හරිත සංකල්පයට දිරි දෙන බ්‍රැන්ඩික්ස් | සිළුමිණ

හරිත සංකල්පයට දිරි දෙන බ්‍රැන්ඩික්ස්

විවිධ කර්මාන්ත මගින් විමෝචනය වන කාබන්ඩයොක්සයිඩ් ඇතුළු කාබනික අපද්‍රව්‍ය ප්‍රමාණය අධික වීම, මුළු ලෝකයටම බලපාන ගැටලුවක් බවට පත්ව තිබේ. මේ නිසාම වායුගෝලයට මුදා හැරෙන ගෝලීය උෂ්ණත්වය ඉහළ දැමීමට බලපාන වායූන් ප්‍රමාණය අවම කර ගැනීම ආයතනික පුරවැසියකුගේ මූලික වගකීමකි. ඒ අනුව බ්‍රැන්ඩික්ස් යනු, තම ආයතනික වගකීම මනා ලෙස හඳුනා ගනිමින්, ඊට සමගාමීව ක්‍රියාත්මක වන මෙරට ප්‍රධානතම ඇඟලුම් සමාගමකි. 

මෙරට විශිෂ්ටතම අපනයනකරු ලෙස වසර ගණනාවක් සම්මානයට පාත්‍ර වී ඇති බ්‍රැන්ඩික්ස් ඉන්දියාව සහ බංග්ලාදේශය යන රටවල ද ව්‍යාප්ත ව රටට විදේශ විනිමය උත්පාදනය කරන දේශීය සමාගමකි.

පරිසරය සුරැකීම පිළිබඳ, තම ආයතනික වගකීම නිසි අයුරින් ඉටු කිරීම සඳහා බ්‍රැන්ඩික්ස් ලංකා සමාගම දියත් කර තිබෙන ව්‍යාපෘති පිළිබඳ දැනගැනීමට, එම සමාගමේ ඉංජිනේරු අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අකිල ප්‍රනාන්දු සමඟ කළ සාකච්ඡාවකි මේ.

පරිසරය සුරැකීමෙහිලා බ්‍රැන්ඩික්ස් දියත් කරන වැඩසටහන් මොනවා ද?

බ්‍රැන්ඩික්ස් අපි හැමෝටම පොදු පරමාර්ථයක් තිබෙනවා. ඒ තමයි 'පිබිඳුණු මිනිසුන් තුළින් පිබිඳුණු විසඳුම් ලබා දීම'. 'පිබිඳුණු විසඳුම්' ලොවට ලබා දෙමින් ජයග්‍රහණය කරා යන ගමනේදී බ්‍රැන්ඩික්ස් අපි ආයතනික පුරවැසියන් විදියට පාරිසරික සුරක්ෂිතතාව පිළිබඳ වැඩි අවධානයක් යොමු කරනවා. මෙම ව්‍යාපෘතියේ දී අපි වාතය, ජලය සහ භූමිය කියන අංශ තුන කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු කරනවා.

මෙහි දී ජල තලය සඳහා වන අපගේ අරමුණු විදියට, ජල නාස්තිය අවම කිරීම, අපගේ සාමාජික සාමාජිකාවන් සියලු දෙනාටම පිරිසුදු පානීය ජලය ලබාදීමට කටයුතු කිරීම සහ රසායනික ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම සම්පූර්ණයෙන්ම නැවැත්වීම දැක්විය හැකියි.

වා තලය සඳහා වන අපගේ අරමුණු විදියට ඇඟලුම් ක්ෂේත්‍රය මගින් වායුගෝලයට මුදා හැරෙන කාබන් ප්‍රමාණය ශුන්‍ය කිරීම දැක්වීමට පුළුවන්. ඒ වගේම, අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය කිරීම සහ නැවත භාවිතයට ගැනීම මිහිතලය වෙනුවෙන් වන අපගේ අරමුණු යි.

