සංචරණ සීමා අස්සේ බස් රියදුරන්ගේ සද්දේ | සිළුමිණ

සංචරණ සීමා අස්සේ බස් රියදුරන්ගේ සද්දේ

එන්.එච්. වික්‍රමරත්න (43) 
ගාල්ල

මාසයක් එක දිගට සංචරණ සීමා දැම්මා. බස් දිව්වෙ නැති නිසා අපිට පඩිත් නෑ. බඩු මලුත් නෑ. රු. 5000ත් නෑ. අපි අසරණ වුණා. බස් එකේ ෂීට් ගානට වැඩිය සෙනඟ ගේන්න දෙන්නෙත් නෑ. ඇල්ලුවොත් රු. 10,000 දඩ ගෙවලා දවස් 14 නිරෝධායනයට යන්නත් වෙනවා. ඒ නිසා ටික දෙනයි ගේන්නේ. ඒක අපිට පාඩුයි. ඩීසල් වැඩි කළා වුණාට බස් ගාස්තු වැඩි කළේ නෑ. දවසකට රු. 1000 ක් 2000 ක් කලින් හොයා ගත්තා. පහුගිය ටිකේ ඒකත් නෑ. රටේ හැමතැනම මේ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ. දැන් රු. 800 වගේ ලැබෙන්නේ ගෙනියන සෙනඟ ප්‍රමාණය අඩු නිසා.

එච්.එච්. රණසිංහ (51)
බෙලිඅත්ත

සංචරණ සීමා නිසා අපිට එදා වේල හොයාගන්නවත් බෑ. මගේම වාහනය මම ධාවනය කරන්නේ; ඩීසල් වැඩි කළා. වාහන අමතර කොටස් මිල වැඩියි. මාසයක් එක දිගට වාහනේ දිව්වෙ නෑනේ; ආර්ථිකයත් බිඳ වැටිලා. බස් එක නඩත්තු කරන්න ඕනෑ. ඩීසල් ගහන්න ඕනෑ. කොන්දොස්තරටත් පඩි ගෙවන්න ඕනෑ. ඒ මදිවට ෆිනෑන්ස් ගෙවන්නත් වෙනවා. හැම රියදුරෙක්ම හා ගෝලයෙක්ම එදිනෙදා වියදම් හොයාගන්න අයනේ. බස් දිව්වොත් තමයි මුදල් ලැබෙන්නේ. ඒකටත් මිනිස්සු ගෙනිච්චොත් තමයි ලාභයක් තියෙන්නේ. රෝගයෙන් පරිස්සම් වෙන්නත් ඕනැනේ.

පී.එම්. ලක්ෂ්මන් (53)
මීගමුව

අපිට මගී ප්‍රවාහන අධිකාරියෙන් රුපියලක්වත් ලැබුණේ නෑ. බඩු මලුත් නෑ. රුපියල් පන්දාහත් නෑ. කොරෝනා එන්නතත් නෑ. ජීවත් වෙන්නේ ණයවෙලා. බඩු මුට්ටු උකස් කරලා. කඩවලට දැනටමත් ණය කන්න බොන්න බඩු අරන්. රට වහනවා. අරිනවා. සංචරණ සීමා ඉවත් කළා කීවට. මේක විහිළුවක්. බස්වලට විතරක් සංචරණ සීමා.

රියදුරන්ට කිසිම සහනයක් නෑ. යුනි‍ෆෝම් නැත්නම් දඩගහනවා. අපිට E.T.F. නෑ. E.P.F. නෑ. රස්සාව ස්ථිර නෑ.

කේ. ජේ. වනිගසේකර (42)
කෙරවලපිටිය

රජයේ සේවකයන්ට ගෙදර හිටියත් ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. ව්‍යාපාර කරන අයත් කොහොම හරි ජීවත් වෙනවා. අපි වගේ එදිනෙදා කීයක් හරි ‍හොයාගන්න අයට තමයි හතේ හත වැදුණේ. බස් දුවන්න බෑ. ඒ මදිවට පෞද්ගලික හයර් යන්නත් බෑ‍නේ සංචරණ සීමා හින්දා. බස්වලට සහන දෙනවා කීවා. ඒකත් නෑ. රට වහනවා. අරිනවා. තියන අයට තියනවා. සමහරු බඩගින්නේ ෆිනෑන්ස් ගෙවන්න ඕනෑ. පොලී සහනයත් නෑ. බස්වල රෙපෙයාර් කරන්න ගියාම හොයනවට වඩා නඩත්තු කරනවා. පවුලක් ජීවත් කරන්න ඕනෑ. රු. 5000, බඩු මල්ලක් ලැබුණා. එන්නතත් අපිට විද්දා. ඒ වුණාට ජීවත් වෙන්න අමාරුයි.

දමිත් නිශාන්ත (51)
ඇඹිලිපිටිය

අද හම්බකළොත් තමයි අපි හෙට ජීවත් වෙන්නේ. බස් වැඩ කරන්නේ නැති නිසා ගෙදරට වෙලා ඉන්න සිදුවුණා. ණය වෙලා කන්න බොන්න, ළමයිගේ පන්තිවලට දුරකථන බිල්වලට. ලොකු රස්සා කරන අයට ආණ්ඩුවේ රස්සා තියන අයට හැමදාම සංචරණ සීමා දැම්මත් අවුලක් නෑ. පඩි ගෙවනවා. ගෙවල්වල ඉඳන් වැඩ කරනවා. අපි හයර් දිව්වොත්නේ කීයක් හරි හොයා ගන්නේ.

වේලායුදන් රත්නවේල් (52) 
පුත්තලම‍‍

අපි දවසේ කුලී රස්සාවක්නේ කරන්නේ. මම හම්බ කළොත් තමයි පවුලේ අය ජීවත් කරවන්න හැකිවෙන්නේ. පහුගිය මාසේ වටේටම ණය. කිසිම උදව්වක් කාගෙන්වත් නෑ. බස් දුවද්දි වුණත් දවසකට රු. 1500 වගේ තමයි දවසක ආදායම. ඒකෙන් ගෙවල් කුලී ගෙවන්න ඕනෑ. කන්න බොන්නත් වියදම් යනවා. දරුවෝ ගැනත් බලන්න එපායැ. අපිට සමෘද්ධි නෑ. මේ සැරේ රු. 5000 දුන්නෙත් සමෘද්ධි තියන අයට විතරයි. අපි හරි අසරණවෙලා ඉන්නේ. අපි නොකා නොබී හිටියත් දරුවන්ට කියන්නෙ කොහොමද කන්න, බොන්න නෑ කියලා. සංචරණ සීමාත්, කොරෝනාත්, හැමදේමත් වද දෙන්නේ දුප්පත් අපිටම තමයි.

Comments