පාඩු ලබන සංස්ථා දිනවූ සභාපතිවරු | සිළුමිණ

පාඩු ලබන සංස්ථා දිනවූ සභාපතිවරු

නිළධාරීන් පිරිසක් ශ්‍රී ලංකා ආයු­ර්වේද ඖෂධ සංස්ථාව නිශ්පාදනයක් නිරීක්ෂණය කරමින්

පේ පාසල් වියේදී කොපි පොත් ලෙස පාවිච්චි කළේ SPC අභ්‍යාස පොත් ය. එහෙත් අපගේ දරුවන්ගේ අවදිය වනවිට ඔවුන් SPC පොත් අත්හැර වෙනත් මාදිලියේ අභ්‍යාස පොත් පාවිච්චි කළේ ඒවායේ පිටකවරවල ඇති අලංකාරය නිසාමය. වත්මන් තරගකාරී වෙළෙඳපොළ සමඟ තරග කිරීමේදී පසුගාමී වූ SPC අභ්‍යාස පොත් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී පසුපසටම තල්ලු වී ගිය බව රහසක් නොවේ. කෙසේ හෝ අවසානයේදී SPC පොත් මුද්‍රණය කළ රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව පාඩු ලබන ආයතනයක් බවට පත් විය. 2015 වසරේදී රුපියල් 2,932,479 ක ලාභයක් හිමි කරගෙන සිටි රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව 2019 වනවිට අත්පත් කරගෙන සිටි ලාභය -169,428,396 කි. සැබැවින් ම එය අර්ථ ගැන්විය හැක්කේ අලාභයක් ව‍ශයෙනි.

එහෙත් 2020 ජනවාරි 01 වැනි දින රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ නව සභාපති ජනක රත්නකුමාරගේ ආගමනයත් සමඟ ඉතා කෙටි කාලයක් ඇතුළත මෙය ලාබ ලබන ආයතනයක් බවට පත්වී තිබේ.

කඩදාසි අපතේ යෑම 20% සිට 2.9% දක්වා අඩු කළා 
- රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව

“මම ආයතනයට පත්වෙලා එනවිට රුපියල බිලියන 1 ½ ක ණයක් මහජන බැංකුවෙන් අරගෙන තිබුණා. ණයේ පොලිය විතරක් රුපියල් මිලියන 49 ක්. රුපියල් මිලියන 250 ක් බඩු අරන් සැපයුම්කරුවන්ට ගෙවන්න තිබුණා. පඩි ගෙවා ගන්නවත් බැරි තත්ත්වයක් තිබුණේ. මැයි මාසයේ ආයතනය වහලා දාන්න තීරණය වෙලා තිබුණේ, ඒ නිසා මම පළමුවෙන් ම කළේ ආයතනය ගැන විශ්ලේෂණය කිරීම. ආයතනයේ තිබුණු ණය විතරක් ගෙවන්න එක් සේවකයකු රුපියල් 900 ගණනක් හම්බ කළ යුතු තත්ත්වය මත, පවතින යන්ත්‍ර සූත්‍ර සහ මානව සම්පත් සමඟ කාර්යක්ෂමතාව වැඩි කිරීමට මම තීරණය කළා. සාමාන්‍යයෙන් අපේ ආයතනය දවසකට පිටු ලක්ෂ 4 – 6 අතර ප්‍රමාණයක් නිපදවනවා. මෙය මම ලක්ෂ 9 දක්වා වැඩි කළා. අනික මම එනවිට කඩදාසිවලින් 20% ක් අපතේ යෑමට ලක් වී තිබුණා. කඩදාසි ඒ තරම් ප්‍රමාණයක් අපතේ යනවා කියන්නේ රුපියල් මිලියන 76 ක් විතර අපතේ යනවා කියන එක. මම කඩදාසි අපතේ යෑම 2.9% දක්වා පහත දැම්මා. එයින් අපතේ යන මුදල රුපියල් මිලියන 18 දක්වා අඩු කරගන්න පුළුවන් වුණා. ඒ නිසා රුපියල් මිලියන 58 ක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. අපේ ආයතනයේ පොත් මුද්‍රණය කිරීමේදී එක ප්ලේට් සෙට් එකකින් 30,000 ක් විතර තමයි මුද්‍රණය කළේ. ලක්ෂ 2 ක් මුද්‍රණය කරනවා නම් ප්ලේට් සෙට් 6 ක් දාන්න වෙනවා. ප්ලේට් සෙට් 2 කින් ලක්ෂ 2 ක් මුද්‍රණය කිරීමේ තාක්ෂණයක් මම හඳුන්වා දුන්නා. එයිනුත් මට වියදම් අවම කර ගැනීමට හැකි වුණා. ආයතනයට රුපියල් මිලියන 400 ක් විතර ලැබෙන්න තිබුණා. මම කොහොමහරි ඒවත් එකතු කළා. මුද්‍රණය අවසන් කරලා බෙදා හරින්නේ නැතිව ගබඩාවෙ තිබුණු බඩු අදාළ ආයතනවලට නිකුත් කරලා මුදල් ලබා ගත්තා. ඒ වගේම තමයි SPC අභ්‍යාස පොත්වලට තිබූ 8% ක වෙළෙඳ පොළ ඉල්ලුම මම 20% දක්වා ව‍ැඩි කළා. ඊට මූලිකව බලපෑවේ පිටකවරය වෙනස්කර ඝනකමට යෙදූ GSM 60 කොළය වෙනුවට GSM 70 කොළය යෙදීම සහ සතොස අලෙවිසල් 423 න් SPC අභ්‍යාස පොත් 20% ක් අඩුවෙන් මිලදී ගැනීමට හැකිවීම” යනුවෙන් රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාවේ සභාපති ජනක රත්නකුමාර විස්තර කළේ ය.

