කන්නෙලිය රකින මාර්ගෝපදේශකයන්ගේ අවනඩුව | සිළුමිණ

කන්නෙලිය රකින මාර්ගෝපදේශකයන්ගේ අවනඩුව

කන්නෙලිය සංචාරක මාර්ගෝපදේශකයන් විරෝධය දක්වන අයුරු

න්නෙලිය රක්ෂිත වනාන්තරය හෙක්ටයාර් 6,144ක විශාලත්වයකින් යුත් වපසරියකින් යුක්ත වන සොබාදහමේ අපූරු නිමැවුමකි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සංරක්ෂිත වනාන්තරයක් ලෙස ද නම් කරනු ලැබූ කන්නෙලිය රක්ෂිතය 2004 වර්ෂයේ දී යුනෙස්කෝ සංවිධානයේ ‘මිනිසා සහ ජෛවගෝල’ වැඩසටහන යටතේ අන්තර්ජාතික මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද නම්කොට තිබේ.

කන්නෙලිය රක්ෂිතය ඉහළ ජෛව විවිධත්වයකින් යුත් වනාන්තරයකි.කන්නෙලිය වනාන්තරයෙන් හමුවන ශාක විශේෂ සංඛ්‍යාව 301කි. මෙකී වනාන්තරයේ දක්නට ලැබෙන ශාඛ විශේෂ අතුරින් මැන්ඩෝරා විශේෂය දක්නට ඇත්තේ කන්නෙලිය රක්ෂිතයේ පමණි. කන්නෙලිය රක්ෂිතයෙන් පක්ෂි විශේෂ 120ක් හා ක්ෂිරපායි විශේෂ 20ක් හඳුනාගෙන තිබේ. ඒ විතරක් නොව කන්නෙලිය රක්ෂිතය සුන්දර සමනලුන්ගේ තෝතැන්නකි. සමනල විශේෂ 53කට අධික සංඛ්‍යාවක් කන්නෙලිය ආශ්‍රිතව වාර්තා වී ඇත. ගිං හා නිල්වලා ගංගා දෙකෙහි ම ප්‍රධාන පෝෂක ප්‍රදේශය වන්නේ ද කන්නෙලිය වනාන්තරයයි. 

මෙකි වනාන්තරයේ පවතින ජෛව විවිධත්වයේ සුවිශේෂීත්වය නිසා ම 2002 වසරේ සිට දේශිය හා විදේශිය සංචාරකයන් වෙනුවෙන් කන්නෙලියෙහි පිවිසුම් දොරටුවක් නිර්මාණය කොට තිබේ. කන්නෙලිය රක්ෂිතයේ ඇති සුවිශේෂි ලක්ෂණය වන්නේ එහි පාරිසරික සංචරණය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීමයි. මෙකී වන රක්ෂිතය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් පාලනය වන අතර සංචාරක මාර්ගෝපදේශකයන් නොමැතිව වන රක්ෂිතයේ අසිරිය විඳ දරා ගැනීමට අවස්ථාව හිමි නොවේ.

කොරෝනා වසංගතයට පෙර මෙකී සංරක්ෂිත වනාන්තර නැරඹීම සඳහා (2019) 290,625 දෙනෙකු පැමිණ තිබුණි. කන්නෙලිය රක්ෂිතය නැරඹීම සඳහා 2018 වර්ෂයේ දි දෙස් විදෙස් සංචාරකයන් 64 779 දෙනෙකු පැමිණ ඇත. 2018 වර්ෂයේ දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සංචාරක කටයුතු මගින් උපයනු ලැබු ආදායම රුපියල් 72,008,488කි. වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 30 වැනි දිනට ස්වේච්ඡා මාර්ගෝපදේශක සංඛ්‍යාව 358 දෙනෙකි.

කොරෝනා වසංගතයත් සමඟ දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇත්තේ මෙකී වනරක්ෂිත හා පරිසර උද්‍යානවල සේවය කළ සංචාරක මාර්ගෝපදේශකයන්ය. ඒ විතරක් නොව මේ ආශ්‍රිතව හෝටල්, අවන්හල් පවත්වාගෙන යමින් සහ කාමර කුලියට ලබාදෙමින් දිවිගැටගසාගත් විශාල පිරිසකගේ ආදායම් මාර්ග මේ වනවිට අහිමි වී ගොස් ඇත.

එමෙන්ම කොරෝනා වසංගතයත් සමඟ ආදායම් මාර්ග අහිමි වීම නිසා දෛනික ජිවිකාව පවත්වාගෙන යමේ දි ගැටලු රැසකට ලක්ව සිටින බැව් කන්නෙලිය සංචාරක මාර්ගෝපදේශකයෝ පවසති. කන්නෙලිය වන සංරක්ෂණ මධ්‍යස්ථානයට අනුයුක්තව මෙකී සංචාරක මාර්ගෝපදේශකයන් සේවය කරති.

පාස්කු ප්‍රහාරයේ සිට කොරෝනා වසංගතයත් සමඟ කන්නෙලිය රක්ෂිතය සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවතීම නිසා තම ආදායම් මාර්ග අහිමිවී ඇති බවද ඔවුහු පවසති. මෙම තත්ත්වය නිසා මෙම පිරිසට තම දරු පවුලේ බඩවියත රැකගැනීම සඳහා දැඩි අරගලයක නිරතව සිටිමට සිදුවී ඇත. කන්නෙලිය රක්ෂිතයේ සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස 22 නෙකු සේවය කරති.

