ගම්පහ යටවුණේ කාගේ වරදින්ද... | Page 2 | සිළුමිණ

ගම්පහ යටවුණේ කාගේ වරදින්ද...

තිහාසයේ පළමු වරට ගම්පහ දිස්ත්‍රික්කයේ ගම්මාන ගණනාවක් පසුගිය මහ වැසි සමයේ ජලයෙන් යටවී ගියේ කොළඹ මහනුවර මධ්‍යම අධිවේගී මාර්ගය ජනතා අදහස්වලට පටහැනිව ඉදිකෙරෙමින් පවතින නිසා බව මීරිගම වේයන්ගොඩ හා ගම්පහ පෙදෙස්වල ජනතාව චෝදනා කරති. පසුගිය මහවැසි සමග මීරිගම, ගනේගොඩ, පල්ලෙවෙල, කොට්ටල, ගල්ගමුව, වේයන්ගොඩ, මගලෙගොඩ, ගම්පහ පෙදෙස් අවස්ථා දෙකකදී ජලයෙන් යටවිය. මෙම ජල ගැල්මෙන් යටවූ පෙදෙස් අතර කිසිදා ජල ගැල්මට අසුනොවූ ප්‍ර දේශ බව ජනතාව සඳහන් කරති.

එමෙන්ම ගනේගොඩ, තිරුවානාවත්ත, පල්ලෙවෙල, වේයන්ගොඩ හා මගලෙගොඩ පෙදෙස් සාමාන්‍යෙයන් මහ වැස්සකට ජලයෙන් යටවුවත් මෙවර යටවී ගියේ දැඩි ලෙස අසාමාන්‍ය තත්ත්වයෙන් බවද ජනතාව සඳහන් කරන්නේ කනගාටුවෙනි. මෙසේ ඇතිවූ ජල ගැල්ම නිසා නිවාස තුන් හාරසියයකට පමණ හානි සිදුවී දේපළ විනාශයට ලක්ව ඇත. පල්ලවෙල මැලේරියා පාර , කල්එලිය, මැදගම්පිටිය මාර්ගය, මල්ලැහැව, කොට්ටල, වේයන්ගොඩ මාර්ගය ඇතුළු ග්‍රාමීය මාර්ග ගණනාවක් ද වාහනයකින් තබා පයින්වත් යෑමට නොහැකි තරමට ජලයෙන් යට වී තිබෙනු අපට නිරීක්ෂණය විය. ගනේගොඩ, තිරුවානාවත්ත, එගොඩ මිදෙල්ලවල, මෙගොඩ මිදෙල්ලවල, පහලවත්ත, කුරුදුගස්පිටිය, පල්ලෙවෙල මැදගම්පිටිය පාර ඇතුළු පෙදෙස් වෙනදාට වඩා අඩි තුත හතරක් පමණ වන‍සේ මෙවර ජලයෙන් යටවී තිබිණි. මධ්‍යම අධිවේගී මාර්ගය කුළුණු මත ඉදිකරන ලෙස ප්‍රදේශවාසී ජනතාව කළ දැඩි ඉල්ලීම් ප්‍රතික්ෂේප කරමින් පස් කඳු මත එය ඉදි කිරීමට පියවර ගැනීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගත වන බවටද ජනතාව චෝදනා කරති. කෙටි කාලයක් තුළ මේ ආකාරයෙන් ජල ගැලීම් ගණනාවකට මුහුණ දුන් ප්‍රථම අවස්ථාව බවද පැවසේ.

දැනට මෙම මාර්ගයේ තැන තැන ඉදිකිරීම් අවසන් නැති හෙයින් ජලය කිසියම් ප්‍රමාණයක් ගලා ගියත් මාර්ගයේ ඉදිකිරීම් අවසන් කළ පසු මෙවර සිදුවූ හානියට වඩා වැඩි හානියක් තමන්ට සිදුවන බව ඒකාන්ත බවද ප්‍රදේශවාසීහු පවසති. වෙනදා තම ඉඩම් හා මිදුල් කරා ගලා එන ජල කඳ දිනකින් හෝ දෙකකින් බැස ගියත් මෙවර තම නිවෙස් අඩි දෙකකටත් ඉහළට ජලයෙන් යටවූ බව ජනතාව සඳහන් කළහ. පානීය ජලය ලබාගත් ළිං සියල්ල මඩ වතුර බවට පත්වීම නිසා ඒවා සියල්ල පිරිසුදු කරගන්නටද ඔවුන්ට සිදුවී ඇත. මඩ සහිත වතුර උණු කර පානය කිරීමට හෝ බැරි බැරි තත්ත්වයේ පැවති බවත් මෙම වතුර උණු කළ පසු පෙණ දමන බවත් කාන්තාවන් කිහිපදෙනකු කීහ.ඒ නිසාම ඔවුන්ට බීමට වතුර සොයා තැනින් තැන යන්නට සිදුවී ඇත. ළිං පිරිසුදු කර ගැනීමට කිසිදු බලධාරියකුගෙන් සහායක්, ආධාරයක් නොලැබුණු බවද ඔවුහු සඳහන් කළහ.