එහි ප්‍රතිඵලය වූයේ 2020 වර්ෂයේදී රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව රුපියල් 22,943,355 ක ලාභයක් ඉපයීමය. ඍණ මට්ටමේ තිබූ ලාභය ධන මට්ටම කරා ගමන් කිරීමය.

මේ ආකාරයට අලාභ ලබමින් සිටි ආයතන වසරක් වැනි කෙටි කාලයක් තුළ ලාභ ලබන තත්ත්වයට පත්වූ අවස්ථා තවත් තිබේ. රාජ්‍ය වැවිලි සංස්ථාව ද ඊට හොඳ උදාහරණයකි. රාජ්‍ය වැවිලි සංස්ථාව 2013 – 2019 දක්වා සාමාන්‍යයෙන් වර්ෂයකට රුපියල් මිලියන 200 ක් පමණ අලාභ ලැබූ ආයතනයකි. වැටුප් ගෙවීමට පවා මුදල් ලැබුණේ මහා භාණ්ඩාගාරයෙනි. එහෙත් 2020 වර්ෂයේදී මහා භාණ්ඩාගාරයෙන් හිමිවන මුදල් නවත්වා වතු සේවකයන්ගේ වැඩි කළ වැටුප් ද ගෙවමින් අලාභය රුපියල් මිලියන 149 දක්වා අඩු කරගෙන ඇත.

