කොවිඩ් මඬින්න රට පුරා එන්න­ත්ක­රණය වේගවත් වෙයි | සිළුමිණ

කොවිඩ් මඬින්න රට පුරා එන්න­ත්ක­රණය වේගවත් වෙයි

යුද හමුදා වෛද්‍ය අංශ සාමා­ජි­ක­යන් විසින් පසු­ගිය  දින­වල පව­ත්වනු ලැබූ කොවිඩ් මර්දන එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන් ජන­තා­වගේ මහත් ඇග­යී­මට ලක්වූ අතර පසු­ගි­යදා කොළඹ යුද හමුදා රෝහ­ලේදී පාසල් අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් වෙනු­වෙන් එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්විණි. ඡායා­රූ­පයේ දැක්වෙන්නේ අධ්‍යා­පන අමාත්‍ය ජී.ඇල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම­ජ­යන්ත සහ යුද හමු­දා­පති, ජෙන­රාල් ශවේන්ද්‍ර  සිල්වා විසින් එම වැඩ­ස­ට­හන නිරී­ක්ෂ­ණය කළ අයු­රුයි. විශේ­ෂඥ වෛද්‍ය සීතා අර­ඹෙ­පොළ ද එම අව­ස්ථා­වට එක්ව සිටි­යා
යුද හමුදා වෛද්‍ය අංශ සාමා­ජි­ක­යන් විසින් පසු­ගිය දින­වල පව­ත්වනු ලැබූ කොවිඩ් මර්දන එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හන් ජන­තා­වගේ මහත් ඇග­යී­මට ලක්වූ අතර පසු­ගි­යදා කොළඹ යුද හමුදා රෝහ­ලේදී පාසල් අන­ධ්‍ය­යන කාර්ය මණ්ඩල සාමා­ජි­ක­යන් වෙනු­වෙන් එන්න­ත්ක­රණ වැඩ­ස­ට­හ­නක් පැවැ­ත්විණි. ඡායා­රූ­පයේ දැක්වෙන්නේ අධ්‍යා­පන අමාත්‍ය ජී.ඇල්.පීරිස්, රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේම­ජ­යන්ත සහ යුද හමු­දා­පති, ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වා විසින් එම වැඩ­ස­ට­හන නිරී­ක්ෂ­ණය කළ අයු­රුයි. විශේ­ෂඥ වෛද්‍ය සීතා අර­ඹෙ­පොළ ද එම අව­ස්ථා­වට එක්ව සිටි­යාය.

මෙරට සියලුම දිස්ත්‍රික්කවල සෑම පුද්ගලයකුටම සැප්තැම්බර් මාසය වනවිට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාදීමේ රජයේ සැලසුම අනුව කොවිඩ් මර්දන එන්නත්කරණ ජාතික වැඩසටහන මේ වන විට සාර්ථක ලෙස ක්‍රියාත්මක වෙමින් පවතී.

 

ඒ අනුව එන්නත්කරණ වැඩසටහන යටතේ මෙරට දිනක් තුළ ලබාදුන් වැඩිම එන්නත් සංඛ්‍යාව ඉකුත් 14 වැනිදා වාර්තා විය. ඒ අනුව එදින ලබා දී ඇති සම්පූර්ණ එන්නත් මාත්‍රා සංඛ්‍යාව 384,763කි. එහිදී සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 338,572ක්, එහි දෙවැනි මාත්‍රාව 35,410ක්, ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව 7,416ක් සහ ස්පුට්නික් එන්නත් මාත්‍රා 3,365ක් ලබාදී ඇත.

මෙරට වැඩිම දෛනික කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන ලෙස එන්නත් මාත්‍රා තුන් ලක්ෂයක් ඉකුත් 13 වැනිදා ලබාදුන් අතර එම සංඛ්‍යාව 337,445කි. එහිදී සයිනොෆාම් පළමු මාත්‍රාව පුද්ගලයන් 289,122ක් සඳහාත් එහි දෙවැනි මාත්‍රාව පුද්ගලයන් 32,385 දෙනකු සඳහාත් ලබාදී ඇත. ඊට අමතරව එදින ස්පුට්නික් එන්නත් මාත්‍රා 15,202ක්, ෆයිසර් එන්නත් මාත්‍රා 700ක් සහ කොවිෂිල්ඩ් එන්නත් මාත්‍රා 36ක්ද ලබාදී ඇත.

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් තොගයක් ඉකුත් 10 වැනිදා මෙරටට ලැබුණු අතර මෙරට එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා විදේශයකින් එකවර ලැබුණු වැඩිම කොරෝනා මර්දන එන්නත් ප්‍රමාණය මෙය බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පැවැසීය. මීට අමතරව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට මෙම මාසය තුළ ඇස්ට්‍රාසෙනෙකා එන්නත් ලබාදෙන බව ජපාන විදේශ අමාත්‍ය ටොෂිමිට්සු මොටෙගි පවසා තිබේ.

කොවැක්ස් පහසුකම යටතේ අතිරේක මාත්‍රාවන් මිලියන 11ක් එසේ ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ලබාදීමට කටයුතු කරන බව ඔහු පවසයි. ඇමරිකාවේ නිෂ්පාදිත මොඩර්නා එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පදනම යටතේ 15 වැනිදා මෙරටට ගෙනඑනු ලැබිණි.

මේ අතර දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන පසුගිය 13 වැනිදා ආරම්භ වූයේ ගම්පහ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමිනි. දිවයින පුරා සිටින පෙර පාසල් ගුරුවරුන් 38,000 ක් සඳහා කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට නියමිතය. එම එන්නත්කරණ වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසුවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සමස්ත කාර්යමණ්ඩලය එන්නත්කරණය කිරීමෙන් පසුව මවුපියන්ට තම දරුවන් ආරක්ෂිතව පාසල් වෙත යොමු කිරීමේ අවස්ථාව සලසාදෙන බවය. කොළඹ දිස්ත්‍රික්කයේ ගුරුවරුන්ගෙන් 97%ක් මේ වන විට කොවිඩ් මර්දන එන්නත ලබාගෙන ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය. එම ප්‍රතිශතය ගම්පහ දිස්ත්‍රික්කයේ 81%ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ 82% කි.

ඉකුත් 14 වැනිදා වන විට බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයන්ගෙන් 36%ක් එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන තිබිණි. 13%ක් දෙවැනි මාත්‍රාව ලබාගෙන ඇත. බස්නාහිර පළාතේ වයස අවුරුදු 30ට වැඩි ජනතාව සඳහා සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව ලබාදීමේ විවෘත වැඩසටහනක් ඉකුත් 15 වැනිදා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේදී ආරම්භ වූයේ යුද හමුදාවේ වෛද්‍ය කණ්ඩායම්වල මූලිකත්වයෙනි.

බස්නාහිර පළාතේ පදිංචිකරුවන්ට ජාතික හැඳුනුම්පත, විදුලි බිල්පතක්, දුරකථන බිල්පතක් හෝ ඡන්ද නාමලේඛනයේ ග්‍රාම නිලධාරී විසින් සහතික කරන ලද පිටපතක් රැගෙන ඒමෙන් මෙම ස්ථානයෙන් එන්නත්කරණය සිදුකරගත හැකිය. මේ අතර යුද හමුදාව මඟින් ක්‍රියාත්මක කරනු ලැබූ බත්තරමුල්ල දියත උයනේ එන්නත්කරණ මධ්‍යස්ථානය ඉකුත් 15 වැනිදා සිට ලබන 19 වැනිදා දක්වා තාවකාලිකව ක්‍රියාත්මක නොවන බව යුද හමුදාව පැවසීය.

Comments