ශාඛා ගණනාවකින් සැදුම්ලත් ඇඟලුම් සමාගම් සමූහයක් විදියට බ්‍රැන්ඩික්ස් සමාගමේ ප්‍රධාන කාර්යභාර්යය තමයි, ලෝකයේ දිනෙන් දින වැඩි වන ඇඟලුම් අවශ්‍යතාවන්ට විසඳුම් ලබාදීම. මේ නිෂ්පාදන ක්‍රියාවලිය ඉතා සුවිශේෂී වගේම, සුවිශාල ක්‍රියාවලියක්. මේ නිසාම මෙහි දී විවිධ අපද්‍රව්‍ය නිර්මාණය වීම සාමාන්‍ය යි. මෙම අපද්‍රව්‍ය නිසි අයුරින් කළමනාකරණය කරමින් ප්‍රතිචක්‍රීකරණය සහ නැවත භාවිතය කෙරෙහි අපි විවිධ ක්‍රියාමාර්ග අරගෙන තිබෙනවා. මේ වන විට ලෝකය තුළ ඇත්තේ, සීමිත සම්පත් ප්‍රමාණයක් නිසා ජලය පිළිබඳ වැඩි වශයෙන් අවධානය යොමු කරමින් අපගේ කර්මාන්තශාලා තුළ ප්ලාස්ටික් බෝතල් භාවිතය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට අපි පියවර ගෙන තිබෙනවා. ඊට සමගාමීව නිෂ්පාදන ක්‍රියාවලියේ දී අපිරිසුදු වන ජලය නිසි අයුරින් පිරිපහදු කිරීමෙන් අනතුරුව පරිසරයට මුදා හැරීමටත් අපි කටයුතු කරනවා. බැහැර කරන අපද්‍රව්‍ය පරිසරයට හානියක් නොවන අයුරින් බැහැර කිරීමට වගේම, බලශක්ති කළමනාකරණය කෙරෙහි අවධානය යොමු කරමින් අපගේ කර්මාන්තශාලා තුළ නාස්තිය අවම කර ගැනීමට සහ එමගින් තිරසාරත්වය වෙත ගමන් කිරීමට අපි සැම විටම ක්‍රියා කරනවා.

'බ්‍රැන්ඩික්ස් හරිත තිරසර' යටතේ ක්‍රියාත්මක අනෙකුත් වැඩසටහන් පිළිබඳ කතා කළොත්?

මුලින් සඳහන් කළා වගේම අපි මෙම වැඩසටහනේ දී වාතය, ජලය සහ භූමිය කියන සංකල්පවලට අවධානය යොමු කරනවා. මෙහි දී මෙම ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින්, කාර්යක්ෂමව වගේම තිරසාර සංකල්පවලට මූලිකත්වය ලබාදෙමින් ක්‍රියාත්මක කිරීම විශේෂයි. 2008 වසරේ දී බ්‍රැන්ඩික්ස් සීදූව හරිත කර්මාන්තශාලාව අන්තර්ජාතික සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් වුණේ, එක්සත් ජනපද හරිත ගොඩනැගිලි කවුන්සිලයේ හරිත ගොඩනැගිලි ඇගැයුම් පද්ධතිය වෙතින් 'ලීඩ් ප්ලැටිනම් සම්මානය' හිමිකර ගත් ලොව පළමු ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත්වෙමින්.

එම ජයග්‍රහණය අපට වගේම ශ්‍රී ලංකාවටත් වැදගත් වුණේ, එයින් 'හරිත විප්ලවය' කියන පුළුල් මාතෘකාව යටතේ ලෝක අවධානය අප රට වෙත යොමු කර ගැනීමට හැකිවූ නිසයි. 'බ්‍රැන්ඩික්ස් හරිත තිරසර' වැඩසටහන ආරම්භයේ දී මූලික වශයෙන් අපගේ අවධානය යොමු වූ ක්ෂේත්‍රයක් තමයි, බලශක්තිය. 2008 වසරේ ඉඳලා මූලික වශයෙන් නිෂ්පාදන ක්‍රියාවලිය කාර්යක්ෂමව වැඩිදියුණු කිරීමට වගේම, එහිදී සිදුවන නාස්තිය අවම කර ගැනීමටත් කටයුතු කළා. මෙහිදී 2008 වසරට සාපේක්ෂව 2012 වසර වන විට අපගේ බල ශක්ති අවශ්‍යතාවෙන් 30% ක් අවම කර ගැනීමට අපට හැකි වුණා. ඉන්පසුව 2015 වසරේ දී අපි සූර්ය බලශක්ති වැඩසටහන ආරම්භ කළා. මෙමගින් ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 8.5 ක විදුලි ධාරිතාවක් එක් කිරීමට හැකියාව ලැබුණු අතර, එහි දෙවැනි අදියර මේ වෙනකොට ආරම්භ කර තිබෙනවා. අද වෙනකොට අපගේ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන ප්‍රතිශතය 67% ක්. මෙම වැඩසටහනට සමගාමීව 2019 වසරේ දී බ්‍රැන්ඩික්ස් මඩකලපුව කර්මාන්තශාලාව ජාත්‍යන්තර මට්ටමේ ඇගැයීමකට ලක් වූයේ, පරිසරයට ශුද්ධ කාබන් විමෝචනය ශුන්‍ය අගයක පවත්වා ගත් ලොව ප්‍රථම ඇඟලුම් කර්මාන්තශාලාව බවට පත් කිරීමට අපට හැකියාව ලැබුණු නිසා.