“මම රාජ්‍ය වැවිලි සංස්ථාව බාරගන්නා විට විශාල ණය ප්‍රමාණයක් තිබුණා. බැංකු අයිරා අරගෙන ඒවාට මාසික පොලිය විතරක් රුපියල් මිලියන 4 ක් විතර ගෙවනවා. කම්කරු දෙපාර්තමේන්තුවේ දාපු නඩුවලින් සේවකයන්ට වසරකට මිලියන 300 ක් විතර ගෙවන්න තියෙනවා. වාර්ෂිකව රුපියල් මිලියන 900 ක් විතර ගෙවීමට තරම් ණය ප්‍රමාණයක් තියෙනවා. දළ වශයෙන් මාසිකව මිලියන 6 – 7 ක් ණයවලට විතරක් ගෙවන්න තියෙනවා. 2020 සිට මහා භාණ්ඩාගාරයෙන් මුදල් දුන්නේ නැහැ. මේ තත්ත්වය යටතේ ආදායම උපයා ගැනීමත් ලාභ ලැබීමත් මට විශාල අභියෝගයක් වුණා. රාජ්‍ය වැවිලි සංස්ථාවට වතු 17 ක් අයිතියි. කර්මාන්ත ශාලා 3 ක් අයිතියි. තේවතුවල ඵලදායිතාව ගැන මම අවධානය යොමු කළාම නිසි වෙලාවට පෝර දාලා තිබුණේ නැහැ. කර්මාන්ත ශාලා නවීකරණය කරලා තිබුණේ නැහැ. ඒ නිසා වෙන්දේසියට යන තේ ප්‍රමිතියෙන් අඩුයි. රාජ්‍ය වැවිලි සංස්ථාවේ තේ කිව්වාම වෙන්දේසිවලදී බ්‍රෝකර්වරුන් ගණන් ගන්නෙ නැහැ. මම කලට වෙලාවට පෝර දැම්මවීමෙන් අමු තේ දලු ප්‍රමාණය ඉහළ ගියා. ඒ නිසා 2019 වර්ෂයට වඩා 2020 වර්ෂයේ අමු තේ දලු ප්‍රමාණය ලක්ෂ 10 කින් වැඩි වුණා. අපේ අමු තේ දලු වෙනත් තේ කර්මාන්ත ශාලාවලට විකුණනවා. ඒත් ඒ විකිණීමේ ක්‍රමවේදයේ විනිවිද භාවයක් තිබුණේ නැහැ. අවිධිමත් ආකාරයට තමයි විකිණීම සිද්ධ වුණේ. මම ඒවා විධිමත් ක්‍රමවේදයකට සිදු කළා. ඒ නිසා පෙර වර්ෂවලට වඩා ආදායමක් උපයා ගැනීමට හැකි වුණා. තේ ෆැක්ටරි 3 න් 1 ක් නම් නවීකරණය කරලා තිබුණා. ඉතිරි 2 මම නවීකරණය කළ නිසා තේවල ප්‍රමිතිය ඉහළ ගියා. ඒ නිසා ලෝක වෙළෙඳපොළත් අපේ තේවලට වැඩි මිලක් ලැබුණා. අනික් කාරණය තමයි තේවතුවල දැවමය වටිනාකමින් යුතු ශාක තියෙනවා. මම ටෙන්ඩර් කැඳවලා විනිවිදභාවයෙන් යුක්තව දැව විකුණුවා. සේවකයන්ගේ අවභාවිතයන් නතර කළා. මේ නිසා 2019 වර්ෂයේ රුපියල මිලියන 329 ක් වී තිබූ සමස්ත පාඩුව 2020 වර්ෂයේ රු. මිලියන 149 දක්වා පහත දමා ගැනීමට මට හැකි වුණා. මේ ආකාරයට අලාභය පහත දමා ගත්තේ වතු සේවකයන්ගේ වැඩි වූ වැටුප් නිසා වැඩිපුර රුපියල් මිලියන 52 ක් ගෙවලා තියන කාරණාව අමතක කරන්න හොඳ නැහැ.” යනුවෙන් රාජ්‍ය වැවිලි සංස්ථාවේ සභාපති ශ්‍රීමාල් විජේසේකර පැහැදිලි කළේ ය.

නිසි කලට පෝර යෙදූ නිසා වසර 2020 දී අමු තේ දලු ලක්ෂ 10 ක වර්ධනයක් 
- රාජ්‍ය වැවිලි සංස්ථාව

ඔහුගේ සභාපතිත්වයෙන් පසුව 2020 මැයි 31 වනවිට උපයා ගත් ආදායම වන රු. මිලියන 284 ක් වුව ද 2021 මැයි 31 වන විට එය රුපියල් මිලියන 385 දක්වා වර්ධනය කර ගැනීමට හැකිවීම ඔහු ලැබූ සුවිශාල ජයග්‍රහණයකි.

මේ අතරවාරයේදී පාඩු නොලබා ලාභ ලැබුවද එම ලාභය ශීඝ්‍රයෙන් වර්ධනය කරගත් ආයතන කීපයක් ගැන ද අපට තොරතුරු වාර්තා විය. ලංකා විදුලිබල සමාගම (ලෙකෝ) එවැනි ආයතනයකි.

