
ලොව විශාලතම ක්‍රීඩා සැණකෙළිය ලෙස සැලකෙන්නේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළයි. වසර 4කට වරක් පැවැත්වෙන ඔලිම්පික් උලෙළ 2020 ජූලි මාසයේදී ජපානයේ පැවැත්වීමට නියමිතව තිබුණත් මුළු ලෝකයම වෙළා ගත් කොවිඩ් වසංගතය ඊට හරස් විය. කවදත් අභියෝග හමුවේ නොසැලෙමින් අප්‍රතිහත ධෛර්යයෙන් කටයුතු කරන ජපානය කොවිඩ් වසංගතය මනාව පාලනය කරගනිමින් 2021 දී ගිම්හාන ඔලිම්පික් උලෙළ පැවැත්වීමට මේ වනවිට සියලු කටයුතු සූදානම් කර ඇත. මෙවර ඔලිම්පික් උලෙළේ සමාරම්භක උත්සවය පැවැත්වෙන්නේ ජූලි 21 වැනිදාය. ජූලි 23 වැනිදායින් ඇරඹෙන මෙම ක්‍රීඩා උලෙළ අගෝස්තු 08 වැනිදායින් අවසාන වේ. ජපානයේ ස්ථාන 42 කදී ක්‍රීඩා ඉසව් 33 ක් ක්‍රීඩා අංග 400 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා තරගකරුවෝ 13,000 ක් පමණ තරග වදිති. මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් උලෙළ සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගි වන ක්‍රීඩක පිරිස නව දෙනෙකි. ඊට ක්‍රීඩකයන් සිවු දෙනෙක් (4) සහ ක්‍රීඩිකාවන් පස් (5)දෙනෙක් අයත් වෙති.
මීට අමතරව මෙවර ජපානයේ පැවැත්වෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්වී යන ජනමාධ්‍යවේදීන් සංඛ්‍යාව නවයකි (9). ප්‍රින්ස් ගුණසේකර (දිනමිණ), හරිත පෙරේරා (වෙබ්), විචිත්‍ර වීරසිංහ (මව්බිම), ෂෙහාන් ඩැනියෙල් (ඩේලි මිරර්), ජිතෙන්ද්‍ර ප්‍රසාද් (වීරකේශරී), සංජීව ධර්මසේන (අද), දිනුෂ්කි රණසිංහ (පපරෙ.කොම්) සහ තුසිත් විජයදෝරු (ජාතික ඔලිම්පික් කමිටුව) ඔවුහු අතර වෙති.
![]() |
හරිත පෙරේරා විදේශයක පැවැති ක්‍රීඩා උත්සවයක දී මාධ්‍ය මෙහෙයුමක යෙදී සිටින අයුරු |
ඔවුන් දිනමිණ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ලෙස කටයුතු කරන ප්‍රින්ස් ගුණසේකර, මීට පෙර දෙවතාවක් ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීම සඳහා සහභාගි වී තිබේ. ඔහු හා හාපුරා කියා සහභාගි වූයේ 2012 වසරේ ලන්ඩන් නුවර පැවැති ඔලිම්පික් ක්‍රීඩා උත්සවයටය. ඉන් අනතුරුව 2016 දී රියෝ ද ජැනයිරෝ නුවර පැවැත්වූ ඔලිම්පික් ක්‍රීඩා උත්සවයට සහභාගි විය.
“ඔලිම්පික් ක්‍රීඩා උත්සවය කියන්නේ පුදුමාකාර විනයක් හික්මීමක් තියෙන තැනක්. ඒකේ සෑම කටයුත්තක්ම සිද්ධ වෙන්නේ නිශ්චිත ක්‍රමවේදයකට. රටේ ජනාධිපතිටවත් ඊට එරෙහිව කටයුතු කරන්න බැහැ. අපිට ඕනෑ හැටියට ඡායාරූප ගන්න බැහැ. අපිට ඕනෑ විදිහට ක්‍රීඩකයන් එක්ක කතා කරලා සම්මුඛ සාකච්ඡා පවත්වන්න බැහැ. ඒ අය ජනමාධ්‍යවේදීන්ට කටයුතු කළ හැකි කලාපයක් වෙන් කරලා තියෙනවා. ඒ කලාපය ළඟින් ක්‍රීඩකයන් යන විට අපිට විනාඩි 2 ක් විතර කතා කරන්න පුළුවන්. ජයග්‍රහණය කළ ක්‍රීඩකයෙක් වුණොත් එහෙම කතා කරන්නවත් වෙලාවක් ගන්න අමාරුයි. මොකද තහනම් උත්තේජන පාවිච්චි කළා ද කියලා පරීක්ෂා කරන්න ඉක්මනින් අඬගහගෙන යනවා. ඔලිම්පික් ගියාම එහාට මෙහාට දුවලා කලබලෙන් වැඩ කරන්න බැහැ. ඔලිම්පික් කමිටුව පනවා තිබෙන සීමාවන් පැනලා, එහාට මෙහාට දුවලා පැනලා මාධ්‍ය ආවරණය කරන්න ගිය විදෙස් මාධ්‍යවේදීන් කීපදෙනකුගේ හැඳුනුම්පත ගලවලා ආපසු ගන්නවා මම දැකලා තියෙනවා. එහෙම වුණොත් ඊට පසුවදා ආපහු මව්රටට යවනවා. ඒ නිසා ඔලිම්පික් ආවරණය කරන්න පළමුවරට යන මාධ්‍යවේදීන් හරි පරිස්සමෙන් වැඩ කරන්න ඕනෑ.” යනුවෙන් සිය ඔලිම්පික් අත්දැකීම්වලින් තොරතුරු බිඳක් විස්තර කළේ දිනමිණ පුවත්පතේ ක්‍රීඩා කර්තෘ ප්‍රින්ස් ගුණසේකර ය. ඔහු වසර 25 ක් මුළුල්ලේ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස නිරත අයෙකි.