බ්‍රැන්ඩික්ස් කාබන් විමෝචනයෙන් තොර සමාගමක් බවට පත්වීම පිළිබඳ තවදුරටත් පැහැදිලි කරන්න...

ඕනෑම නිෂ්පාදන ක්‍රියාවලියකදී යම් හරිතාගාර වායු ප්‍රතිශතයක් වායුගෝලය වෙත මුදා හැරෙනවා. අපගේ නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දී ත් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය සිදුවෙනවා. මෙයට විසඳුමක් විදියට අපගේ කර්මාන්තශාලාව තුළින් විමෝචනය කරන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයට සමාන බල ශක්ති ප්‍රමාණයක් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් නිපදවීමෙන් කාබන් ඩයොක්සයිඩ් විමෝචනය ශුන්‍ය කරනවා. 2023 වසර වන විට බ්‍රැන්ඩික්ස් කර්මාන්තශාලා සියල්ලක්ම මෙම තත්ත්වයට ගෙන ඒමයි, අපගේ අරමුණ සහ ඉලක්කය. ඒ වගේම මෙම වැඩසටහනට සමගාමීව 2008 2014 කාලය තුළ, ඉන්ධන භාවිතයෙන් ක්‍රියාත්මක කෙරුණු අපගේ බොයිලේරු, දර දහනය මගින් ක්‍රියාත්මක වන තත්ත්වයට පත් කිරීම නිසා වසරකට ඉන්ධන ලීටර් මිලියන තුනක් පමණ ඉතිරි කර ගැනීමට අපට හැකියාව ලැබී තිබෙනවා.

මෙම සංකල්ප ක්‍රියාත්මක කිරීමේදී ලැබෙන සේවක සහයෝගය කෙබදු ද?

පරිසර හිතකාමී ව්‍යාපෘති පිළිබඳව වගේම එම ව්‍යාපෘති මගින් ලැබෙන යහපත් ප්‍රතිඵල පිළිබඳවත් අපි අපගේ සියලුම සාමාජික සාමාජිකාවන් දැනුවත් කරනවා. මේ නිසාම 50,000කට අධික ඔවුන් සියලුම දෙනා මෙම වැඩසටහන් වලට ඉතා සක්‍රීයව දායක වෙනවා. මේ අයුරින් අපගේ පරිසර හිතකාමී සංකල්ප ඉදිරියට ගෙන යාමට අපගේ සාමාජික සාමාජිකාවන් ඉතාමත් අවබෝධයෙන් දායකත්වය ලබා දෙනවා. ඒ වගේම මෙම සංකල්ප සමාජගත කිරීම සඳහා ඔවුන් අපගේ තිරසාරත්වයේ තානාපතිවරු විදියට ලබාදෙන සහයෝගය ඉමහත්.

බ්‍රැන්ඩික්ස් පරිසර සමුළුවෙන් ක්ෂේත්‍රයට ලබා දෙන පණිවුඩය කුමක් ද?

ඇත්තටම මේ වසරේදී අපි පරිසර සමුළුවක් පැවැත්වීමේ ප්‍රධානතම අරමුණ තමයි රටේ අනෙකුත් ආයතනික පුරවැසියන් මෙම හරිත සංකල්පය පිළිබඳ දැනුවත් කිරීම සහ ඔවුන් මේ වෙත යොමු කිරීම. බොහෝ දෙනකුගේ වැරැදි මතයක් තිබෙනවා හරිත සංකල්පයට අනුව ක්‍රියාත්මක වීමට හැකියාව ඇත්තේ මහා පරිමාණ සමාගම්වලට පමණක් බවට. මේ මතය දුරු කිරීමේ අවශ්‍යතාව අපට තදින්ම තිබුණා. එම අවශ්‍යතාව ඉටු කිරීමට වගේම ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන සියලුම නිෂ්පාදන හරිත සංකල්පයට අනුව නිර්මාණය කෙරුණු ඒවා බවට පත් කරමින් ලෝකය තුළ ශ්‍රී ලාංකේය නිෂ්පාදනවලට ඉහළ ඉල්ලුමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවත් අපට තිබෙනවා. ඒ නිසාම මේ රටේ ප්‍රමුඛතම ඇඟලුම් නිෂ්පාදකයා වගේම හරිත සංකල්පයට පූර්ණ වශයෙන් යොමු වෙමින් ඉතා සාර්ථකව එම සංකල්පය තුළ ක්‍රියාත්මක වන ආයතනයක් විදියට මෙම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා අනෙකුත් ආයතනික පුරවැසියන්ට සහයෝගය ලබා දීමට අපි සූදානම්. මම අනෙකුත් ආයතන වලට ආරාධනා කරනවා තමන්ට හැකි විදියට හරිත සංකල්පය වෙත යොමු වී පරිසරය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්න කියලා.

Comments