ළමා අපචාර නැතිකිරීම සැමගේ වගකීමක් | සිළුමිණ

ළමා අපචාර නැතිකිරීම සැමගේ වගකීමක්

වුපියන් මෙන්ම සමාජයේ සියලු වැඩිහිටියන්ගේද වගකීම වන්නේ ලෝකය බාර ගැනීමට සිටින දරුවන්ගේ අනාගතය සුරක්ෂිත කිරීමය. ළමා හිංසන තුළින් ළමුන්ගේ අධ්‍යාපන කටයුතු බිඳවැටීමත් සෞඛ්‍ය හා මානසික තත්වය පිරිහීම තුළින් ඔවුන්ගේ පෞරුෂත්වය බිඳ වැටීමත් සිදු වේ. මොවුන් පසු කලෙක සමාජයට වෛර කරන, ක්‍රෑරත්වයෙන් අනෙකා පෙළන සමාජයට අවැඩදායි පුද්ගලයන් බවට පත්විය හැකිය. එබැවින් වැඩිහිටියන් ලෙස අප දරුවන් ආදරයෙන් රැකබලා ගැනීම හා ඔවුන්ට ආදර්ශවත් වන ලෙස ජීවත් වීමට වගවිය යුතු වේ.

දරුවකු සිදු කරන වරදකට ශාරීරිකව දඬුවම් කිරීමට වඩා දරුවාට එය වරදක් බව ආදරයෙන් අවබෝධ කරදීමෙන් ලැබෙන ප්‍රථිඵල වැඩදායක වේ. එය ධනාත්මක ශික්ෂණ ක්‍රමය වන අතර අප සිදු කළ යුත්තේ දරුවාට වරද පිළිබඳ දැනුම්වත් කිරීම මෙන්ම ඔවුන්ට නිවැරදි මඟ පෙන්වා දීමයි.

විශේෂයෙන් ළමුන්ගේ අදහස්වලට ගරු කරමින් තීරණ ගැනීමේදී ඒවා ක්‍රියාත්මක කිරීමට ද වැඩිහිටියන් වශයෙන් අප වග බලාගත යුතුය. එමෙන්ම ‘මගේ ළමයා’ යන සිතිවිල්ලෙන් මිදී ‘අපගේ ළමයින්’ යන සිතුවිල්ලට අප එළැඹිය යුතු කාලය පැමිණ ඇත.

දැයේ දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශ්වයන් එකට එක්ව කටයුතු කළ යුතුය.

ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑම විටම ළමයා ළමයකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් කටයුතු කළ යුතුය.

ළමා අපයෝජනයක් සිදුවන්නේ කෙසේද? යන කාරණාවේදී භාරකරුවකු විසින් තමන්ගේ ළඟ සිටින ළමයකු අතහැරදමා සිටීම, නුසුදුසු ආකාරයට නොසලකා හැරීම, පහරදීම අපේ නීතියේ සලකන්නේ ළමා අපයෝජනක් ලෙසයි.

එංගලන්තයේ වැනි රටවල ළමා අපයෝජනයන් වෙනස් ආකාරයට අර්ථ දක්වයි. එහිදී ඔවුන් බලාපොරොත්තු අරමුණ දරුවා සෞඛ්‍ය සම්පන්න වූත් යහපත් වූත් වැඩිහිටියකු කිරීමයි. ඒ වැඩිහිටියා ගොඩ නැඟීිමට අවශ්‍ය කිසියම් දෙයක් දරුවකුට කළහොත් හෝ නොකළහොත් එය ළමා අපයෝජනයක් ලෙස සලකනු ලබයි. තවද මෙඩේ නැමැත්තා වඩාත් ගැලපෙන නිර්වචනයක් ඉදිරිපත් කරයි. කිසියම් කාලයකට හෝ කිසියම් සංස්කෘතියකට නොගැළපෙන ආකාරයෙන් ළමයකුට සැලකීම ළමා අපයෝජනයක් ලෙස තවත් නිර්වචනය වෙයි.

එමෙන්ම මෙරට ළමා අපයෝජනයක් හොඳින් නිර්වචනය කර ඇත්තේ 1998 අංක 50 දරන ජාතික ළමා ආරක්ෂක අධිකාරි පනතේය‍. එනම්, දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වෙන වරද දහතුනක් එයට ඇතුළත් වෙයි. අනිවාර්යෙන්ම අධ්‍යාපනය ලබාදිය යුතුයි.

අවුරුදු 16ක් දක්වා දරුවකුට පාසල් අධ්‍යාපනය ලබාදිය යුතුයි. වයස 16ට අඩු දරුවකු ළමා ශ්‍රමිකත්වයේ යෙදවීම 16-18 අතර දරුවකු අනතුරුදායක රැකියාවක නිරත වන්නේ නම් එය ළමා අපයෝජනයකි.

