
පී.එම්.කේ. දයා සේනාරත්න (55)
ගාල්ල
ජනාධිපති, අගමැති, මුදල් ඇමති එකම පවුලක නිසා තම පවුල්වලට වඩා ජනතාව ගැන කැපවීමෙන් කටයුතු කළොත් බැසිල් මහත්තයට බොහෝ ප්‍රශ්න විසඳන්න හැකි වේවි. මනා කළමනාකරණ හැකියාවක් එතුමට තියන නිසා බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වගෙන බලාන ඉන්නේ. රටේ ආර්ථික, සාමාජික හැම පැත්තකින්ම දියුණුවක් අවශ්‍යයි. භාණ්ඩ හා සේවා මිල පහළ දැමීම, ආහාරපාන ඖෂධ හා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල අඩුකර පෙට්‍රල්, ඩීසල් මිල අඩු කර ජනතාවට සහන ලබා දෙයි කියලා බලාපොරොත්තුවෙන් ඉන්නවා. සමස්තයක් ලෙස රටේ ජීවන බර වැඩියි. ජනතාව දහසක් ගැටලුවලට මුහුණපාලා.
ශ්‍රී ලංකාව බොහෝ ස්වභාවික සම්පත් තියන රටක්. එනිසා ඒවා නිසි ලෙස කළමනාකරණය කළොත් රට ගොඩනඟන්න බැරි නෑ. ඒ හැකියාව බැසිල් මහත්තයට තියනවා. පිටරටට නිරපරාදේ ඇදෙන මුදල් නතර කිරීමෙන් රට සංවර්ධනය කළ හැකියි.
එච්.ඒ. මානෙල් මංගලිකා (57)
මරදාන
අලුත් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහත්තයා රටේ සංවර්ධනයට යහපත් වෙනසක් කරයි කියලා අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා. නිහඬව හිටියත් මනා පරිපාලන දැනුමක්, තීක්ෂණ ඥානයක් එතුමට තියනවා. එතුමා පාර්ලිමේන්තු එනවා කීවාම මුළු රටේම තිබුණේ උත්සව ශ්‍රීයක්. එයා දක්ෂයෙක් කියලා හුඟාක් අය දන්නවා.
ජාතික හා ජාත්‍යන්තර සබඳතා තියනවා. විදේශ රටවල, සංවර්ධන න්‍යායයන් ගැන මනා වැටහීමක් තියනවා. ඒකනේ කෙටි කලකින් පොහොට්ටුව මේ තරම් දුර ආවෙ. ඒ උපාය මාර්ග ප්‍රයෝජනයට ගෙන රටේ ජනතාව සැමටම සාධාරණයක් කරයි කියලා අපි හිතනවා. මුදල් ඇමති ධුරය දීලා තියන නිසා සම්පත් සමව සාධාරණව බෙදා දෙන්න හැකිනේ.
රොෂාන් පෙරේරා(50)
නිකවැරටිය
බැසිල් මහත්තයා. අවුරුදු ගානක ඉඳලා තිරයෙන් පිටුපස ඉඳලා තමයි හැම දෙයක්ම මෙහෙයෙව්වෙ. කරළියට ආවෙ දැන්. ඉන්ධන මිල අඩු කරයි කියලා ජනතාව අතර රාවයක් තියනවා. මුදල් ඇමති නිසා ජනතාවට සහන දෙන්න හැකියාව තියනවා, අනිත් අය කකුල් මාට්ටු නොදැම්මොත්. සාමාන්‍ය ජනතාව ප්‍රශ්න ජාලාවක ජීවත් වෙන්නේ හැම පැත්තෙන්ම. ඒ මදිවට කොරෝනා අර්බුදය. තවත් පැත්තකින් නැව් ගිනි අරන් පරිසරයට හානි වෙලා. ගංවතුර, ස්වාභාවික විපත්. තියන කෙනාට ගැටලුවක් නෑ. සාමාන්‍ය ජනතාවට තමයි හැම දෙයක්ම බලපාන්නේ.