අධිවේගී මාර්ගයේ පල්ලෙවෙල කොටස ජනතා ඉල්ලීම් අනුව කණු මත ඉදි නොකලහොත් අවසානයේ තමන්ට මෙන්ම දරු පරපුරටද දියේ ගිලී මිය යන්නට සිදුවනු ඇතැයිද ඔවුහු බිය පළ කරති.

තිරිවානාවත්ත දූපත් කොටස මෙවර මහ වැස්ස නිසා අවස්ථා දෙකකදී සම්පූර්ණයෙන්ම යටවී ජන ජීවිතය කඩාවැටී දැඩි ලෙස අසරණ බවට පත්වූ බව එහි පදිංචිකරුවෝ අපට කීහ. තිරිවානාවත්ත දූපතක් වැනි ගම්මානය ගනේගොඩ දුම්රිය ස්ථානයට මඳක් නුදුරින් පිහිටියේය. මෙහි පවුල් විස්සක් පමණ දිවි ගෙවන අතර වයස අවුරුදු සියයට ආසන්න තිදෙනෙක්ද වෙති. 96 වියැති මාතාවක ජලකඳට මැදිවූ ඇද මත සිටිනු දැකිය හැකිවිය.මෙවර වැස්සෙන් පසු දින ගණනාවක් යනතුරුම තිරිවානාවත්ත පෙදෙස එකම ජලාශයක් සේ දිස්විණි. අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගයේ කටයුතු ආරම්භ කෙරුණු 2016 වසරේ සිටම මෙම ජනතාව මෙම කොටස කණු මත ඉදිකළ යුතු බවට හඬ නැගූහ. සැපයුම් මාර්ගය ඉදිකිරීම සඳහා ජල මාර්ගයේ කොටසක කළු ගල් පිරවූ අවස්ථාවේදී ඇතිවූ ජනතා විරෝධය එහි පළමු වැන්නයි. එවකට මීරිගම ප්‍රාදේශීය ලේක්ම් වරයා වහාම මැදිහත්ව ජල මාර්ගයේ දැමූ ගල් කුට්ටි ඉවත් කිරීමට පියවර ගැනීමෙන් ජනතාව ඒ අවස්ථාවේ තරමක සහනයක් ලබා ගන්නට හැකිවිය.ජනතාව දිගින් දිගටම පෙන්වා දී ඇත්තේ මෙම ඇළ මාර්ගය අවහිර වීමෙන් මහත් විනාශයක් සිදුව බවයි. ඒ අවස්ථාවේදී අධිවේගී මාර්ගයේ බලධාරීන් ජනතා ඉල්ලීමට කන් දෙන බව පැවසුවත් මේ වනවිට මීටර් දෙසීයක පමණ කොටසක් පස් කන්ද මත ඉදිකිරීමට සූදානම් කර ඇත.

ගනේගොඩ පැරකුම් ගොවි සංවිධානයේ හිටපු ලේකම් එන්.පී. ධනපාල මෙසේ කීය.

“අපි ලොකු සටනක් කළා. ඒත් විකල්පයක් නැහැ. දීඇල් ඔයේ ඉඳන් මේ පාර කණු උඩ ගෙනියන්න කියලා අපි ඉල්ලුවේ අපේ ගම යටවෙන එක වළක්වා ගන්නයි. මේ හානිය වෙනවා කියලා අපි එදා දැක්කා. අපි ඉංජිනේරුවෝ නොවෙයි වුණත් උපන්දා ඉදන් වතුර ගලන හැටි දැකලා ඒ කරුණු කාරණා මතයි අපි එහෙම කිව්වේ. ඉංජිනේරුවෝ කිව්වේ එහෙම වෙන්නේ නැහැ කියලයි. තවම පාර හදලා ඉවරත් නැහැ. කොටසක් පස් පුරවලා විතරයි. මෙදා වැස්සට ගෙවල් සියල්ලම යට වුණා. ඉතුරු ටිකත් පිරෙව්වාම අපේ නෑයන්ට සිද්ධවෙන්නේ ගිලිලා මැරෙන්නයි. මේතරමටවත් වතුර අඩු කරගත්තේ සැපයුම් මාර්ගයේ දෙපොලක් කපා දැම්මට පස්සෙයි. ඉංජිනේරුවන්ට දැන්වත් මොළය පෑදෙයි කියලා හිතනවා. අඩි විස්සේ හතළිහේ බෝක්කු දානවා කිව්වා. දැන් දාලා තියෙන බෝක්කුවක් අඩි අටකට වැඩිය නැහැ. අපි මේ ගැන එදා ඇමතිට කියද්දී හිනාවුණා. අද අපිට අඩන්න වෙලා.”