ඔහු පළ කළ අදහස් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට පළමු වරට යන මාධ්‍යවේදීන්ට ඉතා වැදගත් බව අමුතුවෙන් කිව යුතු නැත. අප එසේ සඳහන් කළේ මෙවර සහභාගි වන ක්‍රීඩා මාධ්‍යවේදීන් අතරින් හය (6) දෙනකුම ඔලිම්පික් ආවරණයට කිරිකෝඩුන් වන නිසාය. විචිත්‍ර වීරසිංහ, ෂෙහාන් ඩැනියෙල්, දිනුෂ්කි රණසිංහ, සංජීව ධර්මසේන, ජිතේන්ද්‍ර ප්‍රසාද් සහ තුසිත් විජේදෝරු ප්‍රථම වතාවට ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ආවරණය කිරීමට යන අය වෙති.
“මම සාෆ් ක්‍රීඩා උලෙළ ආවරණය කරන්න දෙවරක් ගිහින් තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට එක් වතාවක් ගිහින් තියෙනවා. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ සහ දකුණු ආසියානු පාපන්දු තරගාවලිය ආවරණය කිරීමටත් ගිහින් තියෙනවා. ඒත් ඔලිම්පික් ක්‍රීඩා උත්සවයකට යන්නේ ප්‍රථම වතාවට. ඕනෑම ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ සිහිනය තමයි ඔලිම්පික් ආවරණය කිරීම. මෙය මගේ සිහිනය සැබෑවීමක්. ඒත් මේ පාර අපිට ලොකු අභියෝගයක් තියෙනවා. ඒ කොවිඩ් අවදානම. කොවිඩ් නිසා ප්‍රේක්ෂකාගාරය හිස්. ප්‍රේක්ෂකයන්ගේ සහභාගීත්වයෙන් තොරවයි මේ පාර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ පවත්වන්නේ. ඒ වගේ ම තමයි කොවිඩ් නිසා මේ වතාවේ නීති රීති තවත් දැඩි කරලා කියලා දැනගන්නට ලැබුණා. ඒ නිසා ක්‍රීඩකයන් සමඟ කතා කරන්න පුළුවනිද, සෑම ක්‍රීඩා ඉසව්වක්ම ආවරණය කරන්න පුළුවන්ද කියලා සැකයක් තියෙනවා.” යනුවෙන් සඳහන් කළේ වීරකේසරී පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී ජිතේන්ද්‍ර ප්‍රසාද් ය.
ඩේලි මිරර් පුවත්පතේ ක්‍රීඩා සම කර්තෘ ෂෙහාන් ඩැනියෙල් සහ අද පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී සංජීව ධර්මසේන ද ක්‍රීඩා මාධ්‍යවේදියකුට හිමිවන වටිනාම අවස්ථාව වන ඔලිම්පික් යෑමේ දුර්ලභ අවස්ථාව හිමි වීමෙන් දැඩි සේ සතුටට පත්වී සිටිති.
“ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ ලොකුම බලාපොරොත්තුව තමයි ක්‍රිකට් ලෝක ශූරතා තරගාවලිය සහ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීම. මම මීට ඉස්සෙල්ලා ඉන්දුනීසියාවේ පැවැත්වුණු ආසියානු ක්‍රීඩා උලෙළ ආවරණය කරන්න ගිහින් තියෙනවා. ඔලිම්පික් යන්නේ ප්‍රථම වතාවට. මම ක්‍රීඩා මාධ්‍යවේදියකු හැටියට අවුරුදු 16 ක් තිස්සේ කටයුතු කරනවා. ඒ නිසා වෙන්න ඇති මට මේ අවස්ථාව ලැබුණේ.” යනුවෙන් මව්බිම පුවත්පතේ ක්‍රීඩා මාධ්‍යවේදී විචිත්‍ර වීරසිංහ පැවසුවේය.
ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරමින් ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස මෙවර ජපානය බලා පිටත්වී යන තුසිත් විජේදෝරු ද ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ආවරණය කිරීමට සහභාගි වන්නේ ප්‍රථම වතාවටය. දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ, පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ, සාෆ් ක්‍රීඩා උලෙළ ඇතුළු රග්බි සහ ක්‍රිකට් තරගාවලි ගණනාවක ඡායාරූප මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ ඔහුට මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ නියෝජනය කිරීමට අවස්ථාව හිමිවීම ඔහු සලකන්නේ භාග්‍යයක් ලෙසිනි. එහෙත් කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි නීති රීතිවලට යටත්වී කටයුතු කිරීමට සිදුවීම ඔහු මුහුණදෙන ප්‍රධාන අභියෝගය විය හැකි බව ඔහුගේ විශ්වාසයයි.
මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළට සහභාගි වන හරිත පෙරේරා වසර 35 ක් මුළුල්ලේ ක්‍රීඩා මාධ්‍යවේදියකු ලෙස කටයුතු කරන හසළ අත්දැකීම් සම්භාරයක් ඇති අයෙකි. ගුවන් විදුලි සහ රූපවාහිනි විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන හරිත පෙරේරා මීට පෙර ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ආවරණය කර තිබෙන්නේ එක් වරක් පමණි. ඒ 2016 පැවැති ඔලිම්පික් ක්‍රීඩා උලෙළයි.
“මම නම් හිතන්නේ කොයි තරම් අත්දැකීම් තිබුණත් අපි සහභාගි වන සෑම ක්‍රීඩා උලෙළක්ම අපිට ලොකු අභියෝගයක්. අත්දැකීමට වඩා අභියෝගය වැඩියි. ඔලිම්පික් ක්‍රීඩා තරග ආවරණය කිරීමට හුරුවෙන්න ඕනෑ. දවස ගණනේ අපිට උපදෙස් ලැබෙනවා. ඒ ගැන අපි හොඳ අවධානයෙන් ඉන්න වෙනවා. ඒවා අපි අධ්‍යයනය කළ යුතු වෙනවා. ඒ වගේ ම තමයි ඒවායේ මාධ්‍යවේදීන්ට තියෙන පහසුකම් ගැන හිතාගන්නවත් බැහැ. අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වය අඩු නිසා අපිට ලොකු වෙලාවක් ඉතිරි වෙනවා. නැවත අපිට අවධානයෙන් ඉන්න සිද්ධ වෙන්නේ ලෝක වාර්තා පිහිටුවීම ගැන. අපිට ලැබෙන කාලයෙන් අපිට කවදාවත් දකින්න නොලැබෙන තරග රාශියක් නැරඹීමට අවස්ථාව හිමිවෙනවා. ටෙනිස්, හොකී, ටේබල් ටෙනිස් වගේ තරගාවලි ජාත්‍යන්තර මට්ටමෙන් නැරඹීමේ අවස්ථාව මෙහිදී අපට ලැබෙනවා. ක්‍රීඩා මාධ්‍යවේදියෙක් හැටියට මම ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්නවා. හැබැයි අපිට එහේ මෙහේ ඇවිදින්න වෙලාවක් නැහැ. ඔලිම්පික් ක්‍රීඩා ප්‍රතිඵල අපේ රටට එවන්න ඕනෑනේ. මේ පාර ජපානයේ තියෙන ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ රෑ 8.00 ට ඉවර කළා කියමුකෝ. ඒ රටේ වෙලාව පැය 4 ක් ඉස්සරහට තියෙන්නේ. එතකොට අපේ රටේ වෙලාව හවස 4.00 යි. අපි හෝටලයට ගියත් රෑ 10.00, 11.00 වෙනකම් විස්තර මෙහෙට දෙන්න ඕනෑ. අපි ඒ වගකීම එක්ක වැඩ කරන්නේ. ඒ නිසා අපිට එහෙ මෙහෙ ඇවිදින්න වෙලාවක් නැහැ. මේ පාර නම් කොහොමටත් ඇවිදින්න ඉඩ ලැබෙන්නේ නැති වේවි, කොවිඩ් නිසා. ජපානය කියන්නේ නීතිගරුක ඒ අයගේ ආරක්ෂාව ගැන උපරිම අන්දමට සැලකිලිමත් වෙන රටක්නේ.” යනුවෙන් විස්තර කළේ ක්‍රීඩා මාධ්‍යවේදි හරිත පෙරේරා ය. මෙවර ඔහු නියෝජනය කරන්නේ sportswithharitha.com වෙබ් අඩවියයි.
thepapare.com වෙබ් අඩවිය නියෝජනය කරමින් මෙවර ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීම සඳහා සහභාගි වන්නේ දිනුෂ්කි රණසිංහය. මෙරටින් සහභාගි වන මාධ්‍යවේදි කණ්ඩායම අතර සිටින එකම මාධ්‍යවේදිනිය ඇයයි.
