
“පොල් ගිනි ගණන්“
“පොල්තෙලුත් එහෙමයි“
මෙවැනි දේ යළි අපේ රටේදී නොකියන්නට මෙරට පොල් අස්වැන්න පොල් ගෙඩි ලක්ෂ 8000 කින් වැඩි කිරීමේ නව පොල් වගා ව්‍යාපෘතියක් දැන් රජය අරඹා ඇත.
අපේ රටේ පාරම්පරික ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් වන පොල්වල අස්වැන්න පසුගිය කාලයේ එන්න එන්නම අඩුවෙමින් පැවතිනි.
පොල් පර්යේෂණ ආයතනය පෙන්වා දෙන පරිදි ඊට හේතු රැසකි. නියමිත අයුරින් පොල් සිටුවීම සිදු නොකිරීම, සුදුසු කාලයට පොහොර නොයෙදීම, රතු කුරුමිණි උවදුර, මයිටා උවදුර හා පොල් ගස පිළිබඳ නොසැලකිල්ල යම් යම් කාලවලදි බලපාන නියඟය ඊට හේතු බව පෙනේ.
ඊට අමතරව පසුගිය වසරේ වරින් වර පොල්වලට බලපාන විවිධ ප්‍රදේශවලින් වාර්තා වූ පළිබෝධ වසංගත කොළ කහ වීමේ රෝගය ආදිය නිසාද පොල් අස්වැන්න අඩුවුණු බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.
කෙසේ වුවත් ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය මගින් පසුගිය වසරවලදි අලුත් පොල් ප්‍රභේද 7ක් රටට හඳුන්වා දී තිබේ. ඒ අනුව ව්‍යාපාරික ප්‍රජාව සඳහා CRIC 60 හා CRISL 98 හඳුන්වාදී ඇත.
ඊට අමතරව ගෙවතු සඳහා CRIC 65 කප්රුවන, කප්සෙත, කප්සුවය හා CRISL 2020 යන ප්‍රභේද හඳුන්වා දී තිබේ.
ශ්‍රී ලංකාවේ කෘෂි භූමි ප්‍රමාණයෙන් සියයට 28ක පොල් වගාව සඳහා යොදා ගෙන තිබේ. ඒ අනුව හෙක්ටයාර 439000ක පොල් වවන බව මහ බැංකු වාර්තා පෙන්නුම් කරයි.
මේ පිළිබඳව කරුණු දක්වන පොල් වගා කිරීමේ මණ්ඩලයේ හිටපු සාමාන්‍යාධිකාරි කේ.පී.එල්. ධර්මසිරි පවසන්නේ අපේ රටේ අවම වශයෙන් තම ගෙවත්තේ පොල් ගස් දෙකක් වවා ගතහොත් පවුලේ පොල් අවශ්‍යතාව පිරිමසා ගත හැකි බවයි. ශ්‍රී ලංකාවේ ජනගහනයෙන් සියයට 90කට වඩා මෙම හැකියාව පවතින බවත් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සුළු කොටසක හැරුණු විට රටේ අන් සියලු ප්‍රදේශවල පොල් වගා කිරීමට හැකි බවද හිටපු සාමාන්‍යාධිකාරිවරයා පවසයි.
අද ක්‍රම ක්‍රමයෙන් අපේ රටේ පොල් හා ආශ්‍රිත නිපැයුම්වල නිෂ්පාදන අඩුවීම් හා ඉල්ලුම වැඩිවීම නිසා අද පොල්තෙල් බෝතලයක මිල රුපියල් 500 දක්වාත් හොඳ පොල් ගෙඩියක මිල රුපියල් 70 - 100 අතරත් වේ.
පොල් ඵලදාව වැඩි කිරීම සඳහා වත්මන් ජනපතිගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අලුතෙන් ක්‍රියාත්මක පොල් පැළ ලක්ෂ 40ක් දීප ව්‍යාප්ත ලෙස සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක ‘දොරින් දොරට කප්රුක’ ජාතික වැඩසටහන පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන්ගේ ප්‍රධානත්වයෙන් හලාවත වැවිලි සමාගමට අයත් දංකොටුව බුජ්ජම්පොළ වැලිකැටිය වතුයායේදි ආරම්භ කෙරිණි.
මේ පිළිබඳව කරුණු දක්වන වැවිලි කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ පවසන්නේ මේ වැඩපිළිවෙළේ ප්‍රධාන අරමුණ දැනට ගෙඩි මිලියන 2800ක් වන වත්මන් වාර්ෂික පොල් අස්වැන්න ගෙඩි මිලියන 3600 දක්වා වර්ධනය කිරීම බවයි.