ආර්.එම්.පී. පතිරණද මේ ප්‍රශ්නයෙන් බැට කන කාන්තාවකි.

“දරුවන් වගේම දෙමාපියන් ආරක්ෂා කරගන්න අපි මහ රෑ ඉඳලා ඇහැරගෙන හිටියේ. බලා ඉදිද්දී වතුර ගෙට දැම්මා. දණක් විතර වතුර ගේ ඇතුළේ එළියේ මහ මුහුද වාගේ තිබුණේ. මේ ඔක්කොම වුණේ හයිවේ එක නිසයි. දැන් වතුර බහින්නේ නැහැ. බොන්න වතුර ටිකක් නැහැ. උයාගන්න විදියක් නැහැ. දැන්වත් මේ කාරණා තේරුම් අරගෙන පාර කණු මත හැදුවොත් අපිට මේ බිමේ ජීවත් වෙන්න පුළුවන් වෙයි. ”

ලාල් ගනේගොඩ පැවසුවේ පස් වසරකට පෙර සිට ජනතාව එකහෙළාම පැවසුවේ ගනේගොඩ වෙල් යායේ අධිවේගය කණු මත ඉදිකරන ලෙස වුවත් බලධාරීන් ඊට අනුගත නොවීම හේතුවෙන් ඔවුන් ජල ගැල්මෙන් පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර දීඇල් ඔය සහ අත්තනගලු ඔය උතුරා පිටාර ගැලීම හේතුවෙන් වේයන්ගොඩ නගරය ආසන්නයේ ගම්මාන රැසක පවුල් රැසක්ද අවතැන් වූහ. මෙසේ අවතැන්ව කොටු වී සිටි ජනතාවගේ අවශ්‍යතා සම්පූර්ණ කර දීම සඳහා පොලිස් ජීවිතාරක්ෂක නිලධාරීහු බෝට්ටු යොදා ගෙන එම ප්‍රදේශයේ සංචාරය කරමින් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගනු ලැබිණි. වේයන්ගොඩ නගරය ආසන්නයේ ම තල්ගස්මොටේ මැදවත්ත කොටසේ නිවෙසක් කඩා වැටීමෙන් එහි දිවි ගෙවූ පුද්ගලයා දිවි බේරාගෙන තිබුණේ අනූනවයෙනි.

මීරිගම වේයන්ගොඩ හා ගම්පහ පෙදෙස් හි සිදු වූ ජල ගැලීම් සැලකිල්ලට ගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් යළි සමාලෝචනය කර ඒ පිළිබඳව පරිසර විද්‍යාත්මක ඇගයීම් වාර්තාවක් වහාම ලබා දෙන ලෙස මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ අවිධිමත් ඉදිකිරීම් හේතුවෙන් පසුගිය දිනවලදී ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථාන ජලයෙන් යට වූ බවට ජනතාව මතුකරන චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා මහා මාර්ග අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදීය.

එසේම ගම්පහ දිස්ත්‍රික්කයේ ගංවතුර තත්ත්වයට හේතු වූ කරුණු විමර්ශනය කර වාර්තාවක් සැකසීම සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව හා මහා මාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කමිටුවක් ගම්පහ දිස්ත්‍රික් ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පත් කරනු ලැබීය. ඉතා කෙටි කාලසීමාවකදී වැඩිම වර්ෂාපතනයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූයේ මෙවර බවත් එය මිලිලීටර් 250 ත් 300 ත් අතර වූ බවත් එම රැස්වීමේදී අනාවරණය වී ඇත.