“මම ඔලිම්පික් ක්‍රීඩා උලෙළක් ආවරණය කරන්න යන්නේ පළමු වැනි වතාවට. 2019 දී නේපාලයේ පැවැත්වුණු දකුණු ආසියානු ක්‍රීඩා උලෙළ ආවරණය කරන්න ගියා. මම යන ගොඩාක් තැන්වල වැඩ කරන එකම මාධ්‍යවේදිනිය මම තමයි. ඒ නිසා මට මේ පාර ඔලිම්පික් ආවරණය කිරීමට යන ගමනෙ එකම මාධ්‍යවේදිනිය වීම සුවිශේෂ දෙයක් නොවෙයි. ඒක මට පුරුදුයි. මගේ වයස අවුරුදු 25 යි. ඕනෑම ක්‍රීඩා මාධ්‍යවේදියකුගේ සිහිනය තමයි ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීම. මට මේ වයසෙන් ඒ අවස්ථාව ලැබීම ගැන මට ගොඩාක් සතුටුයි. ඇත්තටම මම ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. හැබැයි මම ඔලිම්පික් ක්‍රීඩා උලෙළෙහි ලංකාව නියෝජනය කරන්න බලාපොරොත්තුවෙන් හිටියේ ක්‍රීඩිකාවක් හැටියට. මොකද මම දක්ෂ ටෙනිස් ක්‍රීඩිකාවක්. මගේ ඇඟේම තියෙන්නේ ක්‍රීඩාව. ටෙනිස් ක්‍රීඩා අංශයෙන් මම හය වතාවක් ලංකාව නියෝජනය කර තිබෙනවා. ඒත් ටෙනිස් ක්‍රීඩිකාවක් හැටියට ඔලිම්පික් මට්ටමට ළඟාවීමට අපිට අවස්ථා ලැබුණේ නැහැ. ඒ නිසා ක්‍රීඩිකාවක් හැටියට ලංකාව නියෝජනය කරන්න නොහැකි වුණු ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ක්‍රීඩා මාධ්‍යවේදිනියක් හැටියට සහභාගි වීමට හැකිවීම ගැන මම අවංකවම සතුටු වෙනවා.” යනුවෙන් පැවසුවේ දිනුෂ්කි රණසිංහය.
ද පපරෙ.කොම් වෙබ් අඩවියේ සේවයේ නියුතු දිනුෂ්කි රණසිංහ හමුවේ අභියෝග 2 ක් තිබේ. එකක් කොවිඩ් හමුවේ ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමයි. අනෙක මාධ්‍යවේදීන් සමඟ කරට කර කටයුතු කිරීමයි.
“සමහරු හිතාගෙන ඉන්නේ ඒ අය තරම් හොඳට වැඩ කරන්න මට බැහැ කියලා. මම කාන්තාවක් නිසා තරග අස්සේ රිංගලා මට ෆොටෝ ගන්න බැහැ කියලා හිතාගෙන ඉන්නවා. ඒත් සමහර වෙලාවට ඒ අය මගෙන් ෆොටෝ ඉල්ලා ගන්නවා. ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කරන්න මට ලැබුණු මේ අවස්ථාවෙන් මටත් පිරිමින් එක්ක එක වගේ වැඩ කරන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් වේවි.” යනුවෙන් දිනුෂ්කි රණසිංහ සඳහන් කළාය.
මේ වනවිට ඔලිම්පික් ක්‍රීඩා උලෙළ ආවරණය කිරීමට සූදානමින් සිටින ක්‍රීඩා මාධ්‍යවේදීන් කණ්ඩායම සිය නිවෙස් තුළ නිරෝධායනය වෙමින් සිටිති.
“ජපානයට යන විට නහය ඉතිරි වේවිද දන්නේ නැහැ” යනුවෙන් ක්‍රීඩා මාධ්‍යවේදී හරිත පෙරේරා පැවසුවේ සිනාසෙමිනි. දින 7 ක් මුළුල්ලේ සෑම දිනකම පී.සී.ආර්. පරීක්ෂණ සිදුකළ යුතු නිසාය. මෙම මාධ්‍ය කණ්ඩායම ජුලි 21 බදාදා ශ්‍රී ලංකාවෙන් පිටත්වීමට නියමිතය.