“මේ අලුත් වැඩසටහන වැවිලි අමාත්‍යාංශය පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනයට හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විවිධාංගීකරණ රාජ්‍ය අමාත්‍යාංශය හා පොල් වගා කිරීමේ මණ්ඩලය එක්ව සංවිධානය කරනවා.” අමාත්‍යවරයා පවසයි.
මේ යටතේ පොල් පැළ ලක්ෂ 10ක් සමෘද්ධි ලාභීන්ට නොමිලේ ලබා දෙන අතර තවත් පොල් පැළ ලක්ෂ 20ක් සහනාධාර යටතේ අඩු මිලට ලබාදෙයි. තවත් ලක්ෂ 10ක් ඕනෑම අයකුට මිලදී ගෙන වගා කිරීමට හැකියාව ලැබේ.
‘දොරින් දොරට කප්රුක’ වැඩසටහනේ සමාරම්භය වෙනුවෙන් අලුත් ප්‍රභේදයක පොල් පැළයක් ජනපති අතින් රෝපණය කිරීම ද දංකොටුව වැලිකැටිය වතුයායේදී සිදුවිය. ජාතික වැඩසටහනට සමගාමීව මුළු දිවයින ආවරණය වන පරිදි පොල් පැළ සිටුවීම හා පැළ බෙදාදීම සියලු අමාත්‍යාංශ මගින් සිදු කෙරෙන බවත් ගොවිජන සේවා මධ්‍යස්ථානවල පොල් සංවර්ධන නිලධාරීන්ගෙන් පොල් පැළ ලබා ගත හැකි බවත් ඉදිරි වසර කිහිපය තුළ පොල් මිල අඩු වීමට මෙය රුකුලක් වන බවත් පොල් කිතුල් තල් හා රබර් වගා ප්‍රවර්ධනය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු පවසයි.
“කප්රුක සමිති රැසක් රට පුරා තිබෙනවා. ඒ මඟින් පොල් වගාව ව්‍යාප්ත කිරීමට පූර්ණ සහාය දෙනවා. අපි දෙන පොල් පැල නියමිත විදියට වළවල් කපා පොල් සංවර්ධන නිලධාරින්ගේ උපදෙස් අනුව නියමිත පරතරය අනුව සිටුවිය යුතුයි. මේ දිනවල දෙන පැළ තැන් තැන්වල නොදමා අද හෙටම එය සිටුවීම කළ යුතුයි. එවිට අපට මේ පොල් මිල පාලනය කිරීමට අවස්ථාව ලැබේවි.” රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
මේ අතර ජනාධිපතිතුමා ප්‍රමුඛ රජය දැනට ක්‍රියාත්මක කරන කාබනික වගාව ජනප්‍රිය කරවීමේ වැඩපිළිවෙළ අනුව පොල් වගාව ඊට අනුරූපව වගා කිරීමට කටයුතු කළ යුතු බව පාරම්පරික ගොවි නායකයෝ පවසති.
ගොම කිලෝ ග්රෑම් 20ක් අළු කිලෝ ග්රෑම් 5ක මිශ්‍රකර යෙදීම හා ඉඳුල් වතුර, රෙදි සෝදන වතුර පොල් ගස්වලට දැමීම කාලයක සිට ප්‍රතිඵල ලැබූ පෝෂණ ක්‍රම බව පාරම්පරික ගොවීහු පවසති.
මේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු දක්වන පොල් සංවර්ධන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි මානෙල් කුලරත්න පවසන්නේ මේ නව වැඩපිළිවෙළ යටතේ රටේ සියලු ගොවි ජන සේවා මධ්‍යස්ථානවලට අනුබද්ධව කටයුතු කරන පොල් සංවර්ධන නිලධාරි හෝ පොල් සංවර්ධන සහකාර නිලධාරින් මගින් සහන මිලට පොල් පැළ ලබාගත හැකි බවයි.
“මේ යටතේ තම ඉඩමේ පොල් පැළ 10 - 15 ක් පමණ වගා කිරීමට කැමති බව අදාළ නිලධාරියාට දැන්වූ විට අදාළ නිලධාරියා ඉඩමේ ඇති පස පරීක්ෂා කර බලා පොහොර නිර්දේශ කර ඉඩමට සුදුසු පැළ ලබාදීමට රෙකමදාරු ලිපියක් නිකුත් කරනවා. එය අපේ තවාන් වලට හෝ කලාප කාර්යාලවලට ලබාදී පොල් පැළ රුපියල් 100ක් අඩු මිලට ලබාගන්න පුළුවන්. මේ වැඩපිළිවෙළ යටතේ අපි ජනතාවට ලබා දෙන්නේ හොඳම පොල් ප්‍රභේදවල හොඳම ගස්වල පොල් පැළ පමණයි.
