
- හිඟ බදු මුදල් වාරික රජයට ගෙවීමට සමාගම එකඟ වෙලා
- මෙන්ඩිස් සමාගමේ පාලන කොටස අත්පත් කරගැනීමට ඇලෝෂියස් රුපියල් බිලියනයක් වියදම් කරලාලු
රුපියල් බිලියන 17කට අධික ණය සහ රාජ්‍ය බදු මුදල් ගෙවීම පැහැර හැර සිටි බැදුම්කර වංචාවට චෝදනා ලබා සිටින අර්ජුන් ඇලෝසියස්ට අයත් ඩබ්. එම්. මෙන්ඩිස් සමාගමේ නිෂ්පාදන කටයුතු නැවතත් ආරම්භ කිරීමට පසුගිය ජුලි 01 වැනිදා අවසර ලබාදී තිබුණි.
පසුව එම අවසර ජුලි 06 වැනිදා අත්හිටුවීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය 6 වැනිදා සවස පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීන්දුව ගෙන තිබුණි. රුපියල් බිලියන 17ක පමණ මුදලක් බදු සහ ණය මුදල් වශයෙන් ගෙවිය යුතුව තිබියදීත් ඇලෝෂියස්ට මෙන්ඩිස් සමාගමේ මත්පැන් නිෂ්පාදනය කිරීමට යළි අවසර දීම සම්බන්ධයෙන් පසුගිය සතියේ දේශපාලන හා මාධ්‍ය ක්ෂේත්‍රයේ මහත් ආන්දෝලනයක් මතුව තිබිණ.
විශේෂයෙන්ම බදු නොගෙවා පැහැර හැර තිබියදී සහ බරපතළ මූල්‍ය වංචා චෝදනාවලට ලක් වූ අයකුට වත්මන් ආණ්ඩුව යටතේ සහන ලබා දීම සම්බන්ධයෙන් ආණ්ඩුවට බරපතළ විවේචන එල්ල විය. ඒ අනුව පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මත්පැන් බලපත්‍රය ලබා නොදීමට ජනාධිපතිවරයා තීරණය කළේය. ඒ මෙරට ජනතාවගේ සහ පූජ්‍ය පක්ෂයේ හඬට කන්දීමක් වශයෙනි.
ඇලෝෂියස්ට අයත් මෙම මත්පැන් සමාගමෙන් සුරාබදු දෙපාර්තමේන්තුවට අය විය යුතුව තිබූ රුපියල් බිලියන 1.1ක මුදලක් ගෙවීම පැහැරහැර තිබීම මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බලපත්‍රය අත්හිටුවීමට හේතු වී තිබිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ පවසා සිටියේ සමාගම ක්‍රියාත්මක කිරීමට කරන ලද ඉල්ලීම් කිහිපයක් සලකා බලා ඒ අනුව අවසර ලබා දීමට පියවර ගත් බවයි. විශේෂයෙන්ම හිඟ බදු මුදල් වාරික ගෙවීම් මඟින් පියවා ගැනීමට සමාගම එකඟ වූ බවත්, ගෙවීම් සිදු කිරීම සම්බන්ධයෙන් රජය අවධානය යොමු කර තිබූ බවයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ කරුණු පැහැදිලි කරමින් කියා සිටියේ, මුදල් අමාත්‍යාංශය හරහා ඔවුන්ට ගෙවිය යුතුව තිබුණු හිඟ බදු මුදල් ගෙවීමට එකඟ වීමෙන් පසුව අදාළ පාර්ශ්වයට එම ව්‍යාපාර කටයුතු කිරීමට අවසර ලබාදීමට පියවර ගත් බවයි. එහෙත් ජනාධිපතිවරයාගේ සහ කැබිනට් මණ්ඩයේ අදහස වූයේ මොවුන් ලංකාවේ විශාල මූල්‍ය වංචාවකට වගකිවයුතු පාර්ශ්වකරුවන් වන බැවින්, බදු මුදල් ගෙවා නැවත ඔවුන් කළ වැරදි සාධාරණීකරණය කිරීමට ඉඩදිය නොහැකි බැවින් මේ බලපත්‍රය අත්හිටුවන්ට තීරණය කළ බවයි.