එමෙන්ම ඇතැම් විට අනාරක්ෂිතව සහ අත්හළ දරුවෝ වෙති. ඒ අයගේ භාරය සහ ආරක්ෂාව පිළිබඳව ගැටලු මතු වෙයි. ළමයකු යුද්ධයකදී සොල්දාදුවන් ලෙස එනම් ළමා සොල්දාදුවන් ලෙස යොදා ගැනීම ළමා අපයෝජනයක් ලෙස හඳුන්වයි.

මේ පීඩාවන් දරුවකුට කළහොත් එය ළමා අපයෝජනයක් ලෙස හැඳින්වෙයි. ළමා ආරක්ෂක අධිකාරියේ 40 වැනි වගන්තියේ එය ළමා අපයෝජනය ලෙස හැඳින්වෙයි. ළමයා කවරාකාර හෝ කායික, මානසික අපයෝජනයට, හිංසනයට ලක්කිරීම වරදකි. උදාහරණයක් ලෙස දැරියන් සුන්නත් කිරීම දශක කිහිපයක පෙර සිදු විය.

එය විශාල ගැටළුවක් නොවුවද කාලය සහ සංස්කෘතිකමය වෙනස් වීම් අනුව එය අද වනවිට නොගැළපෙයි. එමෙන්ම වේල් කරත්තයේ දරුවන් කොකු ගසමින් එල්ලා රැගෙන යනු ලබයි. එයින් දරුවන්ට විශාල හිංසා පීඩා සිදුවෙයි. මේවාද ළමා හිංසනය යටතට ගැනෙයි.

මේ හිංසාවන්ට බලපානු ලබන ආර්ථික, සමාජීය, දේශපාලනික, සංස්කෘතිකමය හා ආගමික හේතු ගණනාවක් වෙයි. මේ හිංසනයන් සියලු සමාජ පන්තීන් සහ සමාජ පරාසයන්වල ද සිදුවෙයි. ලෝකයේ ළමා අපයෝජන නොවන රටවල් නොවෙයි.

දුප්පත් පොහොසත් රටවල් සියල්ලෙහිම මෙය සිදු වෙයි, ළමා අපයෝජන නැති සමාජ පන්තීන් නොවෙති. ඒ සමාජ පන්තීන්, ජාතිය, කුලය, උගත් නූගත් රටවල් යනුවෙන් බෙදා වෙන් කළ නොහැකිය. සියලු සමාජ ස්ථර අතර වෙයි.

මෙරට ළමා අපයෝජන සිදුවන ප්‍රමාණයෙන් අපට වාර්තා වන්නේ සියයට හතෙන් එකක් වැනි ප්‍රමාණයකි. මේ වසරේදී පොලිසියට පන්දහසක් පමණ පැමිණිලි ලැබී ඇත. බොහෝ අපයෝජන වාර්තා නොවෙයි. 2019 වසරේදී ළමා අපයෝජන 8858ක් වාර්තා වී ඇත. එමෙන්ම 2020 වසරේ 8165ක් විය.

මේ වන විට කොවිඩ් සම්බන්ධයෙන් මතුවී ඇති අලුත් තත්ත්වයන් හමුවේ දරුවන්ට වන හිංසාවන්ද පැමිණිලි ලෙස බාරගැනීම සිදු වෙයි. ඒවා බාහිර පැමිණිලි වුවද අප විසින් භාරගනු ලබන අතර අපි එම පැමිණිලි අදාළ ආයතනවලට භාරදෙනු ලබයි. එවැනි පැමිණිලි සියයට 24ක් පමණ වෙයි. ඒ අනුව 8165 පැමිණිලි අතරින් ගිය වසරට වඩා අපයෝජන සම්බන්ධයෙන් ලැබුණ පැමිණිලි ප්‍රමාණය අවම වෙයි.

ඇතැම් විට අවාසනාවන්ත සිදුවීම් කිහිපයක් වාර්තා වීම නිසා නැවත කැලඹීමක් ඇතිවුවද වාර්තා වූ අපයෝජන පැමිණිලිවල අඩුවක් දක්නට ලැබෙයි. ඒ අනුව මේ වසරේ ජුනි 30 වනවිට පැමිණිලි 5423ක් ලැබී ඇති අතර දුරකතන ඇමැතුම් 50,000ක් පමණ ලැබී ඇත.

විශේෂයෙන් අන්තර්ජාලය හරහා ලිංගික අපයෝජන සිදුවන අවස්ථා වෙයි. එනම් එවැනි වෘත්තීන් සඳහා (ගණිකා වෘත්තිය) දරුවන් ඒ සදහා සැපයීම් කළහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 360 /ඒ යටතේ වසර දහයක සිරදඬුවමට යටත්වීමට හේතුවෙයි. දරුවකු ලිංගික කටයුතු සඳහා විකිණීමක් සිදු වුවහොත් වසර 20ක් සිරදඩුවම් ලැබෙයි. එය ( දණ්ඩ නීති සංග්‍රාහයේ 360 / සී) වගන්තිය යටතේ දඬුවම් හිමි වෙයි. එම විකුණන ලද දරුවන් සමඟ ලිංගිකව හැසිරෙන පුද්ගලයන් වසර 20ක සිර දඩුවම් හිමි වෙයි. දණ්ඩ නීති සංග්‍රහයේ 363 වගන්තිය යටතේ එම දඬුවම් හිමි වෙයි. ව්‍යාවස්ථාපිත ස්ත්‍රී දූෂණයක් ලෙස එය හැඳින්වේ.

