගත් වෙබ් අඩවි පහක්ද හඳුනා ගැනීමට විමර්ශන නිලධාරීහු සමත් වූහ.
එහිදී Lanka-ads.com නමැති වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පාණදුරේ දුමින්ද සම්පත් නමැත්තෙක් සහ එම අඩවියේ මුදල් බාරකරු ලෙස කටයුතු කළ බණ්ඩාරගම පදිංචි ධනුෂ්ක කෞෂල්‍ය නමැත්තාද අත්අඩංගුවට ගැනිණි. මේ අතර දැරිය අපයෝජනයට පසුගිය හයවැනිදා අලුයම වෙද්දී අත්අඩංගුවට පත් 33 වැනියා සහ 34 වැනියා ලෙස පොලිස් බාරයට ගැනුණේ දැරියගේ දුරකථනයේ 'ඩොක්ටර් දිමුතු' ලෙසින් සඳහන්ව තිබූ ඉන්දික දිමුතු ද සිල්වා නමැති වෛද්‍යවරයෙක් සහ 33 හැවිරිදි ධනුෂ්ක පුෂ්පකුමාර නමැති දැරිය නොයෙක් ස්ථානවලට රැගෙන ගිය කිරිවත්තුඩුවේ පදිංචි ත්‍රිරෝද රථ රියැදුරෙකි.
වෛද්‍යවරයා බණ්ඩාරගම ප්‍රදේශයේ වෙසෙන 41 හැවිරිදි තිදරු පියෙකි. නාවික හමුදාවේ ලුතිනන් කමාන්ඩර්වරයකු වන එම වෛද්‍යවරයා නාවික හමුදා වැලිසර රෝහලට අමතරව ජයවර්ධනපුර සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහල්වලත් සේවය කරන වෛද්‍යවරයෙකි. ඔහු හෘද රෝග පිළිබඳව විශේෂඥවරයකු වීමට හැදෑරීම් කළ අයෙකි. එම වෛද්‍යවරයා දැරිය දෙවරක්ම මිලට ගෙන ඇත්තෙ රුපියල් තිස්දහසක මුදලකටයි. ඔහු වරක් දැරියව මිලට ගෙන කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා අසලදී තම මෝටර් රථයට නංවාගෙන රැගෙන ගොස් තිබුණේ ගල්කිස්ස වෙරළ පාරේ පිහිටි හෝටලයකටයි.
මේ පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසන්නේ දැරිය අපයෝජනය කිරීම සහ අන්තර්ජාලය මඟින් ලිංගික ශ්‍රමිකයන් ලෙස විකිණීම හෙවත් කුට්ටනය නැතිනම් මිනිස් ජාවාරම යන වරද යටතේ තවත් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බවයි. ඒ අතර දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, ප්‍රභූන් ඇතුළු පොලිස් නිලධාරීන්ද සිටින බවට පොලිසියෙන් ඇසේ.
දැරිය අපහරණයට අවැසි සියලු දෙනාම බාධාවකින් තොරව අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව සැමටම පැසසුම් හිමි විය යුතුය. එසේම මෙවැනි කොතෙකුත් අපචාර සිද්ධි තවදුරටත් සමාජයේ සිදුවනවාද? ඒ නිසා දරුවන් අපයෝජනයට එරෙහිව ජනතාවද හැකි සෑම විටෙකදී ම වගකිවයුතු අංශ දැනුවත් කිරීම සමාජීය වගකීමයි. එසේම ළමා අපචාරවලට සබැඳි වෙබ් අඩවි පිළිබඳව වහා පියවර ගැනීමද වගකිවයුතු පාර්ශ්වයන්ගේ පරම වගකීමක් බව සඳහන් කරන්නෙමු.
ඡායාරූප - සුදත් මලවීර