ගම්පහ දිස්ත්‍රික්කයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් තාවකාලිකව අත්හිටුවන අතර නැවත ඉදිකිරීම් ඇරඹෙන්නේ මාර්ග සැලැස්ම යළි සමාලෝචනය කර තීරණයකට එළඹීමෙන් පසුව බවත් අවශ්‍ය වුවහොත් මධ්‍යම අධිවේගි මාර්ගයේ ගම්පහ කොටසේ සැලැස්ම සංශෝධනයට රජය සුදානම් යැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කළත් මහා මාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ ඉදිකිරීම් අත්හිටුවීමට තීරණයක් ගෙන නැති බවයි. මධ්‍යම අධිවේගී මාර්ගයේ ගම්පහ ඉදිකිරීම්වලදී ජනතා හඬට කන් නොදුනහොත් බරපතළ ප්‍රතිඵල අත්විය හැකි බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ඉකුත් (15) වැරැල්ලවත්ත ප්‍රදේශයේදී මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය. අමාත්‍යවරයා ගම්පහ සහ අත්තනගල්ල ප්‍රදේශවල මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් හේතුවෙන් ජලයෙන් යටවූ ප්‍රදේශ නිරීක්ෂණය කර මහජන අදහස්ද විමසා බැලීය.

ගම්පහ රත්මල්විට ප්‍රදේශයේ වෙල් යායක් හරහා ඉදිකර ඇති අධිවේගී මාර්ගයේ සැපයුම් මාර්ගය නිරීක්ෂණයට එහි ගිය ඇමතිවරයාට ප්‍රදේශවාසීන් පෙන්වා දුන්නේ එම ප්‍රදේශය යටවීමට හේතුව සැපයුම් මාර්ගය හේතුවෙන් ජලය බැස නොයෑම බවයි. එහි ඉදිකිරීම් සිදු කළ ඉංජිනේරුවරුන්ට මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළද එය සැලකිල්ලට නොගත් බව ද ඔවුහු පෙන්වා දුන්හ. ඉඩම් ගොඩකීරිමේ සංස්ථා නිලධාරීන් එම ප්‍රදේශ ජලයෙන් යටවීම සම්බන්ධයෙන් ලබාදී ඇති වාර්තා අසත්‍ය බවත් මේ ඉදිකිරීම් තවදුරටත් සිදු වුවහොත් ගම්පහ නගරය ජලයෙන් යටවීම වැළැක්විය නොහැකි බවත් මෙහිදී අවධාරණය කෙරිණ.

අත්තනගල්ල ප්‍රදේශයේ තල්ගස්මොටේ හා මැදවත්ත ප්‍රදේශවල ඉදිකර ඇති සැපයුම් මාර්ගයද එහි කුඩා පාලමද මෙහිදී ඇමතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය. මැදවත්ත ප්‍රදේශවාසීන් මෙහිදී ඇමතිවරයාට පෙන්වා දුන්නේ එම ප්‍රදේශය දෙකඩ කරමින් පස් කඳු මත ඉදිකෙරෙන මධ්‍යම අධිවේගී මාර්ගය තාවකාලික සැපයුම් මාර්ගයක් බව තමන් විශ්වාස කළ බවයි. මේ නිසා ඊට විරෝධය පළ නොකර බවත් මේ ඉදිවෙමින් පවතින්නේ ස්ථිර අධිවේගී මාර්ගය බව තමන් දැනගත්තේ මෑතකදී බවත් ඔවුහු කියා සිටියහ. ගංවතුර හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර හාර දහසකට පමණ හානී වී ඇති බවත් වගා හානි හේතුවෙන් ගොවීන් 5000 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව ඇති බවත් මේ වන විට වාර්තා වී ඇතැයිද තවදුරටත් එම ගණනය කිරීම් සිදුවන බවත් හානි සිදු වූ කුඹුරු හා ගොවීන් සංඛ්‍යාව වැඩි විය හැකි බවත් ඇමතිවරයා පැවසීය. කෙසේ වෙතත් මේ වනවිට කුඹුරු යායන් රැසක ගොවීහු දෙවතාවක් වපුරා ඇතත් ඉන් පළක් නොවූ පිරිසක්ද වෙති.

මේ තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ගොවීන්ට කඩිනමින් වන්දි ලබා දීමට කටයුතු කරන ලෙසත් ඉදිරි කන්නය සඳහා අවශ්‍ය බිත්තර වී ලබා දීමට කටයුතු කරන ලෙසත් ඇමතිවරයා කෘෂිකර්ම ඇමතිවරයාගෙන් ඉල්ලා ඇත.ගමේ දිවි ගෙවන ගැමියන්ගේ දැනුම නොසලකා හැර නිලධාරීන්ගේ ඕනෑකම මත පමණක් කටයුතු කිරීමෙන් මේ කනගාටුදායක තත්වය උද්ගතව ඇති බව නම් නොකියාම බැරිය.

එම්. පී. කුමාර (කොටදෙනියාව සමූහ)

Comments