මේ සම්බන්ධයෙන් අප සමඟ අදහස් දැක් වූ මහ බැංකුවේ හිටපු අධ්‍යක්ෂ ප්‍රවීණ ආර්ථික විශේෂඥ වින්සන් මර්වින් ප්‍රනාන්දු ප්‍රකාශ කර සිටියේ "අදාළ මත්පැන් නිෂ්පාදන සමාගම ආණ්ඩුවට රුපියල් බිලියන 17ක් ගෙවීමට තිබෙන බවත් (මහජන බැංකුවට බිලියන 5+ලංකා බැංකුවට බිලියන 4 + පීපල් ලීසිං මිලියන 500 ක් සහ තවත් බදු මුදල්) එම බදු මුදල් අයකර ගැනීමට ආණ්ඩුවට තිබෙන වැඩපිළිවෙළ කුමක්ද යන්න ගැනත් ප්‍රශ්න කරන බවත්ය. මේ පිළිබඳ ජූලි 06 වැනිදා පාර්ලිමේන්තුවේ ප්‍රකාශ වූ බව පුවත්පත්වල සඳහන් වී තිබිණි. මෙහිදී තවත් මන්ත්‍රීවරයෙක් ප්‍රකාශ කළේ සුරාබදු පනතේ 27 වැනි වගන්තියට අවධානය යොමු කළ යුතු බවත්, මේ එම මුදල් අයකර ගැනීම නැති කරන්න යොදන උප්පර වැට්ටියක් බවය. එසේම අදාළ සමාගම සුරාබුදු දෙපාර්තමේන්තුවේ බිලියන 1.1 ක් ද VAT ( එකතු කළ අගයමත පනවන බදු) බිලියන 3.55 ක් ද ආදායම් බදු බිලියන 2.63 ක් ද ආණ්ඩුවට ගෙවන්න තිබෙන බව පාර්ලිමෙන්තුවේ දී ප්‍රකාශ විණි. මෙහි ඇත්ත නැත්ත සොයා බැලීම බලධාරීන්ගේ වගකීමය. නමුත් තිබෙන ගැටලුව වන්නේ රජය මේ වන විට දරුණු රාජ්‍ය ආදායම් ගැටලුවකට මුහුණ දී තිබෙන තත්ත්වයක් තුළ මෙවැනි දෑ සිදු වීම අතිශයින්ම භයානකය.
2019 වසරේදී රජයේ මුළු ආදායම රුපියල් බිලියන 1891 ක් වූ අතර මීට පෙර ‘යහපාලන‘ රජය යටතේ බිඳ වැටුණු ආර්ථික වර්ධනය ඉහළ නැංවීමට 2019 වසර අග භාගයේ සිට ක්‍රියාත්මක කළ බදු සංශෝධන රැසක් නිසා හා කෝවිඩ් විනාශයෙන් පීඩාවට පත් ව්‍යාපාර සහ පුද්ගලයන් සඳහා ලබා දුන් බදු සහනවල ඒකාබද්ධ ප්‍රතිඵලයක් වශයෙන් රජයේ ආදායම 2020 දී රුපියල් බිලියන 1368 දක්වා (2019 වසරට සාපේක්ෂව 28%කින් පසුබෑමක්) අඩු වී තිබුණි. නිෂ්පාදන හා සුරා බදු ආදායම 2019 රුපියල් බිලියන 400 ක් වූ අතර එය 2020 දී රුපියල් බිලියන 322ට අඩු වීමට ඉහතින් දැක් වූ ආකාරයේ සිදුවීම් ද අහිතකර ලෙස බලපෑම් කළේය. එවැනි අය නිසා අඩු වූ රාජ්‍ය ආදායම නිසාත් කෝවිඩ් හමුවේ රාජ්‍ය වියදම් අධික ලෙස ඉහළ යෑම නිසාත් 2020 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතය 7.9% ක් තරම් ඉහළ ප්‍රතිශතයක් විය. එසේම එවැනි ආයතන රාජ්‍ය බැංකුවලට, කල්බදු සමාගම්වලට ගෙවීමට තිබෙන ණය නිසි ලෙස නොගෙවීම නිසා බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපා ඇත. මේ පිළිබඳව සොයා බලා නිසි පිළියම් යෙදීම වගකිව යුත්තන්ගේ පරම වගකීම බව හෙතෙම පැවසීය.
පසුගියදා මත්පැන් නිෂ්පාදන සඳහා අවසර ලබාදී තිබූ මෙන්ඩිස් සමාගම යහපාලන ආණ්ඩු සමයේ රාජ්‍ය බැංකුවලින් ලබාගත් ණය සහ මේ දක්වා නොගෙවූ බදු මුදල් රුපියල් බිලියන 17කි. යහපාලන රජය මෙන්ඩිස් සමාගමට රිසි සේ බදු හා ණය මුදල් පැහැර හැරීමට අවසර දී තිබූණි. මෙනිසා රාජ්‍ය බැංකු සහ මුල්‍ය ආයතන කිහිපයකට ද දැවැන්ත ණය බරක් ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් උරුමකර දී ඇත. රාජ්‍ය බැංකු හරහා අදාළ ණය ලබා ගැනීමට එම සමාගම කටයුතු කර ඇත්තේ රවී කරුණානායක මුදල් අමාත්‍යවරයාව සිටි සමයේ වන අතර ඒ සඳහා අවශ්‍ය ලේඛන කිසිවක් නිසි පරිදි සපුරා නොමැති බව ද අනාවරණය වී තිබේ. මෙම බදු මුදල්වලින් 10% ක් හෝ ගෙවීමට මෙන්ඩිස් සමාගම මේවනතෙක් අපොහොසත්ව ඇත. එනිසා මෙම මුදල පියවීමට තරම් වත්කමක් නැති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රජයේ බැංකු විසින් පසුගිය දා මුදල් අමාත්‍යාංශය දැනුම්වත් කර තිබුණි.