“ලෙකෝ ආයතනය දිගින් දිගටම ලාභ ලැබූ ආයතනයක්. ඒත් මගේ සභාපතිත්වයෙන් පසු මම නැවතිලා තිබුණු ව්‍යාපෘති නැවතත් ආරම්භ කළා. අපේ ප්‍රධාන කාර්යාලය තිබෙන්නේ කුලී ගොඩනැගිල්ලක. අපේම ගොඩනැගිල්ලක් හදන්න සැලසුමක් තිබුණා. ඒත් එය අවු. 7 ක ඉඳලා නැවතිලා තිබුණා. මම එය නැවතත් ආරම්භ කළා. නුගේගොඩ ප්‍රදේශයට විදුලි කණු ඉවත් කරලා පොළව යටින් විදුලි රැහැන් ඇදීමේ ව්‍යාපෘතියක් 2015 ට පෙර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාත්මක වුණා. ඒත් 2015 දී එය නැවතුණා. මම එය නැවතත් ආරම්භ කළා‍. මේ වගේ නැවතිලා තිබුණු ව්‍යාපෘති කීපයක් මම පටන් ගත්තා. ඒ වගේ ම තමයි අපි දැන් නව තාක්ෂණය සමඟ ඉදිරියට ඇවිත් තියෙනවා. අලුත් සම්බන්ධතාවක් ලබා ගැනීමට, කණුවක් වෙනස් කර ගැනීමට දැන් ඊමේල් එකකින් පුළුවන්. අපි දැන් තාක්ෂණය උපරිම විදිහට පාවිච්චි කරනවා. ඒ විදිහට අපේ ආයතනය සපයන සේවා වැඩි දියුණු ආකාරයට පුළුල්ව සපයන අතරවාරයේදී මම ආයතනයේ වියදම් අඩු කළා. මම පත්වීමට පෙර අධ්‍යක්ෂ මණ්ඩලයට නීති උපදේශකවරයෙක් පත් කර තිබුණා. මම ඒ තනතුර ඉවත් කරලා ඒ කාර්යය අධ්‍යක්ෂ මණ්ඩලයට පැවරුවා. එයින් මාසිකව ලොකු වියදමක් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ප්‍රචාරක දැන්වීම්වලට මිලියන ගණනක් වියදම් කර තිබුණා. මම ඒ වියදම් කපා දැම්මා. ඒ වගේ ම තමයි නඩත්තු කටයුතු සඳහා සැලසුම් සහගතව විදුලිය විසන්ධි කිරීමේදී සාමාන්‍යයෙන් පැය 8 ක් විතර විදුලිය විසන්ධි කරනවා. විදුලිය විසන්ධි කිරීම ආයතනයකට හොඳ දෙයක් නොවෙයි. ඇත්තටම එය ආයතනයට පාඩුවක්. ඒ නිසා මම නඩත්තු කටයුතු සඳහා වැඩි සේවක පිරිසක් යොදවලා පැය 2,3 කින් විදුලිය සැපයීමට ක්‍රියා කළා.” යනුවෙන් පැවසුවේ ලංකා විදුලිබල සමාගමේ (ලෙකෝ) සභාපති අතුල ද සිල්වා ය.

එහි ප්‍රතිඵලය වූයේ වාර්ෂික ලාභය ශීඝ්‍රයෙන් වර්ධනය වීමය. 2019 වර්ෂයේ රුපියල් බිලියන 2 ක් වූ ශුද්ධ ආදායම 2021 වර්ෂයේ මුල් මාස 5 ඇතුළත, එනම් 2021 ජනවාරි 01 සිට මැයි 31 දක්වා උපයා ගැනීමට හැකි වූයේ නව සභාපති අතුල ද සිල්වාගේ දක්ෂතාව නිසාමය.

අතිකාල දීමනාවලට විතරක් ගෙවූ රු. ලක්ෂ 33 ලක්ෂ 11 දක්වා අඩු කළා 
- ආයුර්වේද ඖෂධ සංස්ථාව

ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාව ද කෙටි කාලයක් තුළ ලාභය වර්ධනය කරගත් තවත් ආයතනයකි. 2015 වර්ෂයේදී රුපියල් මිලියන 41 ක් ද 2016 දී රු. මිලියන 27 ක් ද 2017 දී රුපියල් මිලියන 43 ක් ද 2018 දී රුපියල් මිලියන 23 ක් ද වශයෙන් ලැබූ ලාභය 2019 වසරේදී රුපියල් හය ලක්ෂ හතළිස් අට දාහ දක්වා පහත වැටී තිබේ. එහෙත් 2019 දෙසැම්බර් 20 වැනි දින පත්වූ නව සභාපතිනිය වන නීතිඥ සාගලා‍ අබේවික්‍රමගේ පරිපාලනය සහ කළමනාකරණය නිසා 2020 වසර අවසාන වනවිට රුපියල් ලක්ෂ 61 ක ලාභයක් උපයා ගැනීමට හැකි විය.

