බස්නා­හිර පළාත් වෙළෙඳ කලාප සේව­ක­යින්ට අත­ර­මැදි ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක් | Page 2 | සිළුමිණ

බස්නා­හිර පළාත් වෙළෙඳ කලාප සේව­ක­යින්ට අත­ර­මැදි ප්‍රති­කාර මධ්‍ය­ස්ථා­න­යක්

 

 

නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින් ගේ සංගමය (Free Trade Zone Manufacturers Association - FTZMA ) සහ BOI එක්ව, කොවීඩ් වසංගතයට ගොදුරු වන, බස්නාහිර පළාතේ වෙළෙඳ කලාප සේවකයින් සඳහා ඇඳන් 425 කින් යුතු අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පසුගියදා විවෘත කළේය.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, ක්‍රිස්ටල් මාටින් සිලෝන් පුද්ගලික සමාගම (CMPL) සහ දිවයිනේ නිදහස් වෙළෙඳ කලාපවල නිෂ්පාදකයින් නියෝජනය කරන එකම ව්‍යාපාර එකමුතුව වන, 'නිදහස් වෙළෙඳ කලාප නිෂ්පාදකයින්ගේ සංගමය' (FTZMA), මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා මූලිකත්වය ගෙන කටයුතු කළේය.

බස්නාහිර පළාතේ BOI කලාප සේවකයින් සඳහා මෙන්ම, රට පුරා ඇති නිදහස් වෙළෙඳ කලාප දාහතරේ ම කලාපවල සේවය කරන අය සඳහා වෙන් වූ, කටුනායක අපනයන සැකසුම් කලාපයේ පිහිටා ඇති මෙම මුළු ව්‍යාපෘතියේ වටිනාකම රු. මිලියන 20කි.

අභියෝග හමුවේ ඉදිරියට යන කලාපවල සේවකයන් රැකගැනීම උදෙසා ක්‍රියාත්මක කරන ලද මෙම ව්‍යාපෘතිය පිළිබඳ, නිදහස් වෙළෙඳ කලාප ආයෝජකයින් ගේ සංගමයේ ප්‍රධාන ලේකම්, ධම්මික ප්‍රනාන්දු පැවසුවේ මෙවැනි අදහසකි.

ඇත්තටම පහුගිය කාලයේ වෙළෙඳ කලාපවල සේවකයින් කොවිඩ් වසංගතයට ගොදුරු වූ අවස්ථාවේ ඔවුන් දැඩි අපහසුතාවකට පත්වුණා. විශේෂයෙන් පුද්ගලික නේවාසිකාගාරවල ඉන්න අය ඉතාමත් අසරණ භාවයට පත් වුණා.මේ තත්ත්වය යම් පමණකට හෝ මගහරවා ගැනීම උදෙසායි, රෙදිපිළි සහ නිමි ඇඟලුම් කර්මාන්තයේ නියැළී සිටින FTZMA සියලුම සාමාජිකත්වයේ එකතුවෙන්, මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භ කළේ. මේ සඳහා, මුලික අවශ්‍යතාවක් වූ ගොඩනැගිල්ල ලබා දීමට FTZMA සාමාජික, සමාගමක් වන ක්‍රිස්ටල් මාටින්, සිය කර්මාන්තශාලා පරිශ්‍රයක් පරිත්‍යාග කළා. ප්‍රතිකාර මධ්‍යස්ථානයට අවශ්‍ය ඇඳන් සහ අනෙකුත් සියලු අවශ්‍යතා සපුරා ගනු ලැබුවේ, FTZMA සාමාජික අරමුදල් සහ පරිත්‍යාගවලින්. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සම්පත් දායකත්වයත් ඉතා අගය කළ යුතුයි. ගම්පහ දිස්ත්‍රික් ශාඛාවේ ජාතික තරුණ සේවා කවුන්සිලය, ඇඳන් ෆ්‍රේම් 300ක් පරිත්‍යාග කළා. මෙම අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය තනි රෝහල් ඇඳන් 425 කින් සමන්විත වන අතර, සම්පූර්ණ උපාංග සහ අනෙකුත් පහසුකම් වලින් සමන්විතයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ මඟ පෙන්වීම යටතේ, මීගමුව මහ රෝහලෙන් අනුයුක්ත කරන ලද, වෛද්‍ය හා සෞඛ්‍ය කාර්යය මණ්ඩලය යටතේ මෙහි සියලු අධීක්ෂණ කටයුතු සිදු කෙරෙනවා. ඒ අනුව, රෝග ලක්ෂණ සහ ආසාදනයේ බරපතළකම පෙන්වන රෝගීන් විශේෂ ප්‍රතිකාර සඳහා, විනාඩි 10-20ක් දුරින් පිහිටි මීගමුව මහ රෝහලට යැවීමටයි, සියලු කටයුතු සූදානම් කොට තිබෙන්නේ.

වැදගත්ම දේ මෙහි රෝගීන් ඇතුළත් කර ගන්නේ, online හරහා ලියාපදිංචි වීමෙන්. තමන්ගේ කර්මාන්තශාලාවේ කෙනකු රෝගී වූ විට, එම ආයතනය විසින් අපේ වෙබ් අඩවියට පිවිස ලියාපදිංචිය සිදු කළ යුතු වෙනවා. ඒ සඳහා ප්‍රවේශ විය හැක්කේ, අවසර ලත් එම ආයතනවලට පමණයි. FTZMA ව්‍යවසායකයින්ට පමණක් ප්‍රවේශ විය හැකි පරිදි මෙම ඔන්ලයින් ලියාපදිංචිය සකසා තිබෙන්නේ, රට පුරා නිදහස් වෙළෙඳ කලාප 14ක, දෙලක්ෂ විසිපන් දහසක් පමණ වන සේවකයන්ගේ සුබසාධනය ගැන හිතලා. ඒ වගේම, එම රෝගීන් ඇතුළත් කර ගැනීම අන්තර්ජාලය හරහා සිදු කිරිමේදි රෝගියාගේ දත්ත කිසිදු තෙවන පාර්ශ්වයකට අනාවරණය නොකර රහස්‍යභාවය පවත්වා ගන්නට හැකියාව තිබෙනවා.

රෝගීන් ගේ සුරක්ෂිතභාවය සහතික කිරීම සඳහා පිවිසුම් දොරටු කළමනාකරණය කරනු ලබන්නේ ආයෝජන මණ්ඩලයේ ආරක්ෂාව යටතේ.

ඒ වගේම, මීගමුව මහ රෝහලේ ආහාර අංශයේ නියමයන්ට අනුවයි, සියලුම ආහාර වර්ග ලබා දෙන්නේ. රෝගියකු ඇතුළත් කරන විට, සබන්, දන්තාලේප, දත් බුරුසුව, කෝප්පය, පිඟාන... වැනි මූලික සනීපාරක්ෂක අවශ්‍යතා සහිත කට්ටලයකුත් අප ලබා දෙනවා. රෝගීන්ගේ මානසික ආතතිය අවම කිරීම සඳහා විනෝදාස්වාදය ලබා දෙන ක්‍රියාකාරකම් රැසක් ද මෙහි ක්‍රියාත්මක වෙනවා. නොමිලේ ලබා දෙන දුරකථන මාර්ග ඔස්සේ ඔවුන්ගේ පවුල් සමඟ සම්බන්ධ වීමට ද රෝගීන්ට අවස්ථාව තිබෙනවා.

 

ඡායාරූප - කටුනායක ටී.කේ.ජී.කපිල

 

Comments