මේ අතර නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීම නිසා කිසිඳු ගෙවීමක් කළ නොහැකි මට්ටමට මෙන්ඩිස් සමාගම බංකෙළොත් වී ඇති බව එම සමාගමේ ඉහළ නිලධාරියකු අප සමඟ පැවසීය. අදාළ ණය මුදල් මෙන්ම බදු මුදල් පැහැර හැරීමට මෙන්ඩිස් සමාගම කටයුතු කිරීමෙන් රාජ්‍ය බැංකු සහ බදු අය කරන ආයතන දැඩි අසීරුතාවකට පත්ව තිබූ නිසා මෙම අවසරය තම සමාගමට ලබා දුන් බව හෙතෙම පැවසීය.ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම දේශිය ආදායම් දෙපාර්තමේන්තුවට අදාළ බදු මුදල් ගෙවා නොමැති බව අනාවරණය වීමත් සමඟ එම මුදල් අය කර ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කොළඹ අංක 8 මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරිණි. ඒ අනුව 2006 අංක 10 දරන දේශිය ආදායම් පනතේ 179(1)ක වගන්තිය යටතේ නිකුත් කර ඇති බදු මුදල වන රුපියල් මිලියන 2,628 (2,627,486,756) ක මුදල මෙන්ම 2002 අංක 14 දරන එකතු කළ අගයමත බදු පනතේ 43(1)ක වගන්තිය යටතේ ගෙවිය යුතු බදු මුදල රුපියල් මිලියන 3,555 (3,555,488,597) ක් ද ගෙවා නොමැති බව අධිකරණය හමුවේ කරුණු ගොනු කෙරිණි.
මහබැංකු බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, අර්ජුන් ඇලෝසියස්ට අයත්ව තිබුණු සුප්‍රසිද්ධ මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සදහා වෙනත් සමාගමකට පවරා දෙන ලද අතර එය නැවත තමත් වෙත අත්පත් කර ගැනීමට, අර්ජුන් ඇලෝසියස් කටයුතු කරමින් සිටින බව පසුගිය දිනවල පුවත්පත් පළ විය.
මේ සමඟම මෙන්ඩිස් සමාගමේ කළමනාකාරිත්වයට, අර්ජුන් ඇලෝසියස්ගේ මැදිහත්වීම වළක්වාලන ලෙස ඉල්ලමින්, මෙන්ඩිස් සමාගම වසර දහයක කාලයක් සඳහා පවරාගත් ජයසිරි හෝල්ඩිං පුද්ගල සමාගම වාණිජ මහාධිකරණයෙන් 2020 ජූනි මස 09 වැනිදා නියෝගයක් ලබා ගත්තේය. මෙන්ඩිස් සමාගම, යළිත් අත්පත් කර ගැනීමට අර්ජුන් ඇලෝසියස් උත්සාහ කරමින් සිටින බව හෙළිදරව් වී තිබුණේ එහිදී ය. 2019 ජනවාරි මාසයේ දී ඇප මත නිදහස් වීමෙන් පසුව, යළිත්, මෙන්ඩිස් සමාගමේ පරිපාලනයට බලපෑම් කිරීමට අර්ජුන් ඇලෝසියස් කටයුතු කර ඇත්තේ ඉන් අනතුරුවය.
මෙරට මත්පැන් නිෂ්පාදනය සිදු කරන ප්‍රධානම සමාගම හතරෙන් එකක් වන්නේ මෙන්ඩිස් සමාගමය. අර්ජුන් ඇලෝසියස්, බැදුම්කර වංචාව සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමෙන් පසුව, මෙන්ඩිස් සමාගමට හිමිව තිබූ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය එවක යහපාලන රජය විසින් අහෝසි කර තිබුණු අතර, අදාළ බලපත්‍රය නැවත ලබා ගැනීම සඳහා මුදල් වියදම් කර ඇත්තේ ද ජයසිරි හෝල්ඩිං පුද්ගලික සමාගම විසිනි.
මීට අමතරව, අර්ජුන් ඇලෝසියස් නිසා ව්‍යාපාරයට සිදු වූ අපකීර්තිය වසා දැමීමට සහ සේවක පඩි නඩි ගෙවීම ඇතුළු තවත් කාරණා රැසක් වෙනුවෙන් ජයසිරි හෝල්ඩිං සමාගම, මෙන්ඩිස් සමාගම වෙනුවෙන් රුපියල් මිලියන 800 කට වඩා වැඩි ආයෝජනයක් සිදු කර ඇති බවද වාර්තා වේ.
බැඳුම්කර ගනුදෙනු හරහා උපයාගත් මුදල්වලින්, අර්ජුන් ඇලෝසියස් අත්පත්කර ගත් සමාගම් අතරින්, මෙන්ඩිස් සමාගම ඉතාම වටිනා සමාගමකි.
ඇලෝසියස් තම සමාගම වන පර්පචුවල් කැපිටල් ලිමිටඩ් විසින් මෙන්ඩිස් සමාගමේ පාලන කොටස අත්පත් කරගැනීමට වියදම් කර ඇති මුදල රුපියල් බිලියනයක් බව පැවසේ.