කන්නෙලිය සංචාරක මාර්ගෝපදේශකයන්ගේ සංගමයේ සභාපති කේ. එච්. ධර්මරත්න අප සමඟ කීවේ මෙවැනි කතාවකි.

වසර 20ක කාලයක සිට අපි සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස සේවය කරනවා. කන්නෙලිය වනාන්තරය ආරක්ෂා කිරිමත් අපි කරනවා. කොරොනා වසංගතය නිසා පාසල් දරුවන් මෙන්ම දෙස් විදෙස් සංචාරකයන් කන්නෙලිය රක්ෂිතය නැරඹීමට පැමිණෙන්නේ නැහැ. මේ නිසා අපේ ආදායම් මාර්ග අහිමි වෙලා තියෙන්නේ. පාස්කු ප්‍රහාරයත් සමඟ තමයි අපේ ආදාම් අඩුවෙන්න පටන් ගත්තේ. ඇතමුන්ට තමන්ගේ දරුපවුල් පවා නඩත්තු කිරීමට නොහැකි තත්වයක් උදා වෙලා තියෙනවා. මේ පිළිබඳ වනජිවි ඇමතිතුමා පවා දැනුවත් කිරිමට කටයුතු කළා. නමුත් ප්‍රතිඵලයක් නැහැ. දැනට කන්නෙලිය වන සංරක්ෂණ මධ්‍යස්ථානය වසා දමලා තියෙන්නේ. අපේ සාමාජිකයන්ට යම් කිසි සහනයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිනවා. සංචාරක මාර්ගොපදේශකයන් 22ක් ඉන්නවා; අපේ සේවය ස්ථිර කර දෙන ලෙසද අපි බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා යැයි ඔහු සඳහන් කළේය.

කන්නෙලිය රක්ෂිතයේ සංචාරක මාර්ගෝපදේශකයකු වන රෝහණ ජයදේව මෙකී ගැටලුව සම්බන්ධයෙන් දරන්නේ මෙවන් අදහසකි.

කොරෝනා වසංගතයත් සමඟ අපි අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා ඉන්නවා. පාස්කු ප්‍රහාරයත් සමඟ තමයි මෙහි එන සංචාරකයන් ප්‍රමාණය අඩු වුණේ. කොරෝනා වසංගතයත් එක්ක ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇන්න වගේ තත්වයක් අපිට උදා වුණේ. කන්නේලිය රක්ෂිතය නැරඹීම සඳහා ජෛව විවිධත්වය පිළිබඳ අධ්‍යයන කටයුතු සඳහා වැඩි වශයෙන් පැමිණෙන්නේ පාසල් දරුවන්. පාසල් දරුවන්ට මෙන්ම දෙස් විදෙස් සංචාරකයන්ට මෙකී පරිසර පද්ධති පිළිබඳ තොරතුරු කියා දෙමින් රටට ලෝකයට වැදගත් පණිවුඩයක් තමයි සංචාරක මාර්ගෝපදේශකයින් ලෙස අපි ලබා දෙන්නේ.

අපි ගැන බලන්න කිසිවෙක් නැහැ. වනජිවි ඇමතිතුමාට අපේ දුක්ගැනවිලි දන්වා තියෙනවා. නමුත් අද වනතෙක් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නැහැ.

මාර්ගෝපදේශිකා මානෙල් සමන් කුමාරි පැවසුවේ මෙවැන්නකි.

අපිට දිමනාවක් ලැබෙන්නේ සංචාරකයින් පැමිණියහොත් පමණයි. මේ කාලයේ ජීවත්වෙන්න බැරිව අපි අසරණ තත්වයට පත්වෙලා ඉන්නේ. අපිට යම්කිසි දිමනාවක් ලබා දෙන්න කියා ඉල්ලා සිටිනවා. දැනට වසර එකහමාරක සිට අපේ ආදයම් මාර්ග අහිමිවෙලා තියෙනවා. අපිට දිමනාවක් හා මාසික දිමනාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිනවා.

කන්නේලිය සංචාරක මාර්ගෝපදේශකයින්ගේ සංගමයේ ලේකම් නිසසංලා මදුෂාණි ගේ අදහස මෙසේය.

පාස්කු ප්‍රහාරයේ දි මෙන්ම කොරෝනා රැල්ලත් සමඟ කන්නෙලිය වන රක්ෂිතය විටින් විට දින නියමයක් නොමැතිව වසා දමනු ලැබුවා. සංචාරක මාර්ගෝපදේශකයන් ලෙස ලැබෙන ආදායමෙන් තමයි අපේ ජිවිතය ගැටගසා ගත්තේ. අපිට වෙනත් කිසිදු ආදායම් මාර්ගයක් නැහැ. අපිට ජීවත්වෙන්න විදියක් නැහැ. මේ පිළිබඳ බලධාරීන් දැනුවත් කළත් අපිට කිසිදු සහනයක් ලබාදිලා නැහැ .

කන්නෙලිය රකින්නන් රැකීම වනාන්තරය රැකීම සේම වටිනා බැව් අපි අවසන සිහිපත් කරන්නෙමු.

Comments