“මම මුලින්ම කළේ අනවශ්‍ය වියදම් කපා හැරීම. මම ආයතනය බාර ගන්න විට අතිකාල දීමනාවලට විතරක් රුපියල් ලක්ෂ 33 ක් වැය වී තිබුණා. මම එය රුපියල් ලක්ෂ 11 – 20 අතරට ගෙනාවා. අවශ්‍ය නම් විතරයි අතිකාල දීමනා ලබා දෙන්නේ. පැය 24 න් වැඩ කරලා උදේ 8.30 ට සේවය අවසන් කරලා නැවතත් උදේ 8.31 ට සේවයට වාර්තා කරපු අය හිටියා. ඖෂධ බෙදා හැරීමේදී අතිකාල පැය ගණන නිසා වාහන අතරමග නවත්වාගෙන හිටපු අය හිටියා. මම ඒ වගේ දේවල් නැවැත්තුවා. ඔසු උයන්වල ඖෂධ වැටිලා යද්දී අමුද්‍රව්‍ය මිලදී ගන්න ක්‍රමවේදයක් තිබුණා. නෙල්ලි ගස් යට වැටිලා යන කාලේට නෙල්ලි යොදාගෙන හදන ඖෂධ නිෂ්පාදනය කරන්නේ නැතිව නෙල්ලි අවාරේදී ඖෂධ නිෂ්පාදනය කරලා තිබුණා. දෙහි ගස් යට වැටෙද්දී රත කල්ක වගේ දේවල් නිපදවන්නේ නැතිව දෙහි අවාරේදී වැඩි මිලට දෙහි අරගෙන ඖෂධ නිෂ්පාදනය කරලා තිබුණා. මම ඒ ක්‍රමය වෙනස් කළා. ඒ නිසා බෙහෙත් බඩු මිල දී ගැනීමේදී වැය වන අමතර මුදල් ඉතිරි කරගන්න පුළුවන් වුණා. ඒ වගේ ම ඖෂධ සැපයුම්කරුවන්ගේ මාෆියාව කැඩුණා. පසුගිය කොරෝනා කාලයේ අරළු, බුළු, නෙල්ලි වගේ ඖෂධ සොයා ගැනිමේ දුෂ්කරතා මතු වුණා. ඒ පාර මම දඹාන ආදිවාසී නායකයා එක්ක කතා කරලා බෙහෙත් බඩු, මීපැණි වගේ දේවල් මිලදී ගත්තා. අපේ ආයතනයට කටුවැල්බටු, බැබිල වැඩිපුර වුවමනා වෙනවා. අපි යාපනයෙන් කටුවැල්බටු එකතු කරගෙන ආවා. බැබිල අතිරික්තයක් මම හැදුවා. වියළි ඉඟුරු කිලෝ එක රු. 1200 ට තියෙන කොට මම අමු ඉඟුරු අරගෙන වේළුවා. හැබැයි වියළි ඉඟුරු කිලෝ 1 ක් ගන්න අමු ඉඟුරු කිලෝ 5 ක් 6 ක් ඕනෑ. කාලය, සේවක ශ්‍රමය එක්ක බලපුවාම ඒක පාඩු නිසා ඒ වැඩේ අත්හැරලා දැම්මා. කොරෝනා වසංගතය එක්ක අපි නව ඖෂධ 5 ක් හඳුන්වා දුන්නා. පසුගිය ආණ්ඩුව කාලයේ නව ඖෂධ හඳුන්වාදීමේ උත්සවවලට ප්‍රචාරණයට මිලියන ගණන් වියදම් කරලා තිබුණා. ඒත් මම ඖෂධ හඳුන්වාදීමේ උත්සවයට වියදම් කළේ රු. ලක්ෂ එක හමාරයි. ඒ වගේ ම එදා ඒ උත්සවයේදී එක්තරා වාණිජ බැංකුවක් රු. මිලියන 2 ක සැනිටයිසර් මිලදී ගත්තා. ඒ නිසා එයින් මට ලාභයක් ලැබුණා. ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවට අලෙවිසල් 17 ක් තියෙනවා. එයින් පාඩු ලබන අලෙවිසල් 2 ක් වැහුවා. 2019 වනවිට නිෂ්පාදන අලෙවි ආදායම රුපියල් මිලියන 13 යි. ඒත් අද වනවිට එය රුපියල් මිලියන 18 ඉක්මවා තිබෙනවා.” යනුවෙන් ලාභය ඉපයූ ආකාරය දීර්ඝ වශයෙන් පැහැදිලි කළේ සභාපතිනිය, නීතිඥ සාගලා අබේවික්‍රම ය.