මේ පොල් පැළ ලක්ෂ 40 සිටුවා මේ වසරේ අවසන් කිරීමටයි අපේ ඉලක්කය. ඒ සඳහා සියලුම අයගේ සහාය අපට අවශ්‍යයි.
“මයිටා උවදුර වළක්වන්න අපි ගාව ජෛව විද්‍යාත්මක ක්‍රමයක් තිබෙනවා. ඊට අදාළ කීට පැටවු අඩංගු පැකට් 1ක් අපි රුපියල් 25 වැනි සහන මිලකට පොල් වගා කිරීමේ මණ්ඩලයෙන් ගොවීන්ට ලබාදෙනවා.ඊට අමතරව රතු පොල් කුරුමිණියා මර්දනයට “සෙරමෝන” උගුල් හදලා තිබෙනවා. වැඩිපුර රතු කුරුමිණියා ඉන්න ප්‍රදේශවලට මේ උගුල් ලබාදීමට අපි කටයුතු කරනවා.
ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන් දොරින් දොරට කප්රුක වැඩසටහනේදී එතුමා පුරන් කුඹුරක ඇලි වැටි විදියට පොල් වගා කරන අයුරු නැරඹුවා. ඒ අනුව දැන් රට පුරා අපි ඒ ක්‍රමය ක්‍රියාවට නංවනවා. ඒ අනුව ගොවිජන සේවා දෙපාර්තමේන්තුවේ අවසරය ඇතිව කුඹුරු සඳහා පාවිච්චියට ගත නොහැකි පුරන් කුඹුරු වල පොල් වගාවට අක්කරයකට රුපියල් 80,000 සිට 150,000 දක්වා මුදල් ආධාර ලබාදෙනවා.
ඒ සමඟම පොල් පැළ ඕනෑම ඉඩමක වගා කළ විට ඒවා ආරක්ෂා කිරීමට වැටක් ගැසීමට පොල් පැළයකට රුපියල් 100ක සහනාධාර මුදලක් අපි ලබා දෙනවා.
මේ ආධාර උපදෙස් සියල්ල ප්‍රදේශයේ ගොවිජන සේවා මධ්‍යස්ථානයේ පොල් සංවර්ධන නිලධාරින්ගෙන් හෝ අපේ තවාන් මඟින් ප්‍රාදේශීය කාර්යාල මඟින් ලබාගන්න පුළුවන්. සාමාන්‍යාධිකාරිනි මානෙල් කුලරත්න පවසන්නීය.
දැනට රසායනික පොහොර මෙරටට ගෙන්වීම නැවැත්වීම පොල් වගාවට ලොකු බලපෑමක් නැහැ. දැනට 70%ක් ගොවීන් පොල් වවන්නේ කොම්පෝස්ට් පොහොර දාලා. ඇය පවසන්නීය.
මේ පිළිබඳව අපට කරුණු දැක්වූ පොල් වගා කිරීමේ මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (සංවර්ධන හා ව්‍යාප්ති) ජේ.එම්.කේ.බී. වික්‍රමසිංහ මහතා පවසන්නේ මිලියන 40ක් පොල්පැළ සිටුවීමේ වැඩපිළිවෙළ යටතේ නොමිලේ හා සහන මිලට පොල් පැළ ලක්ෂ 30ක් ලබාදෙන බවයි. ඒ අනුව අපි සමෘද්ධි ලාභීන්ට නොමිලේ පොල් පැළ ලක්ෂ 10ක් ලබා දෙනවා. එම කටයුතු සමෘද්ධි නිලධාරීන්ගේ අධීක්ෂණය හා සම්බන්ධීකරණය ඇතිව සංවිධානය වෙනවා. ඒත් ගෙදර ගෙවත්තේ ඉඩ කඩ තිබෙන අයට පමණක් තමයි පොල් පැළ දෙන්නේ.
ඊට අමතරව හොඳ ප්‍රභේදවල පොල් පැළ ලක්ෂ 10ක් ඔබ සැමට අපේ පොල් වගා කිරීමේ මණ්ඩලයේ පැළ තවාන් 39 මඟින් ලබාගන්න පුළුවන්. ඊට අමතරව රට පුරා දිස්ත්‍රික්ක මට්ටමින් ඇති පොල් වගා කිරීමේ මණ්ඩලයේ දිස්ත්‍රික් කාර්යාල මඟිනුත් මේ අලුත් ප්‍රභේදවල පොල් පැළ ලබාගන්න පුළුවන්. වික්‍රමසිංහ මහතා පවසයි.