මේ හැම දෙයකටම නිසි ලෙස මුදල් කළමනාකරණය කරන්න බැසිල් රාජපක්ෂ මහත්තයට හැකිවෙයි කියලා විශ්වාසයි. යහපත් හෙටක් ගැන අපි දෑස් දල්වගෙන ඉන්නේ.
ඩී. සෝමා පතිරණ (80)
අත්තනගල්ල
බඩු මිල අහස උසට නැගලා. පෙට්‍රල්, ඩීසලුත් ගණං ගිහින්. ජල, විදුලි බිල් වුණත් වැඩියි. කොරෝනා එක එක වයිරස් ප්‍රභේද. ඒ අතර සංචරණ සීමා. හුඟාක් දෙනෙක් හුරුපුරුදු වෙලා තිබුණු ජීවිතය, රැකියා කරගන්න බැරුව ළමයින්ට ඉගෙන ගන්න නොහැකිව විවිධ ගැටලුවලට මුහුණපාලා. ඈත දුෂ්කර ජීවත් වෙන අයටත් ප්‍රශ්න. කොළඹ ඉන්න අයටත් කරදර. මේ හැමදේකටම මෙතෙක් රජයෙන් දුන් විසඳුම්, සහන වලටත් වැඩියෙන් සහන දෙන්න බැසිල් මහත්තයට හැකිවෙයි කියා හිතෙනවා මුදල් ඇමති නිසා. සාධාරණව මුදල් කළමනාකරණය කිරීමේ හැකියාව තියනවනේ. හැමදාමත් ප්‍රශ්නයක විසඳුම් වඩාත් හොඳ විදිහට ලබාදෙන්න පුළුවන් වුණානේ.
ආර්. චාමර (31)
මාතර
මෙච්චර කාලෙකට මේ ආණ්ඩුවට කරගන්න බැරිවුණ දේවල් එයා ආවා කියලා කොහොම විසඳන්නද? රට මේ යන විදිහට ණය බර තියෙද්දි කවුරු ආවත් වැඩක් නෑ.
පාර්ලිමේන්තුව ඇමති මණ්ඩලය අඩු කළ යුතුයි.
මෙතෙක් කලකුත් බැසිල් මහත්තයා මේ වැඩසටහන්වලට ඍජුවම දායක වුණානේ.
ජනාධිපති කාර්ය සාධන බළකායේ හිටියනේ.
ගොවියගේ පෝර ටික නැති කළා. එයාලා කබලෙන් ළිපට වැටුණා.
ෆාතිමා අනීෂා ලෙබ්බේ (58)
ත්‍රිකුණාමලය
කවුරු ආවත් අපි විරුද්ධ නෑ. හොඳ දේවල්නේ කරන්නේ. පහුගිය කොරෝනා කාලෙ රජයත් කොච්චර ජනතාවට සහන දුන්නද? බඩු මළු දුන්නද? ඒවා අරගෙනත් රජයටම බනිනවා. පාරවල ස්ට්‍රයික් කරනවා. බැසිල් මහත්තයත් රජයේම කෙනෙක්. මෙතෙක් කාලයක් රටට, ජනතාවට සහන ලබා දෙන්න කැපවුණු කෙනෙක්. ඒ නිසා එයාට බලය ලැබුණු නිසා එම වැඩසටහන වඩාත් විධිමත්ව කරගෙන යන්න හැකිවෙයි.
පාරවල් හැදුවා.
එන්නත් ගෙනාවා. සහනාධාර දුන්නා.
බදු සහන දුන්නා. අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කළා. පෙට්‍රල්, ඩීසල් මිලත් අඩු කරයි. එයාලට හැකි විදිහට ජනතාවට සහන සලස්වනවා මිසක් එයාලගේ මඩිය තරකර ගන්නෙ නෑනේ. මිනිස්සු බනිනවා තමයි. රු. 5000, බඩුමළු අරගෙනත් තවත් බනිනවා මදි කියලා.