වසර 49 ක ඉතිහාසයේ වාර්තාගත ආදායම 2020 දී 
- ජාතික ඉතිරි කිරීමේ බැංකුව

කවදත් ලාභ ඉපයූ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ද නව සභාපතිත්වය යටතේ තව තවත් ලාභය තර කරගෙන සිටින ආයතනයකි. ජනතාවගේ ඉතුරුම් තැන්පතු මුදල්වලින් 60% ක් මහා භාණ්ඩාගාරයේ ආයෝජනය කිරීම බැංකු සම්ප්‍රදාය වේ. එයින් රජයට මුදල් ලැබෙන අතර බැංකුවට යම් පොලියක් ලැබෙනු ඇත. ඊට අමතරව බැංකුව උපයන ලාභාංශවලින් කොටසක් ද මහා භාණ්ඩාගාරයට ලබාදෙනු ලැබේ. වසර 49 ක ඉතිහාසයකට හිමිකම් පාන ජාතික ඉතිරි කිරීමේ බැංකුව වාර්තාගත ලාභයක් ඉපයූ වසර ලෙස 2020 හැඳින්විය හැකි ය. 2019 වර්ෂයේදී ජාතික ඉතිරි කිරීමේ බැංකුව ඉපයූ පසු බදු ලාභය රුපියල් බිලියන 6.4 කි. එහෙත් 2020 වසරේ ඉපයූ පසු බදු ලාභය රුපියල් බිලියන 10.1 කි. මෙය ලාභයේ වර්ධනය 58% කින් පෙන්නුම් කරන වසරක් ලෙස දක්වා ඇත.

“අපි මෙම ලාභය අත්පත්කර ගත්තේ කොරෝනා වසංගතය එක්ක කියන කාරණාව අමතක කරන්න හොඳ නැහැ. කොරෝනා තිබුණත් අපේ සියලුම දෙනා පාරිභෝගිකයන්ට උපරිම සේවය ලබා දුන්නා. මුදල් අමාත්‍යාංශයේත් මහ බැංකුවේත් උපදෙස් අනුව අධ්‍යක්ෂ මණ්ඩලය සහ කළමනාකාරිත්වය නිවැරැදි තීන්දු තීරණ ගත්තා. මොනම වෙලාවකවත් පහතට වැටෙන්න ඉඩ දුන්නේ නැහැ. බැංකුවක් කියන්නේ සේවය අලෙවි කරන ආයතනයක් මිසක් නිෂ්පාදන අලෙවි කරන ආයතනයක් නොවෙයි. ඒ නිසා අපි අපේ පාරිභෝගිකයන්ට උපරිම වශයෙන් සේවය ලබා දුන්නා. අලුත් ඉතිරි කිරීමේ ක්‍රම, අලුත් ණය ක්‍රම, සහන සලසා දුන්නා. ඒ නිසා පාරිභෝගිකයන් අපි සමඟ දිගටම රැඳුණා. අපි ලාභ උපයන්නේ අපේ ගනුදෙනුකරුවන්ගේ මුදල්වලින්. ඒ නිසා වාර්තාගත ලාභයක් උපයන විට අපේ ගනුදෙනුකරුවන්ටත් පැය 24 පුරා සේවයට කැප වුණු සේවක මණ්ඩලයටත් මගේ කෘතඥතාව හිමිවිය යුතුයි.” යනුවෙන් සඳහන් කළේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ සභාපතිනිය, කේශිලා ජයවර්ධනය.

කොරෝනා වසංගතය හමු‍වේ ආර්ථිකයේ කඩා වැටීම් ගැන බොහෝ දෙනා කතා කරන කාලයක වාර්තාගත ආදායම් උපයමින් අලාභය අවම කර ගනිමින්, ඇතැම්විට ලාභය වැඩි කරගනිමින් කටයුතු කරන ආයතන ද මෙරට ඇති බව අප කිසිසේත් අමතක නොකළ යුතු ය.

Comments