එමෙන්ම දරුවකුගේ අසභ්‍ය හෝ අස්ශීල විඩියෝ හෝ ඡයාරූපයක් ළඟ තබාගෙන සිටී නම්, දණ්ඩනීති සංග්‍රහයේ 281 /ඒ යටතේ අවුරුදු දෙකේ සිට දහයක් දක්වා සිරදඬුවම් හිමිවෙයි.

මෙවැනි කරුණු පිළිබඳව ජනතාව දැනුම්වත් විය යුතුයි. ඇත්තවශයෙන් දරුවන් ලෙස දැකීමට නම් අපි සාරධර්මීය වෙනස්කම්වලට යා යුතුයි. ළමයින්ට බලයක්, හඬක් නැත. යමක් තේරුම් ගැනීමට නොහැකියි. දරුවා හොඳ පෞරුෂයකින් ගොඩනැඟීමට නම් ළමා සහභාගිත්වය සියලු කටයුතුවලදි සිදුකරගත යුතුයි. සියලු කටයුතුවලදී දරුවන්ට පිළිගැනීම දී නටන්න ගයන්න, දුවන්න පනින්න මෙන්ම නිවසේ සියලුම කටයුතුවලට සහභාගි කරගත යුතුයි.

වෙන්කොට නොසලකා නොහැරිය යුතුයි. එමෙන්ම සෑම විටම පෞද්ගලික අංශය, රාජ්‍ය අංශය හා අධිකරණ අංශය යන ස්ථාන තුනෙහිම ළමයාගේ උපරිම යහපත ඉටු කළ යුතුයි.

ළමයින්ගේ ජීවත් වීමේ අයිතිය සංවර්ධනය වීමේ අයිතිය අපි රැකිය යුතුයි. ළමයින් මේ සඳහා අපි දැනුවම්වත් කිරීම කළ යුතුයි. පෙර පාසල් අවදියේදී මේ පිළිබඳව අවබෝධය ලබාදිය යුතුයි. ප්‍රජනක සෞඛ්‍ය පිළිබඳව දැනුම්වත් කිරිමක් කළ යුතුයි. තමන්ගේ අයිතීන් පිළිබඳව සහ තමන්ගේ ශාරීරික අංග පිළිබඳව අවබෝධය ලබාදිය යුතුයි. තම සමීපතම කෙනෙකුට හැර තමන්ගේ ඇතැම් ශාරීරික අංග ස්පර්ශ නොකළ යුතු බව දරුවන් දැනුම්වත් කළ යුතුයි. එමෙන්ම ළමා ශ්‍රමිකයන් සඳහා මුලික අවබෝධය ලබා දිය යුතුයි. ඔවුන් අවදානම් රැකියා සඳහා නොයෙදිය යුතුයි.

අනාරක්ෂිත රැකියා 51 ක් වෙයි, ඒ සඳහා දරුවන් යෙදවිය නොහැකියි. වෘත්තිය පුහුණුවීම් කිරීම වරදක් කොට නොසලකයි. මේ නීතිරීති පවතින්නේ ළමයාගේ වර්ධනයට සහ ආරක්ෂාවට බව වැඩිහිටියන් වන අපි වටහා ගත යුතුයි.

ළමයා යනු ළමයෙක් මිස කුඩා වැඩිහිටියෙක් නොවන බව අප මතක තබා ගත යුතුයි. දරුවකුට වන හිංසා පිළිබඳව 1929 යන අංකවලට දැනුම්වත් කළහැකියි. දැයේ දරුවන් ළමා හිංසනය ඇතුළු සියලු අපයෝජනයන්ගෙන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ට වඩාත් සුරක්ෂිත හෙට දවසක් උරුම කරදීම සඳහා සියලු පාර්ශ්වයන් එකට එක්ව කටයුතු කළ යුතුය. ඒ අනුව මෙරට වැඩිහිටි පුරවැසියන් වන අපි සෑම විටම ළමයා ළමයකු බව වටහා ගනිමින් ඔවුන්ට දයාව කරුණාව හා සැලකිල්ල ආරක්ෂාව හැකි උපරිමයෙන් ලබා දෙමින් ඔවුන්ගේ ලෝකය වඩාත් යහපත් කරලීමටත් ඉන් මනා පෞරුෂයන්ගෙන් හෙබි අනාගත පුරවැසියන්ගෙන් අභිමානවත් වූ සමාජයක් බිහි කිරීමටත් අපි අපේ අනාගත පරපුර රැකගත යුතුය. එය අපේ පළමු යුතුකම සහ වගකීම වෙයි.

Comments